නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’

නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’


නිවසටම ගොස් බෙහෙත් කරන බදුල්ලේ ‘හිත හොඳ දොස්තර’

(13.03.2024 – 12:44 +0530 – sinhala.adaderana.lk)

නිවසටම ගොස් රෝගීන්ට ප්‍රතිකාර කරන අපූරු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් පිළිබඳ තොරතුරු අපට බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි.

බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 15 ක පමණ දුරකින් පිහිටා ඇති කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහල ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සී-ශ්‍රේණියේ රෝහලකි.

කැන්දගොල්ල ගම්මානයට මෙම රෝහලෙන් සැලසෙන්නේ විශාල සේවාවකි.

නමුත් වර්තමානයේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ මෙම රෝහල වෙත පැමිණීමට රෝගීන්ට විශාල වියදමක් දැරීමට සිදුව තිබේ.

මේ හේතුවෙන් රෝගීන් පත්ව ඇත්තේ දැඩි අසරණ භාවයකට.

මීට පිළියම් ලෙස මේ වන විට රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සචිත් බණ්ඩාර මහතා විසින් කාලාන්තරක් තිස්සේ ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රතිකාර කිරිම ආරම්භ කර තිබේ.

ඒ එම රෝගීන්ට මහඟු සේවාවක් සලසමිනි.

කැන්දගොල්ල ප්‍රාදේශීය රෝහලේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී, වෛද්‍ය සචිත් බණ්ඩාර මහතා :

“පසුගිය අවුරුද්ද ඇතුළත රෝහලේ බාහිර බෝ නොවන රෝග සායන කරද්දි දැකපු දෙයක් තමා ගොඩක්ම වයෝවෘධ කට්ටිය සහ විවිධ රෝගාබාධවලට ලක්වී එක්තැන් වුණ අයට අපේ ‘හොස්පිටල්’වලට එන්න බැරිකමක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රවාහන දුෂ්කරතා …, එයාලා ඉන්නේ කඳු උඩ, දුෂ්කර මාර්ග තියෙන අය ඉන්නවා. ආර්ථික ප්‍රශ්න නිසා එන්න බැරි අය ඉන්නවා. අපි හිතුවා එහෙම අයගේ ගෙදරට ගිහින් බෙහෙත් කරලා බලමු කියලා මේ අයගේ ප්‍රතිඵලයක් ගන්න. කාර්ය මණ්ඩලය කොහොමත් ඒ අයත් එක්ක සමීප නිසා මට හරි ලේසියි ඒ වැඩේ කරන්න. ඒ අය බොහොම හොඳ සහායක් දෙනවා. ඕන වෙලාවක ‘ඩියුටිය ඔන් ඕෆ්’ වෙන වෙලාව මොනවා වුණත් ඉන්න කෙනා ඕන වෙලාවක ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. බොහෝම සතුටින් අපි කරගෙන යන වැඩක්.”

ඒ අනුව මේ වන විට මෙලෙස ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සංඛ්‍යාව 50 කට අධිකයි.

“මේ පාර ගොඩක්ම දුෂ්කරයි. තාත්තා ගෙනියන්න බෑ මේ පාරේ. ඩොක්ටර් ඇවිත් සියලුම සත්කාර කරනවා. එතුමාට ගොඩක් පිං සිද්ධ වෙනවා.”

++++++++

+


ඇල්පිටියේ තරුණියගේ ඝාතකයා පොලීසියට කොටු

(13.03.2024 – 10:42 +0530 – sinhala.adaderana.lk)

ඇල්පිටිය ප්‍රදේශයේදී 17 තරුණියක් ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මරණකාරියගේ මස්සිනා වන සුදේශ් ප්‍රියංකර නැමැති පුද්ගලයෙකි.

පොලීසිය විසින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී ඔහු පවසා ඇත්තේ, ඝාතනය වූ තරුණිය වෙනත් පුද්ගලයෙකු සමග සම්බන්ධකමක් පවත්වාගෙන ගොස් ඇති බැවින් ඝාතනය සිදුකළ බවය.

පසුව පොලීසිය විසින් සැකකරුව ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු එළැඹෙන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගෙල කපා ඝාතනය කළ 17 හැවිරිදි තරුණියකගේ සිරුරක් ඇල්පිටිය තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී පසුගිය 09 වනදා සොයා ගැණුනි.

මස්සිනා විසින් එසේ පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණේ කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි හංසිකා නදීෂානි නමැති තරුණියකි.

ඇගේ සහෝදරිය ඇල්පිටිය මන්නකන්ද ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇගේ දරු දෙදෙනා බලාගැනීම සඳහා මාස එකහමාරකට පෙර හංසිකා ඒ නිවස වෙත ගොස් තිබිණි.

ඒ අතරතුර සහෝදරියගේ සැමියා සමග ඇය සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබිණි.

හංසිකාගේ පියා පවසන්නේ, පසුගිය පෙබරවාරි 23 වැනිදා නිවසට පැමිණි සිය බෑනා සිය බාල දියණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවය.

පසුව යළිත් වතාවක් හංසිකාගේ නිවසට පැමිණි මස්සිනා, ඇයව පසුගිය දිනක යළිත් රැගෙන ගොස් තිබුණි.

ඒ අතරවාරයේ හංසිකා දුරකථන ඇමතුමක් ලබාදී මවට පවසා ඇත්තේ බලහත්කාරයෙන් රඳවා තබා සිටින තමාව බේරාගන්නා ලෙසය.

පැමිණිල්ල විභාග කිරීමට පොලීසියෙන් කළ දැනුම්දීමට අනුව හංසිකා, මව සහ සහෝදරියක් සමග ත්‍රිරෝද රථයකින් ඇල්පිටිය පොලීසිය වෙත යමින් සිටියදී තවත් දෙදෙනෙකු (2) සමග පැමිණි මස්සිනා ඇයව ත්‍රිරෝද රථයෙන් බලහත්කාරයෙන් බස්සවාගෙන තවත් ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් තිබිණි ෴


ගුරුවරුන්ට සහනයක්

(13.03.2024 – 18:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට පෙරපාසල් ගුරුවරුන් සදහා සහනදායි පොලී අනුපාතයක් යටතේ ණයක් ලබා දීමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සඳහන් කර තිබෙනවා.

සමෘද්ධි බැංකුව හරහා මෙම ණය මුදල් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙහි පළමු පියවර නියමු වැඩසටහනක් යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

නව සන්ධානයේ වෘත්තීය සමිති සභාපති සහ පෙර පාසල් සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් සහ කළුතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරු සංගමයේ නියෝජිතයින් සමග ඊයේ (13) පස්වරුවේ සමාජ සේවා අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා ෴


මෙවැනි කෙටි පණිවිඩ පිළිබඳව විමසිලිමත් වෙන්න

(13.03.2024 – 18:37 +0530 – hirunews.lk/sinhala)

පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා තැපෑලෙන් නිකුත් කළ කෙටි පණිවුඩයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ කෙටි පණිවුඩයක් මහජනතාව වෙත යවා ණය කාඩ්පත් දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් සිදුකරන බවට තොරතුරු හෙළිව තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දැනුම්දෙන්නේ එවැනි කෙටි පණිවුඩ වෙත සිය රහස්‍ය තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසටයි.


වාහන ආනයනය ගැන අලුත්ම ආරංචිය

(13.03.2024 – 20:37 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ (2025) සිට ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ තරුණයින් සමග පැවති සුවද හමුවකට එක් වෙමින්.

රටේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් නොමැතිව බලය ලබා ගැනීම වෙනුවෙන් දුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වූ බවත් ජනාධිපති එහිදී ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් එම වරද කිරීමට සූදානම් නොමැති බවයි ෴


අධික උණුසුම පළාත් 5 කට

(13.03.2024 – 22:39 +0530 – hirunews.lk/sinhala)

උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණ පළාත්වලට පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අධික උෂ්ණත්වයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සදහා ලබාදුන් උපදෙස් මාලාව ඇතැම් පාසල් නොසලකා හැර ඇති බවයි.

ඒ අනුව අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගනීමට සුදුසු පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය යළි පාසල් බළධාරින්ට සිහිකැදවීමක් සිදුකළා.

අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රිඩා තරග සහ පුහුණුවීම් පැවැත්වීමෙන් වැළකිය යුතු අතර, කළු වර්ණයෙන් යුත් ඇදුම් පැළදුම් භාවිතය නොකළ යුතු වනවා.

එසේම ටයිපටි පැළදීම හැකිතාක් අවම කළ යුතු බවත් හිස් වැසුමක් හෝ කුඩයක් භාවිත කිරීම සුදුසු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ගෙවුණු පැය 24 තුල වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.9 පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා ෴


“පරාටේ නීතිය වසර තුනක් (3) දක්වා අත්හිටුවිය යුතුයි” – ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදය

(13.03.2024 – 23:16 +0530 – hirunews.lk/sinhala)

තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය වසර තුනක් (3) දක්වා අත්හිටුවිය යුතු බව ‘ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංසදය’ පවසනවා.

අද (13) කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නියෝජිතයින් සඳහන් කළේ කඩා වැටුණු තම ව්‍යාපාර මාස කිහිපයකින් ගොඩනැගිය නොහැකි බවයි.

+++++++++

‘පරාටේ’ ගැන බැංකු ගත් තීරණය මෙන්න

(13.03.2024 – 22:10 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව හරහා පවතින නීති සංශෝධනය කරන තුරු, බැංකු සුදුසු අවස්ථාවලදී පරාටේ ප්‍රතිකර්මය භාවිත කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.

එවන් පසුබිමක ඇපයට තැබූ හිඟුරක්ගොඩ, ගල්කන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වෙන්දේසි කර තමන් සතු කරගැනීමට රජයට අනුබද්ධ බැංකුවක් ඊයේ (12) කටයුතු කර තිබුණි.

ඉදිකිරීම් අඩක් නිමවූ මෙම හෝටලයේ ඔප්පුව එම බැංකුවේ ඇපයට තබා එහි හිමිකරු රුපියල් ලක්ෂ 80 ක ණය මුදලක් ලබාගෙන තිබුණේ 2019 වසරේදීය.

කෙසේවෙතත්, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් ණය මුදල ගෙවා අවසන් කිරීමට ඔහුට නොහැකි වීම නිසා බැංකුව එය වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව බැංකුව ඊයේ (12) පස්වරුවේදී හෝටලයට රුපියල් ලක්ෂ 140 ක ලංසුවක් තැබූවත් වෙනත් කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා හෝටලය තමන් සතුකර ගත්තේය.

පරාටේ නීතිය මාස 10 ක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර ඇති පසුබිමක මෙය සිදුකිරීම සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු පළකළේ දැඩි අප්‍රසාදයකි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *