අනුරාධපුරයේ පාසල් සිසුන්ගෙන් සියයට 28 කට මන්දපෝෂණය

අනුරාධපුරයේ පාසල් සිසුන්ගෙන් සියයට 28 කට මන්දපෝෂණය


අනුරාධපුරයේ පාසල් සිසුන්ගෙන් සියයට 28 කට මන්දපෝෂණය

(17.03.2024 – 20:30 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගෙන් සියයට 28 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

ඒ, මෙරට ගැහැණු ළමුන් හාරලක්ෂ දසදහසක් (4,10,000) පමණ පෝෂණ ඌනතා හේතුවෙන් අඩු බරින් යුක්ත බව බ්‍රිතාන්‍යයේ ද ‘ලැන්සෙට්’ සඟරාව අනාවරණ කළ පසුබිමකයි.

අඩු බර දරුවන් සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කරන පෝෂ්‍යදායී ආහාර ලබාදීමට මව්පියන්ට ආර්ථික ශක්තියක් නොමැති බව අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ අප කළ සොයාබැලීමකදී අනාවරණ වුණා.

රටවල් හා පරිපාලන ඒකක 200 ක සෞඛ්‍ය දත්ත මත පදනම්ව බ්‍රිතාන්‍යයේ ‘ද ලැන්සෙට්’ සඟරාව කළ සමීක්ෂණයකට අනුව මෙරට පාසල් දරු දැරියන් 860,000 ක් පමණ වයසට සාපේක්ෂව අඩු බරින් යුක්ත බව අනාවරණ වුණා.

ඒ අතරින් වයස අවුරුදු 5 ත් 19 ත් අතර පාසල් වයසේ පසුවන ගැහැනු ළමුන් 410,000 ක් පමණ අඩු බරින් යුක්ත වීමට හේතුව පෝෂණ ඌනතා බවයි එහි දැක්වුණේ.

එය එම වයස් කාණ්ඩයේ සමස්ත ගැහැනු දරුවන් අතරින් 16.4% ක ප්‍රතිශතයක්.

ලොව පුරා රටවල් සැලකීමේදී එම ප්‍රතිශතය දෙවැනි වන්නේ ඉන්දියාවට පමණක් බව ද එහි සඳහන්.

‍මෙවැනි පසුබිමක ‘ලංකා ගුරු සංගමයේ’ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගෙන් සියයට 28 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

අනුරාධපුර මහවිලච්චිය ප්‍රදේශයේ මව්පියන් පෙන්වා දෙන්නේ සිය දරුවන් බහුතරයකට නිසි පෝෂණයක් ලබා දීමට තරම් තමන්ට ආර්ථික ශක්තියක් නොමැති බවයි.

දරුවන් වෛද්‍ය සායන සඳහා යොමු කළ ද වෛද්‍යවරුන් නිර්දේශ කරන පෝෂ්‍යදායී ආහාර ලබාදීමට තරම් ආර්ථිකයක් නොමැති වීමත් මෙම මව්පියන් මුහුණ පා ඇති තවත් ගැටලුවක්.

මේ අතර සනීපාරක්ෂක තුවාවල මිල ඉහළ යාම හමුවේ ගම්බද පාසල් දැරියන් අසීරුතාවන්ට මුහුණ පා සිටින බව රජරට දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.

+


කෘෂි ඇමතිගෙන් මුදල් අමාත්‍යාංශයට චෝදනාවක්

(17.03.2024 – 13:55 +0530 – hirunews.lk/sinhala)

රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිසි කලට නොලැබුණු බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර චෝදනා
කරනවා.

‘හිරු ප්‍රවෘත්ති’ සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමේ වැඩසටහන සඳහා ද රජයට සහල් මිලදී ගැනීමට සිදුවන්නේ පෞද්ගලික අංශයෙන් බවයි.

+


දියේ ගිලී සිසුන් දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට

(17.03.2024 – 14:54 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පොල්වත්ත ගඟේ ගිලී සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වසය අවුරුදු 11 ක් සහ වයස අවුරුදු 14 ක දරුවන් දෙදෙනෙක්.

අද (17) දහවල් දියනෑමට ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනා මෙම ඛේදනීය අනතුරට මුහුණ පා තිබෙනවා ෴


ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනේ අයඳුම්පත් භාර ගැනීමේ කාලය දිගු කරයි

(17.03.2024 – 17:47 +0530 – hirunews.lk/sinhala)

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම ලබන මස 01 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට ඉල්ලු‍ම් කිරීමට සුදුසුකම් සපුරා ඇති දරුවන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් අදාළ පරිදි විමසීම් කර අයඳුම්පත පාසලේ විදුහල්පතිතුමා වෙත භාර දීමේ හැකියි.

එසේම පාසල් මඟින් තෝරාදෙනු ලබන සුදුසුකම් ලත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය, අයදුම්පත් සහ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස සිට ඉදිරි මාස 12 ක කාලය පුරා මෙම ශිෂ්‍යාධාර මුදල් ලබාදීමටයි නියමිතව ඇත්තේ.

මෙම වැඩසටහන සදහා ජනාධිපති අරමුදල මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3600 ක් ෴


වියළි කාලගුණ නිසා ප්‍රතිශක්තිකරණ දුර්වලතාවන්ට ලක්වන බවට හෙළිදරව්වක්

(17.03.2024 – 18:37 +0530 – hirunews.lk/sinhala)

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා බොහෝ දෙනා ප්‍රතිශක්තිකරණ දුර්වලතාවන්ට ලක්ව ඇතැයි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය මහාචාර්ය කේ.ආර්. අල්විස් පවසනවා.

මෙම තත්ත්වය නිසා නිතර සිරුර තෙහෙට්ටුවට පත්වීම, ඇඟපත වේදනාව, හිසරදය, සිරුරේ අප්‍රාණික බවක් මතුවිය හැකි බවයි ඔහු පවසන්නේ.

විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වයස අවුරුදු 40 ඉක්මවූවන් මෙම තත්ත්වයට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකි බවද ඔහු සදහන් කරනවා.

වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජලය පිරී පෝෂ්‍යදායී ආහාර වන කැකිරි, පිපිඤ්ඤා, පතෝල, කොළ වර්ග, කැඳ, ඇටවර්ග, කොමඩු, බෙලි, ගස්ලබු, ඇඹුල් කෙසෙල් වැනි ආහාර වැඩිපුර තම ආහාර වේලට එක්කර ගත යුතු බවයි.

කිතුල්පිටි, රුලං, තණහාල්, මුංඇට, සව්, බාර්ලි වැනි පෝෂ්‍ය වර්ගවලින් සකස් කළ කැඳ වර්ග ආහාරයට ගැනීම මඟින් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරගත හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

එසේම දෙහි, දොඩම් ආදියෙන් සකස් කළ බීම වර්ග පානය මඟින් සිරුරට අවශ්‍ය විටමින් ‘සී’ පහසුවෙන් ලබාගත හැකි බවත් එමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වන බවද ඔහු සඳහන් කළා.

ශීත කළ ජලය සහ ශීත කළ පානවර්ග ගැනීම අහිතකර බවත් එමඟින් තාවකාලිකව පිපාසය යටපත් වුව ද ඉන් සිරුරේ ප්‍රතිශක්තිකරණය දුර්වල වන බවත් වෛද්‍ය අල්විස් පෙන්වා දෙනවා ෴


නියෝජ්‍ය පාලකවරයෙකු සහ හිටපු නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට

(17.03.2024 – 18:59 +0530 – hirunews.lk/sinhala)

පාතාල නායකයන් වන ‘නුරේෂ් සුපුන් දයාරත්න’ හෙවත් ‘හීනටියන මහේෂ්’ සහ ‘ෂාන් අරෝෂ් ලියනගේ’ හෙවත් ‘මතුගම ෂාන්’ යන අයට අසත්‍ය තොරතුරු මත විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් ආගමන විගමන නියෝජ්‍ය පාලකවරයෙකු සහ හිටපු නියෝජ්‍ය පාලකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


ඇල්පිටියේ ද්විත්ව (2) ඝාතනය, රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක්

(17.03.2024 – 20:03 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය, පිටිගල, හොරන්ගල්ල ප්‍රදේශයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීම රුපියල් ලක්ෂ 50 ක ඝාතන කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇතැයි පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

එම කොන්ත්‍රාත්තුව භාරගෙන තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරන්දෙණියේ සුද්දා’ නමැත්තා විසින්.

ඇල්පිටිය, පිටිගල, හොරන්ගල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසළදී පසුගිය 11 වැනිදා සිදු කළ වෙඩි තැබීමකින් එම වෙළෙඳසැලට පැමිණ සිටි අවුරුදු 32 ක සහ 26 ක තරුණයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.

එම වෙඩි තැබීම වෙළෙඳසැල් හිමිකරු ඉලක්ක කර එල්ල කර තිබූ නමුත්, ඉලක්කය වැරදීමෙන් එම තරුණයින් දෙදෙනා (2) ඇතුළු තිදෙනෙකුට (3) වෙඩි වැදී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.

ඔවුන්ගෙන් එක් අයෙක් වෙඩි තැබීම සිදුවු දිනයට දින දෙකකට (2) පෙර අදාළ වෙළෙඳසැල සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර වෙඩික්කරුවන්ට ඔත්තු ලබා දුන් අයෙක් බව පොලිසිය පැවසුවා.

ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයෙක් වන අතර, අත්අඩංගුවට පත් අනෙක් සැකකරු මෙම වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව භාරදුන් පුද්ගලයායි.

කොන්ත්‍රාත්තුව භාරදුන් සැකකරුගේ බාල සහෝදරයා 2022 වසරේ සැප්තැම්බර් මස 03 වැනිදා වෙඩි තබා ඝාතනය කර තිබුණා.

පසුගිය 11 වැනිදා වෙඩි තැබීම සිදුවු වෙළෙඳසැලේ හිමිකරුට එම ඝාතනයේ චෝදනාව එල්ල වූ අතර, ඔහු එම ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට මාස දෙකකට (2) පමණ පෙර නිදහස්ව තිබෙනවා.

සිය බාල සහෝදරයා ඝාතනය කළ පළිය ගැනීමේ අරමුණින් ඔහුට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව අත්අඩංගුවට පත් වැඩිමහල් සහෝදරයා විසින් ‘කරන්දෙණියේ සුද්දා’ නමැති සංවිධානාත්මක අපරාධකරුට ලබාදි තිබුණේ රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත බවට ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා (2) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා.

+


බන්ධනාගාරගත කර සිටි තරුණයෙක් අබිරහස් ලෙස මරුට

(17.03.2024 – 21:09 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අවුරුදු 19 ක් වයසැති තරුණයෙක් බන්ධනාගාරය තුළදි මියගොස් තිබෙනවා.

ඔහු පසුගිය 06 වැනිදා කඩුවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර, ඊට පසුදින (07) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ තරුණයා පසුගිය 16 වැනිදා මියගිය බව බන්ධනාගාර නිලධාරීන් විසින් මව්පියන්ට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ බන්ධනාගාරය තුළදී ඇති වූ රෝගි තත්ත්වයකින් පසු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි.

කෙසේවෙතත් මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නැහැ.

+


‘පරාටේ නීතිය අත්හිටුවීමේ තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණයි’ – ව්‍යවසායකයින්

(17.03.2024 – 22:09 +0530 – hirunews.lk/sinhala)

පරාටේ නීතිය අත්හිටුවීමේ තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වීම අසාධාරණ බව ‘ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය’ පවසනවා.

එහි සභාපති ටානියා අබේසුන්දර ප්‍රකාශ කළේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මේ වනවිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වැසී යන තත්ත්වයක් ද උද්ගතව ඇති බවයි.

ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන පරාටේ නීතිය ක්‍රියාත්මක වීම මේ වසරේ දෙසැම්බර් 15 වනදා දක්වා අත්හිටුවීමට පෙබරවාරි මස රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා.

අදාළ පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර පරාටේ නීතිය අත්හිටුවීමේ තීරණයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාම අසාධාරණ බවයි ‘ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදයේ’ සභාපති ටානියා අබේසුන්දර පවසන්නේ.

මේ අතර රේගු නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු‍ කිහිපයක් මුල්කරගනමින් ගෙන ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට වරායෙන් පිටතට පැමිණෙන ආනයනික බහාලු‍ම් සීමා වී ඇති බව බහාලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *