යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි

යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි


යාපනයේ වඩුක්කෝඩෙයි ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි

(14.03.2024 – 20:13 +0530 – hirunews.lk/sinhala)

යාපනය වඩුක්කෝඩෙයි පොන්නාලේ ප්‍රදේශයේදි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අධිකරණයෙන් අවසර ලබා දී තිබෙනවා.

එම පුද්ගලයාට පහරදි පැහැරගෙන ගොස් තිබු‍ණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පොන්නාලේ මුරපොළ අසල දී බැවින් එම අවස්ථාවේ දි රාජකාරියේ නිරතව සිටි නාවික හමුදා සෙබලුන් සම්බන්ධයෙන් නාවික හමුදාවද වෙනම පරීක්ෂණයක් පවත්වනවා.

අදාළ පුද්ගලයාට පහරදී පැහැරගෙන යන අයුරු CCTV කැමරාවක ද සටහන්ව තිබුණා.

යාපනය වඩුක්කෝඩෙයි පොන්නාලේ මංසන්ධියේදි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදි ඝාතනය කිරීමේ සිද්ධියක් පසුගිය 11 වැනිදා වාර්තා වු අතර, පුද්ගලික ආරවුලක් මත එම ඝාතනය සිදුකර තිබු බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගත් අතර ඔවුන් පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර දී තිබෙනවා.

දැනට කරන ලද විමර්ශනවලට අනුව අනාවරණ වි ඇත්තේ ඝාතනයට ලක් වු තරුණයා සිය බිරිඳ සමඟ යමින් සිටියදී පිරිසක් පැමිණ ඔහු පැහැරගෙන යෑමට තැත්කර තිබු බවයි.

එහිදි ඔවුන් නාවික හමුදාවේ පොන්නාලේ මංසන්ධියේ පිහිටි මුරපොල වෙත දිව ගොස් උදව් ඉල්ලා තිබුණා.

එම ස්ථානයටද කඩාවැදුණු මැර පිරිස අදාළ තරුණයාට පහරදෙන අයුරු ඒ අසළ සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුණා.

සිවිල් සහ නිල ඇදුම්වලින් සැරසුණු නාවික හමුදා සෙබලුන් තිදෙනෙක් (3) ඒ වනවිට එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිට ඇති අතර, පැමිණි පුද්ගලයින්ගෙන් එක් අයෙක් ආරක්ෂක නිලධාරීන් බලා සිටියදීම ඔහුගේ මුර කුටියේ වහලයෙන් මුගුරක් වැනි යමක් ගන්නා අයුරුද මෙම දර්ශනවල දැක්වෙනවා.

නාවික හමුදා සෙබලුන් රැදි සිටියදීම ඔවුන් එම පුද්ගලයාට පොලු මුගුරුවලින් පහරදි මොටර් රථයක නංවාගෙන රැගෙන ගොස් තිබුණා.

එලෙස පැහැරගෙන ගිය තරුණයා ඝාතනය කර අතර මඟ දමා ගොස් තිබූ අතර, ඔවුන් පැමිණි මෝටර් රථය අරාලි නොච්චියාකට්ට ප්‍රදේශයේ පිල්ලෙයාර් කෝවිල අසල දමා ගොස් තිබිය දී පොලිසිය සොයා ගත්තා.

++++++++

https://www.youtube.com/watch?v=X8W-Q_zcJvI

+


ගාලු කොටුවේ රජයේ කාර්යාල ඉවත් කර හෝටල් සහ ආපනශාලා ඉදිකරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

(14.03.2024 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ගාලු කොටුව ප්‍රදේශයේ පවතින රාජ්‍ය කාර්යාල සියල්ල ඉවත් කර සංචාරක කර්මාන්තයට අවශ්‍ය හෝටල් සහ ආපන ශාලා ඉදිකිරීම වෙනුවෙන් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළකලේ ගාල්ල හෝලුවාගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින්.

නාගරික සංවර්ධන, වැවිලි, සහ පාරිසරික ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන ගාල්ල හෝලුවාගොඩ Serene River Park ජනතා අයිතියට පත් කිරීම ඊයේ (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුනා.

රුපියල් මිලියන 480 ක මුදලක් වැයකර ඇති මෙම ව්‍යාපෘතිය ළමා උද්‍යාන, වෙළෙද සංකීර්ණ, ඇවිදින මං තීරු, කෘෂි අලෙවිසැල්, බෝට්ටුසේවා යනාදී අංගෝපාංග රැසකින් සමන්විත වනවා.

+


කොළ කැඳ පානය ආසාද්මික වී සිසුන් 08 ක් රෝහලේ

(14.03.2024 – 14:58 +0530 – hirunews.lk/sinhala)

පස්සර ප්‍රාථමික විදුහලක සිසුන් 08 දෙනෙකුට පාසලෙන් ලබා දී ඇති කැඳ පානයක් අසාද්මික වී පස්සර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොළ කැඳ පානය කිරීම හේතුවෙන් සිසුන්ට මෙය සිදු වී ඇති බවයි පස්සර රෝහලේහි ප්‍රකාශයෙකු සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි ෴


කැනඩාවේ සමූහ ඝාතනයේ සැකකරුගේ youtube නාලිකාව අත්හිටුවයි

(14.03.2024 – 16:07 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ ඔටාවාහි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු (6) ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ‘ෆෙබ්‍රියෝ ද සොයිසා’ නම් ශ්‍රී ලාංකික සිසුවා පළමු වරට එරට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දායි.

ඒ අනුව අද (14) නැවත වරක් මෙම සැකකාර සිසුවා ඔටාවා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

19 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික පාසල් සිසුවා අධික ලෙස පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිව සිටි අයෙක් වන අතර ඔහු පවත්වාගෙන ගිය යූටියුබ් නාලිකාව අත්හිටුවීමට මේ වන විට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ගූගල් සමාගම ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තම සමාගමේ යූටියුබ් මාර්ගෝපදේශනයන්ට අදාළව ඔහුගේ මෙම youtube නාලිකාව අත්හිටවූ බවයි.

කිසියම් පරිශීලකයෙකුගෙන් බාහිර ප්‍රජාවට හානියක් හෝ බලපෑම් සිදුවන්නේ නම් ඊට පියවර ගැනීමක් ලෙස අදාළ සමාගමට මෙවැනි ක්‍රියා මාර්ග ගත හැකි බවයි ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

++++++++

+


කෙහෙළිය ඇතුළු සැකකරුවන් මාර්තු 28 දක්වා රිමාන්ඩ්

(14.03.2024 – 16:29 +0530 – hirunews.lk/sinhala)

ඉමියුනෝග්ලොබියුලින් එන්නත් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 7 දෙනෙකුට එරෙහිව ඇප ලබා දීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය යළි ප්‍රතික්ෂේප කළා.

ඒ ඊට අදාළ නඩුව අද (14) මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

අප වාර්තාකරු සඳහන් කළේ හිටපු අමාත්‍යවරයා අද (14) දිනයෙත් අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සුදර්ශන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මාර්තු 28 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

+

+++++++++

+


‘අස්වැසුම’ දෙවැනි (2) වටයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කරයි

(14.03.2024 – 16:52 +0530 – hirunews.lk/sinhala)

‘අස්වැසුම’ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි (2) අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය මාර්තු 22 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසන්නේ මේ වන විට අයදුම්පත් 130,000 ක් දෙවැනි (2) වටය සඳහා දත්ත පද්ධතිය වෙත ලැබී ඇති බවයි.

තවත් අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් දත්ත පද්ධතිය වෙත ඇතුළත් කළ යුතුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පළමු (1) වටයේ ලැබුණු අභියාචනා සහ විරෝධතා 1,227,000 න් 212,000 ක් පමණ එකම පාර්ශ්වය විසින් කිහිප වරක් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කළ අවස්ථා වන අතර, ඒ අනුව සැබෑ විරෝධතා සහ අභියාචනා ප්‍රමාණය 966,000 ක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව, ඉන් විරෝධතා සහ අභියාචනා 749,000 ක් පමණ සළකා බලා අවසන් අතර, තවත් ලක්ෂ දෙකක (200,000) පමණ ප්‍රමාණයක් සලකා බැලීමට නියමිත තිබෙනවා.

මෙම විරෝධතා සහ අභියාචනා හේතුවෙන් මේ වන විට 10,000 ක පමණ පිරිසක් ‘අස්වැසුම’ සඳහා නුසුදුස්සන් බවට පත්ව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වන විටත් ප්‍රතිලාභ ලබා ඇති පිරිසගෙන් එම මුදල් නැවත අය කර ගැනීමට අදාළ නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි ෴


ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(14.03.2024 – 20:12 +0530 – hirunews.lk/sinhala)

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකත්වය දරණ මහ බැංකු සේවකයන්ට ගෙවනු ලබන වාර්ෂික පොලිය ඉහළ නැංවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

‘යුතුකම ජාතික සංවිධානය’ විසින් අදාළ පෙත්සම ගොනු කර ඇත්තේ මහ බැංකු සේවකයන්ට ගෙවනු ලබන වාර්ෂික පොලිය 29.27% ක් දක්වා ඉහළ නැංවීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට පවසමින්.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහ බැංකුව සහ එහි අධිපති ඇතුලු පිරිසක් නම් කර තිබෙනවා.

+


මනම්පිටියේ වැලි උණුසුමක්

(14.03.2024 – 20:28 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන මංකඩලාභීන් සහ ටිපර් රථ රියදුරන් මනම්පිටිය වැලි සමාගමේ කළමනාකාර නිලධාරීන් කාර්යාල අඩස්සියට ගෙන අද (14) විරෝධතාවයක නිරතවුණා.

වැලි ප්‍රවාහන ගැටලු, වංචා, දූෂණ, අක්‍රමිකතා නවත්වන ලෙස සහ ප්‍රධාන ස්ථාන භාර නිලධාරිවරයා මාරු කරන ලෙසටයි විරෝධතාකරුවන් එහිදී ඉල්ලා සටියේ.

එහිදි නොසන්සුන් තත්ත්වයක් හට ගත් අතර කාර්යාලයේ සිටි නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් සංවාදයක්ද සිදු වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *