ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : කෙහෙළිය ඇතුළු 7 ක් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් – ඇප ඉල්ලීමත් ඉවතට

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : කෙහෙළිය ඇතුළු 7 ක් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් – ඇප ඉල්ලීමත් ඉවතට


ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : කෙහෙළිය ඇතුළු 7 ක් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් – ඇප ඉල්ලීමත් ඉවතට

(15.03.2024 – dinamina.lk)

රිමාන්ඩ් සැකකරුවන්ට මනුෂ්‍ය ඝාතන චෝදනාත් ගොනු කරනවා
පළමු සැකකරු දුන් පිළිකා ඖෂධයේ පිළිකා නාශක ප්‍රතිදේහ කිසිවක් නෑ
– නි. සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු එම නඩුවේ සැකකරුවන් 07 දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නඩු විභාගය අවසන් වනතුරු එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඊයේ (14) නියෝග කළාය.

සැකකරුවන්ට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බවත්, පැමිණිල්ල සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා දුර්වල නොවී ඒවා සාක්ෂි මඟින් අනාවරණය කර ඇති බවත් සඳහන් කළ ම‍හේස්ත්‍රාත්වරිය, සැකකරුවන් කළ ඇප ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව මෙම සැකකරුවන් හත් දෙනා ඇතුළු සැකකරුවන් නවදෙනා ලබන 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, මෙම නඩුවේ 10 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේගෙදර තුසිත සුදර්ශන යන සැකකරුවන් දෙදෙනා සම්බන්ධ ඇප නියෝගය එදිනට ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළාය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේගෙදර තුසිත සුදර්ශන යන අය පැමිණිල්ලේ ඉල්ලීම පරිදි මෙම නඩුවේ 11 වන සැකකරු ලෙස නම් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය තීරණය කළාය.

සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට එරෙහිව කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව පමණක් නොවන මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ චෝදනා ද ඉදිරියේදී ගොනු කිරීමට සිදුවනු ඇති බවද පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළාය.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (14) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය සහ පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් 08 දෙනකු බන්ධනාගාරය මඟින් ද එකොළොස්වැනි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ද අධිකරණය හමුවට ඊයේ (14) ඉදිරිපත් කර තිබුණු අතර, ඇප මත සිටි පස්වැනි සැකකරු අධිකරණයේ පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය මෙසේ ප්‍රකාශ කළාය :

“ස්වාමිනී, වෛද්‍ය සැපයුම් පද්ධතියට ප්‍රවේශ වීම සඳහා අධිකරණයෙන් ලබාගත් නියෝග පරිදි කටයුතු කරමින් මේ වන විට පරීක්ෂණ පවත්වනවා. මෙම නඩුවේ පළමුවැනි (1) සැකකරු සහ දෙවැනි (2) සැකකරුගේ අත්අකුරු සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සදහා සැක කටයුතු ලේඛන පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළා. එහිදී සමකාලීන ලේඛන කිහිපයක් අදාළ ලේඛන සමඟ සංසන්දනය කිරීම සඳහා මොවුන් ඉදිරියේදී නැවත යොමු කිරීමට සිදුව තිබෙනවා.

ඒ වගේම පරිගණක යන්ත්‍ර කිහිපයක් වාර්තා කැඳවීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත වගේම පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත ඉදිරිපත් කළා. එහිදී ඊට අදාළ වාර්තා ඔවුන් ලබා දුන්නා.

මෙම සිද්ධියට අදාළ ප්‍රශ්නගත ඖෂධ ලැයිස්තු 03 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කළා. එම ලැයිස්තු තුනෙන් (3) දෙකක් (2), එනම් ඖෂධ 182 ලැයිස්තුව සහ ඖෂධ 285 ලැයිස්තුව සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ අවසන් කරලා අධිකරණයට කරුණු වාර්තා කළා. අනෙක් ඖෂධ ලැයිස්තුව සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගත්තා. එහි සම්පිණ්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනවා. මෙම නඩුවට අදාළ පළමුවැනි (1) සැකකරු වෙත ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් මාත්‍රා 22,500 ක ටෙන්ඩරය 2023 ජනවාරි මස 04 වැනි දින ප්‍රදානය කිරීමට අමතරව පිළිකා නාශක ඖෂධයක් වන ‘රිටොක්සිමැප්’ එන්නත් මාත්‍රා 2250 ක් ලබාදීම සඳහා වූ ටෙන්ඩරය 2022 නොවැම්බර් මස 10 වන දින ඔහු වෙත ප්‍රදානය කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගත්තා. ඒ අනුව මෙම ටෙන්ඩර් දෙකට අදාළව පළමු වැනි (1) සැකකරු ‘රිටොක්සිමැප්’ එන්නත් මාත්‍රා 2250 න් 2200 ක් 2023 මැයි මස 11 වැනි දින අවස්ථා හතරකදී (4) වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදී තිබූ බවට පසුව අනාවරණය කර ගත්තා. ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ එන්නත් මාත්‍රා 22,500 න් මාත්‍රා 3285 ක් පමණක් අවස්ථා 14 දි ලබාදෙනු ලැබ තිබුණා.

ඒ අනුව මේ වන විට මෙම සැකකටයුතු ඖෂධයේ තත්වය පිළිබඳව වාර්තා දෙකක් (2) අධිකරණයට ඉදිරිපත් කළා. ඊට අදාළව ඖෂධ නියාමන අධිකාරියෙන් ‘රිටොක්සිමැප්’ ඖෂධය සම්බන්ධයෙන් ඖෂධ විශ්ලේෂන වර්තාවක් ලබා දෙන ලෙසට ‘මහරගම ජාතික පිළිකා ආයතනයෙන්’ ඉල්ලීමක් කර තිබුණා. ඊට අදාළ වාර්තාව ඉකුත් පෙබරවාරි මස 28 දින ඖෂධ නියාමන අධිකාරියට යොමු කර තිබුණා. එහි පිටපතක් අද (14) අධිකරණයට ඉදිරිපත් කරනවා. එම ලේඛනයෙහි සඳහන් වන්නේ මෙම ‘රිටොක්සිමැප්’ නමැති ඖෂධයෙහි සංඝටකය වන්නේ ‘මොනකෝරල් ඇන්ටිබොඩි’ යන්න තමයි ‘රිටොක්සිමැප්’ ලෙසින් හඳුන්වන්නේ. මේ ‘මොනකෝරල් ඇන්ටිබොඩි’ පිළිකා නාශක ඖෂධයේ අන්තර්ගත විය යුතු ප්‍රතිදේහයක්. පිළිකා රෝගියාගේ රෝගය සුව වීම සඳහා මෙම ප්‍රතිදේහය අදාළ ඖෂධයෙහි අන්තර්ගත විය යුතුයි. මෙම විශේෂඥ වාර්තාවට අනුව සැකකරු විසින් වෛද්‍ය සැපයුම් ඒකකයට ලබා දෙන ලද එන්නත් මාත්‍රා 2250 සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී බුලත්සිංහල මහත්මිය ගෙන් ප්‍රශ්න කළාම ඇය කිව්වේ මෙම ඖෂධයේ කිසිම පිළිකා නාශක ප්‍රතිදේහයක් පළමු (1) සැකකරු ලබාදුන් ඒවායේ අන්තර්ගත වී නොමැති බවයි. ඒ අනුව ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ සහ ‘රිටොක්සිමැප්’ යන එන්නත් මාත්‍රා සියල්ලේම ඇත්තේ අදාළ ප්‍රෝටීනය නොමැති ද්‍රාවණයක් පමණක් බවයි.

මෙහි දහවැනි (10) සැකකාර සමන් රත්නායක යන අයගේ අත්අකුරු පරීක්ෂාවක් ද සිදු කළා. ඔහු සම්බන්ධයෙන් ඇත්තේ ලේඛන ගත සාක්ෂි තමයි. ඊට අමතරව මෙහි එකොළොස්වැනි (11) සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත් කළාට පසුව දැනුම් දෙන්නම්.

මෙම සිද්ධියට අදාළව පැමිණිල්ල ඉදිරිපත් කළ ‘අල්ලස හා දූෂණයට එරෙහි පුරවැසි බලයේ’ කාමන්ත තුෂාර සාමන්ත යන අයට ඉකුත් නඩු දිනයේදී කෙහෙළිය රඹුක්වැල්ල යන අයගේ ආධාරකරුවන් පිරිසක් තර්ජනය කළ බවත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල මරදාන පොලිසියට ඉදිරිපත් කළ බවත් ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ කණිෂ්ක ගුණවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය මරදාන පොලිසියෙන් විමසා සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබී ඇත්ද යන්නය. එවැනි පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳව වන විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් තමන් දැනුවත් නොමැති බව මරදාන පොලිසියේ අධිකරණ අංශයේ පො.කො. 97223 එරන්ද හසාන් ප්‍රේමරත්න නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් මේ සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරමින් සඳහන් කර සිටියේ ඇප නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට අධිකරණයෙන් සූදානම්ව සිටියදී මෙවැනි සැලකිරීමක් සිදුකිරීම වෘත්තිය ආචාර ධර්මවලට පටහැනි ක්‍රියාවක් බවය.

ඒ අනුව දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මරදාන පොලිසියට නියම කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සුදුසු විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසය.

අනතුරුව මෙම නඩුවේ සැකකරුවන් හත් (7) දෙනකු සම්බන්ධයෙන් වන ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ සැකකරුවන් සම්බන්ධයෙන් පොදු දේපළ පනත ප්‍රකාරව වැරදි ගම්‍ය වන බවට පැමිණිල්ල නගා ඇති චෝදනා ඇප පනතෙන් සම්පූර්ණයෙන්ම බැහැර නොවන බවය. එමෙන්ම ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් සුවිශේෂී කරුණු ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ අධිකරණය, පැමිණිල්ල චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇති බවය. එසේම, මෙම සිද්ධිය තවමත් විමර්ශන අවස්ථාවේ පවතින අතර, සැකකරුවන්ට ඇප ලබා දුනහොත් මහජන කැලැඹීමක් ඇතිවීමේ ප්‍රවණතාවක් උද්ගතවිය හැකි බව සඳහන් කළ අධිකරණය, මේ අවස්ථාවේදී සැකකරුවන්ට ඇප ලබාදීමට සුදුසු නැතැයි තීරණය කළේය. ඒ අනුව, පැමිණිල්ලේ චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි දුර්වල මට්ටමක නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේගෙදර තුසිත සුදර්ශන’ නමැති සැකකරු සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙසේ ප්‍රකාශ කළාය.

“ස්වාමීනි, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේගෙදර තුසිත සුදර්ශන යන අය මෙම සිද්ධියේ 11 වැනි සැකකරු ලෙස නම් කර සිටිනවා. ප්‍රශ්නගත ඖෂධ 285 සම්බන්ධයෙන් 2022 සැප්තැම්බර් මස 07 වන දින නවවන (9) සැකකරු සහ දහවන (10) සැකකරු අභිලාෂ කැඳවීමක් කළා. එම කැඳවන ලද අභිලාෂවලට අදාළව ඉදිරිපත් කළ ටෙන්ඩර් කැඳැවීම සඳහා සැප්තැම්බර් 09 වන දින 11 වන සැකකරු ඇගැයීම් කමිටුවට පත්කිරීම හයවන (6) සැකකරු විසින් සිදුකර තිබෙනවා. හයවැනි (6) සැකකරු විසින් කළ එම පත්කිරීම 10 වන සැකකරුගේ නිර්දේශයක් සහ නව සැකකරුගේ ඉල්ලීම පරිදි සිදු කර තිබෙනවා. එහි තවත් සාමාජිකයින් පස් දෙනෙක් (5) වාඩිවෙනවා. මෙහි තුන්වැනි (3) සැකකාරියත් එහි හිඳගන්නවා. ඇය වෛද්‍ය සැපැයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කළා. මෙම නඩුවට අදාළව ඖෂධ ඇගැයීම සහ ගෙන්වීමේ ටෙන්ඩරවලට අදාළව මේ අය තමුන්ගේ අනුමැතිය ලබාදීලා තියෙනවා. දේශීය වෛද්‍ය අතිරේක ලේකම් පරිපාලන ශම්මි කුමාරි දෙනාවත්ත යන අය පත්කරලා තියෙනවා. ඒ වගේම අතිරේක ලේකම් එච්.එම්. ප්‍රේමතුංග කියලා නිලධාරිනියකුත් පත්කරලා තියෙනවා. මෙහි පළමු (1) සැකකරුට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකු පිළිගැනීමක් තිබ්බා.

මේ හැම එකකම තියෙන්නේ ඡායාස්ථ පිටපත්. මේ පළමු (1) සැකකරු දවස් පහකින් (5) මේ බෙහෙත් සපයනවා කියලා තමයි මේ ටෙන්ඩරය දීලා තියෙන්නේ නමුත් මාස පහකට (5) පස්සේ තමයි මේවා ලබා දීලා තියෙන්නේ. මේකට මේ සියලු සැකකරුවන් වගකියන්න ඕන. විමර්ශනයේ දී ලිපියක් අනාවරණය වුණා හයවැනි (6) සැකකරුගේ අනු අත්සනින් හත්වැනි (7) සැකකරු ලියනවා ඔබ විසින් අපට ඖෂධ ලබාදුන්නාට පස්සේ දින 180 ක් ඇතුළත සම්පූර්ණ මුදල ගෙවීමට අපි භාරගන්නවා කියලා. ඒ 2023 පෙබරවාරි 27 වැනිදා. මේ ටෙන්ඩරය පරක්කු කළාට ඒක අවලංගු කරනවා කියනවා වෙනුවට මේ කියන්නේ ඉක්මනින් සල්ලි දෙනවා කියලා. එච්චර පිළිගැනීමක් තියෙනවා මේ සැකකරුට. මේකේ වැදගත්ම කාරණය තමයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෛද්‍ය සැපැයුම් අංශයට ඖෂධයක් ලබා දෙනකොට වාප්පු ලිපිකරුවකු අදාළ නියෝජිතයා සමඟ එය නිෂ්කාංශනය කරන තැන සිට ඖෂධය ගේනකම් ඉන්න ඕන. නමුත් මෙහි එහෙම කෙනෙක් නැහැ. මේ සැකකරුවන් ඔක්කෝම කියන්නේ මම දන්නේ නැහැ කියලා. ඒ ගොල්ලන්ගේ ප්‍රකාශවලින් අන්තිමට දැනගන්න ඕනේ මහජනතාව. රෝගියා තමයි දැනගන්න ඕන.

මෙහි එකොළොස්වැනි (11) සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා සඳහන් කර සිටියේ තම සේවාදායකයා චේතනාන්විතව වරදක් සිදුනොකළ බවය. තම සේවාදායකයා ඔහුට ලද නියෝග පරිදි අදාළ කමිටුවට සහභාගී වූ බවත් එය රාජකාරී කටයුත්තක් පමණක් බවත් නීතිඥවරයා සඳහන් කළේය.

නීතිඥවරයා : ස්වාමීනි, මගේ සේවාදායකයා චේතනාන්විතව කිසිදු වරදක් කළේ නැහැ. පොදු දේපළ පනත ප්‍රකාරව මේ ක්‍රියාවට ආධාර අනුබල දුන්නා කියලා කියනවා. නමුත් මගේ සේවාදායකයා මේකට සම්බන්ධ නැහැ. සැකකරුවන්ගේ ප්‍රකාශ කොතෙක් දුරට අදාළ ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මුලින් ඇහුවා මෙම තේරීම් කමිටුවට වාඩිවෙන්න මගේ සේවාදායකයාට තියෙන සුදුසුකම මොකක්ද කියලා. දැන් අහනවා ඔහුට සුදුසුකම් තියෙනවා; කුමන්ත්‍රණයක් ලෙසින් කටයුතු කළා කියලා. ඔහු කළේ රාජකාරි කටයුත්තක්. මේක තාක්ෂණික කමිටුවක් නොවෙයි. ඇගැයීම් කමිටුවක්. මෙතැන මට විරුද්ධව ගේන චෝදනා සම්බන්ධයෙන් මම විරුද්ධ වෙනවා. මගේ සේවාදායකයා ඉකුත් 2023 මැයි මස 10 වැනිදා විදෙස්ගත වුණා. ඔහු වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 100 ක් වියදම් කරලා විශේෂඥ වෛද්‍ය පුහුණුවකට තමයි විදෙස්ගත කළේ. ඔහු අධිකරණය මග හැරියේ නැහැ. මේ නඩුකටයුත්තේ දී ඔහුගේ නම කියැවුණා කියලා නඩුවට ඇවිත් හිටිය කෙනෙක් ඔහුව දැනුම්වත් කළා. ඒ නිසා ඔහු රාජකාරි නිවාඩු අනුමත කරගෙන ලංකාවට ආවේ. ඒ ඇවිල්ලා ප්‍රකාශ දෙන්න දෙවතාවක් ගියා සී අයි ඩී එකට. එතැනදි තමයි දෙවැනි වතාවෙදි ප්‍රකාශ අරගෙන අත්අඩංගුවට ගත්තේ. ඔහුට මේ පුහුණුව ඉවර කරන්න තියෙන්නේ තව සති අටයි (8). ඒ නිසා ඉල්ලා සිටිනවා ඒ සඳහා සහභාගි වෙන්න අවස්ථාව දෙන්න කියලා. ඔහු ඉකුත් දෙසැම්බර් මාසයේ 14 වැනිදා ලංකාවට ආවා. ඒ ආවේ පපුවේ සැත්කමක් කරන්න. ඊට අමතරව ඔහු 2018 වසරේ ජුනි මස 14 වැනිදා සැත්කමක් කරලා ස්ටෙන්ට් 08 ක් දාලා තියෙනවා. ඔහුට රුධිරයේ හිමොග්ලොබින් සම්බන්ධ රෝගයක් තියෙනවා. ඒක බරපතළ තත්ත්වයක්. ඒ නිසා ඔහුගේ ජීවිතය පවා නැතිවෙන්න පුළුවන්.

අධිකරණය : ලෙඩ රෝග ගැන නිකං කියලා බෑ. ඊට අදාළ නිසි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : මේ සැකකරු වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරලා තියෙනවා. තාක්ෂණික ඇගැයීම් කමිටුවල වාඩිවෙලා තියෙනවා. කවුරු හරි ඖෂධ ලබාදීලා තෝරන්න කියනවා සද්භාවයෙන් නම් ඔහුට එය ප්‍රතික්ෂේප කරන්න තිබුණා. මොහු මේ නිවාඩු අරගෙන ඇවිල්ලා තියෙන්නේ රාජකාරි කටයුත්තක් සඳහා කියලා. මොහු ඇවිත් තියෙන්නේ මේ අධිකරණ කටයුත්තට නෙවෙයි. මේ දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්මුඛ පරීක්ෂණ තියෙනවා. ඒකට තමයි මොහු ඇවිත් තියෙන්නේ. මොහු ඉකුත් සිකුරාදා මේ රටට ඇවිත් තියෙන්නේ. ඒක දැක්ක කෙනෙක් තමයි සී අයි ඩී එකට කෝල් කරලා කියලා තියෙන්නේ. මොහු වෙනුවෙන් ජන රජය වැය කළ මුදලට වඩා මොහු මේ කළ දෙයට ජන රජයට විශාල වශයෙන් පාඩු වුණා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එකොළොස්වැනි (11) සැකකරු වෙනුවෙන් ලිඛිත දේශන ඉදිරි දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දුන්නේය.

බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ’ හිමිකරු වන ‘සුගත් ජානක ප්‍රනාන්දු’, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියේජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක, යන සැකකරුවන් ලබන 28 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය මෙහි දී නියෝග කළේය. මෙහි පස්වැනි (5) සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පාලක සුජිත් කුමාර යන අය පමණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අය මෙම නඩුවේ 09 වන සැකකරු ලෙස නම්කර ඇත. එම සැකකරු මේ වන විට විදෙස්ගතව සිටියි ෴


බොරු මැණිකකට ලොබ බැඳ පාපයක ගිලිලා

(15.03.2024 – divaina.lk)

මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ කලපලුවාවේ ධම්මරතන හිමියන් වෙඩි තබා ඝාතනය කර සන්නද්ධ පිරිස විසින් කොල්ලකාගෙන ගිය නිල් මැණික කිසිම වටිනාකමක් නැති ව්‍යාජ මැණික් ගලක් බව විමර්ශන වලින් හෙළිවී ඇත.

සංවිධානාත්මක පිරිසක් ධම්මරතන හිමියන් ඝාතනය කරනු ලැබුවේ මෙම මැණික කොල්ලකෑමට බව පොලිසිය පවසයි.

මොවුන් කොල්ලකාගෙන ගිය ව්‍යාජ මැණික් ගල පොලිසිය විසින් මේ වනවිට සොයාගෙන ඇති අතර එය කෘතිමව නිපදවූ ගලක් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

පොලිසිය පවසන්නේ මෙම ව්‍යාජ මැණික් ගල නිසා ධම්මරතන හිමියන්ට මෙන්ම එම හිමියන්ට වෙඩි තැබූ කුලී මිනීමරුවන්ට ද අවසානයේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බවයි.

ඩුබායි හි වෙසෙන ‘අතුරුගිරියේ ලැටා’ සහ ‘බත්තරමුල්ලේ බන්ටි’ විසින් මෙම මැණික් කොල්ලය මෙහෙයවා තිබිණි. ඔවුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක පුද්ගලයන් සිව්දෙනකු (4) විසින් විහාරස්ථානයේ වැඩවිසූ ධම්මරතන හිමියන්ට වෙඩි තබා ඝාතනය කර මැණික කොල්ලකාගෙන ගොස් තිබිණි.

පසුව එම කොල්ලය මෙහෙයවූ ‘චීසා’ නමැති පුද්ගලයා මෙම මැණික් ගල මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත දී තක්සේරු වාර්තාවක් ඉල්ලා තිබිණි. එහිදී ඔවුන් ලබාදී ඇති වාර්තාවෙන් කියැවී ඇත්තේ මෙම මැණික කිසිම වටිනාකමක් නැති ව්‍යාජ ගලක් බවයි.

මෙම මැණික් ගල කොල්ලකා එය විකුණා ලැබෙන මුදල් බෙදාගැනීමේ පොරොන්දුව මත සංවිධානාත්මක පිරිස විසින් ධම්මරතන හිමියන් මරාදමා මැණික් ගල කොල්ලකා තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත්දෙනකු (7) පොලිස් අත්අඩංගුවට ගෙන සිටින අතර ධම්මරතන හිමියන් වෙඩිතබා ඝාතනය කළ කුලී ඝාතකයා පොලිස් වෙඩි ප්‍රහාරයකින් පසුගියදා මිය ගියේය.

හේමන්ත රන්දුණු

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *