රේගු වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බහලු‍ම් රථ හිරවේ

රේගු වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බහලු‍ම් රථ හිරවේ


රේගු වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් බහලු‍ම් රථ හිරවේ

(16.03.2024 – 16:30 +0530 – hirunews.lk/sinhala)

රේගු අධිකාරිවරුන් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පරික්ෂණ අංගන තුළ බහාලු‍ම් රථ විශාල ප්‍රමාණයක් සිරවී ඇති බව බහලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සනත් මංජුල කියා සිටියේ රේගු අධිකාරවරුන් ඊයේ (15) සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි ෴


මහ බැංකු නිලධාරීන් වැටුප් වැඩිකරගැනීමේ වාර්තාව ලබන බදාදා (20) පාර්ලිමේන්තුවට

(16.03.2024 – 16:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් 70% කින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව ලබන බදාදා (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම කාරක සභාවේ ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ ඒ අනුව පාර්ලිමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.

මහ බැංකුවේ ප්‍රධානීන් එම කමිටුවට කැඳවා පසුගිය 05 වනදා ප්‍රශ්න කරනු ලැබුවා.

පසුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමේ ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව මහ බැංකුවේ පහළම සේවකයාගේ වැටුප් සඳහන් කර තිබුණේ රුපියල් 188,827 ක් ලෙසයි ෴


ආණමඩුවේ දැරියක් ළිඳකට වැටී මිය යයි

(16.03.2024 – 16:34 +0530 – hirunews.lk/sinhala)

ආණමඩුව – මදුරන්කුළිය – විරුතෝඩේ ප්‍රදේශයේ වයස අවුරුදු 6 දැරියක් ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ දැරිය නිවසේ නොසිටීම පිළිබඳ සොයා බලා ඇති අතර, පසුව නිවස පිටුපස ඇති ළිඳෙහි ඇයගේ පාවහන් යුවල පාවෙමින් තිබෙනු දැක තිබෙනවා.

පසුව ළිඳට වැටී සිටි දැරියව ගොඩට ගෙන රෝහල්ගත කර ඇතත් ඒ වන විටත් අදාළ දැරිය මිය ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ ෴


මිරිස්ස වෙරළේ ගැටුමකින් සංචාරක හෝටල් හිමියෙකු මරුට

(16.03.2024 – 17:15 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – මිරිස්ස වෙරළ තිරයෙදී තියුණු ආයුධයකින් පහරදී සංචාරක හෝටල් හිමියෙකු ඝාතනය කර තිබෙනවා.

අද (16) පෙරවරුවේ මෙලෙස ඝාතනය කර ඇත්තේ මිරිස්ස – පරගල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ‘සෙල්ලා හැන්නදිගේ සුරංග’ හෙවත් ‘බාල සුරංග’ නැමැති පුද්ගලයෙක්.

වෙරළ ආසන්නයේ පිහිටි ගසක් කැපීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන්, තවත් හෝටල් හිමියෙකු මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊට පෙර ඝාතනය සිදු කළ හෝටල් හිමියාගේ බිරිඳ, දරුවන් හා ඥාතීන් විසින් මියගිය පුද්ගලයාට පහරදී ඇති අතර පසුව ‘චන්ඩි’ නැමැති ප්‍රධාන සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


අනවසර පතලක් වැටලීමට ගිය අවස්ථාවේදී තරුණයෙකු ගඟට පනී

(16.03.2024 – 17:39 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර සමන් දේවාලය අසල කලු‍ ගඟේ පිහිටි අනවසර පතල් කැනීමේ ස්ථානයක් පොලිසිය වැටලීමට ගිය අවස්ථාවේ එහි සිටි තරුණයෙකු පොලිසියෙන් මිදීම සදහා කලු‍ ගඟට පැන තිබෙනවා.

22 හැවිරිදි මොහු රත්නපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

තරුණයා සොයා එම ස්ථානයේ සිටි සේවකයන්, ප්‍රදේශවාසින් සහ පොලිසිය මෙහෙයුම් සිදු කරමින් සිටින බව රත්නපුර පොලිසිය ප්‍රකාශ කළා ෴


මධ්‍යම පළාතේ ගුරු හිඟයට විසඳුමක්

(16.03.2024 – 17:42 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පළාතේ ඇතැම් කලාපවල සිංහල මාධ්‍ය පාසල්වල පවතින උග්‍ර ගුරු හිගයට පිළියමක් ලෙස විශ්‍රාමික ගුරුවරුන් හා රජයේ විශ්වවිද්‍යාලවල රැකියා විරහිත උපාධිධාරීන් තාවකාලික පදනම මත බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා නිර්දේශ කරන යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින විශ්‍රාමික ගුරුවරුන්ට හා රැකියා විරහිත උපාධිධාරීන් හෙට (17) පෙරවරුවේ නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පැමිණෙන ලෙසයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී.එල්. අබේරත්න මධ්‍යම පළාතේ විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව තාවකාලික පදනම මත අදාළ බඳවා ගැනීම් සිදු කෙරෙන බවද දැනුම් දී තිබෙනවා ෴


ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු හෙට (17)

(16.03.2024 – 18:41 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ, ඔටාවා හි ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සවය හෙට (17) පස්වරු 01 ට ඔටාවා ග්‍රිබ්ෆෝඩ් ඩ්‍රයිව් හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

කැනඩාවේ බෞද්ධ සම්මේලනය (BCC) සහ ස්වේච්ඡා සේවකයන්ගේ සංවිධායක කමිටුව විසින් පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රවෘත්ති නිවේදනයක් මඟින් මෙම අවමංගල්‍ය උත්සවය නිවේදනය කරනු ලැබුවා.

එමෙන්ම කැනඩාවේ බෞද්ධ සම්මේලනය සඳහන් කරන්නේ මෙම ඝාතනය සිදුවූ පවුලේ ජීවත්ව සිටින පියා වෙන ධනුෂ්ක වික්‍රමසිංහ ශාරීරිකව සුවය ලබමින් සිටියත් මානසිකව බරපතල බිඳවැටීමක සිටින බවයි.

එමෙන්ම අවසන් කටයුතු සඳහා සිද්ධියෙන් තුවාල ලබා සිටින ඔහුද සහභාගීවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව මෙම සිදුවීමෙන් අවාසනාවන්ත ලෙස මියගිය 07 හැවිරිදි ඉනූක වික්‍රමසිංහ, 04 හැවිරිදි අශ්විනී වික්‍රමසිංහ, 02 හැවිරිදි රින්යානා වික්‍රමසිංහ, මාස 02 ක් වයසැති කෙලී වික්‍රමසිංහ, 35 හැවිරිදි දර්ශනී බණ්ඩාරනායක යන මව ඇතුළු දූ දරුවන්ගේද, එම නිවසේ විසූ ගාමිණී අමරකෝන් නම් 40 හැවිරිදි පුද්ගලයාගේද අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.


පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම නවත්වයි

(16.03.2024 – 18:56 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සැළකිල්ලට ගනිමින් පාසල් ක්‍රීඩා උළෙලවල් පැවැත්වීම තාවකාලිකව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

6 Revisions

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් මේ වනවිටත් සියළුම පාසල් විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි.

එහිදී සිංහල හා හින්දු අළුත් අවුරුද්දෙන් පසුව එම උත්සව පවත්වන ලෙස තමා අදාල බලධාරීන්ට දැනුම්දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

+


චීන ජාතිකයින් ජයටම සිදුකරන ‘සුදු තිරුවානා’ ජාවාරමක් ගැන හිරු CIA අනාවරණයක්

(16.03.2024 – 22:49 +0530 – hirunews.lk/sinhala)

මාතලේ ප්‍රදේශයේ පවතින මෙරට සතු මිලෙන් අධික ‘සුදු තිරුවානා’ ඛණිජ විශේෂය හොර රහසේ මෙරටින් පිට කිරීමේ මහා පරිමාණ ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මක වනවා.

චීන ජාතිකයන් දෙදෙනෙකුගේ (2) මැදිහත්වීම මත රටට ලැබිය යුතු රුපියල් කෝටි ගණනක බදු මුදල් අහිමි කරන එම මහා පරිමාණ ජාවාරම පිළිබඳව ‘හිරු CIA’ කරුණු රැසක් අනාවරණය කරගත්තා.

මාතලේ – කවුඩුපැලැල්ල ප්‍රදේශයේ පවතින අතිවිශාල විදේශීය වෙළෙඳපොළ ඉල්ලුමක් සහිත අධික වටිනාකමකින් යුතු ‘සුදු තිරුවානා’ හා ‘පෙල්ස්පාර්’ නමින් හැඳින්වෙන ඛනිජ කැණීම් කරන ස්ථානයක්.

‘පෙල්ස්පාර්’ නමැති ඛනිජ විශේෂය ටයිල් නිෂ්පාදනයට යොදා ගැනෙන අතර සුදු තිරුවානා මෝටර් රථවල වින්ඩ්ස්ක්‍රීන්, සුර්ය පැනල මෙන්ම මිල අධික පිළිම වර්ග, චූඩා මාණික්‍ය, විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයට භාවිත කෙරෙනවා.

මෙම කැණීම් ස්ථානයෙන් ලබා ගන්නා ‘සුදු තිරුවානා’ හොර රහසේ චීන ජාතිකයන් දෙදෙනෙකුට (2) අලෙවි කරන බවත් ඔවුන් ඒවා හොර රහසින් මෙරටින් පිටකරන බවටත් ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු හෙළිවුණා.

ඒ අනුව අප කළ සොයාබැලීමේදී හෙළිවූයේ එම චීන ජාතිකයන් දෙදෙනා (2) මාතලේ ප්‍රදේශයේ හෝටලයක දිගු කලක සිට නවාතැන් ගෙන සිටිමින් මෙම ජාවාරමේ නිරත වන බවයි.

නීත්‍යනුකූලව මෙම ව්‍යාපාරය කරන්නේ නම් ශ්‍රී ලංකා රජයට රාජ්‍ය භාගය ගෙවමින් බදු මුදල්වලට යටත්ව අදාළ ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු හෙයින් චීන ජාතිකයන් තමන් නවාතැන් ගෙන සිටින හෝටලය තුළම සුදු තිරුවානා තොග රැස් කරමින් නීති විරෝධීව මෙරටින් පිටකරන බවටයි තොරතුරු අනාවරණ වුණේ.

මෙම ජාවාරම සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැටලීම් අංශයේ නිලධාරීන් අදාළ හෝටලයට පැමිණ අද (16) නිරීක්ෂණයක් සිදු කළ අතර එම අවස්ථාවේදී චීන ජාතිකයන් දෙදෙනා (2) හෝටල් සංකීර්ණය තුළ සිටියේ නැහැ.

පසුව සුදු තිරුවානා කැණීම් කරන ස්ථානය ද භූ විද්‍යා නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා.

කෙසේ වෙතත්, කැණීම් ස්ථානය පවත්වා ගෙන යන පුද්ගලයන් ප්‍රකාශ කළේ තමන් කිසිවිටෙකත් චීන ජාතිකයන්ට සුදු තිරුවානා විකිණීමක් නොකරන බවයි.

කෙසේවෙතත් මොවුන් මෙලෙස පැවසුවද සුදු තිරුවානා චීන ජාතිකයන්ට විකිණීමේ ජාවාරමට මොවුන් සෘජුව සම්බන්ධ බවට සාක්ෂි සහිතව දර්ශන පවතින අතර, කැණීම් බලපත්‍රය හිමි පුද්ගලයන් සතු ලොරි රථයක් චීන ජාතිකයන් නවාතැන් ගන්නා හෝටලයට සුදු තිරුවානා ප්‍රවාහනය කරන අයුරු කැමරාවල පටිගත වී තිබෙනවා.

මෙරටට ලැබිය යුතු රුපියල් කෝටි ගණනක බදු ආදායම් අහිමි කරමින් සිදු කරගෙන යන මෙම මහා පරිමාණ සුදු තිරුවානා ජාවාරමට එරෙහිව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වැටලීම් නිලධාරීන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ ද?

මේ පිළිබඳවත් ඉදිරියේදී රට හමුවේ තොරතුරු හෙළි කිරීමට ‘හිරු සී.අයි.ඒ.’ සුදානමින්.

+


‘දෙරණෙන්’ බිහිවූ ජනප්‍රිය තරුව ‘රවී රොයිස්ටර්’ගේ ගීතයක් ඉන්දීය සිනමාවට

(16.03.2024 – 19:47 +0530 – sinhala.adaderana.lk)

‘දෙරණෙන්’ බිහිවූ ජනප්‍රිය තරුවක් පසුගියදා මෙරට නාමය ජාත්‍යන්තර වේදිකාවට ගෙනයාමට සමත් විය.

ඒ, ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ සීසන් 8 අදියරට සහභාගී වී ඉන් අතිශය ජනප්‍රියත්වයක් ලැබූ ගායක ‘රවී රොයිස්ටර්’ගේ ගීතයක් ඉන්දියාවේ සිනමාපටයක් සඳහා තෝරා ගැනීමත් සමගය.

‘Passa’ ගීතය ඇසෙද්දීම ඔබට මතක් වෙන්නේ නව පරපුරේ ජනප්‍රිය ගායකයින් වන රවී රොයිස්ටර් සහ දිමිත්‍රී ය.

Youtube අවකාශයේ මෙම ගීතය නැරඹුම්වාර සංඛ්‍යාව ලක්ෂ 90 කට අධික සංඛ්‍යාවකට උරුමකම් කියයි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රිය වූ එම ගීතය මේ වනවිට ඉන්දියාවේත් ජනප්‍රිය වෙමින් තිබේ.

ඒ, ඉන්දියානු ජනප්‍රිය නළු විජේ ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය වන ‘Romeo’ චිත්‍රපටයේ එක් ගීතයක් ලෙසට මෙම ගීතය තෝරා ගැනීමත් එක්ක.

ලොව සුප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන Think Music India සමග එක්ව රවී රොයිස්ටර්ගේ මෙම ගීතය දමිළ භාෂාවෙන් ‘Vethala’ යන නමින් පසුගියදා එළිදැක්විය.

විශේෂත්වය වන්නේ එම ගීතයේ පද රචනය ජනප්‍රිය නළු ‘විජේ ඇන්තනී’ විසින් සිදුකරද්දී එය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට ‘රවී රොයිස්ටර්’ටම අවස්ථා ලැබීමය.

‘Vethala’ ගීතය Youtube අවකාශයට මුදාහැර දින 2 ක් තුළ එය නැරඹුම්වාර මිලියන 2 කේ සීමාව පසු කළේය.

‘රවී රොයිස්ටර්’ ජනප්‍රියත්වයට පත්වුණේ ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 8’ තරගයට සහභාගී වීමත් සමගිනි.

එම අදියරේදී අවසන් තරගකරුවන් 5 දෙනා අතරට තේරී පත්වන්නට ‘රවී රොයිස්ටර්’ට අවස්ථාව උදාවුණි.

ඉන් පසු ‘හමාර බණවර’ නම් ගීතය ඇතුළු තවත් ගීත රැසකින් ජනතාව අතරට යෑමට රවීට හැකිවූයේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක් බවට පත්වෙමිනි.

එමෙන්ම ‘ටී.වී. දෙරණේ’ විකාශය වන ටෙලිනාට්‍ය ගීත සඳහා ද රවී සිය හඬ දායකත්වය ලබාදුනි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *