CIA හෙළිකළ ‘සුදු තිරුවානා’ ජාවාරම

CIA හෙළිකළ ‘සුදු තිරුවානා’ ජාවාරම


CIA හෙළිකළ ‘සුදු තිරුවානා’ ජාවාරම

(17.03.2024 – 22:59 +0530 – hirunews.lk/sinhala)

චීන ජාතිකයන් දෙදෙනෙකුගේ (2) මැදිහත්වීමෙන් ‘සුදු තිරුවානා’ මෙරටින් පිට කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි පවසනවා.

ඒ, රටට රුපියල් කෝටි ගණනක බදු අහිමි කළ මෙම ජාවාරම සම්බන්ධයෙන් ‘හිරු CIA’ ඊයේ (16) අනාවරණ කළ පසුබිමකයි.

මාතලේ ප්‍රදේශයේ නිධියකින් ලබාගන්නා සුදු තිරුවානා චීන ජාතිකයන් දෙදෙනෙකු (2) විසින් ඉතා සූක්ෂ්ම ලෙස මෙරටින් පිටකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ‘හිරු CIA’ ඊයේ (16) රට හමුවේ අනාවරණ කළා.

එම චීන ජාතිකයන් දෙදෙනා (2) නවාතැන්ගෙන සිටින හෝටලයේ වාහන නැවතුම් අංගනයේ තොග පිටින් තිරුවානා පාෂාණ රැස් කර ඇති අයුරුයි මේ.

‘සුදු තිරුවානා නිධිය’ කැනීමට බලපත්‍ර හිමි පුද්ගලයන් ප්‍රකාශ කළේ තමන් කිසිවිටෙකත් චීන ජාතිකයන්ට මෙම සුදු තිරුවානා අලෙවි නොකරන බවයි.

කෙසේවෙතත් ඔවුන්ගේ ලොරි රථයකින්ම අදාළ හෝටල් පරිශ්‍රයට සුදු තිරුවානා ප්‍රවාහනය කරන බව සහ එහි පැමිණෙන චීන ජාතිකයින් දෙදෙනා (2) ඒවා නිරීක්ෂණය කරන ආකාරය මෙම දර්ශනවලින් මනාව තහවුරු වනවා.

සුදු තිරුවානා කැනීම් කරන ස්ථානය හා චීන ජාතිකයන් ඒවා එක්රැස් කළ හෝටල් පරිශ්‍රය ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (16) නිරීක්ෂණය කළා.

අදාළ හෝටලයේ හිමිකරු මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ වෙත මෙලෙස අදහස් පළ කළා.

‘හිරු CIA’ අනාවරණයෙන් පසුව පොලිස් නිලධාරීන් පැමිණ මෙම හෝටල් හිමිකරුගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගෙන තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රංජිත් ප්‍රෙමසිරි පැවසුවේ චීන ජාතිකයන් දෙදෙනෙකු (2) නීති විරෝධීව කරන මෙම ජාවාරම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන බවයි.

එමෙන්ම හෝටල් පරිශ්‍රයේ රැස්කර ඇති සුදු තිරුවානා පිටතට රැගෙන යාම වැළැක්වීම සඳහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා ලිපියක් ද නිකුත් කළ බව ඔහු පැවසුවා.

එමෙන්ම චීන ජාතිකයන් සුදු තිරුවානා ලබාගත් නිධිය සම්බන්ධයෙන් ද හෙට (18) දිනය තුළ විමර්ශනයක් ආරම්භ කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(18.03.2024 – 06:50 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල, බාලගේවත්ත ප්‍රදේශයේදී වලාන දූෂණ මර්ධන ප්‍රහාරක එක්කකයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 01 යි මිලිග්‍රෑම් 03 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එම සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන ජංගම දුරකථන 03 ක්, විවිධ බැංකුවලට අයත් බැංකු ගිණුම් පාස්පොත් 05 ක් හා ඩෙබිට් කාඩ්පත් 04 ක්ද පොලිසිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී පොලිසිය සඳහන් කළේ සැකකරු බන්ධනාගර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවනු ලබන ජාවාරම්කරුවෙකුගේ සමීපතයෙකු බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති බවයි ෴


අග්ගලා විසවී තුනක් රෝහලේ

(18.03.2024 – 07:15 +0530 – hirunews.lk/sinhala)

සවස තේ පානය කිරීම සඳහා වියලන ලද බත් වලින් සකස් කරන ලද අග්ගලා ආහාරයට ගත් මීගහකිවුල, කණුගොල්ල ප්‍රදේශයේ එකම පවුලක තිදෙනෙකු (3) අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව ඊයේ (17) රාත්‍රී රාත්‍රියේ මීගහකිවුල රෝහලට ඇතුලත් කර ඇති බව අප වාර්තාකරු පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අවුරුදු 14, 34 හා 28 යන වයස්වල පසුවන එකම පවුලේ තිදෙනෙක් (3).

සවස තේ පානය කිරීම සඳහා වියලන ලද බත්, පොල්, සීනි ආදිය එක්කොට සකස් කරන ලද අග්ගලා අනුභව කොට තේ පානය කිරීමෙන් පසුව හටගත් අධික වමනය හේතුවෙන් මොවුන් මෙලෙස රෝහල්ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් අධික ලෙස වමනය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කළ පිරිසට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔවුන්ගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


‘කරාතේ උපදේශිකාවක’ගේ මව කුඩුත් එක්ක හසුවෙයි

(18.03.2024 – 07:47 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ පාසල් කිහිපයක කරාතේ උපදේශිකාවකගේ මවක මත්කුඩු සමග රත්ගම වැල්ලබඩදී ඊයේ (17) පස්වරුවේ සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

එහිදී පොලිසිය සඳහන් කළේ මෙම සැකකාරිය මීට පෙරද මත්කුඩු සන්තකයේ තබාගෙන සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වූ අයෙකු බවයි.

සැකකාරිය මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ‘හික්කඩුවේ කුඩු සුරංග’ නමැත්තාගේ භාර්යාව බවත්, ඇයගේ දියණිය දකුණේ පාසල් කිහිපයකම ‘කරාතේ උපදේශිකාවක’ ලෙස කටයුතු කරන බවත් පොලිසිය සඳහන් කළා ෴


රදැල්ලේ නිධන් සෙවූ 06 ක් අත්අඩංගුවට

(18.03.2024 – 08:17 +0530 – hirunews.lk/sinhala)

රදැල්ල රක්ෂිතයේ නිධන් සොයා කැණීම් කල පුද්ගලයින් 06 දෙනෙකු ‘විශේෂ කාර්‍ය බලකාය’ විසින් අත්අඩංගුවට ගනුලැබ තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ ශාස්ත්‍රවෙල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) පානම පොලිස් වසමේ රදැල්ල රක්ෂිත ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී නිධන් සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි වැල්ලව, පොතුවිල්, නිට්ටඹුව, බිබිල, කුරුණෑගල හා පානම ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු එම භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පානම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී වෑන් රථයක්, පුරාවිද්‍යා ලාංඡනය සහිත ලැමිනේටින් කරන ලද පුවරුවක්, ගල් බෝර දැමීමට යොදා ගන්නා කැප් 09 ක්,වෙඩි බෙහෙත් අඩංගු ජෙල් කරල් 03 ක් ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා පොලිසියට භාර දී තිබෙනවා ෴


සීදුවේ දී අනියම් බිරිඳ ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

(18.03.2024 – 10:30 +0530 – hirunews.lk/sinhala)

සීදුව ප්‍රදේශයේ කුලී කාමරක් තුළ දී අනියම් බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ බලන්ගොඩ රෝහලේ දී බවයි සඳහන් වන්නේ.

එම කාන්තාව ඝාතනය කිරීමෙන් පසුව සැකකරු බලංගොඩ ප්‍රදේශයට පලා ගොස් තිබුණා.

සැකකරු ඖෂධ අධි මාත්‍රාවෙන් පානය කර, බලංගොඩ රෝහලට ඇතුළත් කර සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි ෴


රේගු අධිකාරිවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බහලුම් විශාල සංඛ්‍යාවක් සිරවෙයි

(18.03.2024 – 10:33 +0530 – hirunews.lk/sinhala)

රේගු අධිකාරිවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය අද (18) දිනයේත් ක්‍රියාත්මක වීම හේතුවෙන් පරික්ෂණ අංගන තුළ බහාලු‍ම් විශාල සංඛ්‍යාවක් සිරවී ඇති බව බහලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් උත්සව සමයේ ජනතාවට ලැබිය යුතු භාණ්ඩ විශාල සංඛ්‍යවක්ද නිදහස් කරගැනීමට නොහැකි වී ඇති බවයි එහි සභාපති සනත් මංජුල කියා සිටියේ ෴


වඩමාරච්චි මුහුදු වෙරළට අටවෙනි (8) වරටත් වස්තුවක් ගොඩ ගසයි

(18.03.2024 – 10:53 +0530 – hirunews.lk/sinhala)

යාපනය වඩමරච්චි මුහුදු වෙරළට අටවෙනි (8) වතාවටත් හඳුනාගත නොහැකි වස්තුවක් ඊයේ (17) ගොඩ ගසා ඇති බව අප වාර්තාකරු පවසනවා.

වඩමාරච්චි ධීවරයින් විසින් මේ පිළිබඳව ධීවර නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව එම නිලධාරීන් නාවික හමුදාවට හා පොලිසිය දැනුම්වත් කර තිබෙනවා.

මීට පෙර අවස්ථා හතකදීත් (7) වඩමරච්චි මුහුදු වෙරළට විවිධ වස්තු ගොඩ ගැසූ අතර, මෙවර මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු වෙනුවෙන් නිර්මානය කරන ලද යම් නිර්මාණයක් මෙලෙස ගොඩගසා ඇති බවට සැකකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම වස්තුවේ සඳහන් කොට ඇති වැකි හා සටහන් කොට ඇති චිත්‍ර නිසා මෙම නිගමනයට පත්ව ඇති අතර, කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට එළඹී නැහැ.

ඔහු සඳහන් කළේ මුහුදේ පාවී වඩමරච්චි මුහුදු වෙරළට ගොඩ ගැසූ එම වස්තුව ධීවරයින් විසින් වෙරළේ තැනක තැන්පත් කොට ඇති බවයි ෴


ආසියානු සංවර්ධන බැංකුවෙන් USD මිලියන 100 ක ණයක්

(18.03.2024 – 11:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට මූල්‍ය පහසුකම් සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දීමට සහ ආර්ථික අර්බුදය සහ දේශගුණික විපර්යාස වැනි බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව USD මිලියන 100 ක ණයක් අනුමත කර තිබෙනවා.

එහිදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවත්, රටේ දළ දේශීය නිෂ්පාදිතයට 52% ක දායකත්වයක් සපයන අතර ජනගහනයෙන් 45% ක් සේවයේ නිරතවෙන බව ADB ජ්‍යෙෂ්ඨ මූල්‍ය අංශයේ විශේෂඥ මනෝහාරි ගුණවර්ධන සඳහන් කරනවා.

එබැවින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, විශේෂයෙන් කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යවසායන්ට, ආර්ථිකයට අංශයේ දායකත්වය පවත්වා ගැනීමට සහ වර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දීම වැදගත් වන බවත්, මෙම ව්‍යාපෘතිය මඟින් කාරක ප්‍රාග්ධනය ලබා දෙන අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙන බවත් සඳහන් ෴


ගත වූ පැය 24 තුළ වැඩිම උණුසුම රත්නපුරයට

(18.03.2024 – 11:34 +0530 – hirunews.lk/sinhala)

අද (18) පෙරවරු 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එම අගය සෙල්සියස් අංශක 36.3 ක්.

ඊට අමතරව කටුගස්තොටින් සෙල්සියස් අංශක 35.6 ක උෂ්ණත්වයක් වාර්තා වන අතර, අනුරාධපුරයෙන් එය සෙල්සියස් අංශක 35.5 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ගතවූ පැය 24 තුළ කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.03 ක් බවයි සටහන් වී ඇත්තේ ෴


කැනඩාවේ දී ඝාතනය වූ ශ්‍රී ලාංකික පවුලේ අවසන් කටයුතු සිදු කෙරේ

(18.03.2024 – 11:47 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ ඔටාවාහිදී ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් හයදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරුණා.

මෙරට වේලාවෙන් ඊයේ (17) රාත්‍රී 10:30 ට අවමංගල්‍ය උත්සවය ඔටාවාහිදී පැවති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

‘ඉන්ෆිනිටි කන්වෙන්ෂන්’ ශාලාවේ පැවති එම අවස්ථාවට කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ නවරත්න එක්ව සිටි අතර, කැනඩා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ ඔටාවා නගරාධිපතිවරයා ද එක්ව තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධියේදී තුවාල ලැබූ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔටාවාහි පිහිටි හිල්ඩා ජයවර්ධනාරාමය, බෞද්ධ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ මැදිහත්වීමෙන් අවමංගල්‍ය උත්සවය පැවැත්වුණා.

මෙම සංවේදී අවස්ථාවේදී ධනුෂ්ක වික්‍රමසිංහ කැනඩානු රජයට සහ සිද්ධිය වූ දින සිට උදව් උපකාර කළ සියලු‍දෙනාට ස්තූතිය පළ කළා.

“මගේ ආදරණීය බිරිඳ දර්ශනී, මගේ පුංචි සුරංගනාවියන් වන ඉනුක, රියානා, අශ්විනී සහ කේලිට මේවුණ දේ ගැන මම දැඩිලෙස කම්පාවට පත්වෙලා ඉන්නේ. ඒ වගේම මගේ මිත්‍රයෙකු වූ ගාමිණීගේ වියෝව ගැන මම කම්පාවට පත්වෙනවා.”

අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව දේහයන් මිහිදන් කිරීම සඳහා රැගෙන ගියේ පැමිණ සිටි සියලු‍ දෙනාගේ හදවත් කම්පා කරමින්.

මේ අතර, මියගිය දර්ශනී ඒකනායක සහ ඇගේ දරුවන් සිව්දෙනා සිහිකරමින් ඇය මෙරට පදිංචිව සිටි පොල්ගහවෙල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී පුෂ්පාරාම රාජමහා විහාරයේදී විශේෂ පහන් පූජාවක් පැවැත්වුණේ ඇගේ මව, පියා ඇතුළු පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන්.

කැනඩාවේ ඔටාවාහි බාහෙවන් ප්‍රදේශයේ මවක් සහ දරුවන් හතරදෙනා (4) ඇතුළු ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනයට ලක්වුණේ පසුගිය 06 වනදායි.

ඝාතනයට සැකපිට 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *