චර්ම රෝග වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක්

චර්ම රෝග වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක්


චර්ම රෝග වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක්

(21.03.2024 – 21:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට පුද්ගලයින් අතර චර්ම රෝග තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අගවනවා.

ඔවුන් පවසන්නේ එම රෝගි තත්ත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

‘ටීනියා’ නමින් හඳුන්වන මෙම චර්ම රෝගය වයස් භේදයකින් තොරව සියලු දෙනා අතර පැතිර යෑමේ හැකියාව පවතිනවා.

සිරුරේ ඕනෑම ස්ථානයක එම චර්ම රෝගය ඇති විය හැකි බවයි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

ඔවුන් පවසන්නේ දහඩිය වැඩි වශයෙන් රැඳෙන ස්ථාන ආශ්‍රිතව මෙන්ම හිස ආශ්‍රිතව ද මෙම රෝගය ව්‍යාප්ත වන බවයි.

රවුම් හැඩයක් ගන්නා දදයක් ආකාරයෙන් එම රෝගය සිරුර පැතිරෙන අතර, නිතර කැසීම එහි ප්‍රධානතම ලක්ෂණ බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

මෙම චර්ම රෝගය ස්පර්ශය මගින් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර , එය සුරතල් සතුන් හරහා බෝ විය හැකි බවත් වෛද්‍යවරුන් පවසනවා.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ මේ වන විට රටතුල ව්‍යාප්ත වන ටීනියා චර්ම රෝග ප්‍රභේදය මීට වසර 10 කට පෙර පැවති රෝගයට වඩා වෙනස් වු රෝගයක් බවයි.

+


නීති විරෝධී කසළ තේ සමඟ සිව්දෙනකු (4) අත්අඩංගුවට

(21.03.2024 – 22:12 +0530 – hirunews.lk/sinhala)

උඩුනුවර ප්‍රදේශයේ නීති විරෝධී කසළ තේ කිලෝ 13,214 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම් සිදුකර ඇත්තේ ගම්පොළ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින්.

පොලිසියට ලද තොරතුරුවලින් අනාවරණය වී ඇත්තේ රසායනික ද්‍රව්‍ය කවලම් කොට තේවල කළු පැහැ ගන්වා ඇති බවයි ෴


‘හිරු CIA’ : ඇතුගල්පුරයේ සිදුවුණ මහා පරිමාණ ’48 CC’ යතුරුපැදි ජාවාරම

(21.03.2024 – 22:47 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ප්‍රදේශය මහා පරිමාණ යතුරුපැදි ජාවාරමක් ‘හිරු CIA’ තොරතුරු හෙළි කර ගත්තා.

රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හේතුවෙන් තවමත් යතුරුපැදි ඇතුළු රථ වාහන ආනයනය කිරීමට තවමත් අවසර හිමි වී නැහැ.

කෙසේ වෙතත්, වාහන අමතර කොටස් ආනයනයට බාධාවක් නොමැති බැවින් ඇතැම් ආනයනකරුවන් එම සීමිත අවස්ථාව ද දඩමීමා කර ගනිමින් මහා පරිමාණ ජාවාරම් ක්‍රියාත්මක කරන බවට ‘හිරු CIA’ වෙත තොරතුරු ලැබුණා.

එලෙස ස්කූටර් වර්ගයේ යතුරුපැදි අමතර කොටස් ගෙන්වීමේ දී ශ්‍රී ලංකා රේගුවේ ඇතැම් දුෂිත නිලධාරීන්ගේ සහය ද ඔවුන්ට ලැබෙන්නේ අතයට ගනුදෙණු හරහායි.

කෙසේ වෙතත් එම යතුරුපැදි මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි අතර, ඒ සඳහාද මොවුන් සුක්ෂම උපායක් භාවිතකර යතුරුපැදි විකුණා දමනවා.

ඒ සඳහා ’48 CC’ ලෙස එන්ජින් ධාරිතාව සටහන් කර පුවරුවක් සවි කරන අතර, රජයේ ලියාපදිංචි අංක තහඩුවක් එවිට අවශ්‍ය වන්නේ නැහැ.

නීති විරෝධී එකලස් කිරීමක් බැවින් මෙම යතුරුපැදි සඳහා කිසිදු ලියකියවිල්ලක් හෝ මෙම අලෙවිකරුවන් ලබාදෙන්නේ නොදෙන බවයි සඳහන් වන්නේ.

+


දිවයිනේ කාලගුණ තත්ත්වයේ වෙනසක්

(22.03.2024 – 06:32 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල අද (22) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

තවද, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත්, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ෴


වැලිකන්දේදී කීරි සම්බා පැටවූ ලොරිය සොරකම් කරයි

(22.03.2024 – 07:03 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝලකට විකිණීම සඳහා රැගෙන ගිය රුපියල් ලක්‍ෂ 15 ක් පමණ වටිනා කීරි සම්බා වී උර පටවා තිබූ ලොරිය සොරාගෙන ගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය පවසනවා.

එහිදී පොලිසිය සඳහන් කළේ එම ලොරියේ වී උර කිසියම් ස්ථානයකට ගෙන ගොස් නිදහස් කරගෙන ඉන් පසුව ලොරි රථය පමණක් අරලගංවිල පොලිස් වසමට අයත් ‘හතර කණුව’ ප්‍රදේශයේ දමාගොස් තිබියදී පසුගිය 20 වැනිදා සොයා ගැනීමට හැකි වූ බවයි.

මේ සම්බන්ධ අරලගංවිල රුහුණගම ප්‍රදේශයේ ලොරි රථයේ හිමිකාර ව්‍යාපාරිකයා විසින් පසුගිය 19 වැනිදා පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව එම ලොරියේ තිබූ කීරි සම්බා වී කිලෝ 9100 ක ප්‍රමාණයක් සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙහිදී සිංහපුර ප්‍රදේශයේ සහල් මෝලකට එම කීරි සම්බා අලෙවි කිරීමට රියැදුරු විසින් රැගෙන ගොස් සිටියදී පවතින තදබදය නිසා එදින වී ලබාගැනීමට නොහැකි බවට දැනුම් දීමෙන් අනතුරුව රියැදුරු එම ව්‍යාපාරිකයාට ඒ බව දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු විසින් රියදුරුට ‘ලොරිය සහ එහි යතුර තබා'(?) නිවසට යන ලෙසට දැනුම් දුන් බවත්, පසුවදා එම ස්ථානයට යන විට ලොරිය නොතිබූ බවටයි පැමිණිලිකරු විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මෙම සොරකමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මකයි ෴


‘රන් බිස්කට්’ යැයි පවසා ‘ලයිටර්’ පෙන්වා ලක්ෂ ගණනින් මුදල් වංචා කරලා

(22.03.2024 – 07:28 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටකින් හොර රහසේ ගෙනෙන ලද ‘රන් බිස්කට්’ ‍යැයි පවසා මෙරට ව්‍යාපාරිකයන් හට අඩුවට විකුණන මුවාවෙන් විදේශ රටක නිශ්පාදිත ‘ලයිටර්’ වර්ගයක් අලෙවි කර මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු (2) ගම්පොළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ අයෙකුට රුපියල් ලක්ෂ දහයක (10) මුදලට එවැන්නක් අලෙවි කරන මුවාවෙන් මුදල් වංචා කළ බවට එම පුද්ගලයා විසින් සිදුකළ පැමිණිල්ලක් ඔස්සේයි.

අන්තර්ජාලය හරහා එවැනි රන් බිස්කට්වල ඡායාරූප ලබාගෙන එය ගැනුම්කරුවන්ට පෙන්වා ඔවුන්ට අලෙවි කරමින් මොවුන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පොළ, වහුගපිටිය හා හෙල්බොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

මොවුන් මේ ආකාරයට රට පුරා යමින් මුදල් තිබෙන එක් එක් පුද්ගලයන් මිතුරු කරගෙන මෙම ‘රන් බිස්කට්’ ජාවාරමට ඔවුන් හසු කර ගෙන තිබෙන බව පොලිසිය පවසනවා

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකුගේ බිරිඳක් විදේශගතව සිට හොර රහසේ මෙම ‘රන් බිස්කට්’ මෙරටට රැගෙන එන බවයි එහිදී මොවුන් එම ගැනුම්කරුවන්ට පවසා ඇත්තේ.

‘රන් බිස්කට්’ යැයි පවසා පෙන්වා තිබූ ‘රන් පැහැති ලයිටරයක්’ හා විදේශ මුදල් නෝට්ටු කිහිපයක් සමඟ එම භාණ්ඩ එක් සැකකරුවකුගේ ගෙවත්තේ කෙසෙල් පඳුරු අසල අඩි 03 ක් පමණ යට වළක් කපා එහි වළ දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා ෴


‘යුක්තිය’ට ඔත්තු දුන්නොත් පොලිසියෙන් තෑගි

(22.03.2024 – 07:53 +0530 – hirunews.lk/sinhala)

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව පසුගිය 19 වැනිදා බස්නාහිර පළාත සහ ගාල්ල දිස්ත්‍රික්කය මූලික කරගනිමින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

එහිදී එම මෙහෙයුමට රහසිගතව තොරතුරු ලබාදීම සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් ප්‍රකාශ කළ අතර, එයට අමතරව රහස්‍යභාවය රැකෙන පරිදි දිවයිනේ ඕනෑම පොලිසියකට තොරතුරු ලබාදීමටද හැකියාව පවතිනවා.

එලෙස ගිනි අවි සහ සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නන්ට මුදල් ත්‍යාගයන් පිරිනැමීමටයි පොලිස් මූලස්ථානය විසින් තීරණය කර ඇත්තේ.

ඒ අනුව, නිවේදනයන් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ රුපියල් 25,000 සිට රුපියල් ලක්ෂ 05 ක් දක්වා මුදල් ත්‍යාග කාණ්ඩ 08ක් යටතේ පිරිනැමීමට තීරණය කර ඇති බවයි.

එහිදී පිරිනැමෙන ත්‍යාග මුදල් පිළිබඳව විස්තර ඇතුලත් නිවේදනය පහතින් :


සීනෝර් සභාපති ඉල්ලා අස්වෙයි

(22.03.2024 – 09:01 +0530 – hirunews.lk/sinhala)

‘සීනෝර් පදනමේ’ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති අතර, එහි සඳහන් කර ඇත්තේ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගෙන් එල්ලවන තර්ජන හමුවේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන ‘සීමාසහිත සීනෝර් පදනම’ දිගින් දිගමට පාඩු ලබන තත්ත්වයක තිබිය දී තමා සභාපති ධුරය බාරගත් බවත්, අනතුරුව තමන් එය ලාභ ලබන තත්වයකට පත් කළ බවත් සඳහන් කරන ඔහු, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත එම ආයතනයට සේවකයන් විසි දෙනෙකුට (20) අත්තනෝමතික අන්දමින් අලුතෙන් පත්වීම් දුන් බවත් ඔහු විසින් ජනාධිතිවරයාට යවා ඇති ලිපියේ සඳහන්.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා සිය ආසනයේ ඡන්දදායකයන්ට බෙදාදීමට බව කියමින් රුපියල් දස දහසක් (10,000) වටිනා බඩු මලු ඉල්ලා සිටින අතර, අතැම් අවස්ථාවල බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල්ද ඉල්ලා තමන්ට තර්ජනය කරන බවත් ඔහු එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා විසින් බඳවාගත් සේවකයින් වෙත අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන ලෙසටද තමාට බලපෑම් එල්ල කරන බවත් ඔහු එම ලිපියෙන් ජනපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.

රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් චිත්ත පීඩාවකට පත්ව රාජකාරී කටයුතු කර ගැනීමට අපහසුවී ඇති බවත්, එම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඔහු එම ලිපි‍යේ සඳහන් කර තිබෙනවා ෴


විශ්වාසභංගය ජයගත් කථානායකවරයාගෙන් කුමන්ත්‍රණයක් ගැන අනාවරණයක්

(22.03.2024 – 09:52 +0530 – hirunews.lk/sinhala)

අරගල සමයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කර තමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට ඇතමුන් යෝජනා කළ බව කථානායක මහින්දයාපා අබේවර්ධන අනාවරණ කළා.

ඒ, විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ මෙම විශ්වාසභංග යෝජනාව ඊයේ (21) වැඩි ජන්ද 42 කින් පරාජයට පත්වුණා.

ඊට විපක්ෂව ඡන්ද 117ක් ලැබුනු අතර, පක්ෂව හිමිවුයේ ජන්ද 75 ක් පමණයි.

ජන්ද විමසීම අවස්ථාවට මන්ත්‍රිවරුන් 32 දෙනෙකු සහභාගිවී සිටියේ නැහැ.

ජන්ද විමසීම වෙනුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ලද පාර්ලිමේන්තුව වෙත බන්ධනාගාර බස්රථයෙන් රැගෙන ආ අතර ඔහු විශ්වාසභංගයට විරුද්ධව ජන්දය භාවිතා කරනු ලැබුවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වුණා.

ඒ අනුව කෝප් කමිටු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත්වීමෙන් පසු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු එම කමිටුවෙන් ඉල්ලා අස් වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *