ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙකුට (2) ලංකාවෙන් පිටවීම තහනම්

ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙකුට (2) ලංකාවෙන් පිටවීම තහනම්


ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙකුට (2) ලංකාවෙන් පිටවීම තහනම්

(16.03.2024 – 06:58 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට (2) රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024’ තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ‘ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය’ ඉදිරිපත් කළ පැමිණිලි සලකා බලා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්දීය කළමනාකරුවන් ලෙස කටයුතු කරන ‘යෝනී පටෙල්’ සහ ඔහුගේ සහායකයෙකු වන ‘පැචලෝඩියා ආකාශ්’ යන පුද්ගලයින් දෙදෙනාට (2) මෙම තහනම පනවා ඇති අතර එය මාසයක් (1) බල පැවැත් වෙනවා.

‘ලෙජන්ට් ක්‍රිකට් කුසලාන 2024’ තරගාවලියේදී ක්‍රිකට් කණ්ඩායම හතක් (7) තරග වදින අතර ලබන 19 දින අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.

‘පංජාබ් රෝයල්’ සහ ‘කෑන්ඩි වොරියර්ස්’ කණ්ඩායම් දෙකෙහි (2) ක්‍රීඩකයින් සඳහා ඔවුන් මෙසේ බලපෑම් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

කළමනාකරුවන් දෙදෙනා (2) ක්‍රීඩකයාව සිය කාමරය වෙත කැඳවා කාමරය විවෘත නොකරම තනි ඉලක්කමේ ලකුණකට ඉලක්කම් දෙකක පන්දුවකදී දැවීයන ලෙසට දැනුම් දී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකයට සහ තරගාවලියේ සංවිධායකයින්ට පැමිණිලි ලැබී ඇති අතර මෙම තරග පාවාදීම්වලට සම්බන්ධව තවත් පුද්ගලයින් සිටී ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවයි ක්‍රීඩා වැරදි වැළකීමේ විශේෂ ඒකකය සඳහන් කරන්නේ.

+


කොළඹ, ගම්පහ ඇතුලු දිස්ත්‍රික්ක රැසකට අදත් (16) දැඩි උණුසුමක්

(16.03.2024 – 08:30 +0530 – hirunews.lk/sinhala)

අද (16) දිනයේත් වයඹ, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල මෙන්ම කොළඹ, ගම්පහ, මොණරාගල, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර පවතින වියළි කාලගුණ තත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම පානීය ජල ගැටලුවක් ඇති ප්‍රදේශවල ජනතාවට 117 දුරකථන අංකය ඔස්සේ ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට දැනුම්දිය හැකියි.

කෑගල්ල සහ කුරුණෑගල පවුල් තුන්දහසකට (3000) දැනටමත් පානීය ජල ගැටලු ඇති බවට වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.

වියළි කාළගුණයත් සමග ජල පරිභෝජනය සියයට 15 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි අනෝජා කලු‍ආරචිචි කියා සිටියේ, මේ වනවිට ජල සම්පාදන ක්‍රම 06 කින් ජලය නිකුත් කරනු ලබන්නේ මුරක්‍රමයට බවයි ෴


ලිට්‍රෝ ගන්න ආයෝජකයන් 14 ක්

(16.03.2024 – 08:38 +0530 – hirunews.lk/sinhala)

‘ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්’ සහ ‘ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ප්‍රයිවට් ලිමිටඩ්’ යන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් අභිලාෂ කැඳවීම ඊයේ (15) පස්වරුවේ 2 න් අවසන් වුණා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේ ආයෝජකයින් 14 දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව ‘ලාෆ් ලංකා සමාගම’ මෙන්ම සිංගප්පූරුව, ඉන්දියාව, මලයාසියාව ඇතුළු රටවල් කිහිපයක සමාගම් විසින් මෙම අභිලාෂ ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ ෴


2026 ඉඳන් සාමාන්‍ය පෙළ වෙනස් වෙයි

(16.03.2024 – 09:11 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට (7) සීමා වන අතර A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීම සම්පූර්ණයෙන්ම අහෝසි වන අතර, සාමාන්‍ය පෙළ විභාගයෙන් කිසිදු සිසුවෙකු අසමත් නොවන ක්‍රමයකට එනම් GPA හෙවත් Grade Point Average නම් කාර්ය සාධක ලකුණක් ලබාදීමට කටයුතු කරන බවට වාර්තා වෙනවා.

මේ අනුව 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය, විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා ඉතිහාසය යන විෂයන් සඳහා පමණි.

මීට අමතරව තමන් කැමැති තවත් විෂයන් තුනක් (3) සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පවත්වන්නේ 350 ක් වූ පාසල් ඇගැයීම් හා අධ්‍යාපන මණ්ඩල හරහායි.

2025 වසරේ සිට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර 2026 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම නව වෙනස්කම් ඇතුළත් වන අතර විභාග දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට A, B, C යනුවෙන් සම්මාන කුසලතා සාමාර්ථ ලබා නොදෙන අතර GPA හෙවත් යම් කාර්ය සාධක පරිමාවකට යටත්ව උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව උදා වනු ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ක්‍රමවේදයට අනුව කිසිදු සිසුවෙකු සාමාන්‍ය පෙළ විභාගය අසමත් නොවන අතර සෑම සිසුවෙකුම යම් ලකුණු පරාසයකට ඇතුළත්ව සමත් වනු ඇති.

ඒ අනුව 2027 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් දැනට පවත්නා කලා, විද්‍යා, ගණිත, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා 6 ට අමතරව ‘අධ්‍යාපන’ නමින් නවතම විෂය ධාරාවක් එකතු කෙරේ.

එහිදී අඩු කාර්ය සාධන පරිමාවකට ඇතුළත් වන සියලු සිසුන් සඳහා වෘත්තීය පාඨමාලා ද අලුතින් එක් කිරීමට නියමිතයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර පැවැසුවේ මෙමඟින් වර්ෂයකට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසුන්ට උසස් පෙළ හැදෑරීමට හැකි වන බවයි ෴


දේශපාලකයෙක් පාසල් සිසුවෙකුට පහර දෙයි

(16.03.2024 – 12:53 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයකු විසින් සිසුවෙකුට පහර දී තිබෙනවා.

එම සිසුවාගේ මව සඳහන් කරන්නේ තම පුත්‍රයාට පහරදී දින පහක් (5) රෝහල් ගත කර සිටි නමුත් පල්ලෙවෙල පොලිසිය විසින් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

පසුගිය 11 වැනිදා පාසල නිමවී නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම සිසුවාට පහරදී ඇති බවයි ඔහුගේ මව සඳහන් කරන්නේ.

මේ පිළිබඳව පල්ලෙවෙල පොලිසියෙන් අප සිදු කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ පාසලේ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 16 ක් වූ මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අදාළ සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ සංවර්ධන නිලධාරිනියකට ද ඉන්ධන පිරවුම්හලකදී පහර දීමක් සම්බන්ධව ද පල්ලෙවෙල පොලිසිය විසින් එවකට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


දෙමළ ජනතාව වෙනුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්

(16.03.2024 – 13:21 +0530 – hirunews.lk/sinhala)

උතුර සහ නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ‘107’ ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ජනපතිගේ උපදෙස් පරිදි මෙම ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අද (16) වවුනියාවේදී මෙය හඳුන්වා දී ඇති බවද සඳහන්.

+


එළැඹෙන යල කන්නයේ හෙක්ටයාර් 500 ක ‘කීරි සම්බා’ වගා ව්‍යාපෘතියක්

(16.03.2024 – 14:44 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන යල කන්නයේ දී හෙක්ටයාර් 500 ක ‘කීරි සම්බා’ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ගොවි භාරකාර අරමුදල ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ඇති.

දැනට කීරි සම්බා වගා නොකරන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා ඊයේ (15) එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබාදී ඇත්තේ.

හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කවල මෙන්ම උඩවලව කළාපයේ තෝරාගන්නා කුඹුරු හෙක්ටයාර් 500 ක කීරි සම්බා වගා කිරීම මේ යටතේ සිදු කෙරෙනවා ෴


භික්ෂු උපදේශක සභාව විපක්ෂ නායකවරයාගේ සහභාගීත්වයෙන් කළුතරදී

(16.03.2024 – 15:09 +0530 – hirunews.lk/sinhala)

නූතනයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

‘සක්වල’ 124 වැනි වැඩසටහන යටතේ කඩුවෙල ශ්‍රී සෝමානන්ද මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

නූතනවාදී අධ්‍යාපන ක්‍රමයක් තිබේනම් උපාධිධාරින්ගේ රැකියා පෝලිමක් ඇති නොවන ද ඔහු සඳහන් කළා.

මේ අතර වසර අවසානයට පෙර සිසුන්ට සුහුරු උපකරණ ලබාදිය යුතුව ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර විනයගරුක සමාජයක් උදෙසා යන්න තේමා කරගනිමින් භික්ෂු උපදේශක සභාවේ තවත් අදියරක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (16) කලුතරදී පැවැත්වුණා.

+


විදුලි ඉංජිනේරුවන් 159 ක් රට හැර යයි

(16.03.2024 – 15:16 +0530 – hirunews.lk/sinhala)

2022 වසරේ සිට මේ දක්වා විදුලි ඉංජිනේරුවරු 159 දෙනෙකු රට හැර ගොස් ඇති බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රම කියා සිටියේ ඉන් 104 දෙනෙකු සේවයෙන් ඉවත්ව මෙලෙස විදෙස්ගතවී ඇති බවයි.

මේ අතර සාමාන්‍ය නිවසකට නව සමබන්ධතාවයක් ලබා ගැනීමේදී ලංකා විදුලිබල මණ්ඩලය, විදුලි පෞද්ගලික සමාගමට වඩා රුපියල් 4,000 කට වැඩි මුදලක් අය කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+


ඔන්ලයින් ප්‍රවේශපත් ගැටලුව කඩිනමින් විසඳන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි

(16.03.2024 – 15:39 +0530 – hirunews.lk/sinhala)

දුර ගමන් සේවා දුම්රියවල ආසන වෙන් කිරීම සඳහා හඳුන්වාදුන් මාර්ගගත ක්‍රමවේදයේ තාක්ෂණික ගැටළු පවතින්නේ නම් ඉදිරි දින කිහිපයේ එම ගැටලු මගහරවාගෙන අදාළ ක්‍රමවේදය ඉදිරියට පවත්වාගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඇතැම් දුම්රිය මගීන් පෙන්වා දුන්නේ එම ක්‍රමවේදයේ ගැටළු පවතින බවයි.

දුම්රිය ප්‍රවේශපත්‍ර ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස මාර්ගගත ප්‍රවේශපත්‍ර ක්‍රමය හා මාර්ගගත ආසන වෙන්කිරීමේ ක්‍රමය පසුගියදා පළමු වරට හඳුන්වා දුන්නා.

ඒ අනුව එලෙස ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ආසන වෙන් කරගත් මගීන්ට ටිකට්පත් වෙන්වී තිබුණද දුම්රිය ස්ථානයට පැමිණි පසු ඇතැම් මගීන්ට දැනගැනීමට ලැබී ඇත්තේ තමන්ට ආසන වෙන්වී නොමැති බවටයි.

ඒ අනුව මගීන් කිහිපදෙනෙකු ඊයේ (15) කොටුව දුම්රිය ස්ථානයට පැමිණීමත් සමග ප්‍රවේශපත්‍ර වෙන් කරන කාර්යාලයේ යම් තදබදයක්ද හටගෙන තිබුණා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ දුම්රිය නියොජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජී. ඉඳිපොලගේ ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයේ මතුවිය හැකි තාක්ෂණික ගැටලු මග හරවාගෙන එම ක්‍රමවේදය ඉදිරියට පවත්වාගෙන යන බවයි.

මෙම ක්‍රමවේදය දිවයිනේ පළමු වරට ක්‍රියාත්මක කළ වැඩසටහනක් බැවින් එහි තාක්ෂණික ගැටලු මතුවිය හැකි බවද ඔහු අවධාරණය කළා.

කෙසේ වෙතත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ආසන වෙන් කළ පසු යළි දුම්රිය ස්ථාන වෙත පැමිණීම අවශ්‍ය නොවන බවයි ෴


සංවර්ධනයට අවශ්‍ය නම් රාජ්‍ය ආයතන සතු භාවිතයට නොගන්නා ඉඩම් යොදාගත හැකි බව ජනපති කියයි

(16.03.2024 – 16:11 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධන හෝ වෙනත් කටයුතු සඳහා ඉඩම් අවශ්‍ය වන්නේ නම් කොළඹ පවතින රාජ්‍ය ආයතන සතු භාවිතයට නොගන්නා ඉඩම් ලබාදීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

සවිමත් අනාගතයකට පෙරවදනක් යන තේමාව යටතේ කොළඹ පදනම් ආයතනයේදී සංවිධාන කර තිබූ වැඩසටහනකට ඊයේ (15) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

මේ අතර ගම් පළාත්වල ඇති රජයේ ඉඩම් ඉදිරියේදී ආර්ථික වැඩකටයුතුවලට යොදාගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *