හෙට (25) සිට ප්‍රාථමික අංශයේ සිසුන්ට ප්‍රධාන ආහාර වේලක්

හෙට (25) සිට ප්‍රාථමික අංශයේ සිසුන්ට ප්‍රධාන ආහාර වේලක්


හෙට (25) සිට ප්‍රාථමික අංශයේ සිසුන්ට ප්‍රධාන ආහාර වේලක්

(24.03.2024 – 11:26 +0530 – hirunews.lk/sinhala)

හෙට (25) සිට පළමු (1) ශ්‍රේණියේ සිට පස්වන (5) ශ්‍රේණිය දක්වා සියලු‍‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.

උදෑසන 07:30 ත් 08:30 ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබාදීමට තීරණය කර ඇත්තේ පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්.

ඊට රජය වැය කරන මුදල රුපියල් බිලියන 16.6 ක් වන අතර, එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

රජයේ පාසල් 9,134 ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍‍ සිසුන් හා 100 ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍‍ ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6 ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීන් වන බව සඳහන්.

මේ සඳහා රජය රුපියල් මිලියන 16,600 ක අයවැය ප්‍රතිපාදන සෘජුවම පළාත් සභා නවය වෙත වෙන් කර තිබෙනවා ෴


ලොව පුරා අපනයනය කෙරෙන අපේ රටේ නිපදවන සෙල්ලම් බඩු

(23.03.2024 – 21:10 +0530 – sinhala.adaderana.lk)

ලෝකය සමග තරග කරන සුවිශේෂී ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් පිළිබඳ ‘අද දෙරණ’ ට මෙලෙස තොරතුරු වාර්තා වුණි.

ඒ ‘ටිකිරි TOYS’ නමැති ආයතනය පිළිබඳවය.

එම අයාතනය විසින් රෙදි භාවිතයෙන් සුරතල් බෝනිකන් සහ රබර් භාවිතයෙන් සුරතල් සතුන් නිර්මාණය කර ලොව පුරා අපනයනය කරයි.

‘ටිකිරි TOYS’ ප්‍රධාන විධායක නිලධාරී මනෝහරී ෂෙරීෆ් පැවසුවේ සිය ව්‍යාපාරය හරහා වාර්ෂිකව ඩොලර් මිලියන 12 ක් උපයන බවය.

‘ටිකිරි TOYS’ ප්‍රධාන විධායක නිලධාරී මනෝහරී ෂෙරීෆ් :

“ජර්මනියේදී මෙයාගේ නම මොකක්ද ඇහුවා. නමක් තිබුණේ නැහැ . එකපාරටම මම කිව්වා ‘මීයා’ කියලා. ‘මීයාට දැන් යාළුවෝ ඉන්නවාද’ ඇහුවා ? ‘මීයා සහ ඇල්වින්’ කියලා මම පොතක් ලිව්වා. එය භාෂා 12 කට පරිවර්තනය වුණා.”

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු :

+


McDonald’s අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙයි

(24.03.2024 – gossiplankanews.com)

ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය ඇමරිකාවේ ප්‍රකට McDonald’s අවන්හල් ජාලය මෙරටින් තාවකාලිකව ඉවත් කරගැනීමට ඇමරිකානු මව් සමාගම කටයුතු කර තිබේ. මීට හේතුවී ඇත්තේ නිවැරදි ප්‍රමිතියෙන් ආහාර පාන ලබාදීමට ශ්‍රී ලංකා නියෝජිත සමාගම අපොහොසත්වීමයි.

දිගින් දිගටම ලැබුණ පැමිණිලි හා නිරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ශ්‍රී ලංකාවෙන් සිය සන්නාමය යටතේ ආහාර ලබාදීම නවතා දමන ලෙසට ඔවුන් උසාවි නියෝගයක් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ‘අබාන්ස් පුද්ගලික සමාගම’ මගින් ඇමරිකානු McDonald’s අවන්හල් ජාලය මෙරටදී පවත්වාගෙන ගිය අතර උසාවි නියෝගය සමග එහි ශාඛා ජාලයට අයත් වෙළෙඳසල් 12 ම වසා දමා ඇත.

ඒ අනුව කොල්ලුපිටියේ පිහිටි ශාඛාවක සන්නාම ගළවන අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙම ජාලයට අයත් ‘හොට් ලයින්’ අංකය දැන් ක්‍රීයා කරන්නේ නැති අතර වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුද අවලංගු කරගෙන ඇත.

ගූගල්හි මැප්හි සෙවුම් කරද්දී ‘තාවකාලිකව වසා දමා ඇත’ යන පණිවිඩය දිස්වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි සුප‍්‍රකට පිසූ ආහාර නිෂ්පාදන අලෙවි කිරීමේ McDonald’s සමාගම ශ්‍රී ලංකාවේ කටයුතු ආරම්භ කළේ මීට වසර විස්සකට (20) පමණ එපිට සිටය.

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවත්වාගෙන යන අවන්හල් 12 ක් පවත්වාගෙන යෑම ලබන 04 වැනිදා දක්වා වළක්වමින් කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය.

තමන්ගේ කීර්තිමත් වෙළෙඳ නාමය යටතේ පවත්වාගෙන යන එම අවන්හල් ගිවිසුම් ප‍්‍රකාරව පිරිසිදුව හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන නොයන බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බැවින් එකී ගිවිසුම් අවලංගු කර ඇති බව පෙන්වා දෙමින් මවු සමාගම කළ පැමිණිල්ලක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

එකී අඩුපාඩුකම් අවම කර ප‍්‍රමිතිය අනුව පවත්වාගෙන යන ලෙසට කළ දැනුම්දීම් දිගින් දිගටම නොසලකා හැර තවදුරටත් කටයුතු කිරීම නිසා පසුගිය 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි එකී බලයලත් අලෙවිකරුවන් සමග ඇති කරගෙන තිබූ ගිවිසුම් අවසන් කළ බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවැසීය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සුගත් කල්දේරා, නිරාන් ඇන්කටෙල් යන මහත්වරුන් සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටියේය.

McDonald’s අවන්හල් ලොව පුරා රටවල් 120 ක පිහිටුවා ඇති අතර සෑම දිනකම පාරිභෝගිකයින් මිලියන 68 කට සේවය කරන බව සඳහන්ය.

මවු සමාගම ඉදිරියේදී වෙනත් ශ්‍රී ලංකා නියෝජිත සමාගමක් සමග එක්ව නැවත ජාලය ආරම්භ කරනු ඇති අතර ඒ සඳහා කොපමණ කල් ගතවේද යන්න පැහැදිලි නැත ෴

++++++++

newswire.lk

++++++++

++++++++

+


‘නයිටා’ ආයතනයේ මුදල් වංචා කළ වැටුප් අංශ නිලධාරිනිය රිමාන්ඩ්

(23.03.2024 – gossiplankanews.com)

තරුණ තරුණියන්ගේ නිපුණතා සංවර්ධනය කිරීමට අයවැයෙන් වාර්ෂිකව වෙන් කළ ප්‍රතිපාදන වලින් රුපියල් ලක්ෂ 16 කට අධික මුදලක් සිය පෞද්ගලික බැංකු ගිණුමේ තැන්පත් කරගත් බව කියන ‘නයිටා’ ආයතනයේ වැටුප් අංශ නිලධාරිනිය ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාන් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (22) නියම කළාය.

‘නයිටා’ ආයතනයේ නව නිපැයුම් ඒකකයේ වැටුප් අංශ පරිගණක පද්ධතියට හොර රහසේ ඇතුළුවී එහි දත්ත වෙනස් කරමින් සැකකාරිය රුපියල් ලක්ෂ 16 ට අධික මුදලක් සිය පෞද්ගලික බැංකු ගිණුමට බැර කරගෙන ඇතැයි කියමින් කොළඹ වංචා විමර්ශන අංශය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ නිපුණතා සංවර්ධන වෘත්තිය අධිධ්‍යාපන පරේෂණ නව නිපැයුම් වැටුප් අංශයේ නිලධාරිනියක වන ‘කාංචනා ඉන්ද්‍රසිරි’ නමැත්තියකි.

කොළඹ වංචා විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ නිලධාරීන් සිද්ධියට අදාළව කළ විමර්ශන වලදී සැකකාරිය නව නිපැයුම් ඒක වැටුප් අංශ පරිගණ පද්ධතියට කොර රහසේ ඇතුළු වී එහි දත්ත වෙනස් කරමින් තම පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් 16,24,136 ක මුදලක් බැරකරගෙන ඇතැයි හෙළි වූ බව දැනුම් දුන්නේය.

ඇය රජයේ මුදල් වංචා කිරීම මගින් පොදු දේපළ පහත යටතේ වරදක් කර ඇතැයිද ඒ අනුව ඇය අත්අඩංගුවට ගත්තේ යැයිද කී නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශනය කරන හෙයින් ඇය රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු පලතා බැලීමෙන් අනතුරුව ලබන මස 05 වැනිදා දක්වා සැකකාරිය රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියම කළාය ෴


සම මත ‘රිංවර්ම් දිලීර ආසාදනය’ රටේ වසංගතයක් වෙලා

(22.03.2024 – gossiplankanews.com)

‘ස්ටෙරොයිඩ’ අඩංගු ඖෂධ අවභාවිතය ඇතුළු හිතුමතයට ඖෂධ භාවිතය හේතුවෙන් ‘ටීනියා’ හෙවත් ‘රිංවර්ම්’ යන දිලීර ආසාදන තත්ත්වය වසංගතයක් මෙන් මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී ඇතැයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමය අවධාරණය කරයි. එම සංගමය පෙන්වා දෙන්නේ වසර 10 කට පමණ ඉහතදී ඉතා සරල දිලීරනාශක මගින් සුව කළ හැකිව තිබූ මෙම තත්ත්වය මේ වනවිට එම ඖෂධවලට ප්‍රතිරෝධී වන බවත්, සියලු පළාත් ආවරණය කරමින් සිදු කරන ලද පක්ෂණයකින් ඒ බව සනාථ වී ඇති බවත්ය.

ඒ අනුව ප්‍රතිකාර සඳහා ඉතා සීමිත දිලීර නාශක වර්ග කිහිපයක් පමණක් පවතින ‘ටීනියා’ ආසාදන තත්ත්වයට ‘හිතුමතයේ’ ඖෂධ භාවිතයෙන් තොරව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගතහොත් ආසාදන තත්ත්වය සමඟ වසර ගණනක් ජීවත් වීමට රෝගීන්ට සිදුවනු ඇති බවද චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමය අවධාරණය කරයි. ‘ටීනියා’ යනු සම මතුපිට ඇතිවන දිලීර ආසාදන තත්ත්වයක් වන අතර එය ස්පර්ශය මගින් එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිර යයි. ඊට අමතරව සුරතල් සතුන්ගේ ද මෙම ආසාදන තත්ත්වය ඇතිවිය හැකි අතර, එවැනි සතෙකුගෙන් පුද්ගලයෙකුට එය පැතිර යා හැකි නමුත් එම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට පැතිර යාමක් මෙතෙක් වාර්තා වී නොමැති බව විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.

රවුම් ආකාරයෙන් හට ගන්නා තද කැසීමක් සහිත ලප මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන අතර, එම ලප මතුපිට සම කුඩා පොතු ලෙස ගැලවී යාම හෝ කහ පැහැති කැබලි දැකිය හැක.

එසේම මේ වනවිට මෙම ආසාදනය ශරීරයේ වැඩි පෙදෙසක පැතිර යාම්, වඩා තද ලෙස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම, සාමාන්‍යයෙන් භාවිත කෙරෙන දිලීරනාශකවලට ප්‍රතිචාර නොදැක්වීම මෙන්ම පවුලක සාමාජිකයන් වැඩි දෙනෙකු අතර පැතිර යාම යනාදී රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ.

ඒ අනුව ඇඳුම් ආදී පෞද්ගලික උපාංග ‘හවුලේ’ පරිහරණයෙන් වැළකීම, රෝගී අයගේ ඇඳුම් වෙන්ව සෝදා ‘අයන් කිරීම’ යනාදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපැදීම වැදගත් වේ.රට පුරා මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින ටීනියා තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා වූ හමුවක් චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමය විසින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් පරිශ්‍රයේදී ඊයේ (21 දා) පවත්වන ලදි.

ඒ අනුව එහිදී වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වෙමින් ලාදුරු මර්දන ව්‍යාපාරයේ, චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සඳහන් කර සිටියේ,

“කැසීම්වලට, රෑෂස් වලට ඖෂධ වර්ග කිහිපයක් එක්කොට සාදන ලද ආලේපන වෙළෙඳපොළේ තිබෙනවා. එවැනි ආලේපන භාවිතය කිසිසේත් සුදුසු නෑ. එවැනි ආලේපනවලට කැසීම, රතුලප වැනි ලක්ෂණ අඩු වුණාට දිලීරය තවත් පැතිරෙන්න ඉඩ සලසනවා. එවිට ශරීරය පුරා පැතිර යනවා.

ඖෂධ සැල්වලින් හිතුමතයට ලබා ගන්නා ඖෂධ වර්ග භාවිතය මෙන්ම වෙනත් රෝගයකට හෝ වෙනත් අයෙකුට ලබා දුන් ඖෂධ වර්ග භාවිතය කිසිසේත් සුදුසු වන්නේ නෑ. මෙම ආසාදන තත්ත්වය වැඩි වශයෙන් ඇතිවන්නේ ශරීරයේ තෙත, දහදිය රැඳෙන තැන්වල, ඒ නිසා රහස් ප්‍රදේශ ආශ්‍රිතව මෙම තත්ත්ව ඇති වුවහොත් වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති මැලිකම් නිසා ඔෂධ සැල්වලින් ආලේපන මිලට ගන්නවා.

ඒ නිසා මුල් අවස්ථාවේදීම වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු මගින් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මෙම තත්ත්වය නිසා පුද්ගලයන් මරණයට පත්වන්නේ නෑ. කෙසේ වුවත් සුරතල් සතුන්ගෙන් ආසාදන තත්ත්වය පැතිර යන අවස්ථාවලදී තදබල ලෙස හිස ආශ්‍රිත ඇතිවන ලප ජීවිත කාලය පුරා පැවතිය හැකියි” යනුවෙනි ෴


වසර 22 ක පටන් මහනුවර ගම්මාන රැසක් ජල අර්බුදයක

(24.03.2024 – 14:41 +0530 – hirunews.lk/sinhala)

පානීය ජලය මිනිසාට නැතුවම බැරි අංගයක්.

නමුත් එම අවශ්‍යතාව ප්‍රමාණවත් පරිදි නොලැබෙන පිරිස් බොහෝමයක් තවමත් ප්‍රදේශ රැසකින්ම වාර්තා වනවා.

එලෙස පානීය ජලය සඳහා දැඩි දුක් ගැහැට විඳීමට සිදුව ඇති පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ මහනුවර අකුරණ ප්‍රදේශයෙන්.

අකුරණ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් බලකඩුව සහ අලවතුගොඩ ග්‍රාම නිලධාරි වසම්වල පිහිටි සයිස්ටන් A, සයිස්ටන් C, වැලිකන්ද, මහමුදුන, රිට්ටන්දෙණිය ඇතුළු ගම්මානවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 300 කට අධිකයි.

ඔවුන් මේ වනවිට මුහුණ දී සිටින උග්‍ර පානීය ජල ගැටලුව හේතුවෙන් එම ජනතාවගේ දෛනික ජන ජීවිතයටද එල්ල වී ඇත්තේ දැඩි බාධාවක්.

කඳු සහිත ප්‍රදේශයක පිහිටා තිබීම හේතුවෙන් තමන්ට පානීය ජලය සපයා ගැනීම දුෂ්කර වී ඇති බවයි මෙම ජනතාව පෙන්වා දෙන්නේ.

වසර 22 කට අධික කාලයක් පුරා තමන් මුහුණ දී සිටින මෙම අර්බුදය පිළිබඳව බලධාරීන් කෙතරම් දැනුවත් කළත් මේ දක්වා කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බවයි ගම්වැසියන් පවසන්නේ.

මෙම සියලු ගම්මාන ආවරණය වන පරිදි ළිං 3 ක් පිහිටා තිබුණද මේ වනවිට ඒවා සියල්ල සිඳී ගොස් ඇත්තේ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේයි.

ත්‍රිරෝද රථයකින් ජලය රැගෙන ඒම සඳහා රුපියල් 1000 ක් වැය කළ යුතු බවත් ලොරියකින් ජලය ලීටර් 1000 ක් රැගෙන ඒමට නම් ඒ සඳහා රුපියල් 2000 ත් 2500 ත් අතර මුදලක් වැය වන බවත් ගම්වැසියන් පවසනවා.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් අකුරණ ප්‍රාදේශිය සභාවේ ලේකම් ඩී.ජී.එම්.බී රණසිංහ ගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ප්‍රාදේශිය සභාවේ ජල යෝජනා ක්‍රමයක් මගින් මෙම ප්‍රදේශයේ පවුල් 64 කට පානිය ජලය ලබා දී ඇති නමුත් පවතින තාක්ෂණික ගැටළු කිහිපයක් නිසා එය අක්‍රිය වී ඇති බවයි.

ගම්වැසියන් ඉල්ලා සිටින්නේ කඩිනමින් සිය පානීය ජල අවශ්‍යතා සපුරාලීමට බලධාරීන් කටයුතු කරන ලෙසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *