දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක

දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක


දකුණේ පාතාලයේ වැරදුණු ඉලක්ක

(12.03.2024 – 19:06 +0530 – sinhala.adaderana.lk)

‘යුක්තිය මෙහෙයුම’ නව මුහුණුවරකින් ආරම්භ වී පැය 24 ක් යෑමටත් මත්තෙන්, වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධි දෙකක් (2) අම්බලන්ගොඩ හා පිටිගල යන ප්‍රදේශවලින් ඊයේ (11) රාත්‍රියේ වාර්තාවුණි.

එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් සිව් දෙනකු (4) මිය ගොස්, 6 දෙනෙකු තුවාල ලැබූ අතර පොලිසිය පවසන්නේ ඝාතනයවූවන් කිසිදු අපරාධ චෝදනාවකට ලක් නොවූ පුද්ගලයන් බවය.

මේ අතර මල්වතුහිරිපිටිය භික්ෂුව ඝාතනයේ වෙඩික්කරු පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්විය.

අම්බලන්ගොඩ, ගලගොඩ, වෙලපාරේ පිහිටි වෙළෙඳසැලක් අසලදී ඊයේ (11) රාත්‍රී 08:35 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු T 56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) එම ස්ථානයේදීම මියගොස් තවත් තිදෙනෙකු (3) තුවාල ලබා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ, ‘හලඹ උදේශ් මධුරංග’ නෙහොත් ‘පොඩි මැන්ඩිස්’ නැමැත්තෙක් සහ ‘දඩල්ලගේ සිතුම් සංජන’ නම් අදාළ වෙළෙඳසැලේ හිමිකාර තරුණයාය.

‘උදේෂ් මධුරංග’ හෙවත් ‘පොඩි මෙන්ඩිස්’ නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කර පසුව එය නැවැත්වීම හේතුවෙන් උරණ වූ ‘සමන් කොල්ලා’ නම් සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සැකකරන බව පොලිසිය සඳහන් කළේය.

ඔහුට වෙඩි තබන අවස්ථාවේ එම ස්ථානයේ සිටි වෙළෙඳසැල් හිමිකරුද වෙඩි වැදී මිය ගියත් එම පුද්ගලයා ඉතා සාමකාමී ලෙස ජීවත්වූවෙකු බව පොලීසිය පවසයි.

වෙළෙඳසැල වෙත වෙඩික්කරුවන් එක දිගට වෙඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් තුවාළ ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ‘චතුර මදුශංක’ නොහොත් ‘ලොකු චතුර’, ‘පත්තිනි වසම් අකිල’ සහ ‘සංගමගේ චම්පික තුෂාර’ නැමැත්තන්ය.

+

මේ අතර පිටිගල, ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිටදී ද ඊයේ (11) 07:50 ට පමණ තවත් වෙඩි තැබීමක් සිදුව තිබේ.

එයද සිදුකර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩිකරුවන් දෙදෙනෙකු විසිනි.

ඉන් පුද්ගලයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුළු තිදෙනෙකු (3) තුවාල ලබා තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් ‍වෙළෙඳසැල වෙත භාණ්ඩ මිලදීගැනීම සඳහා පැමිණි කරන්දෙණියේ පදිංචිකරුවකු වන ‘සසිත් මධුෂංක’ නම් 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ බිරියද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසීය.

එමෙන්ම වෙළෙඳසැල වෙත භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ සිටි 26 හැවිරිදි ‘කවිෂ්ක අංජන’ නමැත්තාද වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද (12) අලුයම මියගියේය.

පොලීසිය පැවසුවේ, මෙම ‍වෙළෙඳසැලේ හිමිකරු ඉලක්ක කර වෙඩි ප්‍රහාර 18 ක් පමණ එල්ල කර ඇති නමුත් ඔහු එම ස්ථානයෙන් පලාගොස් ඇති බවය.

මෙහිදීද ඝාතනයට ලක් වූ කිසිවෙකුට කිසිදු අපරාධමය චෝදනාවක් නොමැති බව පොලිසිය සඳහන් කළේය.

මෙම වෙළෙඳසැලේ හිමිකරු මීට පෙර සිදුකළ මනුෂ්‍ය ඝාතනයක සැකකරුවකු වන අතර ඒ හේතුවෙන් ඔහුට වෙඩිතබන්නට ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කළේය.

https://www.youtube.com/watch?v=Wx87R0bjO-o

+


වෙඩි තැබීමක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක්

(13.03.2024 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

‘අලිවත්තේ විරාජ්’ නමැති පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුව තිබූ අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පාර්ශ්වයේ පිරිසක් විසින් වෙඩි තැබූ පාර්ශ්වය බව පැවසෙන නිවාස කිහිපයකටද පහර දී තිබෙනවා.

මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී ‘අලිවත්තේ විරාජ්’ නැමැති පුද්ගලයෙකු ඉලක්ක කර ඊයේ (12) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුවුණා.

පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් රිවෝල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදු කර පලාගොස් ඇති බවයි.

වෙඩික්කරුවන් පලා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා.

වෙඩික්කරු වෙඩි ප්‍රහාර හතරක් පමණ එල්ල කර තිබූ නමුත් එහි ඉලක්කය වූ ‘අලිවත්තේ විරාජ්’ නැමැත්තාට කිසිදු හානියක් සිදුවී නැහැ.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ඔහු නිවසේ අසුන්ගෙන සිට ඇති අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ ඔහු දිවගොස් දිවි බේරාගෙන තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ දැනට ඩුබායි හී සැඟවී සිටින ‘මට්ටක්කුලියේ ප්‍රදීප්’ නැමැත්තා බවට පොලිසි ය සැක කරනවා.

වෙඩි ප්‍රහාරයත් සමග ‘අලිවත්තේ විරාජ්’ නැමැත්තාගේ මිතුරන් ඇතුළු කිහිපදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කිරීමට උපදෙස් දුන් බව සැලකෙන ‘මට්ටක්කුලියේ ප්‍රදීප්’ ගේ නිවසට තියුණු ආයුධවලින් පහරදී අලාභ හානි සිදු කර තිබෙනවා.

ඔවුන් පැමිණෙන අයුරු නිවසක සවිකර තිබූ CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.

එම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘අලිවත්තේ විරාජ්’ නැමැත්තා පොලිස් භාරයට ගෙන තිබෙන අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔත්තු බැලූ බවට සැකපිට 19 හැවිරිදි තරුණයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+

මේ අතර පිටිගල ප්‍රදේශයේ වෙළඳසැලක් අසල සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන් සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් බුද්ධි අංශ එක්ව මෙහෙයුමක් අරඹා ඇති බවයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේද පෙරේදා (11) දින සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ කිසිවෙකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මෙම සිද්ධීන් දෙකෙන් පුද්ගලයින් සිව්දෙනෙකු (4) මියගොස් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

+

මේ අතර පසුගිය 08 වැනිදා ඇල්පිටිය තලාව පාරේ තේවත්තක ඝාතනය කර තිබූ තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි ‘හංසිකා නදීශානි’ගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයගේ මස්සිනා වන අතර ඔහු අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


කූඨ ලේඛන සකස් කළ බව කියන හිටපු අධිකරණ රෙජිස්ටාර්වරියගේ නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලීමක්

(13.03.2024 – 13:57 +0530 – hirunews.lk/sinhala)

කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාවට ඇප මත මුදා හැර සිටින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ හිටපු ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියට එරෙහි නඩුව වැඩිදුර වාර්තා සදහා ජූලි මස 17 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා.

එදිනට විමර්ශන ප්‍රගතිය ද දැනුම් දෙන ලෙසයි මහේස්ත්‍රාත්වරයා දැනුම්දී ඇත්තේ.

විදේශ ගමන් තහනමක් ඉවත් කර ඇති බවට ආගමන විගමන පාලක ජනරාල්වරයාට නිකුත් කළ ව්‍යාජ ලේඛනවල දැක්වෙන අත්සන් ඇයගේ බවට රජයේ රස පරීක්ෂකවරයා ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) අධිකරණයට දැනුම් දුන්නා.

නඩුව වෙනත් අධිකරණයට මාරු කරන ලෙස සැකකාර රෙජිස්ට්‍රාර්වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එය මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

විමර්ශන මූලික අවස්ථාවේ පවතින බැවින් එම ඉල්ලීම අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සිදු කරන ලෙසට එහිදී දන්වා තිබෙනවා ෴


අවසන් ගමනට සූදානම් කර බොරැල්ලේ මල්ශාලාවක තිබූ දේහයක්, පොලීසිය රැගෙන යයි

(13.03.2024 – 13:57 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ලේ ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක තිබූ දේහයක අවසන් කටයුතු නවතා දේහය පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා භාරදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට ඊයේ (12) නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කරනු ලැබුවේ කොල්ලු‍පිටිය පොලිසිය සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

තම සැමියා මාස තුනක (3) කාලයක් නිවසින් බැහැරව සිටි අතර, සහෝදරියකගේ කොල්ලු‍පිටිය ඇල්ෆ්‍රඩ් හවුස්හි පිහිටි නිවසේ නවාතැන් ගෙන සිටි බවත් මරණය සැක සහිත බවට මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව කොල්ලුපිටිය පොලීසිය අදාළ කරුණු දැක්වීම සිදුකර තිබුණා.

ඒ අනුව දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

සැක කටයුතු මරණයක් බවට ලද පැමිණිල්ල මත අපරාධ ස්ථානීය පරික්ෂණයක් සිදු කරන බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

මියගිය 64 හැවිරිදි පුද්ගලයා දීර්ඝකාලීනව වකුගඩු සහ හෘද රෝග සඳහා ප්‍රතිකාර ලැබූ අයෙකු බවට ද පොලිසිය කරුණු දක්වා ඇති අතර, මියගිය පුද්ගලයාගේ සහෝදරියගේ ඉල්ලීමට අනුව මෘතශරීරය මුද්‍රා තබා ඇති බවත් එහිදී ප්‍රකාශ කර තිබෙනවා ෴


බාල ඖෂධ ගැන හෙළිවූ දේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විගණන වාර්තාවක් උපුටා දක්වයි

(13.03.2024 – 15:08 +0530 – hirunews.lk/sinhala)

හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කළ ඇතැම් ඖෂධ භාවිතයට නුසුදුසු බව සොයාගන්නා විටත් එම ඖෂධවලින් 98% ක්ම රෝගීන්ට ලබාදී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විගණන වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කළේ ඇතැම් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීමටත් පෙර තාක්ෂණික ඇගයීම් වාර්තා නිකුත් කර ඇති බවයි.

මේ අතර කල් ඉකුත් වීමට ආසන්න ඖෂධ හැකි ඉක්මනින් භාවිතයට ගන්නා ලෙස දන්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ලිපියක් නිකුත් කර ඇති බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ.

+++++++++

විගණන වාර්තාවක් නිසා සිවිල් සංවිධාන ඇවිස්සෙයි | සෞඛ්‍යයේ ලොක්කෙක් ගැන CIDයට පැමිණිල්ලක් (13.03.2024)

+


වසර 33 කට පසුව යාපනයේ නිදහස් වූ ඉඩම් හා ගෙවල් බලන්න අයිතිකරුවන් පැමිණෙයි

(13.03.2024 – 17:07 +0530 – hirunews.lk/sinhala)

වසර 33 කට පසුව යුද්ධය හේතුවෙන් යාපනය වලිකාමම් ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපයට ගෙන තිබූ ඉඩම් හා නිවාස ප්‍රමාණයක් නිදහස් වීමෙන් පසුව මේ දිනවල අදාල ඉඩම් හා නිවාස පරික්ෂාකිරීමට එහි මුල් පදිංචිකරුවන් පැමිණි පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

1990 සහ 1991 වසර වලදී යුද්දය හේතුවෙන් යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ ඉඩම් හා නිවාස ආරක්ෂක අංශ වෙතට අධිආරක්ෂිත කලාප වෙතට පවරා ගනු ලැබුවා.

කෙසේ වෙතත් අදාල ඉඩම්හි සිටි ජනතාව ජීවිත ආරක්ෂා වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ඥාති හිතමිතුරන් සමග ජීවත් වූ අතර යුද්දය නිමා වී බිම්බෝම්බද ඉවත් කිරීමෙන් පසුව අධිආරක්ෂිත කලාපයන්හි පිහිටි ඉඩම් පියවරෙන් පියවර මුල් අයිතිකරුවන් වෙතට නිදහස් කිරීමට ආරක්ෂක අධීක්ෂණයෙන් රජය විසින් පියවර ගනු ගත්තා.

මේ අනුව යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පිහිටි කංකසන්තුරෙයි උතුර ජේ.235 ග්‍රාමසේවා වසමේ අක්කර 20.32 ක් ද දකුණු ග්‍රාමසේවා වසමේ අක්කර 25.02 ක් වශයෙන් ද පසුගියදා යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් මුලඅයිතිකරුවන්ට නිදහස් කිරීම සිදුව තිබෙනවා.

එලෙස නිදහස් කරන ලද ඉඩම් වර්ථමානය වන විට පවතින ආකාරය වසර 33 කට පමන පසුව අයිතිකරුවන් දැක බලාගැනීමට මේ දිනවල පැමිණෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් අධිආරක්ෂිත කලාපවල පිහිටි ආදාල ඉඩම් හා නිවාස යුදහමුදාව විසින් ආරක්ෂිතව තබාගැනීම සම්බන්ධයෙන්ද මුල් අයිතිකරුවන් විසින් ප්‍රසාදය පල කළ බවයි වැඩිදුරටත් වාර්තා වූයේ ෴


මත්ද්‍රව්‍ය ජාවාරමෙන් කඩවත රජ කළ ජාවාරමාගේ කඩවත තට්ටු තුනේ සුපිරි නිවස දැක්කද..? | නිවසට පොලීසිය කළ දේ (13.03.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *