නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට

නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට


නිරූපණ අවස්ථා පෙන්වා තරුණියන් ගෙන්වා ගත් සූපවේදියා අත්අඩංගුවට

(16.03.2024 – 19:27 +0530 – sinhala.adaderana.lk)

නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ලබාදෙන බව පවසා තරුණියන්ට ලිංගික අතරවර කළ සූපවේදියෙකු සීගිරිය ප්‍රදේශයේදී හෝටලයක් තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් වයස අවුරුදු 20 ත් 25 ත් අතර තරුණියන් 30 දෙනෙකුට පමණ අතවර කර ඇති බවට සැක කරන බව විමර්ශන නිලධාරීන් පවසයි.

චීනයේ මෝස්තර නිරූපණය හදාරන ලාංකික තරුණියක් පසුගිය දෙසැම්බර් මාසයේදී කෙටි නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණ තිබුණි.

එහිදී ඇය සිය මවට පවසා ඇත්තේ, තමන් හදාරන පාඨමාලාවෙන් ඉහළට යෑම සඳහා මෙරටදී නිරූපණ ක්ෂේත්‍රයේ නිරතවිය යුතු බවය.

අනතුරුව ඇයගේ මව විසින් ෆේස්බුක් හරහා සිදුකළ සොයාබැලීමේදී ‘නදීෂා බණ්ඩාර’ නම් ගිණුමක් මගින් නිරූපන ක්ෂේත්‍රයේ අවස්ථා ඇති බවට දැන්වීම් පළ කර ඇති අයුරු දැක තිබුණි.

පසුව එම ගිණුම සම්බන්ධ කරගෙන ඇති අතර එහිදී ‘නදීෂා බණ්ඩාර’ නමින් පෙනී සිටි අය පවසා ඇත්තේ, අදාළ තරුණියගේ හැඳුනුම්පතෙහි ඡායා පිටපත් හා පිංතූර කිහිපයක් එවන ලෙසය.

ඒ අතරතුර එම තරුණියගේ නිරුවත් ඡායාරූප විවිධ ඉරියව්වලින් සිට එවන ලෙස අදාළ ගිණුම හිමි පුද්ගලයා විසින් පණිවිඩයක් මගින් පවසා ඇත.

ඡායාරූප යවා ඇති අදාළ තරුණියට පසුව දැනුම්දී ඇත්තේ, ඇයගේ සංවේදීත්වය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුකළ යුතු බවය.

වෛද්‍යවරයා සමග ලිංගික ක්‍රියාකාරකම් සිදුකළ යුතු බවත් දැනුම්දී තිබේ.

පසුව තරුණියක් ලෙස පෙනී සිටි අයෙක් ඇයට පවසා ඇත්තේ කිසිඳු බියක් ඇති කරනොගෙන වෛද්‍යවරයා හමුවන ලෙසය.

ඒ අනුව පළමුව මහලු වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි අයෙක් ඇය සමග පණිවුඩ හුමවාරු කරගෙන අනතුරුව ඔහු විසින් තිස් හැවිරිදි (30) තරුණ වෛද්‍යවරයෙක් වෙත තරුණිය යොමුවිය යුතු බව පවසා තිබේ.

අනතුරුව අදාළ තරුණියට, කඩවත ප්‍රදේශයේ හෝටලයකට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.

එම දැනුම්දීමට අනුව ඇය සිය මව සමග කඩවත ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැක සිතු මව දියණිය ඉන් පිටත තබා අදාළ හෝටලය තුළට ගොස් තිබේ.

එහිදී වෛද්‍යරයා ලෙස පෙනී සිටි පුද්ගලයා බියවී මවට තර්ජනය කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කළහොත් දියණියගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්කරන බවය.

අනතුරුව ඔහු එම හෝටලයෙන් පළාගොස් තිබේ.

ඒ අනුව අදාළ මව සිය දියණිය සමග පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

පසුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ, සැකකරු සීගිරිය ප්‍රදේශයේ හෝටලයක සූපවේදියෙකු බවය.

අනතුරුව විමර්ශන නිලධාරීන් සැකකරුව එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නුවර, රජමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් වෛද්‍යවරයෙකු ලෙස සහ තරුණියන් ලෙස පෙනී සිටිමින් තරුණියන්ට නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ලබාදෙන බව පවසා රවටමින් ලිංගික අතවර කරන බවය.

සැකකරුගේ ජංගම දුරකථන දෙකක් (2) ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන පරික්ෂා කිරීමේදී වයස අවුරුදු 20 ත් 25 ත් අතර තරුණියන් තිස් දෙනෙකු (30) ගේ පමණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන හමුවූ බව විමර්ශන නිලධාරීන් පවසයි.

https://www.youtube.com/watch?v=b7rhewhA91Q#t=5

++++++++

++++++++++++

+


බිරිඳගේ ගෙලට කතුරෙන් පහරදුන් සැමියා පොලීසියට එයි

(16.03.2024 – 11:41 +0530 – sinhala.adaderana.lk)

වත්තල නගරයේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයක සේවය කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මේ වනවිට ප්‍රතිකාර ගනිමින් සිටින බව පොලීසිය පවසයි.

මෙලෙස පහරකෑමට ලක්වී ඇත්තේ 24 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඊයේ (15) උදෑසන මෙම කාන්තාව සේවය කරමින් සිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත පැමිණ ඇති ඇයගේ සැමියා ඇයත් සමඟ අරවුලක් ඇති කරගෙන තිබේ.

පසුව එය දුරදිගයාමත් සමගම එම ස්ථානයේම තිබු කතුරකින් සැකකාර සැමියා ඇයගේ ගෙල ප්‍රදේශයට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

පසුව සැකකරු වත්තල පොලීසිය වෙත ඉදිරිපත්වී ඇති අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ ෴


මත්ද්‍රව්‍ය භාවිත කරන බස් රියදුරන් අත්අඩංගුවට

(16.03.2024 – 15:24 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වේල්ලවීදිය පොලීසිය අද (16) විශේෂ මෙහෙයුමක් සිදුකර තිබුණි.

එහිදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරන පෞද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළ ආශ්‍රිතව මෙම වැටලීම් සිදුකර ඇත.

මෙහිදී මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ ජංගම දුරකථනයට ගැණුම්කරුවන් විශාල පිරිසකගෙන් ඇමතුම් ලැබුණු බව වේල්ලවීදිය පොලිසිය පවසයි.

එම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් අනුව පොලීසිය විසින් අදාළ පුද්ගලයන්ව හඳුනාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් අදාළ මත්ද්‍රව්‍ය අලෙවිකරු සමග ගොස් බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගත් බවය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින රියදුරුන් හා කොන්දොස්තරවරුන් දිනකට රුපියල් 1,200 සිට රුපියල් 2,400 දක්වා මුදල්වලට මෙම මත්ද්‍රව්‍ය රැගෙන පාවිච්චි කිරීමට පුරුදුවී සිටින බවද මෙහිදී හෙළිවී තිබේ.

++++++++++

+


පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම්

(16.03.2024 – 16:58 +0530 – sinhala.adaderana.lk)

අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කර තිබේ.

රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනා (2) වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සමන් කොල්ලා’ යන අයගේ නිවසට පසුගියදා වෙඩි ප්‍රහාරයක් එල්ලවු අතර ඒ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පණිවුඩය පිළිබඳව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් නොකිරීම මෙම වැඩතහනමට හේතුවී තිබේ.

මෙලෙස වැඩ තහනමට ලක්වී ඇත්තේ එම අවස්ථාවේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ දුරකථන ක්‍රියාකරු සහ පරිගණක ක්‍රියාකරු ලෙස සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා (2) ය.

අදාළ නිලධාරීන් දෙදෙනා (2) සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකය ෴


බෝඩිං කාමරයේදී දෙදරු මව ඝාතනයේ සැකකරු රෝහලේ

(16.03.2024 – 21:25 +0530 – sinhala.adaderana.lk)

සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මව ඝාතනයේ සැකකරු වේදනානාශකයක් අධි මාත්‍රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (16) රෝහල්ගත කෙරුණි.

රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ව ඝාතනය කර තිබුණේ, පෙරේදා (14) රාත්‍රියේදීය.

ඇය අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන දිලිනි සසිකලා ප්‍රියභාෂිනී නම් කාන්තාවකි.

පොලීසිය සැක කරන්නේ, මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි තරුණයෙකු විසින් බවය.

එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.

ඝාතන සිද්ධියෙන් පසු බෝඩිං කාමරයට ගිය පොලිසියට නිරීක්ෂණය වී තිබුණේ, තොණ්ඩුවක් ද එම කාමරය තුළ සකසා තිබූ ආකාරයකි.

ඝාතනයෙන් පසු සැකකරු ද සිය දිවි නසාගැනීමේ සූදානමක් තිබෙන්නට ඇති බව පොලීසිය සැකපළකරයි.

ඝාතනය සිදුවූ 13 වැනිදා රාත්‍රියේ මෙම කාමරයේ සිටි සැකකරු ඉන් පිටව ගොස් ඇත්තේ පසුදින උදෑසන බවට බෝඩිං කාමරයේ හිමිකරු දැක තිබුණි.

එම ඝාතනයෙන් පසු සැකකරු සම්පූර්ණ සිද්ධිය සිය මිතුරෙකුට දුරකතනය ඔස්සේ පාපොච්චාරණය කර ඇති බව පොලීසිය පැවසීය ෴


බස්‍ රථ රියැදුරෙකුට හමුදා නිලධාරීන්ගෙන් පහරදීමක් – රෑ කෝල් කරලා ඇහුවා ‘පාර්සලය කෝ’ කියලා (16.03.2024)

+


කන කෑම වලට කොහොමද මෙහෙම කරන්නේ – මේකේ මකුළු දැල් බැඳලා ලිෆ්ට් එකක් වගේ (16.03.2024)

+


හිස් කළ රජරට වැව් – නිධන් ගන්න මේවා කරනවද දන්නෙත් නෑ – අපිට බොන්නවත් වතුර නෑ (16.03.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *