සේවකයින් නිදා සිටියදී යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරකම් කරලා

සේවකයින් නිදා සිටියදී යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරකම් කරලා


සේවකයින් නිදා සිටියදී යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරකම් කරලා

(04.03.2024 – 07:06 +0530 – hirunews.lk/sinhala)

යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් රුපියල් ලක්ෂ දෙකහමාරක් (2½) පමණ වටිනා ජංගම දුරකතනයක් හා මුදලින් රුපියල් ලක්ෂයක් (1) සොරකම් කළ පුද්ගලයෙකු නෙල්ලිඅඩි පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අප වාර්තාකරු සඳහන් කළේ මෙම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් දෙදෙනෙකුට (2) රාත්‍රී කාලයේ නිදා ගැනීමට අවශ්‍ය වූ බැවින් ඔවුන් දෙදෙනා ඉන්ධන පිරවුම්හලේ සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරා ඉදිරිපස රෙදි හා ප්ලාස්ටර් වලින් ආවරණය කොට ඉන්ධන පිරවුම්හල තුලම නිදාගෙන ඇති බවයි.

මෙලෙස එම කැමරා වසාදමා ඇත්තේ ඉන්ධන පිරවුම්හලේ අයිතිකරු සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කළහොත් ඔවුන් නිදා සිටි බව ඔහුට හසුවන නිසා බවයි සේවකයින් දෙදෙනා පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ.

මේ අතරවාරයේ ඉන්ධන පිරවුම්හලට පැමිණි පුද්ගලයෙකු විසින් සේවකයෙකුගේ ජංගම දුරකතනය හා ඉන්ධන පිරවුම්හලේ මුදල් වලින් රුපියල් ලක්ෂයක් (100,000) සොරාගෙන ගොස් තිබෙනවා.

අනතුරුව මේ පිළිබඳව යාපනය නෙල්ලිඅඩි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු වෙනත් ස්ථාන වල තිබූ සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමෙන් පසුව මංකොල්ලයට සම්බන්ධ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


‘වේසිපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර’ට විරුද්ධව මහා නා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

(04.03.2024 – dinamina.lk)

= ‘මීවනපලානේ සිරි ධම්මාලංකාර’ නමැති චීවරධාරියා සිදු කරන ශාසන විනාශයට වහා නීතිය ක්‍රියාත්මක කරන්න – මහ නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලති =

සාමණේර භික්ෂු ලියාපදිංචිය ද අවලංගු කොට නිකායෙන් නෙරපා හැර ඇති ‘මීවනපලානේ සිරිධම්මලංකාර’ නමැති භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳව අවස්ථා රැසකදී ජනාධිපතිතුමන් ඇතුළු වගකිව යුතු අංශ දැනුවත් කර තිබියදී තවදුරටත් ඔහුට බුදු දහම සහ බුද්ධ චරිතය විකෘති කරමින් ථෙරවාදී පාලි ත්‍රිපිටකය පිළිබඳව සාවද්‍ය හා අපහාසාත්මක මතවාද ජනගත කරමින් කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබීම විමතියට කරුණක් බව ත්‍රෛනිකායක මහානායක හිමිවරු ප්‍රකාශ කරති.

මොහු තවදුරටත් භික්ෂුවක් ලෙස පෙනී සිටීම හේතුවෙන් නීති විරෝධී ක්‍රියාවකට වරදකරු වන බව විහාර දේවාලගම් ආඥා පනතේ 42 වගන්තිය අනුව ද පැහැදිලි වන බව උන්වහන්සේ පෙන්වා දෙති.

‘මීවනපලානේ සිරි ධම්මාලංකාර’ නම් භික්ෂු ප්‍රතිරූපකයා විසින් සිදු කරන ශාසන විනාශය හා නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.

ජනපතිවරයාට අමතරව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයාටද නීතිපතිවරයාට හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද ලිපියේ පිටපත් යොමුකර තිබේ.

මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනාහිමිවරුන්ගේ අත්සනින් යොමුකළ ලිපියේ මෙසේද සඳහන් වෙයි :

‘පන්සල්හේනේ ධම්මාලංකාර’ හා ‘පන්සල්හේනේ ධම්මික’ යන අනන්‍යතාවන්ගෙන් පෙනී සිටිමින් චෞර භාවයෙන් භික්ෂු වේෂධාරීව චීවරය අවභාවිත කරමින් කටයුතු කරන ‘සිරිසේන සපුතන්ත්‍රී’ නම් මෙම පුද්ගලයා භික්ෂුවකට හිමි සමාජ ගෞරවය හා ප්‍රත්‍ය පහසුකම් වංචනිකව පරිභෝග කරමින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගිහි-පැවිදි පිරිස් නොමග යවමින් බෞද්ධ සමාජය තුළ ගැටුම් නිර්මාණය කරමින් ලාංකේය භූ දේශපාලන ව්‍යුහය පිළිබඳව ද සාවද්‍ය මතවාද ජනගත කරමින් සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ මෙන්ම රාජ්‍ය අස්ථාවර කිරීමේ දීර්ඝකාලීන කුමන්ත්‍රණයක නිරතව සිටී. සම්බුදු චරිතය පිළිබඳවත් පාලි ත්‍රිපිටකය පිළිබඳවත් මොහු විසින් ඉදිරිපත් කරනු ලබන මිථ්‍යා මතවාදයන් හා එහි සමාජ බලපෑම සම්පිණ්ඩනය කළ හැකිය.

ඒ අනුව සම්බුදු චරිතය පිළිබඳ භාරතයේ පවතින ස්ථාන නාමයන් සාවද්‍ය හා ආශාස්ත්‍රීය ලෙස ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධස්ථාන ලෙස අරුත් ගන්වමින් බෞද්ධ ජනයා නොමග යැවීම හා බෞද්ධ සමාජය තුළ සමගියට බාධා පමුණුවමින් බෞද්ධයන් අතර ගැටුම් නිර්මාණය කිරීම, ධර්ම දේශනා කිරීමේ මුවාවෙන් බුදු දහමේ මූලික ඉගැන්වීම් පිළිබඳ විකෘති අර්ථකථන සිදු කිරීම, ශ්‍රී ලාංකේය ශාසන භාරධාරී මහ තෙරවරුන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කොට ජාතික උරුමයක් ලෙස නම් කොට ඇති ශ්‍රී ලංකා ජනරජය මගින් 2500 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු ‘බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව’ නිවැරදි ත්‍රිපිටකය නොවන බවත් නිවැරදි ත්‍රිපිටකය තමන් එංගලන්තයෙන් ගෙනා බවත් පවසමින් බෞද්ධ ලෝකය වංචනික ලෙස නොමග යැවීම, තමන් ‘සිවු පිළිසිඹියා පත් අරහතන් වහන්සේ නමක්’ ලෙස ප්‍රකාශ කරමින් මහජනතාව නොමග යවමින් නොයෙක් වරදාන වරප්‍රසාද භුක්ති විඳිමින් ශ්‍රී සම්බුද්ධ දේශනාවන්ගේ උතුම් දාර්ශනික හර පද්ධතීන් විනාශ කිරීම හා අරහත් සංකල්පය සමාජය තුළ හාස්‍යයට හා උපහාසයට ලක් කිරීම, සිදුහත් කුමාරොත්පත්තියෙන් අනතුරුව මහාමයා දේවිය ලිංග විපර්යාසකට ලක් වූ බව වැනි විකෘති මත ප්‍රකාශ ඉදිරිපත් කරමින් බුද්ධ චරිතය අවමානයට පත් කිරීම, යුනෙස්කෝ ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කොට ඇති ලුම්බිනිය, බුද්ධගයාව, බරණැස වැනි ස්ථාන පිළිබඳ මෙන්ම ලංකා ද්වීපය තුළ පිහිටි ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහාසෑය වැනි ලෝක බෞද්ධයන්ගේ වන්දනීය ස්ථානයන්ගේ පිහිටීම පිළිබඳ සාවද්‍ය අර්ථ විවරණ සපයමින් බෞද්ධ ලෝකය තුළ ථෙරවාදී ධර්ම කොෂ්ටාගාරය ලෙස ලංකාව පිළිබඳ පවතින විශ්වාසය පළුදු කිරීම හා ලක්දිව පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ සාවද්‍ය මතවාද ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳ සමාජය තුළ වෛරයක් ගොඩනැගීම, බෞද්ධ සම්මතයන් හා චාරිත්‍රයන් විවේචනය කරමින් සංඝ සමාජයේ පරිපාලන ව්‍යුහය පිළිබඳ අපහාසාත්මක හා සමාජය නොමග යවන ප්‍රචාර සිදු කරමින් භික්ෂුව හා මහජනතාව අතර විරසක භාවයක් නිර්මාණය කිරීම සිදුවේ.

මේ වන විට ස්ත්‍රී දූෂණ චෝදනා ඇතුළු සාපරාධී අපරාධ ගණනාවක් පිළිබඳ චෝදනා ලැබ ඇති මෙම තැනැත්තා ‘සිරිසේන හපුතන්ත්‍රී’ යන අනන්‍යතාව භාවිත කරමින් රජයේ විශ්‍රාම වැටුප ද ලබා ගනිමින් විවිධ නාමයන්ගෙන් පෙනී සිටිමින් චේතනාන්විතව මහජනතාව රැවටීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවත් බුද්ධ ශාසනය විනාශ කිරීමේ පටු පරමාර්ථයෙන් කටයුතු කරන සංවිධානාත්මක කණ්ඩායම් මෙම තැනැත්තා විසින් සිදුකරනු ලබන ධර්ම විකෘතින්ට අනුග්‍රහ දක්වමින් දැවැන්ත මුදල් සම්භාරයක් මොහු වෙත ලබා දෙන බවටත් කරුණු හෙළි වෙමින් පවතී. තවද ‘පරම නිබ්බාන’ නමින් ආයතනයක් පිහිටුවා ගෙන සාවද්‍ය විකෘති ධර්ම කරුණු ප්‍රචාරය කරමින් එම ස්ථානයට පැමිණෙන උපසාක උපාසිකාවන් නොමග යවමින් මුදල් ලබාගෙන පෞද්ගලික දේපළ මිලදී ගෙන සිය දරුවන්ට ලබා දීම පිළිබඳට ද මේ වන විට කරුණු අනාවරණය වී ඇත.

මෙම ශාසන විනාශකාරී ක්‍රියා පිළිවෙත හුදු සිදුවීමක් ලෙස ලඝු කොට සැලකීමට මහා සංඝරත්නය ලෙස අපි තවදුරටත් සූදානම් නොවන බව මෙයින් බරපතළ ලෙස අවධාරණය කර සිටිමු.

සමන්ති වීරසේකර


මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා අද (04) සිට ඩිජිටල් වෙයි

(04.03.2024 – 08:58 +0530 – hirunews.lk/sinhala)

අද (04) සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් සේවාවන් ලබාගැනීමට පැමිණීමේදී දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ ඒ සඳහා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන
https://dmtappointments.dmt.gov.lk/ වෙත පිවිසෙන ලෙස හෝ ස්වයංක්‍රිය දුරකතන සේවාව වන 011 211 7116 ඔස්සේ සම්බන්ධ වන ලෙස ජනතාවට දැනුම් දෙන බවයි.

කොළඹින් පිටත සිට අමතන පුද්ගලයන් සාමාන්‍ය අංකය වන 2117116 සමඟ ප්‍රාදේශීය කේතය ඇතුළත් කළ යුතුවන අතර, 011 211 7116 යන ස්වයංක්‍රිය දුරකථනයට අමතා අවශ්‍ය සේවා තේරාගත් පසු දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ පසු සේවාව ගැනීම සඳහා දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවිඩයක් ලෙස ලැබෙන බව ඔහු සඳහන් කළා.

+++++++++++

+


විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනෙකුගේ (2) නිරුවත් දර්ශන පටිගත කළ තරුණයෙකු අත්අඩංගුවට

(04.03.2024 – 08:01 +0530 – hirunews.lk/sinhala)

කිරුළපන ප්‍රදේශයේ නේවාසික සිටින විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනෙකුගේ (2) නිරුවත් දර්ශන හොර රහසේ පටිගත කර ඇති තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 20 හැවිරිදි බේකරි පාඨමාලවක් හදාරණ තරුණයෙක් බවයි සඳහන් වන්නේ.

තරුණියක් ස්නානය සඳහා සුදානම් වීමේදී කිසියම් අයෙකු කවුළුවක් තුළ ජංගම දුරකථන තබන අයුරු දැක තිබෙනවා.

ඔවුන් ඒ පිළිබඳව විමසුම් කරමින් සිටියදී ඔවුන් සිටින නේවාසිකාගාරයේ පහත මහලේ සිටින නිවස හිමි කාන්තාවගේ පුතු බවට සැකපළ වීමත් සමඟ ඒ පිළිබඳව පොලිසියට දන්වා ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු සිය නිවෙසේ දී අබිරහස් ලෙස ජීවිතක්ෂයට

(04.03.2024 – 10:38 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු සිය නිවෙසේ ජීවිතක්ෂයට පත් වී සිටිය දී හමු වී තිබෙනවා.

ඔහු වස පානය කර මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ 37 හැවිරිදි ගාල්ල බටගන්විල තලගහහේන පටුමගේ පදිංචිව සිටි වෛද්‍යවරයක් බවයි සඳහන් වන්නේ.

මියගිය වෛද්‍යවරයාගේ බිරිය ද කරාපිටිය රෝහලේ සේවය කරන වෛද්‍යවරියකි.

වෛද්‍යවරයා පමණක් නිවස සිටින අවස්ථාවේ දී වස පානය කර ඇති අතර, නිවසට පැමිණන විට ජීවිතක්ෂයට පත්ව සිටි වෛද්‍යවරයා දුටු වෛද්‍යවරිය පොලිසියට දැනුම් දී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ගාල්ල පොලිසිය විසින් සිදුකරන බව සඳහන් වෙනවා ෴


බල්ලන්ගේ බිරිමෙන් ඇති වූ පවුල් දෙකක (2) ආරවුලක් නිසා පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(04.03.2024 – 11:06 +0530 – hirunews.lk/sinhala)

ගෝනාපිනුවල ප්‍රදේශයේ බල්ලන් බුරා පැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකිනෙකට යාබද නිවාස දෙකක් (2) අතර සිදුවුණු ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි ගෝනාපිනුවල, දෙල්ගහදුව වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

මරණකරු රැකියාව නිමවා නිවසට පැමිණෙන අවස්ථාවේ දී බල්ලන් පිරිසක් බුරමින් තමා වෙත පැමිණි නිසා එම බල්ලන් අයිති හිමිකරුට මරණකරු පොරවකින් පහර දී තිබෙනවා.

ඉන් අනතුරුව, තුවාල ලැබු පුද්ගලයාගේ පුතුන් දෙදෙනා (2) මරණකරුගේ හිසට පොල්ලකින් පහර දීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි ෴


ගවයින් අතර මාරාන්තික වසංගතයක් පැතිරෙයි

(04.03.2024 – 11:30 +0530 – hirunews.lk/sinhala)

කිළිනොච්චියේ ධර්මපුරම් ඇතුළු ප්‍රදේශ කිහිපයක ගවයින් අතර මේ දිනවල පැතිර යන ගව වෛරස් රෝගය හේතුවෙන් ඊයේ (03) වනවිට ගවයින් රැසක් මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.

මෙහිදී කිළිනොච්චිය කණ්ඩාවලෙයි පශු වෛද්‍ය නිලධාරී එස්. නිරංජන් පැවසුවේ ගව වසූරිය රෝග ලක්ෂණ පහළ වෙමින් පවතින ගවයින් එන්නත්කරණයට ලක් කරගෙන යන බවයි.

ගව වසූරිය වැළඳීමට පෙර ගවයින් ආහාර ගැනීම නවතා දමන අතර, සිටිනා තැනින් ඉවත් වීමට කැමැත්තක් නොදක්වන බවයි ඔහු සඳහන් කළේ.

අනතුරුව ගවයින්ගේ සිරුර පුරා බිබිලි හට ගන්නා බවත් දැඩි උණ තත්ත්වයක් දක්නට ලැබෙන බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් රෝගය වැළඳුණු හා රෝග ලක්ෂණ පෙන්නුම් කරන ගවයින්ට එන්නත් ලබාදීමට පියවර ගෙන ඇති නමුත්, එවැනි ගවයින්ට එන්නත් ලබාදීමෙන් රෝගය සුවකළ නොහැකි බවයි ධර්මපුරම් ප්‍රදේශයේ ගව පට්ටි හිමි පුද්ගලයින් ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම පසුගිය වසරේ මෙම ප්‍රදේශවල ගවයින්ට වැළදුණු ගව වසූරිය රෝගය හේතුවෙන් ගවයින් 400 කට වඩා වැඩි සංඛ්‍යාවක් මරණයට පත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴


රත්‍රං කිලෝග්‍රෑම් 9 ක් සමඟ දෙදෙනෙක් (2) කටුනායක දී අත්අඩංගුවට

(04.03.2024 – 13:25 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධීව කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට ගෙන ඒමට තැත් කළ රත්‍රං තොගයක් සමඟ ඉන්දියාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඔවුන් සතුව තිබී රත්‍රං කිලෝ 9 ක් සොයාගත් බවයි.

කෙසේ වෙතත් මෙම රත්‍රං තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

+


මියන්මාරයේ ‘සයිබර් වහල් කඳවුරෙන්’ ලාංකිකයින් පිරිසක් මුදා ගැනේ

(04.03.2024 – 14:10 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ ‘සයිබර් ක්‍රිමිනල් ඒරියා’ ප්‍රදේශයේ කඳවුරක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් අටදෙනකු (8) මුදාගෙන ඇති බව ‘මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර’ ප්‍රකාශ කළා.

‘හිරු ප්‍රවෘත්ති අංශය’ සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මියන්මාර රජය සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මොවුන් නිදහස් කරගැනීමට හැකිවූ බවයි.

පරිගණක ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු එම ප්‍රදේශයේ කඳවුරු කිහිපයක බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට ‘හිරු ප්‍රවෘත්ති අංශය’ මුල්වරට අනාවරණ කළේ ඔවුන්ට සිදුවන හිරිහැර සහ පහරදීම් සම්බන්ධයෙන්ද සාක්ෂි සපයමින්.

+

+++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *