ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල අද (04) මැදියම් රැයේ සිට සංශෝධනය වේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල අද (04) මැදියම් රැයේ සිට සංශෝධනය වේ


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල අද (04) මැදියම් රැයේ සිට සංශෝධනය වේ

(04.03.2024 – 21:27 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

‘ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95’ ලීටරයක මිල රුපියල් 9 කින්, ‘සුපිරි ඩීසල්’ ලීටරයක මිල රුපියල් 10 කින් සහ ‘භූමිතෙල්’ ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ‘ලංකා ඛනිජ තෙල් සංස්ථාව’ පවසනවා.

එම මිල පහළ දැමීමත් සමඟ ‘ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95’ ලීටරයක නව මිල රුපියල් 447 ක් ලෙසත් ‘ලංකා සුපර් ඩීසල්’ ලීටරයක නව මිල රුපියල් 458 ක් සහ ‘භූමිතෙල්’ ලීටරයක නව මිල රුපියල් 257 ක් ලෙසත් සටහන් වනවා.

‘ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92’ ලීටරයක මිල රුපියල් 371 ක සහ ‘ඩීසල්’ ලීටරයක මිල රුපියල් 363 ක තව දුරටත් පවතින බවත් එම සංස්ථාව පැවසුවේ.

ඒ පහත පරිදි යි :

+

+++++++++++

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් නිකුත් කෙරේ

(04.03.2024 – 21:52 +0530 – sinhala.adaderana.lk)

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 447 කි.

එසේම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458 කි.

මේ අතර එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිලේ කිසිදු වෙනසක් සිදුකර නොමැත.

සයිනොපෙක් සමාගම 92 වර්ගයේ ඉන්ධන ලීටරයක් 368 ක් වන අතර සයිනොපෙක් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 360 කි ෴


ළමයෙකුට භාරදුන් උපතැපල් කන්තෝරුව

(04.03.2024 – 23:29 +0530 – hirunews.lk/sinhala)

සිය ධුරයේ රාජකාරි ආවරණය කිරීමට දරුවන් යොදාගත් රාජ්‍ය නිලධාරිනියක් පිළිබඳව කොලොන්න දාපනේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම ක්‍රියාව සිදුකර තිබුණේ එම ප්‍රදේශයේ උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරියයි.

මෙම තැපැල් කාර්යාලයෙන් තැපැල් දෙපාර්තමේන්තුවට අලාභයක් සිදුවන බව පවසමින් එම කාර්යාලය වෙනත් ප්‍රදේශයකට මාරු කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

නමුත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ උප තැපැල් කාර්යාලය අලාභදායී වීමට හේතු වී ඇත්තේ එහි ස්ථානාධිපතිවරියගේ ක්‍රියාකලාපය බවයි.

බොහෝ අවස්ථාවල කාර්යාලය අවට නිවෙස්වල දරුවන් සිය රාජකාරි අසුනේ හිඳුවා ඇය සිය පෞද්ගලික කටයුතු සඳහා පිටව යන බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

එලෙස ස්ථානාධිපතිවරිය විසින් දරුවෙකු අසුනේ තබා ගිය අවස්ථාවක ප්‍රදේශවාසියෙකු පටිගත කළ වීඩියෝ පටයක්ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා.

මෙම උප තැපැල් කාර්යාලය වසා නොදමන ලෙසත්, නව ස්ථානාධිපතිවරියක් අනුයුක්ත කරන ලෙසත් බල කරමින් ප්‍රදේශවාසීන් දාපනේ මංසන්ධියේදී විරෝධතාවයක ද නිරත වුණා.

+


Hiru TV Salakuna Live | Wimal Weerawansa | Episode 423 | 2024-03-04

+


මහ බැංකු නිලධාරීන් අද (05) පාර්ලිමේන්තුවට

(05.03.2024 – 08:14 +0530 – hirunews.lk/sinhala)

කිසිදු පාර්ශ්වයකට නොදන්වා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් සියයට 70 කින් වැඩි කරගැනීම පිළිබඳව කරුණු විමසීමට එහි ප්‍රධානීන් අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

පළමුව පක්ෂ නායකයින් හමුවට කැදවා ඇති මොවුන් පසුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ හමුවේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඊයේ (04) අමාත්‍ය මණ්ඩලය හමුවේ ද පෙනී සිටියා.

එහිදී අමාත්‍ය මණ්ඩලය විසින් මහ බැංකු අධිපතිවරයා ඇතුලු නිලධාරීන්ට වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වියදම් සීමා කිරීමට මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛ පවා නිකුත් කර ඇති පසුබිමක රුපියල් ලක්ෂ ගණනින් මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කර ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ සියලු රාජ්‍ය ව්‍යවසායක ආයතනවලට අත්තනෝමතිකව වැටුප් වැඩි කරගැනීමේ හැකියාව වළක්වන නව පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

+


අධිකරණ නියෝග කඩ කරමින් පැවැත්වීමට ගිය මහා පරිමාණ පූජාවකට තහනමක්

(05.03.2024 – 08:52 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව, නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටා ඇති ‘වෙඩික්කුනාරී කෝවිලේ’ මහා ශිව රාත්‍රී දිනයට මහා පරිමාණයෙන් පොංගල් උළෙලක් පැවැත්වීමට ගෙන තිබූ තීරණයක් වව්නියාව මහාධිකරණය මඟින් නවතා දමන ලෙස ඊයේ (04) නියෝග කොට තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඓතිහාසික තොරතුරු වලට අනුව ‘උතුරේ වඩ්ඩමාන පබ්බත විහාරය’ ලෙස සලකනු ලබන්නේ මෙම ස්ථානය වන බවත්, යුද සමයේදී එම පළාත්වලට බෞද්ධ ජනතාවට යාමට නොහැකි වූ නිසා හින්දු බැතිමතුන් එම ස්ථානයේ ‘ආදී ලිංගේස්වර කෝවිල’ නමින් ශිව කෝවිලක් තනාගෙන ඊට පුද පූජා පවත්වන බවයි.

නටබුන්වලට හානි සිදුකරමින් මෙම ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමට කෝවිලේ පාලන අධිකාරිය පියවර ගත් අවස්ථාවේදී පුරාවිද්‍යා නිලධාරීන් නෙඩුන්කේණී පොලිසියට ඒ බව පැමිණිලි කොට වව්නියාව මහාධිකරණයේ නඩුවක්ද ගොණු කොට ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ නිසා එම ස්ථානය සම්බන්ධයෙන් දැඩි මතභේදකාරී තත්ත්වයක් හට ගත් අතර, ඒ නිසාම වව්නියාව අධිකරණයේ ගොණු වූ නඩු සංඛ්‍යාව හයක් (6) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අවසන් වරට වව්නියාව මහාධිකරණය මඟින් නිකුත් කළ නියෝගයේ සඳහන් වූයේ මෙම ස්ථානය සම්බන්ධයෙන් නිශ්චිත අයිතිවාසිකම් තීරණයකට එළඹෙන තුරු කිසිම සංවර්ධන කටයුත්තක් හෝ මහා පරිමාණයේ උත්ස්ව කිසිවක් නොපවත්වන ලෙසයි.

එම නියෝගය එසේ තිබියදී සංවිධානාත්මක කණ්ඩායමක් මේ ස්ථානයට විදුලි ජනක යන්ත්‍ර රැගෙන ගොස් තාවකාලික මඩු තනා මහාශිව රාත්‍රී දිනයට විශාල පරිමාණයේ පොංගල් උත්සවයක් පැවැත්වීමට පියවර ගත් නිසා නෙඩුන්කේණී පොලිසිය වව්නියාව මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව අධිකරණය විසින් අවසරය ලබාදී ඇත්තේ මීට පෙර අධිකරණය විසින් නිකුත් කොට ඇති නියෝගයන්ට අනුකූලව පමණක් එම ස්ථානයේ පූජාවන් පවත්වන ලෙසයි ෴


17 හැවිරිදි පෙම්වතිය සහ පෙම්වතා ‘අයිස්’ සමඟ වෙරළේදී අත්අඩංගුවට

(05.03.2024 – 09:13 +0530 – hirunews.lk/sinhala)

‘අයිස් මත්ද්‍රව්‍ය’ සන්තකයේ තබාගෙන වාද්දූව මුහුදු වෙරළේ රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක සහ ඇයගේ 30 හැවිරිදි පෙම්වතා අත්අඩංගුවට ගත්බව වාද්දූව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර යුවල වාද්දූව ප්‍රදේශයේම පදිංචි දෙදෙනෙක්.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වාද්දූව, පොහද්දරමුල්ල වෙරළ තීරයේදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ මිලිග්‍රෑම් 20 ක් සහ එම මත්ද්‍රව්‍ය පානය කරන උපාංග සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඇය හොරණ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගි වී නිවසට පැමිණෙන අතරතුරදී සැකකාර පෙම්වතාට මත්ද්‍රව්‍ය පානය කිරීමටත් මත්ද්‍රව්‍යවල ආරක්ෂාවටත් ඒවා තමන් සන්තකයේ තබාගත් බව‍යි ෴


තර්ජන හමුවේ විදෙස් ගත වූ IP සේවයෙන් නෙරපයි?

(05.03.2024 – 10:10 +0530 – hirunews.lk/sinhala)

එල්ල වූ තර්ජන අභිමුව විදෙස් ගත වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක හෙට (06) දිනයේ සේවයට වාර්තා නොකළහොත් ඔහුගේ සේවය්ට නෙරපා හරින බවට තොරතුරු වාර්තා වෙනවා.

රාජකාරී නිවාඩු ලබාගෙන විදෙස් ගතවී ඇති ඔහුගේ නිවාඩු අවසන් වීමට ඇත්තේ හෙට (06) දිනයේයි.

දුමින්ද ජයතිලක සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් සහ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

විවිධ වැටලීම් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් හමුවේ ඔහුට එල්ලවන මරණ තර්ජන ගැන ‘හිරු’ ඔස්සේද අනාවරණය කරනු ලැබුවා.

මෙරටින් පලා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කංජිපානි ඉම්‍රාන්’ගෙන්ද ඔහුට මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

මෙම තත්ත්වය අභිමුව ඔහු 7 හැවිරිදි දියණිය හා බිරිඳ රහස් ස්ථානයක සඟවා ප්‍රංශය වෙත ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ තමාගේ සහ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් බව ඔහු ප්‍රංශයේ සිට ‘හිරු ප්‍රවෘත්ති’ වෙත අනාවරණය කර සිටියේ.

ඔහු සඳහන්කර සිටියේ මෙවැනි අදහසක් :

“විමර්ශන කරන කොට මට, බිරිඳට, දියණියට පාතාලෙන් තර්ජන ආවා. තර්ජන නිසා තමයි මම රටින් ආවේ. මට ආරක්ෂාවක් නැහැ කියලා තේරුනා. මම ආවත් බිරිඳ සහ දියණිය ලංකාවේ සඟවලා ඉන්නේ. රට හරි ස්ථාවරයකට ආවොත් මම සේවය කරන්න ලංකාවට එනවා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *