මහා සංඝරත්නය විසින් මහජන නියෝජිතයින්ට සම්මුති ප්‍රකාශයක් බරපතල කොට ඉදිරිපත් කරනු ලබයි

මහා සංඝරත්නය විසින් මහජන නියෝජිතයින්ට සම්මුති ප්‍රකාශයක් බරපතල කොට ඉදිරිපත් කරනු ලබයි


මහා සංඝරත්නය විසින් මහජන නියෝජිතයින්ට සම්මුති ප්‍රකාශයක් බරපතල කොට ඉදිරිපත් කරනු ලබයි

(15.03.2024 – 12:00 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර තිබේ.

ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ ජනවරමට පිටුපාමින් නැවත නිවැරදි කරගත නොහැකි ලෙස රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවටත්, මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම් දීම සඳහා ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක් කැලණිය, නාමල්වත්ත මහා විහාරීය සම්මන්ත්‍රණ ශාලාවේ දී 2024.03.14 දින පැවැත්විණි.

එහිදී මෙම සංඝ ආඥාව නිකුත් කර තිබේ.

ත්‍රෛනිකායික අනුනායක ස්වාමීන්වහන්සේලා නිකුත් කළ සම්මුති ප්‍රකාශය පහළින් :

ආර්ථික – දේශපාලන අර්බුදය හමුවේ මහජන නියෝජිතයින්ගේ වගකීම

2024 මාර්තු මස 14 වෙනි බ්‍රහස්පතින්දා කැලණිය මානෙල්වත්ත මහාවිහාර සම්මන්ත්‍රණ ශාලාවට වැඩම කළ සියම් මහානිකායේ මල්වතු, අස්ගිරි, කෝට්ටේ, රෝහණ ඇතුළු පාර්ශ්වයන්ගේ හා අමරපුර මහානිකායේ මෙන්ම රාමඤ්ඤ මහානිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේලා ද විද්‍යෝදය, විද්‍යාලංකාර පරිවෙණාධිපතීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මහජන නියෝජිතයින්ට බරපතල කොට ඉදිරිපත් කරනු ලබූ සම්මුති ප්‍රකාශයයි !

අප රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කෙටි කාලීනව උත්සන්න වූ එහෙත් දීර්ඝ කාලීනව වර්ධනය වී ආ ආර්ථික අර්බුදය මුල් කරගෙන පැන නැඟුනු ප්‍රචණ්ඩ විරෝධය නිසා ජනාධිපතිවරයාට තම ධූරය අතහැර රටින් පලායාමට සිදුවිය. එම ක්‍රියාවලිය පසුපස විවිධ ජාත්‍යන්තර බලවේග ක්‍රියාත්මක වූ බව දැන් රහසක් නොවේ. ඊට අමතරව එම විරෝධතා සමීපව නිරීක්ෂණය කළ අයට දේශීයව බෙදුම්වාදී බලවේග සහ විවිධ ආගමික අන්තවාදී කණ්ඩායම් එම ක්‍රියාවලිය තුළ විශේෂිතව නියෝජනය වූ බව පැහැදිලිව පෙනුනි. විරෝධතාකරුවන් යොදා ගනිමින් රටේ ජනාධිපතිවරයා ඝාතනය කර ලිබියාවේ සිදු කළ ආකාරයට ජාත්‍යන්තර මැදිහත්වීමෙන් ව්‍යවස්ථාවට පරිබාහිරව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමේ සැලසුමක් තිබූ බවට ද එම මතවාද තුළින් යම් සාක්ෂි සහිතව නිගමනයන් ඉදිරිපත් වේ.

මෙම කරුණු සැලකිල්ලට ගැනීමේ දී පෙනී යන්නේ සමස්ත ක්‍රියාවලිය පිටපතකට අනුව අධ්‍යක්ෂණය කර රඟ දැක්වූ බවයි. එහෙත් ඒ සඳහා වේදිකාව සකස් කිරීමට ආණ්ඩුවේ පාර්ශ්වය විසින් දායකත්වය සැපයූ බව ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම ආර්ථික ඝාතක උපදේශකයින්ගේ වැරදි උපදෙස් පිළිපැදීම සහ අර්බුදයේ මූල් අවස්ථාවේදී කෙටිකාලීනව එය සමනය කර ගනිමින් දීර්ඝ කාලීනව අර්බුදය විසඳීම සඳහා ගත යුතුව තිබූ පියවර නොගැනීම නිසා රට අස්ථාවර කිරීම විෂයෙහි රටට හතුරු බලවේගවලට අවස්ථාව නිර්මාණය වූ බව අපට පිළිගැනීමට සිදුවේ.

අති පූජනීය ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් 2024.02.15 දින ජනාධිපතිවරයාට යොමු කළ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් මහජන සේවාවන් බිඳවැටී සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානම පිළිබඳ ලිපිය මගින් බුදුන් වහන්සේ විසින් දේශනා කළ ‘චක්කවත්තිසීහනාද සූත්‍රය’ උපුටා දක්වමින් රාජ්‍ය පාලකයාගේ මූලික වගකීම පැහැදිලිව පෙන්වා දී ඇත. එම වගකීම් පැහැර හැරීම හෝ නොසලකා හැරීම මගින් අර්බුද නිර්මාණය වන බව සහ රටේ මහජනතාව අනාරක්ෂිත වන බව උන්වහන්සේලා විසින් එහිලා මැනවින් පෙන්වා දෙන්නට යෙදුණි.

මේ වන විට එසේ අනාරක්ෂිත වූ මහජනතාව දැඩි මානසික පීඩනයකට සහ වික්ෂිප්ත භාවයකට ලක් වී ඇති අතර එම නිසා අර්බුදයට හේතු වූ සාධක සහ ඊට අදාළ විසඳුම් පිළිබඳව අර්ථවත් සමාජ කතිකාවක් ගොඩනැගී නැත. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් දැනටමත් ආර්ථික අර්බුදය යොදා ගනිමින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කර රට අවස්ථාවර කිරීමට මුල් වූ ජාත්‍යන්තර බලවේගවලට තම දීර්ඝකාලීන භූ දේශපාලන න්‍යාය පත්‍රය දිගේලි කිරීමට හැකියාව ලැබී ඇති බව දැන් ඉතා පැහැදිලිය. ව්‍යාජ බලහුවමාරුවක් මගින් ජනවරමක් නොමැති සහ ලැබී ඇති ජනවරමට පිටුපාමින් ක්‍රියාකරන පාලන තන්ත්‍රයට එම න්‍යාය පත්‍රයට යටත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව දැන් ඉතා පැහැදිලිව පෙනේ.

අර්බුදය විසඳීම සඳහා බව පවසමින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මගින් මෙන්ම ක්‍රියාත්මක කළ යුතු විසඳුම් හේතු දැක්වීමකින් තොරව සඟවා තබාගෙන සිටින තත්ත්වයක් තුළ අර්බුදය තවදුරටත් උත්සන්න වන බව දැනුම්වත් මහජනතාවට තේරුම් ගත හැක. උදාහරණයක් ලෙස ආණ්ඩුවේ ම ප්‍රබල ඇමතිවරුන් සඳහන් කරන ආකාරයට 2017 දී සම්මත කළ සහ වර්තමාන විදේශ විනිමය අර්බුදයට ප්‍රබල හේතුවක් වූ බවට සඳහන් වන විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව විසින් උනන්දුවක් දක්වන්නේ නැත. එසේ ම විදුලි පිරිවැය ඉහළ යාම සහ අධික බදු බර නිසා රටේ කුඩා ව්‍යාපාර ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් වැසී ගොස් ඇති බව ආණ්ඩුවේ ම සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලි වේ. ඒ අතර රටේ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සංවාදයකින් තොරව රහසිගතව වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම මගින් දේශීය කර්මාන්ත පද්ධතිය තවදුරටත් කඩා වැටෙන බවට චෝදනා එල්ල වේ. අර්බුදය උස්සන්න වීමෙන් පසුව දැනට නොගෙවා ඇති විදේශීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 8000 ක් වුවද ඩොලර් මිලියන 4500 ක සංචිත තිබෙන බවට ආණ්ඩුවේ පාර්ශ්ව උදම් ඇනීම තුළ සැබෑ තත්ත්වය සඟවමින් අර්බුදය තවදුරටත් උස්සන්න වීමට ඉඩ හරිනවාද යන සැකය ඇතිවීම වැළැක්විය නොහැක.

ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලයට වගකීමට සහ වගවීමට පක්ෂ විපක්ෂ සියළුම මහජන නියෝජිතයින්ට සිදුවනු ඇත. විශේෂයෙන් ම ආණ්ඩුව විසින් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන යම් විසඳුම් මගින් අර්බුදය විසඳීම සඳහා දායකත්වය සපයන බව තර්කානුකූලව ඔප්පු කළ නොහැකි අතර ඒවා ක්‍රියාත්මක කළහොත් ඉතිහාසයේ කිසි දිනෙක ආපසු හැරවිය නොහැකි අනර්ථයක් රටට සහ ජනතාවට සිදුවන බව ඉතා පැහැදිලිය. උදාහරණ ලෙස ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම මගින් සේවා අංශ විවෘත කර ඉන්දියානුවන්ට ව්‍යාපාර සහ රැකියා කිරීම සඳහා රට තුළට පැමිණීමට ඉඩ සැලසීම සහ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ නීතිය සම්මත කිරීම මගින් ආරක්ෂක හමුදා පාවාදීම සහ නැවත බෙදුම්වාදී බලවේගවලට කේවල් කිරීමේ අවස්ථාව ලබා දීම ආදිය කිසිදෙනක ආපසු හැරවිය නොහැකි වැරදි බවට පත්වන බවට කිසිදු සැකයක් නැත.

ඊට අමතරව විදුලිබල පද්ධතිය විශේෂයෙන්ම මහා ජලාශ පද්ධතිය පවා පුද්ගලීකරණය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සහ ටෙලිකොම් ආයතනය වැනි ජාතික ආරක්ෂාවට ප්‍රබල බලපෑමක් ඇති ආයතන පුද්ගලික අංශයට විකුණා දැමීම ආදී ක්‍රියාමාර්ග මගින් රට තුළ බරපතල අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවන බව ඉතා පැහැදිලිය. එම ක්‍රියාමාර්ග මගින් ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වන බවට සහ මහජන අසහනය වර්ධනය වන බවට අපට නම් සැකයක් නැත. එසේම අප රටේ භූගෝලීය පිහිටීම අනුව අප ජාත්‍යන්තර භූ දේශපාලන උවමනාවන්ගේ ගොදුරක් බවට පත්වෙමින් පවතින බව අප අමතක නොකළ යුතුය.

එක් පැත්තකින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව අර්ධ යටත් විජිතයක් බවට පත් කර ගැනීම සඳහා යම් උපාය මාර්ගික ප්‍රවේශයකට අනුව කටයුතු කරන බව සහ ඇමරිකාව ද ගිවිසුම් මගින් අපගේ භූමිය ඔවුන්ගේ යුදමය ක්‍රියාන්විතයට අවශ්‍ය සේවා සපයන මධ්‍යස්ථානයක් හෙවත් දාස රාජ්‍යයක් බවට පත් කර ගැනීමට උත්සාහ කරන බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් වී ඇත. 2023 ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ ඉන්දියානු අගමැතිවරයා විසින් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය මගින් ආර්ථික ඒකාබද්ධකරණ උපාංග 6 ක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත. ඒවා මුදල් ඒකාබද්ධකරණය, රේගු එකාබද්ධකරණය, මූල්‍ය සහ බදුප්‍රතිපත්ති ඒකාබද්ධකරණය, බලශක්ති පද්ධතිය ඒකාබද්ධකරණය, වරාය සහ ගුවන් තොටුපළ පද්ධතිය ඒකාබද්ධකරණය සහ භූගෝලීය ඒකාබද්ධකරණ ආදී වශයෙන් වේ. ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම එම ක්‍රියාවලියේ කූඨප්‍රාප්තිය බව ද කියැවේ. ඒ අනුව, ඒ සියල්ල සිදුවීමට ඉඩ හැරියහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 ප්‍රාන්තය බවට පත්වන බවට සැකයක් නැත. ඒ අතර බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගමන් කිරීම සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රාජ්‍යයන් දෙක විසින් ම පහසුකම් සැළසීම තුළ 30 වැනි ප්‍රාන්තයද බිහිවීමේ අනතුර බැහැර කළ නොහැක. එම ක්‍රියාවලිය අවසන් විය හැක්කේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පමණක් නොව ථේරවාදී සම්බුද්ධ ශාසනය ද අවසාන වීමෙන් බව ඉතා කණගාටුවෙන් සඳහන් කළ යුතුය.

එම නිසා ගෞරවනීය මහා නායක හිමිවරුන් විසින් 2024.12.15 දින නිකුත් කරන ලද ඓතිහාසික ප්‍රකාශය මහජන නියෝජිතයින් විසින් නැවත කියවිය යුතු බව සහ සියල්ල සිදුවීමට ඉඩ හැර බලා සිටීමේ භූමිකාව වෙනස් කළ යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. එවැනි හැසිරීමක් මහජනයා ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වන්නේ නැත. මහජන මතයට සහ 2019 සහ 2020 මැතිවරණවලදී මහජනයා විසින් ලබා දී ඇති ජනවරම තවදුරටත් වලංගු වන බැවින් ඊට පිටුපාමින් ක්‍රියා කිරීමට හෝ පාලකයින් එසේ ක්‍රියා කරන විට නිහඬව බලා සිටීමට ඔබතුමාලාට කිසිදු අයිතියක් නැත. එසේම ඔබතුමන්ලාගේ වටිනාකම සහ මහජනයා අතර ප්‍රසාදය පවත්වා ගැනීම මගින් ඔබලාගේ අනාගත භූමිකාව ආරක්ෂා කර ගැනීම සඳහා ද වර්තමානයේ ඔබතුමන්ලා විසින් ඉටු කරන භූමිකාව ඉතා වැදගත් වන බව අවධාරණය කරමු.

ඒ අනුව පවතින ජනවරමට අනුව ආණ්ඩුව විසින් දෙවරක් සිතා බැලිය යුතු සහ ක්‍රියාත්මක නොකළ යුතු තීන්දු මෙන්ම කිසිසේත්ම ක්‍රියාත්මක නොකළ යුතු තීන්දු පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් මහජන නියෝජිතයින් විසින් ලබා ගත යුතු බව සහ ඊට අනුව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ධුරයෙන් පහකළ ද අදටත් හිටපු ජනාධිපතිවරයාට ඔහු විසින් ජනවරම පවරා දුන් වර්තමාන ජනාධිපතිවරයා එම ජනතා අභිලාශයට පටහැනිව ක්‍රියාත්මක වන කල්හි ඊට එරෙහිව මැදිහත්වීමේ සදාචාරාත්මක වගකීමක් ඇත.

එසේම තනි පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ කැමැත්ත හෝ සැඟවුණු අරමුණු වලට අනුව ගිවිසුම් ගතවීම වැනි රටේ අනාගත පැවැත්මට අදාල තීන්දු ගැනීමට ඉඩ ලබාදීමේ දුර්වල ප්‍රවේශය නිවැරදි කිරීම ද මහජන නියෝජිතයන් ලෙස ඔබගේ සදාචාරාත්මක වගකීමකි. අත්තනෝමතික හෝ හිතුවක්කාරී තීන්දු ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කර ඉදිරි ජනාධිපතිවරණයේදී නව ජනවරමක් ලබා ගන්නා තෙක් පවතින ජනවරම අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන උපාය මාර්ගික තීන්දු තීරණ පිළිබඳ පැහැදිලි සැලසුමක් රටට ඉදිරිපත් කරන ලෙස බලකිරීම ඔබගේ අවම වගකීමකි. එසේ නොවුවහොත් ඔබ පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂාකර ගැනීම කිසි සේත් අපේක්ෂා නොකළ හැකිවාක් මෙන්ම ඉදිරි මැතිවරණවලදී ජනතා තීරණය කෙරෙහි ද මෙය තීරණාත්මක ලෙස බලපාන සාධකයක් වන බවද අවධාරණය කරම්හ.

මේ වගට,
ත්‍රෛනිකායික අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගෞරවණීය මහාසංඝරත්නය


මගේ පියා මරන්න ආ ඝාතකයා අද අනුර දිසානායකගේ වේදිකාවේ

(15.03.2024 – 09:20 +0530 – lankacnews.com)

භීෂණ සමයේ තම පියා ඝාතනය කිරීමට පැමිණි ඝාතකයා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එම කාලයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මහජන පක්ෂයේ බොහෝ දෙනෙක් ඝාතනය කරන ලද බවද තම පියා ද එකල මහජන පක්ෂයේ සිටි සිටි බවත් ඇය සදහන් කලාය.

ඝාතකයන් පැමිණ වෙඩි තබන්නට උත්සාහ කරද්දි තම සීයා එම ඝාතකයන් සමග පොරබැද ඝාතකයන්ගේ තුවක්කුවෙන් වෙඩි තබා ඝාතකයා ඝාතනය කළ බව ද ඇය පැවසුවාය.

එම ඝාතනය සඳහා පැමිණි ප්‍රධානියා අද අනුර කුමාර දිසානායක මහතාගේ වේදිකාවේ සිටින බවත් පැවසූ ඇය නුදුරේදීම එම නම් ගම් සමග තමන් සියල්ල හෙළිදරව් කරන බවද කියා සිටියාය.

ඇය මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි ෴


දරුවන් දෙදෙනෙකුට (2) මව ව අහිමි කළ ඝාතනය

(15.03.2024 – 12:40 +0530 – sinhala.adaderana.lk)

සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මවක් ව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සැක කරන්නේ, මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි තරුණයෙකු විසින් බවයි.

එම ඝාතනයෙන් පසු සැකකරු සම්පූර්ණ සිද්ධිය සිය මිතුරෙකුට පාපොච්චාරණය කර ඇති බව පොලීසිය පැවසීය.

රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ව ඝාතනය කර තිබුණේ, පෙරේදා (13) රාත්‍රියේදී බව පොලීසිය කීය.

ඝාතනය කර තිබුණේ අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන දිලිනි සසිකලා ප්‍රියභාෂිනී නම් කාන්තාවකි.

22 හැවිරිදි තරුණයෙක් එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සැක කරයි.

එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණි.

ඝාතන සිද්ධියෙන් පසු බෝඩිං කාමරයට ගිය පොලිසියට නිරීක්ෂණය වී තිබුණේ, තොණ්ඩුවක් ද එම කාමරය තුළ සකසා තිබූ ආකාරයකි.

ඝාතනයෙන් පසු සැකකරු ද සිය දිවි නසාගැනීමේ සූදානමක් තිබෙන්නට ඇති බව පොලීසිය සැකපළකරයි.

ඝාතනය සිදුවූ 13 වැනිදා රාත්‍රි මෙම කාමරයේ සිටි සැකකරු ඉන් පිටව ගොස් ඇත්තේ පසුදින උදෑසන බවට බෝඩිං කාමරයේ හිමිකරු දැක තිබුණි.

මේ අතර ඝාතනයෙන් පසු සැකකරු සිය මිතුරෙකුට දුරකථන ඇමතුමක් දී සිද්ධිය පැහැදිලි කර තිබූ බව සඳහන් ය.

සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

+++++++++

+


මියන්මාරයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයන් ගේන්න තායිලන්තයේ සහාය

(15.03.2024 – 09:02 +0530 – sinhala.adaderana.lk)

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අතර සිදුවී තිබේ.

දුරකථන මාර්ගයෙන් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාව පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයේ ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු සිටින අතර ඉන් 8 දෙනෙකු බේරාගැනීමට හැකිවූ බව මියන්මාර රජය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශ කළේය.

ඒ අනුව එම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව සඳහන් ය.

ඒ අනුව ඊට අදාළ පහසුකම් සැපයීමට තායිලන්ත විදේශ අමාත්‍යවරයා සිය එකඟතාව පළකර ඇති බව වාර්තා වෙයි.

තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම, අන්‍යොන්‍ය වීසා රහිත විධිවිධාන රටවල්, පුනර්ජනනීය බලශක්ති සහ ධීවර යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙම සංවාදයේදී විදේශ අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *