මොස්කව් ප්‍රහාරයේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි

මොස්කව් ප්‍රහාරයේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි


මොස්කව් ප්‍රහාරයේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි

(23.03.2024 – 11:14 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ මොස්කව් අගනුවර රඟහලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොස්කව්වලින් ලැබෙන තොරතුරුවලට අනුව මේ සම්බන්ධයෙන් තහවුරු වී ඇති බවයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

මෙම ප්‍රහාරය නීච සහ බියගුලු ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසට සළකන බවටයි ජගත් ආරක්ෂක මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද ප්‍රකාශ කර ඇත්තේ මෙම ශෝකජනක අවස්ථාවේදී තමන් රුසියාව සමග එක්ව සිටින බවයි.

එමෙන්ම ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි විපතට පත්වූවන්ට සහ රුසියානු රජයට සිය ශෝකය පළ කර තිබෙනවා.

එසේම ඇෆ්ගනිස්ථානය, කියුබාව, ජර්මනිය, ජපානය, ඇමරිකාව සහ වෙනිසියුලාව ද මෙම ප්‍රහාරය හෙළා දකිමින් ශෝක ප්‍රකාශ නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවට හමුදා ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු වෙඩික්කරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් 145 දෙනෙකු තුවාල ලැබුවා ෴

රුසියාවේ මොස්කව් අගනුවරදී සිවිල් වැසියන් ඉලක්ක කර එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකින බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

සිවිල් වැසියන්ට එරෙහි මෙවැනි නිවට ප්‍රචණ්ඩ ක්‍රියා පිළිකුල් සහගත වන අතර ශිෂ්ඨ සමාජය තුළ ඊට ඉඩක් නොමැති බවයි එහි දැක්වෙන්නේ.

එසේම, තුවාල ලැබූ සියලු‍ම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා රජය සහ ජනතාව විපතට පත් වූවන්ගේ පවුල්වලට, මහජනතාවට සහ රුසියානු සමූහාණ්ඩුවේ රජයට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන බවද එම නිවේදනයේ සඳහන්.

ත්‍රස්තවාදය පැහැදිලිවම මුලිනුපුටා දැමිය යුතු අතර, ඊට එරෙහි ගෝලීය සටන සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම යලි තහවුරු කරන බවයි විදේශ අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශ කළා ෴

රුසියාවේ මොස්කව් අගනුවර ප්‍රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද 140 ක් පමණ වන බවයි නවතම විදෙස් වාර්තාවල දැක්වුණේ.

+++++++++

https://www.youtube.com/watch?v=irCUOcVXvzo

+


ලබන කන්නයේ සිට ගොවීන්ට මහ පාරේ වී වේලීමට ඉඩ ලබා නොදෙන ලෙස මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ගෙන් ලිපියක්

(23.03.2024 – 07:06 +0530 – hirunews.lk/sinhala)

ලබන කන්නයේ සිට ගොවීන්ට මහ පාරේ වී වේලීමට ඉඩ ලබා නොදෙන ලෙස මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කේ. අකිලේන්ද්‍රන් මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ලිපියක් ඉදිරිපත් කරමින් තොරතුරු දක්වා තිබෙනවා.

මාර්ගවල ගොවීන් වී වේලීම නිසා මාර්ගවල ඉඩකඩ සීමිත වීම නිසා රථ වාහන අනතුරු බහුල වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ මේ හේතුවෙන් මෙම කන්නයේ දී පමණක් උතුරු පළාත් තුළ පුද්ගලයින් තුන් දෙනෙකු (3) මියගොස් තවත් පස් දෙනෙකු (5) තුවාල ලබා ඇති බවයි.

කෙසේ වෙතත් අව් රශ්මිය මහපාරේ තාර විශේෂ සමග රත් වූ විට මිනිස් සිරුරට අහිතකර කැඩ්මියම් ඇතුළු තවත් රසායන ද්‍රව්‍ය කීපයක් ‘වී’ සමග එකතු වී එම රසායන ද්‍රව්‍ය සහල් සමග ද මූසු වන බවයි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මේ සියළුම රසායන ද්‍රව්‍ය පිලිකාකාරක රසායන ද්‍රව්‍ය බැවින් නිලධාරීන් හා ජනතාව ඒ පිළිබදව දැඩි අවදානයකින් යුතුව පියවර ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ ෴


මුදලාලි නෝනගේ නිරුවත් ඡායාරූප ගත් පුද්ගලයා රිමාන්ඩ්

(23.03.2024 – 08:29 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකතනයකින් නිරුවත් ඡායාරූප ගත් බව කියන සැකකරුවකු ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න නියෝග කර තිබෙනවා.

අදාළ සිදුවීම නිට්ටඹුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන රාත්‍රි ආපන ශාලාවකදී සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රාත්‍රී ආපන ශාලාවට තේ පානය කිරීම සඳහා ගොස් ඇති මෙම පුද්ගලයා එහි මුදලාලි නෝනා තේ පිළියෙළ කරන අවස්ථාවේ ඇයගේ නිරුවත් ඡායාරූප ගෙන ඇති බවයි (?) මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴


වැඩිහිටි ජනගහණයෙන් 12% කගේ මුඛයේ දත් නොමැති බව හෙළිවේ

(23.03.2024 – 08:59 +0530 – hirunews.lk/sinhala)

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කගේ මුඛයේ එකදු දතක් හෝ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එය බරපතල සෞඛ්‍ය ගැටලු‍වක් බැවින් මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් දැනුවත් කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් ගාල්ලේ ඊයේ (22) පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ ‘සතුටු මුවයි – සුවැති සිරුරයි’ යන්නයි ෴


මේ මාසයේ දින 20 ක් තුළ කැළෑ ගිනි තැබීම් 57 ක්

(23.03.2024 – 11:06 +0530 – hirunews.lk/sinhala)

මෙම මාසයේ දින 20 ක් තුළ පමණක් කැළෑ ගිනි තැබීම් 57 ක් වාර්තා වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ලෝක කාලගුණ විද්‍යා දිනය නිමිත්තෙන් පසුගියදා කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

පෙබරවාරි මස ආරම්භයේ සිට දින 50 ක් වැනි කෙටි කාලයක් තුළ අධික උෂ්ණත්වය නිසා මහා වැව් 80 ක්, මධ්‍යම ප්‍රමාණයේ වැව් 700 ක් සහ කුඩා වැව් 30,000 ක ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා ෴


අද (23) එළවලු මිල මෙන්න

(23.03.2024 – 12:00 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (23) එළවලු කිලෝ 1 ක මිල ගණන් පිළිබඳ තොරතුරු නිකුත් වී තිබෙනවා.

කැරට් කිලෝවක මිල රුපියල් 240 ක් වන අතර, බෝංචි ද කිලෝවක මිල රුපියල් 240 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

එමෙන්ම වට්ටක්කා කිලෝවක මිල රුපියල් 280 ක් වන අතර, තක්කාලි කිලෝවක මිල රුපියල් 240 ක් ලෙසයි සඳහන් වන්නේ.

තවත් එළවලු කිහිපයක කිලෝවක මිල ගණන් පහතින් :

බීට් රුපියල් 280 , ගෝවා රුපියල් 400 , අමු මිරිස් රුපියල් 400
මාලු මිරිස් රුපියල් 600 , මෑ කරල් රුපියල් 360 , දඹල රුපියල් 400
වම්බටු රුපියල් 360 , බණ්ඩක්ක රුපියල් 240 , පතෝල රුපියල් 360
දෙහි රුපියල් 400 , ඉඟුරු රුපියල් 2,400


කතරගම පුදබිමේ සිඟමන් යදින දරුවන් ඉහළට

(23.03.2024 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික කතරගම පුදබිම කේන්ද්‍ර කරගනිමින් සිඟමන් යදින දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම දරුවන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කළත් මව්පියන් විසින්ම එම දරුවන් නැවත සිඟමන් යැදීමට යොමු කරන බවයි

වයස අවුරුදු 05, 10, 16 වැනි වයස් සීමාවන්ට අයත් දරුවන් රැසක් තම මව්පියන්ද දැනුවත්ව මෙලෙස යාචක වෘත්තියේ යොදවා මුදල් ඉපයීම සිදු කරන අතර, මෙම දරුවන් වැඩි පිරිසක් පාසල් නොයන බවයි සඳහන් වන්නේ.

පොලිසිය සඳහන් කළේ අවස්ථාව කිහිපයකදීකම මෙම දරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළත් එම අවස්ථාවන්වලදී මව්පියන් පැමිණ ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි.

+++++++++

+


ලිංගිකව එක්වීමට කැමැත්ත පළ කිරීමේ වයස අඩුකිරීමේ කෙටුම්පත ඉල්ලා අස් කරගනී

(23.03.2024 – 13:32 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 14 ත් 16 ත් අතර වයසේ පසුවන ගැහැණු දරුවෙකු සිය කැමැත්ත සහිතව අවුරුදු 22 ට අඩු පුද්ගලයෙකු සමඟ ලිංගික සබඳතාවක් පැවැත්වුහොත් ඊට ලබාදෙන දඬුවම ලිහිල් කිරීමට අදාළව ගෙන ආ නීති සංශෝධනය ඉවත් කරගන්නා බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෴


පාසල් පොත් බෑගයේ බර අඩුවන හැටි ඇමති සුසිල් පහදයි

(23.03.2024 – 14:32 +0530 – hirunews.lk/sinhala)

පාසල් පෙළ පොත් කොටස් 3 කට වෙන් කර ඉගැන්වීම හරහා පොත් බෑගයේ බර 3 න් 2 කින් අඩුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ලේදී ඌව පළාතේ පාසල්වල විදුහල්පතිවරුන් අමතමින්.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවයා කියා සිටියේ දෙමාපියන් පෞද්ගලික පන්ති සඳහා වැඩි මුදලක් වියදම් කරන බවයි.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන එන අතර එවිට පෞද්ගලික පන්ති සදහා සහභාගිවීම අඩුවනු ඇති බවයි ෴


හිටපු ජනපති මෛත්‍රීව අත්අඩංගුවට ගන්නැයි කියා සජබයෙන් CIDයට පැමිණිල්ලක්

(23.03.2024 – 16:21 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකළේ කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ ප්‍රකාශය මත පදනම්ව ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සමඟි ජනබලවේගයේ කතෝලික කමිටුව අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එම පැමිණිල්ලෙන් ඔවුන් පෙන්වා දෙන්නේ එම ප්‍රහාරයේ මහමොළකරු වසන් කිරීම දණ්ඩ නීති සංග්‍රහයට අනුව විශාල වරදක් බවයි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුකළේ කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (22) මහනුවරදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

මෙම ප්‍රකශය සම්බන්ධයෙන් සමඟි ජනබලවේගයේ කතෝලික කමිටුව අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පැවසුවේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙසයි.

+


අතරමග නැවතුණු ඖෂධ නිෂ්පාදන කලාපය – ‘ලංකාවට ඕනේ ඖෂධවලින් 60% ක් විතර අපිට දෙන්න පුලුවන්’ (23.03.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *