ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’

(22.03.2024 – 12:54 +0530 – hirunews.lk/sinhala)

වර්තමාන ලෝකයේ බොහෝ රටවල අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධයක් ලෙස සලකන මුරුංගා ශාක පත්‍රවල ඇති එම පෝෂණය ගුණය පිළිබඳ තොරතුරු මෙරට ජනතාව අතරට ගෙනයෑම හා මුරුංගා ශාක වගාව සෑම නිවෙසකම ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් මෙරට ජාතික මුරුංගා ප්‍රවර්ධන දිනයක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කොට තිබෙනවා.

මෙම නව සැලසුම පිළිබඳ අදහස් දක්වන ජාත්‍යන්තර Moringa for life සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ වසන්ත කුලතුංග, ජපානය කරන ලද පර්යේෂණවලින් මුරුංගා කොළවල විටමින් සහ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු බව හඳුනාගෙන ඇති බව සඳහන් කරනවා.

එබැවින් මුරුංගා ශාකය මෙරට වැඩිදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව මෙම විශේෂ දිනය හඳුන්වා දීමට කටයුතු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම මුරුංගා ශාක පත්‍රවල ඇති ආහාරමය වටිනාකම පිළිබඳ ‘ජාත්‍යන්තර අධ්‍යයන සමුළුවක්’ ලබන අප්‍රේල් 18 වෙනි දින කන්නියා ප්‍රදේශයේ පිහිටි මුරුංගා පර්යේෂණ, අධ්‍යයන හා පුහුණු ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනනවා.

ඒ සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයන්ට ද එම සමුළුවට සහභාගී විය හැකි බව, මුරුංගා ශාක පත්‍ර ගුණ පිළිබඳ මෙරට ජනතාව දැනුම්වත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ කටයුතු මෙහෙයවන ‘දමයන්ති ජෝන් ලී’ සඳහන් කළා ෴


කෙහෙළියගේ ඇප ඉල්ලීම සළකා බැලීම ලබන සඳුදා (25)

(22.03.2024 – 11:17 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලීම සඳහා ලබන සඳුදා (25) කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියෝග කළා.

ඒ අදාළ පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි.

ඒ අනුව, අදාළ ලේඛන නීතිපතිවරයා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසද විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නා.

ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතතකර ඇති තමන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම ප්‍රතිශෝධන පෙත්සම මගින් ඉල්ලා තිබුණේ ෴

ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් (2) ඖෂධ මිලදී ගැනීමේ තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ඉල්ලා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකාර හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව, නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.

මෙම පෙත්සම අද (22) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිට ජෙනරාල්වරයා මෙම දැනුම්දීම සිදුකළා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම කල් තැබීමටත් අධිකරණය නියම කළා ෴


ප්‍රවීණ ලේඛක, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි

(22.03.2024 – 11:54 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ ලේඛක, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අද (22) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය‍යන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ඔහු මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථ ප්‍රමාණය 54 ක් වන අතර, නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කතා ආදිය එයට ඇතුලත්.

එමෙන්ම ශාස්ත්‍රීය ලිපි, පුවත්පත් ලිපි, නාට්‍ය, ගීත සහ වෘතාන්තමය සහ විචාර පිළිබඳ මාධ්‍ය වැඩසටහන් ආදියෙන් නිර්මාණකරණය සඳහාද ඔහු ඉහළ දායකත්වයක් සපයා තිබෙනවා.

මාතර රෝහණ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු එම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට සමත් වූ පළමු ශිෂ්‍යයා ලෙසද වාර්තා අතරට එක් වෙනවා.

කැළණිය විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඔහු, එම විශ්වවිද්‍යාලයේම සිංහල පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස විශ්‍රාම යනතෙක් සේවය කරනු ලැබූ අතර, වර්ෂයකට ආසන්න කාලයක් චීනයේ බේජිං විශ්වවිද්‍යාලයේද සේවය කර තිබෙනවා.

එමෙන්ම සංස්කෘතික මානව විද්‍යාව පිළිබඳව වූ පර්යේෂණ නිබන්ධයක් සඳහා ආචාර්ය උපාධියක් දිනාගත් එතුමා සාහිත්‍ය මානව විද්‍යාව, ජනශ්‍රැති විද්‍යාව, සිනමාව, නාට්‍ය සහ රූපවාහිනිය ආදී විෂයයන් පිළිබඳ පතපොත හා විචාර ලිපි රචකයෙකි.

ඔහු විසින් ලියන ලද ‘සංස්කෘතියේ සමාජ මුහුණුවර’ නමැති කෘතිය සඳහා 1984 වර්ෂයේ දී ද, ‘යථාර්ථය සහ නිර්මාණය’ නමැති කෘතිය සඳහා 1994 වර්ෂයේදී ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා තිබෙනවා.

එමෙන්ම 1995 වසරේ පරිවර්තනය කරන ලද ‘සිනමා සිද්ධාන්ත සහ විචාර’ නමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී පරිවර්තන කෘතියක් ලෙස හැඳින්විය හැකියි ෴


කැකිරාවේ දී සිදුවුණු රිය අනතුරකින් 12 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට

(22.03.2024 – 12:07 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව, ඇඹුල්ගස්වැව ප්‍රදේශයේ දී ඊයේ (21) සිදුවුණු රිය අනතුරකින් වයස අවුරුදු 12 ක පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම අනතුරට ලක්ව ඇත්තේ මෙම සිසුවා බස් රථයෙන් බැස පාර මාරුවීමට යෑමේදී ලොරි රථයක ගැටීමෙන් බවයි සඳහන් වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව, නෙල්ලියගම ප්‍රදේශයේ 06 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙක්.

සිය මිත්තනිය භාරයේ සිට මෙම සිසුවා අධ්‍යාපන කටයුතුවල නිරත වී සිට ඇති බව වාර්තා වෙනවා ෴


තැඹිලි මිල ඉහළට

(22.03.2024 – 13:12 +0530 – hirunews.lk/sinhala)

අධික උණුසුමත් සමඟ වෙළදපොලේ තැඹිලි මිල ඉහළ ගොස් තිබෙනවා.

මෙම මිල ඉහළ යාමට හේතුව වී ඇත්තේ තැඹිලි ඵලදාව අඩුවීම සහ ඉල්ලු‍ම වැඩිවීමයි.

ඒ අනුව, රුපියල් 100 ත් 150 ත් අතර පැවති තැඹිලි ගෙඩියක් මේ වනවිට රුපියල් 180 ත් 250 ත් අතර මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් ප්‍රකාශ කළේ.

එසේම මේ දිනවල කුරුම්බා ඉල්ලු‍ම ද ඉහළ ගොස් ඇති බව වෙළෙන්දන් පවසනවා.

පවතින උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග පාරිභෝගිකයින් කුරුම්බා පානය කිරීමට ද පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ ෴


වී අලෙවි මණ්ඩලය කිලෝ දස ලක්ෂයකට ආසන්න වී මිලට ගනී

(22.03.2024 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දින පහ (5) තුළ වී අලෙවි මණ්ඩලය විසින් වී කිලෝග්‍රෑම් 904,202 ක් මිලදී ගෙන තිබෙනවා.

ඒ සඳහා රුපියල් මිලියන 95 ක් වැය කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ.

වී අලෙවි මණ්ඩලය විසින් දිවයිනේ වී වගා කරන ප්‍රදේශ, කලාප හතකට (7) බෙදා අදාළ කලාපයේ වී මිල දී ගැනීම සඳහා මේ වනවිට ගබඩා 36 ක් විවෘත කර ඇති බවද වී අලෙවි මණ්ඩලය සඳහන් කළා.

වී මිලදී ගැනීමේ කටයුතු සඳහා වී අලෙවි මණ්ඩලයට, මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500 ක් ද, ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 500 ක් ද වශයෙන් මේ වනවිට රුපියල් මිලියන 1000 ක මුදලක් ලැබී තිබෙනවා.

වී මිලදී ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් කලාප 07 තුළ පිහිටි තවත් වී ගබඩා 241 ක් විවෘත කිරීම සඳහා සූදානම් කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ෴


යාපනයේ ඉඩම් අක්කර 234 ක් වගා කටයුතු සඳහා ගොවීන් වෙත නිදහස් කෙරේ

(22.03.2024 – 14:01 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ ඉඩම් අක්කර 234 ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වගා කටයුතු සඳහා ගොවීන් වෙත නිදහස් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ යාපනය විශේෂ බලකා මූලස්ථානය සතුව තිබූ ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 ක ඉඩම් මෙලෙස ජනාධිපතිවරයා විසින් ගොවීන්ට නිදහස් කළ බවයි ෴


ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් අනාවැකියක්

(22.03.2024 – 14:08 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට (23) දිනයේදී මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම නැගෙනහිර, සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

උතුරුමැද සහ උතුරු පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද හෙට (23) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴


දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන නව කෙටුම්පත වහා නතර කළ යුතු බව විපක්ෂ නායක කියයි

(22.03.2024 – 14:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමේ නව පනත් කෙටුම්පත වහා නතර කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

වයස අවුරුදු 16 ක අඩු ගැහැණු දරුවෙකු සමඟ ලිංගික ක්‍රියාවක් සිදුකළහොත් එය බරපතළ දඩුවම් ලැබිය හැකි වරදක් බවට පැවති වගන්තිය සංශෝධනය කරමින් අවුරුදු 14 දක්වා එම වයස් සීමාව අඩු කිරීම බරපතළ ගැටලුවක් බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

ඊට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ මේ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරන බවයි ෴

++++++++

+


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට හිටපු ජනපති සූදානම්

(22.03.2024 – 15:43 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් අද (22) දින එක් වූ ඔහු අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළකර සිටියා.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මෛත්‍රිපාල සිරිසේන පැවසූවේ මෙවැනි අදහසක් :

“ජනතා බලයක් නොමැති අර්බුදකාරී අන්තිම පහත් තත්ත්වයට පත් වූ පාර්ලිමේන්තුවක් තමයි අද තියෙන්නේ. මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා නියමිත වේලාවට මහ මැතිවරණ, ජනාධිපතිවරණ පැවැත්විය යුතුයි. ඒ පත්වන නව රජය ජනතාවගේ දැවෙන ප්‍රශ්න කෙරේ මූලික අවධානය යොමු කළ යුතුයි. අද මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ සියයට පනහකටත් වඩා අන්ත දූෂිතයෝ; හොරු වංචාකාරයෝ. මේ අය නැවත පත් නොකිරීමට ජනතාවට වගකීමක් තිබෙනවා.

මේ රට විනාශ කරේ – අවුල් කරේ රාජපක්ෂලා කියන එක පිළිබඳ තර්කයක් නෑ. නමුත් පුදුමය කියන්නේ අදටත් සමහර මිනිස්සු රාජපක්ෂලගේ පස්සේ යනවා. රාජපක්ෂලාගේ පාලන සමයේ සිදු වූ වංචා දූෂණ පිළිබඳ මගේ පාලන කාලේ දාපු නඩු 46 ක් ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ නිදොස් කොට නිදහස් කරගත්තා.

මහා බැංකුව විනාශ කරපු අර්ජුන මහේන්ද්‍ර ඇතුළු කණ්ඩායමට දාපු නඩුව පසුගියදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් සියලු දෙනා නිදොස් කොට නිදහස් කළා. මම අධිකරණ තීන්දු වලට අභියෝග කරන්නේ නෑ. ගරු කරනවා. නමුත් ඒවාට අවශ්‍ය ව්‍යාජ ලියකියවිලි ඔක්කොම හදලා අර්ජුන මහේන්ද්‍ර ඇතුළු 10 දෙනෙක් නිදහස් කලා. හැබැයි දැන් මේ රටේ දේශප්‍රේමීන් පිරිසක් නැවතත් ඒ නඩුව ඇපීල් කරලා තියෙනවා.

අපේ පක්ෂයේ කීපදෙනෙක් ඇමතිකම්වලට කෑදරකමින් රජයට ගිහිල්ලා ඇමතිකම් අරගෙන අද විශාල අර්බුදයක් මතුවෙලා තියෙනවා. හෙට අනිද්දට අපි ඒ ප්‍රශ්නය විසඳගන්නවා. ඒ අයට කැමති නම් රජයටම වෙලා ඉන්න පුළුවන්. නැත්නම් අපි ළඟට එන්න පුළුවන්. ඕන තැනකට ගියත් අපිට කමක් නෑ, අපේ පක්ෂයට ප්‍රශ්න ඇති කරන්නේ නැතුව.”

+++++++++

22-03-2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *