14 සහ 12 හැවිරිදි සොහොයුරියන් දෙදෙනෙකුව (2) අපයෝජනය කළ පව්කාරයින් 4 දෙනෙකු අත්අඩංගුවට

14 සහ 12 හැවිරිදි සොහොයුරියන් දෙදෙනෙකුව (2) අපයෝජනය කළ පව්කාරයින් 4 දෙනෙකු අත්අඩංගුවට


14 සහ 12 හැවිරිදි සොහොයුරියන් දෙදෙනෙකුව (2) අපයෝජනය කළ පව්කාරයින් 4 දෙනෙකු අත්අඩංගුවට

(21.03.2024 – 14:45 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම, සිරිසර වත්ත ප්‍රදේශයේ දී පාසල් යන වයසේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු (2) අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔවුන්ගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.

14 හැවිරිදි වැඩිමහල් දියණිය පුද්ගලයින් 4 දෙනෙකු විසින් අවස්ථා කිහිපයක දී අපයෝජනයට ලක්කර ඇති අතර, 12 හැවිරිදි ඇගේ සහෝදරිය තවත් පුද්ගලයෙකු විසින් අපයෝජනයට ලක් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව, සිද්ධියට අදාළව පුද්ගලයින් 5 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති අතර, ඊයේ (20) අත්අඩංගුවට ගත් අවුරුදු 39 ත් 24 ත් අතර වයස්වල පසුවන 4 දෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

+


වැල්ලවාය – තණමල්විල මාර්ගයේ බස් රථයක් පෙරළෙයි

(21.03.2024 – 08:28 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ කුමාරදාස මංසන්ධිය අසලදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබෙනවා.

පාසල් සිසුන් 7 දෙනෙකු ඇතුළු 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ ෴


වියළි කාලගුණය නිම කරමින් අද සිට දින කිහිපයක් වැසි

(21.03.2024 – 09:56 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ දකුණු කොටසේ පවතින වියළි කාලගුණයේ වෙනසක් අද (21) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ සහ උතුරු මැද පළාත්වල මෙලෙස වැසි ඇති විය හැකි බවයි.

ඇතැම් ස්ථානවලට පස්වරුවේ සහ රාත්‍රී කාලවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ වර්ෂාපතනයේ සුලු වැඩිවීමක් අපේක්ෂා කළද එය පවතින අධික උණුසුම් කාලගුණය පහව යෑමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි ෴


අධික උණුසුම් කාලගුණයෙන් ගැබිණී මව්වරුන්ට අවදානමක්

(21.03.2024 – 10:29 +0530 – hirunews.lk/sinhala)

අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළිමහනේ සේවය කරන ගැබිණි මව්වරුන්ට වැඩි අවදානමක් පවතින බව ඉන්දියානු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

එවැනි ගැබිණි මව්වරුන් එම අවදානම හමුවේ සේවය කිරීම තුළ මළ දරු උපත් සහ ගබ්සා වීම් ඇතිවීමේ හැකියාව ඉහළ යනු ඇති බවයි එමගින් අනාවරණ කර ඇත්තේ.

චෙන්නායිහි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය 2017 ආරම්භ කරන ලද මෙම සමීක්ෂණයට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැබිණි කාන්තාවන් 800 ක් පාදක කරගෙන තිබෙනවා ෴


රුපියල් 50 කට පිහි ඇනුමක්

(21.03.2024 – 11:08 +0530 – hirunews.lk/sinhala)

රුපියල් පනහකට (50) බහින් බස්වී පුද්ගලයකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ බව කියන අයකු දකුණු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පලාතොට, ගොඩපරගහහේනේ පදිංචිකරුවෙකුවූ කන්දෙපිල්ලේ යෝගනාදන් නම්වූ අයෙක්.

මෙම සිද්ධියෙන් පසු සැකකාර පාර්ශ්වයේ පිරිස රුපියල් දහදාහක් (10,000) දී සිද්ධිය සමතයකට පත් කර ගැනීමට යෝජනා කර තිබූ බව පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු (20) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

දකුණු කළුතර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴


රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේදී දුම්රියට පැන ගැබිනි ගුරුවරියක් සියදිවි නසාගනී

(21.03.2024 – 11:48 +0530 – hirunews.lk/sinhala)

රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේදී ඊයේ (20 දා) දහවල් නුවර සිට මාතර බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට පැන ගැබිනි ගුරුවරියක් සියදිවි නසාගෙන ඇතැයි රත්ගම පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ බූස්ස කැඳල පදිංචි 34 හැවිරිදි පාසල් ගුරුවරියක්.

පොලිසිය පැවසුවේ ඇය දෙදරු මවක් වන අතර මියයන විට ද ගැබිනියක්ව සිට ඇති බවයි.

පවුල් ආරවුලක් මත මෙසේ දුම්රියට පැන ඇතැයි සැකකරන බවද පොලිසිය පවසනවා.

පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මළසිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා ෴


‘පරාටේ නීතිය’ සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(21.03.2024 – 13:22 +0530 – hirunews.lk/sinhala)

‘බැංකු මගින් ප්‍රදානය කරන ණය අය කර ගැනීමේ පනත’ හෙවත් ‘පරාටේ නීතිය’ සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන නීතිය මෙම පනත මගින් සංශෝධනය කෙරෙනු ඇති.

ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවීමට පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ අතර එහි දැක්වුණේ ගෙවීම් පැහැර හැරෙන ණය මුදල් සම්බන්ධයෙන් ඇප වශයෙන් බැංකුව වෙත උකස් කර ඇති දේපළ වෙන්දේසියේ විකිණීම අදාළ පනත සම්මත වන දිනයේ සිට දෙසැම්බර් 15 වැනිදා දක්වා අත්හිටුවීමටයි.

අද (21) එම පනත් කෙටුම්පත, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ෴


මුඛ පිළිකාවෙන් දිනකට තිදෙනෙකු (3) මිය යයි

(21.03.2024 – 13:36 +0530 – hirunews.lk/sinhala)

මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් තිදෙනෙකු (3) මිය යන බව සෞඛ්‍ය අංශ පවසනවා.

බුලත්, දුම්කොළ මෙන්ම විවිධ නම්වලින් අලෙවි කරන මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බොහෝ තරුණයින් අතර මුඛ පිළිකාව ඉහළ ගොස් ඇති බවයි ‘ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය’ පෙන්වා දෙන්නේ.

මුඛයේ ඇති වන රෝගාබාධ හේතුවෙන් හෘද රෝග හා නිව්මෝනියාව ද ඇති විය හැකි බවටයි වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ

ලෝක මුඛ සෞඛ්‍ය දිනය සෑම වසරකම මාර්තු 20 වැනිදාට යෙදී තිබූ අතර ‘සතුටු මුවයි – සුවැති සිරුරයි’ යන්න මෙවර එහි තේමාවයි.

මේ අතර දෛනිකව මුඛ පිළිකා රෝගීන් 6 දෙනෙක් අලුතින් ලියාපදිංචි වන බවත් දිනකට පුද්ගලයින් තිදෙනෙකු (3) මුඛ පිළිකා හේතුවෙන් මිය යන බවත් මෙහිදී අනාවරණ වුණා ෴


ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමට පියවර

(21.03.2024 – 15:10 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩිවී ඇති බවට හෙළි වී ඇති නිසයි.

මෙලෙස සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට තුළ කුලි නිවාස වෙළෙඳපොල තරගකාරීත්වය නොසිතූ ලෙස වර්ධනය වී තිබෙනවා.

එළැඹෙන සෙනසුරාදා සිට ශිෂ්‍ය සහ උපාධි වීසා සඳහා ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා වැඩි කෙරෙන අතර ජාත්‍යන්තර ශිෂ්‍යයින් සඳහා පහසුකම් සලසන සමාගම් දිගින් දිගටම නීති කැඩුවොත් ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම අත්හිටුවීමේ බලය රජයට ලැබෙන බවයි වාර්තා වෙන්නේ.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද දත්ත පෙන්නුම් කළේ ශුද්ධ සංක්‍රමණ 2023 සැප්තැම්බර් 30 දක්වා වසර තුළ වාර්තාගත ලෙස 548,800 දක්වා 60% කින් ඉහළ ගොස් ඇති අතර එය 2023 ජූනියෙන් අවසන් වන වසරේ පුද්ගලයින් 518,000 ට වඩා වැඩි වී ඇති බවයි.

සමස්තයක් වශයෙන්, ඕස්ට්‍රේලියාවේ ජනගහනය (2.5% – වාර්තාගත වැඩිම වේගය) පසුගිය 2023 සැප්තැම්බර් වනවිට මිලියන 26.8 දක්වා ඉහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


දකුණු පළාතට අලුතින් උපාධිධාරි ගුරුවරුන් 3100 ක්

(21.03.2024 – 15:50 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරි ගුරුවරුන් 3100 ක් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරික්ෂණ අවසන් අදියරේ පවතින බව පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ ප්‍රකාශ කළා.

දකුණු පළාත් සභාව මඟින් මෑතකාලයේ වැඩිම ගුරුවරුන් පිරිසක් එකවර බදවාගනු ලබන පළමු අවස්ථාව මෙය වන අතර, එමඟින් පළාතේ පාසල්වල පවතින ගුරු හිඟය බොහෝදුරට අවසන් වනු ඇති බවයි ආණ්ඩුකාරවරයා පෙන්වා දෙන්නේ.

2021 වර්ෂයෙන් පසු දකුණු පළාත් සභාව මඟින් ගුරුවරුන් බඳවාගෙන නොමැති අතර විද්‍යාව, ගණිතය, සිංහල, බුද්ධාගම, ඉංග්‍රිසි ඇතුළු සියලු‍ම විෂයයන් සඳහා මෙවර උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමට නියමිතයි ෴


යල කන්නයේ වී මිල දී ගන්න මිලියන 7500 ක් වෙන් කරයි

(21.03.2024 – 16:10 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නයේ වී වගාවට අවශ්‍ය කරන පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් රුපියල් මිලියන 7500 ක් වෙන් කර තිබෙනවා.

වී වගා කරන කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 5 කට හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් මුදල් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මෙවර මහ කන්නයේ මුදල් ගිණුම්ගත කිරීමේ දී නිසි පරිදි ගොවි තොරතුරු ලැබී නොතිබු හෙයින් මුදල් යොමු කිරීමේ දී ප්‍රමාදයන් සිදුව තිබුණා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියා සිටියේ මේ වනවිට සමස්ත ගොවි තොරතුරු පද්ධතිය විධිමත්ව යාවත්කාලීන කර ඇති බැවින් කිසිදු ප්‍රමාදයකින් තොරව මුදල් ගොවි ගිණුම්වලටම යොමු කිරීමේ හැකියාව පවතින බවයි ෴


මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම කල්දමන්නැයි මුදල් කාරක සභාවේ නිර්දේශය මහ බැංකුව පිළිගනී

(21.03.2024 – 16:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් සංශෝධන පිළිබඳ රාජ්‍ය මූල්‍ය කමිටු වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව මහ බැංකුව අද COPF වෙත දැනුම් දී තිබෙනවා.

මහ බැංකුවේ ආන්දෝලනාත්මක වැටුප් වැඩිකිරීම පිළිබඳව අනෝන්‍ය විසඳුමක් ලබාගන්නා තුරු වැටුප් වැඩිකිරීම කල් දමන්නැයි මුදල් කාරක සභාව ඊයේ (20) නිර්දේශ කරනු ලැබුවා.

මෙහිදී, මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටලුව පරීක්ෂා කර සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා ස්වාධීන කමිටුවක් කඩිනමින් පත්කරන්නැයි මුදල් කාරක සභාව නිර්දේශ කළ අතර එම කමිටුවේ වාර්තාව සති 04 ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසයි එම කාරක සභාව නිර්දේශ කර ඇත්තේ.

මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂද සිල්වා ඊයේ (20) පාර්ලිමේන්තුවට මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා ෴


21-03-2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *