හංවැල්ලේ වෙඩි තැබීමකින් ‘මන්නා රොෂාන්’ගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට

හංවැල්ලේ වෙඩි තැබීමකින් ‘මන්නා රොෂාන්’ගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට


හංවැල්ලේ වෙඩි තැබීමකින් ‘මන්නා රොෂාන්’ගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට

(04.03.2024 – 12:27 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල – නිරිපොළ – වෙළ පාරේ අද (04) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මන්නා රොෂාන්’ නැමැත්තාගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

මොවුන් කැබ්රථයකින් ගමන් කරමින් සිටිය දී අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව සදහන් කළේ T56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි දැනට සිදු කළ විමර්ශන වලදී අනාවරණ වී ඇති බවයි.

+++++++++

https://www.youtube.com/watch?v=a_LSvCDIixY

+


අධිකරණයට රැගෙන ආ සෞඛ්‍ය අතිරේක ලේකම් ගෙන් මහේස්ත්‍රාත්වරිය හමුවේ පැය භාගයක (½) රහස් ප්‍රකාශයක්

(04.03.2024 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ‘වෛද්‍ය සමන් රත්නායක’ අද (04) මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය හමුවේ විනාඩි 30 ක රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

ඒ, ඔහු පසුගිය නඩු වාරයේදී කළ ඉල්ලීම අනුව අධිකරණය ලබාදුන් අවසරය මතයි.

පෙරවරු 09:10 සිට 09:40 දක්වා මෙම ප්‍රකාශය ලබාදුන් බවයි ‘හිරු අධිකරණ වාර්තාකරු’ සඳහන් කළේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය 01 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම විසින් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සහ ඔහු මෙම නඩුවට ඇති සම්බන්ධය පිළිබඳ සාක්ෂි වාර්තා අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී නඩුවේ 10 වැනි සැකකරු ලෙස සමන් රත්නායක නම් කිරීමට අවසර ලබා දුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කළේ එළඹෙන 14 වැනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

සමන් රත්නායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ සිය සේවාදායකයාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වයං පාපොච්චාරණයක් කිරීමට අවශ්‍ය බවයි.

ඒ අනුව අද (04) දිනයේ එම පාපොච්චාරණය කිරීමට අධිකරණය අවසර ලබා දුන් අතර එතෙක් මහර බන්ධනාගාරයේ ඔහුව රැඳවීමට අධිකරණය එදින නියෝග කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අද (04) පෙරවරු 09:10 ට පමණ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මහේස්ත්‍රාත්වරිය හමුවේ ස්වයං පාපෝච්චාරණය සිදුකළ වෛද්‍ය සමන් රත්නායක පෙරවරු 09:45 ට පමණ මහර බන්ධනාගාරය වෙත යළි රැගෙන ගියා.

+++++++++

+


වවුලන් ජලය පානය කරන මිල කළ නොහැකි දුර්ලභ දර්ශනයක් ‘හිරු කැමරාවේ’ සටහන් වෙයි

(04.03.2024 – 14:45 +0530 – hirunews.lk/sinhala)

තිස්ස වැව් තාවුල්ලේ දී දේශීය වවුල් විශේෂ මේ දිනවල පවතින අධික උෂ්ණත්වයත් සමඟ රංචු පිටින් ජලය පානය කිරීමට පැමිණිම අප වාර්තාකරුගේ කැමරාවට ලක්ව ඉතා සුවිශේෂී දර්ශනයක් ලැබී තිබෙනවා.

මේ, ශ්‍රී ලංකාවට සංචාරක පක්ෂීන් බහුලව පැමිණෙන කාලයක්.

ඒ නිසාම ලොව පුරා සිටින සංචාරකයින් රැසක් මේ කාලයේ ශ්‍රි ලංකාවට පැමිණෙන්නේ මේ පක්ෂීන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමටයි.

දේශීය වවුල් විශේෂ ලාංකිකයින් වන අපිට සුලබ දසුනක් වන අතර, වවුලන් අප බොහෝ අවස්ථාවල දකින්නේ ගස් මත එල්ලී සිටින ආකාරය සහ සවස් කාලවල පියාසර කරන ආකාරය පමණයි.

වවුලන් මෙලෙස ජලය පානය කරන ආකාරය දැකගැනීම මිනිසෙකුට පහසු කාරණයක් නොවේ.

+


“එදා පාසල් ගිනි තියපු කුහක විප්ලවවාදීන්ම තමයි අද අධ්‍යාපනය නවීකරණය කරන්න දෙන්නේ නැත්තේ” – සජිත් ප්‍රේමදාස

(04.03.2024 – 15:46 +0530 – hirunews.lk/sinhala)

මේ රටේ පාසල් ගිනිතියපු යුගයක් තිබූ බවත් ඒ සඳහා භීෂණය නිර්මාණය කළ කණ්ඩායම් පාසල් දරුවන්ගේ දෙමාපියන් පවා උපයෝගී කර ගෙන පාසල් ගිනිතියපු නිසා පාසල්වල ‘මේ මගේ දරුවාගේ පාසලයි මෙය සුරැකීම අපේ යුතුකමයි’ යනුවෙන් ලියා තැබීමට සිදුවූ බවත් මේ දේවල් අමතක නොකළ යුතු බවත් පාසල් ගොඩනගනවා වෙනුවට පාසල් ගිනිතියපු, විනාශ කළ කාලයක් තිබූ බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 118 වැනි අදියර යටතේ අද (04) මොණරාගල බුත්තල ගෝණගංආර කනිටු විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

එලෙස පාසල් ගිනිතැබීමට බැරි වූ නිසා වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිමට ඉඩ නොදෙන බවත්, මේ ආකාරයෙන් ගියහොත් 41 ලක්ෂයක් පාසල් දූදරුවන් පවා විනාශ වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා පාසල් ගිනිතැබූ විප්ලවවාදීන් තමන්ගේ දූදරුවන්ට වඩා රටේ දරුවන් ඉදිරියට පැමිණේය කියන බිය නිසා අධ්‍යාපනයේ නවීකරණයක් සිදු කිරීමට ඉඩ නොදෙන බවත් සඳහන් කළා.

එමෙන්ම එදා පාසල් ගිනි තැබූ පුද්ගලයන් සහ අද අධ්‍යාපනය නවීකරණය කරන්න විරුද්ධවන කණ්ඩායම දෙකක් නොව එකක් බවත්, ඔවුන්ගේ දරුවන් ඉගෙනුම ලබන්නේ පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාවල බවත් ඔහු සඳහන් කළා.

එහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ රජය රටේ ඩිජිටල් පරිවර්තනාත්මක යුගයක් බිහි කරනවා පැවසුවත් රටේ පාසල්වල 40,000 ක ගුරු හිඟයක් පවතින බවත්, රටේ සමහර පාසල්වල එකඳු පරිගණකයක් හෝ නොමැති බවයි.

රටේ පාසල්වලට පරිගණක ලබා දීමට රජයට නොහැකි වූවත් මැතිඇමතිවරුන්ට හොරා කන්න ඉඩ ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

+


පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) මරණ දඬුවම නියම කෙරේ

(04.03.2024 – 16:20 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ පොලිස් ස්ථානයේ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) කොළඹ මහාධිකරණය විසින් මරණ දඩුවම නියමකරනු ලැබ තිබෙනවා.

2005 වසරේදී අත්අඩංගුවට ගෙන සිටියදී සැකකරුවෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නිලධාරීන් දෙදෙනාට (2) මෙලෙස මරණ දඬුවම හිමිවූ බවයි වාර්තා වෙන්නේ ෴


ලංකා ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව වාරණ නියෝගයක්

(04.03.2024 – 18:03 +0530 – sinhala.adaderana.lk)

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු මාර්තු මාසය තුළ ගෙවන ලෙසත් එසේ නොකළහොත් ඔවුන්ගේ තැන්පත් මුදලින් අදාළ මුදල අඩු කරගන්නා බව දන්වා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නිකුත්කර ඇති ලිපියක් ක්‍රියාත්මක වීම වළකාලමින් අභියාචනාධිකරණය අද (04) අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

ඛනිජ තෙල් බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

මෙම අතුරු තහනම් නියෝගය, පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් අධිකරණ නියෝගයේ සඳහන් වෙයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලිපියක් නිකුත් කරමින් මාර්තු මාසය තුළ බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු ගෙවිය යුතු බවත් එසේ නොගෙවන්නේ නම් ඔවුන්ගේ තැන්පතුවලින් එය අය කරන්නා බව සඳහන් කර තිබූ බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

අදාළ ලිපිය නිකුත්කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එවැනි ලිපියක් නිකුත් කිරීමට වගඋත්තරකාර සංස්ථාවට බලයක් නොමැති බවත් නීතිඥ සනත් විජයවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර තිබූ අදාළ පෙත්සමේ සඳහන් කර තිබුණි.

ඒ අනුව අදාළ තීරණ බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ ලිපිය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය ෴


පේරාදෙණිය වෛද්‍ය පීඨ සිසුවෙකු මහවැලියට බිලිවෙයි

(04.03.2024 – 17:18 +0530 – sinhala.adaderana.lk)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු මහවැලි ගඟේ දියේ ගිලීමෙන් සිදුවූ අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි ඉසුරු මදුශාන් නමැති සිසුවෙකි.

නාවලපිටිය ශික්ෂණ රෝහලේ සායනික පුහුණු කටයුතුවලට ගොස් සිටිය දී පසුගිය 23 වනදා මෙම සිසුවා මහවැලි ගංගාවේ ගල්පොත්තවල නමැති ස්ථානයක දිය නෑමට ගොස් තිබේ.

එහිදී මෙම සිසුවා සැඩ පහරකට හසුව දියේ ගසාගෙන ගොස් ඇති අතර එහිදී ප්‍රදේශවාසීන් එක්ව සිසුවා ගොඩට ගෙන නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍ය පීඨ සිසුවා අද (04) මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *