අන්තර්ජාල යෙදවුමක් ඔස්සේ සමරිසියන්ගෙන් මුදල් පැහැරගත් තිදෙනෙකු (3) අත්අඩංගුවට

අන්තර්ජාල යෙදවුමක් ඔස්සේ සමරිසියන්ගෙන් මුදල් පැහැරගත් තිදෙනෙකු (3) අත්අඩංගුවට


අන්තර්ජාල යෙදවුමක් ඔස්සේ සමරිසියන්ගෙන් මුදල් පැහැරගත් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(05.03.2024 – 08:10 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලයේ ඇති යෙදවුමක් යොදාගනිමින් සමලිංගික ඇසුරට ඇල්මක් දක්වන් පුද්ගලයින් කූට ආකාරයෙන් පොළඹවා ගනිමින් ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකන පුද්ගලයින් තිදෙනෙකු (3) ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අන්තර්ජාලයේ ඇති මෙම යෙදවුම සමඟ එක්වන සමලිංගිකයින් සමඟ මෙම ජාවාරමේ නිරතවන කණ්ඩායමේ පුද්ගලයෙකු සැක නොසිතන ලෙස සුහදව කතබහකොට එම පුද්ගලයින්ව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පෞද්ගලික නිවසකට රැගෙන ගොස් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි.

මෙම අන්තර්ජාල යෙදවුම මඟින් කොල්ලකරුවන්ට හසුවූ වයස අවුරුදු 28 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භකර ඇති පොලිසිය වයස අවුරුදු 17, 20 සහ 39 යන වයස් මට්ටම්වල සිටින බොරුපන සහ සොයිසාපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත්තේ මෙසේ මෙම කණ්ඩායමේ පුද්ගලයෙකු තමාව ඔවුන්ගේ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකට ගෙන්වා ගැනීමෙන් පසුව එම යෙදවුම මඟින් කතාබහ කළ පුද්ගලයා සමඟ ලිංගිකව හැසිරීමට කටයුතු කරන බවයි.

පසුව මඳ වේලාවකින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) එම ස්ථානයට පැමිණ එහි ලිංගිකව හැසිරෙන ඔවුන්ට බැණ වැදී පහර දෙන ආකාරයට හැසිරී ඔවුන්ගේ සහෝදරයා බලහත්කාරයෙන් පොළඹවා ගෙන ඔහු සමඟ ලිංගිකව හැසිරෙන බව පවසා තමාට තර්ජනය කල බව පැමිණිලිකරු පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

පසුව අදාළ සමරිසි පුද්ගලයාගේ නිරුවත් ජායාරූප ගෙන, තර්ජනය කොට අන්තර්ජාලයට මුදාහරින බව පවසා එසේ නොකර සිටීමට නම් මුදල් දෙන ලෙස තර්ජනය කර ඇති අතර, පැමිණිලිකරුගේ බැංකු කාඩ්පත රැගෙන ගොස් රුපියල් 103,000 මුදලක් කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ ෴


මවගේ ඇකයෙන් ගිලිහී මාර්ගයේ වැටී සිටි දරුවා බේරාගත් තරුණයාට සම්මානයක්

(05.03.2024 – 10:39 +0530 – hirunews.lk/sinhala)

කිතුල්ගල ප්‍රදේශයේ දී චාරිකාවක් යන අතරතුර ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි මවකගේ ඇකයේ සිටි මසක් (1) වයසැති බිළිඳෙකු මවටද නොදැනී මහ මඟට ඇද වැටුණු සිදුවීමේදී එම දරුවා බේරාගත් ‘රුවන් සජිත්’ නම් තරුණයාට සම්මානයක් ලබා දීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පොලිසිය සඳහන්කර සිටියේ මේ පිළිබඳව කඩිනමින් පොලිස්පතිට දැනුම්දීමට කටයුතු කරන බවයි.

අදාළ දරුවා කිතුල්ගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර එවා තිබෙනවා.

මීගමුව ප්‍රදේශයේ පදිංචි පවුල් 2 ක සාමාජිකයින් ත්‍රිරෝද රථ දෙකකින් (2) කතරගම හරහා නුවරඑළියේ චාරිකාවක් ගොස් ආපසු එමින් සිටියේ ඊයේ (28) පස්වරුවේයි.

එක් ත්‍රිරෝද රථයක මව පියා මෙන්ම ඔවුන්ගේ අවුරුදු 6 සහ 3 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනා (2) සහ මසක් (1) වයසැති බිළිඳා ද ගමන් කර තිබෙනවා.

ඒ අතරතුර මවගේ ඇකයේ සිටි මසක් (1) වයසැති බිළිඳා ලිස්සා ගොස් ත්‍රිරෝද රථයෙන් පිටතට වැටී තිබුණා.

කෙසේ වෙතත් මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක රියැදුරු අදාළ දරුවා දැක ඒ බව කිතුල්ගල පොලිසියට දැනුම් දී තිබෙනවා.

තම ඇකයේ බිළිඳා නොමැති බවට මව දැනගෙන තිබුණේ ටික දුරක් ගමන් කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව, ඔවුන් මාර්ගය දෙපස දරුවා සොයමින් ආපසු පැමිණෙන අවස්ථාවේදී වෙනත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු දරුවෙකු මහ මග වැටී සිටි බවත් වෑන් රථ රියදුරකු විසින් දරුවා පොලිසියට භාරදුන් බවත් පවසා තිබුණා.

මව්පියන් පොලිසියට යන විටත් පොලිස් නිලධාරින් විසින් දරුවා කිතුල්ගල ප්‍රාදේශීය රෝහලට භාරදී තිබුණේ සිරුරේ තිබූ සීරීම් තුවාල හේතුවෙන්.

අනතුරුව එම දරුවා කරවනැල්ල රෝහලට මාරුකර යැවීමට කටයුතු කෙරුණා.

කෙසේ වෙතත් දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කළා ෴

+

01.03.2024

+


‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ සඳහා ලංසු කැඳවීම දින 45 කින් දීර්ඝ වෙයි

(05.03.2024 – 10:57 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකන් ගුවන් සේවය’ සඳහා ලංසු කැඳවීම කල්ගොස් තිබෙනවා.

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන්කර සිටියේ දින 45 කින් එය දීර්ඝ වූ බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවාවන් තවත් මාස 06 ක් පවත්වාගෙන යාමට මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරනවා.

එමෙන්ම ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් ඩොලර් මිලියන 510 ක හිඟ ණය බර රජයට පවරා ගැනීමේ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

+


අවලංගු වූ බස්නාහිර පළාතේ වාර විභාග හෙට (06) සහ අනිද්දා (07)

(05.03.2024 – 11:13 +0530 – hirunews.lk/sinhala)

විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර නිකුත්වීම හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවල ගණිතය සහ විද්‍යාව විෂයන්වල අදාළ විභාග හෙට (06) සහ අනිද්දා (07) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව හෙට (06) දිනයේදී ගණිතය ප්‍රශ්න පත්‍රයේ පළමු (1) කොටස ලබාදෙන අතර, අනිද්දා (07) දිනය වෙන්කර ඇත්තේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ පළමු (1) කොටස සඳහායි.

එමෙන්ම ලබන 11 වනදා ගණිතය ප්‍රශ්න පත්‍රයේ දෙවන (2) කොටසට අදාළ විභාගය පැවැත්වෙන අතර, 12 වනදා පැවැත්වෙන්නේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන (2) කොටසට අදාළ විභාගයයි.

බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවලට අදාළ විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රය පසුගිය පළමුවැනිදා (01) පැවති අතර, විභාගය පැවැත්වීමට පෙර එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය වෙත නිකුත් වි තිබුණා.

එමෙන්ම එම පළාතේ පාසල්වලට පසුගිය අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ ගණිතය විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සහ එහි පිළිතුරු පත්‍රය ද සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.

වාර විභාගවලට අදාළ ප්‍රශ්න පත්‍ර නිකුත් වීම සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා ෴


නවගමුවේ වෙඩි තැබීමක්

(05.03.2024 – 12:06 +0530 – hirunews.lk/sinhala)

නවගමුව පොලිස් වසමේ කරතොට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ගොඩනැගිලි වෙළඳහලක් ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

යතුරුපැදි‍යකින් පැමිණි දෙදෙනෙකු (2) අහසට වෙඩි තබා පලා ගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ ෴

++++++++

https://www.youtube.com/watch?v=AxLVdLYaFoo

+


ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක්

(05.03.2024 – 12:43 +0530 – hirunews.lk/sinhala)

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ජනවාරි මාසයේ දී දර්ශකාංක 52.9 ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බවට තොරතුරු වාර්තා වෙනවා.

2022 ජනවාරි මාසයෙන් පසුව මෙම දර්ශකය කඩඉම් මට්ටම අභිබවා ගිය ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.

නව ඉදිකිරීම් කටයුතුවල ක්‍රමික වර්ධනයක් මෙන්ම අත්හිටුවා තිබූ ඇතැම් ව්‍යාපෘති ජනවාරි මාසය තුළදී සීමිත වශයෙන් නැවත ආරම්භ කිරීමක් ද දක්නට ලැබුණු බවයි බොහෝදෙනා ප්‍රකාශකර සිටියේ.

පසුගිය මාසයට සාපේක්ෂව ජනවාරි මාසයේදී නව ඇණවුම් ඉහළ යෑමක් වාර්තා වූ අතර මේ වන විට විදේශ අරමුදල් මගින් සිදු කරන ව්‍යාපෘති මෙන්ම දේශීය පෞද්ගලික අංශයේ අරමුදල් මගින් සිදු කරන ව්‍යාපෘතිවල ද ඉහළ යෑමක් දක්නට ලැබුණු බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහොමයක් දෙනා සඳහන් කර සිටියේ.

මේ අතර, සමස්ත ක්‍රියාකාරකම් හා නව ඇණවුම් ඉහළ යෑමට සමගාමීව තොග මිලදී ගැනීම් ප්‍රමාණය ද ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වුවද, ප්‍රධාන වශයෙන් එකතු කළ අගය මත බදු සඳහා කරනු ලැබූ සංශෝධනවල බලපෑම හේතුවෙන් ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව භාර දෙයි

(05.03.2024 – 13:37 +0530 – hirunews.lk/sinhala)

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.

මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කාරකසභා අවස්ථාවේ දී එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දු හා තීරණවලට පටහැනිව සම්මත කර ගන්නා බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් ඉදිරිපත් කර සිටිය දී එම විරෝධතා නොසලකා හරිමින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තීරණවලට පටහැනිව ආණ්ඩු පක්ෂයට එම පනත් කෙටුම්පතේ යම් යම් වගන්තීන් සම්මත කරවා ගැනීමට ඉඩ ලබා දීමෙන් නිසා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් පසුගිය පෙබරවාරි 26 වැනිදා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලැබුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් එසේ ගෙන එන ලද මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 දෙනකුගේ අත්සන් සහිත බවයි වාර්තා වෙන්නේ.

කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරිම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝනය කිරීම, කතානායක ධුරයේ ස්වාධිනත්වය හා ගෞරවය කෙළෙසීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් කඩ කරමින් සිය වගකීම් පැහැර හැරීම ආදී චෝදනා රැසක් මෙහි අන්තර්ගතවන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

+


ක්‍රිකට් ආයතනයේ වියදම් අසා මන්ත්‍රී හේෂාගෙන් විගණකාධිපතිවරයා වෙත ලිපියක්

(05.03.2024 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 ගිණුම් වාර්තාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විගණකාධිපතිවරයා වෙත අද (05) පෙරවරුවේ ලිපියක් භාර දුන්නා.

කරුණු 25 කින් සමන්විත එම ලිපිය මගින් හේෂා විතානගේ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ, මීට පෙර කරන ලද විගණනයන්හි දී විගණන නිලධාරීන් නොමග යවමින් සහ වැරදි තොරතුරු ලබා දෙමින් අසම්පූර්ණ විගණන වාර්තා ලබා ගැනීමට ක්‍රිකට් නිලධාරීන් කටයුතු කර ඇති බවට තොරතුරු ඇති බවයි.

එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2018 වසරේ සිට මේ දක්වා සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ නාස්තිකාර වියදම් පිළිබඳව පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විශාල ලෙස හඬ නැගූ පුද්ගලයෙකු ලෙස මෙම ලිපියේ සඳහන් කරුණු පිළිබඳව විගණකාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙසට ඉල්ලා සිටින බවයි.

ඒ අනුව, මෙම ලිපියේ කරුණු 25 ක් ඇතුළත්කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සොයා බලා 2023 විගණන වාර්තාවට ඇතුළත් කරන මෙන් හේෂා විතානගේ මන්ත්‍රීවරයා විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

2018 සිට 2023 දක්වා විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත්කර ඇති නිර්දේශ ක්‍රියාත්මක වී තිබේද?

2022 වසරේ ඩුබායි හි පැවති ආසියානු කුසලාන තරගාවලියේ තරග ප්‍රවේශපත් අලෙවිය කොපමණද?

එම මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබුණේද? එසේ නම් එම මුදල කොපමණ ද?

2023 ශ්‍රී ලංකාවේ පැවති ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කොපමණ මුදලක් වැය කළේද, එම මුදල් ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් නැවත ලැබුණේද?

දඹුල්ල සහ පල්ලේකැලේ ක්‍රීඩාංගනවල සාදා ඇති පිහිනුම් තටාක වැඩ නිම කර තිබේද?

එම පිහිනුම් තටාක සඳහා වියදම් කර ඇති සත්‍ය මුදල් ප්‍රමාණය කොපමණද? ඇතුළු කරුණු 25 ක් එම ලිපියේ ඇතුළත්.

විගණකාධිපතිවරයා වෙත භාරදුන් ලිපියේ පිටපත :
[1 කොටස][2 කොටස][3 කොටස]

+

+


පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන්ට ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

(05.03.2024 – 14:00 +0530 – hirunews.lk/sinhala)

රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන්ට දින 170 ක් සඳහා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම, මේ වන විට එක් (1) සිසුවෙක් සඳහා දිනක ආහාර වේලක් සඳහා ලබා දෙන රුපියල් 85 ක මුදල රුපියල් 110 දක්වා ඉහළ නැංවීමට ද අනුමැතිය හිමි වූ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

පාසල් ආහාර වැඩසටහන වෙනුවෙන් ‘සේව් ද චිල්ඩ්රන්’ සංවිධානය මගින් මේ වසර සඳහා තෝරාගත් පාසල් 917 ක සිසුන් ලක්ෂ දෙකකට (2) ආහාර ද්‍රව්‍ය 08 ක් ලබාදීමටද එකඟතාව පළ කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *