වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ ගැටලුව ගැන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට චෝදනාවක්

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ ගැටලුව ගැන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට චෝදනාවක්


වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ ගැටලුව ගැන රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට චෝදනාවක්

(03.03.2024 – 20:33 +0530 – hirunews.lk/sinhala)

වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර නිකුත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් වූ පළාත්වල අධ්‍යාපන බලධාරීන් පැවසුවේ පළාත් මට්ටමින් ද පරීක්ෂණ පැවැත්වෙන බවයි.

විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර නිකුත්වීම හේතුවෙන් ඉදිරි දින තුන (3) තුළදි පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාතේ පාසල්වල 10-11 ශ්‍රේණිවල වාර විභාගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීර සඳහන් කළා.

2023 වසරට අදාළ වාර අවසාන පරීක්ෂණ මේ වන විට පැවැත්වෙන අතර, විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම විභාගයට පෙර නිකුත් වීම හමුවේ එම විභාගය සම්බන්ධයෙන් ගැටලු‍කාරි තත්ත්වයක් මතුව තිබෙනවා.

බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවලට අදාළ විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රය පසුගිය පළමුවැනිදා (01) පැවති අතර, විභාගය පැවැත්වීමට පෙර එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය වෙත නිකුත් වි තිබුණා.

සබරගමුව පළාතේ පාසල්වල හෙට (04) දිනයේදි පැවැත්වීමට නියමිත 10 ශ්‍රේණිය ඉංග්‍රිසි භාෂා දෙවන (2) ප්‍රශ්න පත්‍රයද ඊයේ (02) දිනයේදි සමාජ මාධ්‍ය වෙත නිකුත් වි තිබු බව හිරු ප්‍රවෘත්ති අනාවරණ කළා.

ඒ අනුව එම විභාග දෙකම (2) අත්හිටුවීමට පළාත් බලධාරීන් පියවර ගත්තා.

කෙසේ වෙතත් මෙවැනි පසුබිමක බස්නාහිර පළාතේ පාසල්වලට ලබන අඟහරුවාදා ලබාදීමට නියමිත ගණිතය විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සහ එහි පිළිතුරු පත්‍රය ද ඊයේ දිනයේදි සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.

මෙම තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පාසල්වල ඉදිරි දින තුන තුළදි පැවැත්වීමට නියමිත 10-11 ශ්‍රේණි වර්ෂ අවසාන වාර විභාගය තාවකාලිකව අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගත්තේ.

ඒ අනුව එම ශ්‍රේණිවලට අදාළව හෙට (04) දිනයේදි පැවැත්වීමට නියමිතව තිබු ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය, අනිද්දා (05) දිනයේදි පැවැත්වීමට නියමිතව තිබු ගණිතය ප්‍රශ්න පත්‍රය සහ හයවැනිදා (06) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන (2) කාණ්ඩයේ විෂයයන්වලට අදාළ ප්‍රශ්න පත්‍ර අත්හිටුවා තිබෙනවා.

සබරගමුව පළාත තුළ 10 ශ්‍රේණිය දක්වා වු ප්‍රශ්න පත්‍ර පාසල් මට්ටමින් මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබූ අතර, පහසුකම් නොමැති පාසල් එම ප්‍රශ්න පත්‍ර වෙළෙඳසැල් තුළින් පවා මුද්‍රණය කරවා ගැනීම විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර නිකුත්වීමට හේතුවිය හැකි කරුණක් බව ‘හිරු ප්‍රවෘත්ති’ ඊයේ (02) අනාවරණ කළා.

මේ අතර, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන පැවසුවේ ගණිතය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇති බවට වාර්තා වන විටත් එම ප්‍රශ්න පත්‍රය නිල වශයෙන් තමන් වෙත ලැබී නොතිබූ බවයි.

ඒ වන විටත් එම ප්‍රශ්න පත්‍ර රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව තුළ පැවති බවත්, බොහෝ විට එහිදි එම ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයට මුදාහරින්නට ඇති බවටත් සැක කරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කළේ එම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම තම දෙපාර්තමේන්තුව හරහා සිදුකර ගැනීමේ හැකියාව තිබියදි වෙනත් ස්ථානවලින් මුද්‍රණය කරගැනීම හරහා මෙම ගැටලු‍ව මතුව ඇති බවයි.

වෘත්තීය සමිති චෝදනා කරන්නේ නව ක්‍රමවේදය විධිමත්ව සිදු කිරීමට පළාත් අධ්‍යාපන බලධාරීන් අපොහොසත් වීම හමුවේ විභාග කෙරෙහි පාසල් සිසුන් තුළ ඇති ඇති විශ්වාසය දැඩිව පළුදු වී ඇති බවයි.

+


රුසියානු යුධ ගිනිදැල් මැදින් දිවි ගලවාගත් ලාංකිකයෝ

(03.03.2024 – 21:51 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රැකියා ජාවාරමට හසු වී රුසියාවේ හමුදා කඳවුරක සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙක් එම කඳවුරුවලින් මිදී මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් පවසන්නේ තවත් ශ්‍රී ලාංකිකයන් 50 කට වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණීමට නොහැකිව රුසියානු හමුදා කඳවුරුවල සිටින බවයි.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් මධ්‍යයේ මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සහ වෙනත් සිවිල් පුරවැසියන් රාජ්‍ය මැදිහත්වීමකින් තොරව රුසියාවේ හමුදා සේවය සඳහා යොමු කිරීමේ ජාවාරමක් පිළිබඳව පසුගිය පෙබරවාරි 04 වැනිදා ‘හිරු CIA’ කරුණු අනාවරණ කළා.

එවැනි පසුබිමක රුසියාවේ හමුදා සේවය සඳහා මෙරටින් ගිය තරුණයෙකු රුසියානු යුක්රේන යුද වාතාවරණය මැද එහි ගෙවන අසීරු ජීවිතය පිළිබඳ සඳහන් කරමින් වීඩියෝවක් ද අප වෙත එවා තිබුණා.

මෙවැනි පසුබිමක රුසියානු හමුදා සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු එම කඳවුරුවලින් මිදී අද යළි දිවයිනට පැමිණියා.

නුගේගොඩ පිහිටි රැකියා ආයතනයකින් මෙම පිරිස රුසියාව බලා පිටත්ව ගොස් තිබුණේ පසුගිය පෙබරවාරි 09 වැනිදායි.

රුසියානු හමුදාවේ සිවිල් රැකියා ලබා දෙන බව පවසමින් මෙම පිරිස විදෙස්ගත කර තිබූ අතර ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් 17,50,000 ක පමණ මුදලක් ද අය කර තිබෙනවා.

ගම්පහ, මහනුවර, ගම්පොළ, රුවන්වැල්ල, ගාල්ල, මාතර, අකුරැස්ස ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස රුසියානු හමුදාවෙන් මිදී මෙරටට පැමිණ ඇති අතර ඒ අතරින් ගම්පහ ගනේමුල්ලේ පදිංචි 46 හැවිරිදි දෙදරු පියෙක් වූ මිලින්ද සේනාධීර සිය අත්දැකීම් මෙලෙස පැවසුවා.

මිලින්ද මෙම රැකියාවේ ස්වභාවය පිළිබඳව තවත් කරුණු රැසක් අප වෙත අනාවරණ කළා.

පෙබරවාරි 09 වැනිදා කටුනායක ගුවන් තොටුපළේ සිට අබුඩාබි බලා පිටත් වූ මිලින්ද ඇතුළු පිරිස අනතුරුව රුසියාවට පැමිණීමෙන් පසු එරට සාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි දෙමහල් නිවාසයක සති දෙකක (2) කාලයක් රඳවා තිබෙනවා.

ඔවුන් හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇත්තේ ඉන් අනතුරුවයි.

තාවකාලික කඳවුරක් වූ එහි බීමට පවා ජලය හිඟ බවත්, වැසිකිළි සඳහා කාණුවක් භාවිත කරන බවත් අප වෙත අදහස් දැක්වූ මිලින්ද පැවසුවා.

එහිදී ඔවුන්ට යුද අවි පුහුණුවක් ලබා දී ඇති අතර එන්නත් 3 ක් ද ලබා දී තිබෙනවා.

ඒවා ලබා දී තිබුණේ රෝග බෝ වීම වැළැක්වීමටත්, ශීතල පරිසරයට ඔරොත්තු දීමටත් සහ තුවාල ඉක්මණින් සුව වීමටත් බව පවසමින්.

එම කඳවුර තුළදී තවත් ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු පමණ ඔවුන්ට හමුවූ බවත් ඔවුන් සියලු දෙනාම රැකියා නියෝජිත ආයතන හා වෙනත් සම්බන්ධතා මගින් මෙම කඳවුරු වෙත පැමිණ තිබූ බවත් මිලින්ද සඳහන් කළා.

‘හමුදා සේවයට බඳවා ගැනීමටයි මේ ගෙනල්ලා තියෙන්නේ, දැන් ඉතිං ගැලවීමක් නැහැ’ යනුවෙන් එහි සිටි ශ්‍රී ලාංකිකයන් ඔවුන්ට පවසා තිබෙනවා.

ඒ අතරතුර රුසියානු යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලට කිලෝ මීටර 400 ක් පසුපසින් සිටින ශ්‍රී ලාංකික යුද සෙබළෙකු එවා තිබූ හඬ පටයකට ඔවුන් සවන් දුන් බවත් එහිදී මිය යන හෝ තුවාල ලබන කිසිදු සෙබළෙකු බේරා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන අතර තුවාල වුවහොත් තමාම ඉන් බේරී පැමිණිය යුතු බවත් එම හඬපටය නිකුත් කළ සෙබළා පවසා තිබුණා.

එසේම මෙම කඳවුරේදී යුද බිමට යාමට පෙර ඔවුන්ගේ සියලු ඇඳුම් පැලදුම් භාරගෙන ඒවාට ගිනි තබා විනාශ කරන බවත්, ඒ වෙනුවට යුද ඇඳුම් ලබා දෙන බවත්, එහි සිටි ශ්‍රී ලාංකිකයින් ඔවුන් වෙත පවසා තිබෙනවා.

එයින් වඩාත් බියට පත්වූ මෙම පිරිස කඳවුරෙන් මිදීමට උත්සාහ කර ඇති අතර ඔවුන්ට ඊට මඟක් පෑදී ඇත්තේ ඔවුන්ව රැගෙන ආ රුසියානු ජාතික හමුදා නිලධාරීයාට ඔවුන්ගේ ලියකියවිලි ඇතුළත් ලිපිගොනු රැගෙන ඒම අතපසු වීම හේතුවෙන්.

එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තවදුරටත් කඳවුරේ රැදී සිටීම ප්‍රතික්ෂේප කළ ඔවුන් මෙම රැකියාව කිරීමට අකැමති බව තරයේ ඔවුන්ට දැන්වූ බවයි මිලින්ද සඳහන් කළේ.

ඒ අනුව මෙම 17 දෙනා නැවත ආපසු යැවීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

කිලෝ මීටර 40 කට වැඩි දුරක් පා ගමනින් පැමිණ පීටර්ස්බර්ග් වෙත ළඟා වූ මෙම පිරිසට දුෂ්කර ගමනකින් පසු එහිදී දුම්රියකට ගොඩවීමට අවස්ථාව හිමිව ඇති අතර ඒ අනුව ඔවුන් අද (03) මෙලෙස දිවයිනට පැමිණියා.

මෙවැනි පසුබිමක කුරුණෑගල ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයකින් රුසියාවේ හමුදා කඳවුරුවලට යැවූ තවත් ශ්‍රී ලාංකිකයෙක් අප වෙත හඩ පටයක් යොමු කර තිබුණා.

+


අමුතු තාලේ මෝටර් රථ හොරකමක් කළ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(03.03.2024 – 22:13 +0530 – hirunews.lk/sinhala)

මාස ගණනක සිට හපුගල ප්‍රදේශයේ යතුරුපැදි, මෝටර් රථ සහ මුදල් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු (3) පෝද්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදි සැකකරුවන් මෝටර් රථයක් සොරකම් කිරීමට ඉතා සැලසුම් සහගතව කටයුතු කර තිබුණ ද රථයේ හිමිකරුගේ පෙර සූදානම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට පහසු වුණා.

මීට මාස තුනකට (3) පමණ පෙර පුද්ගලයින් තිදෙනෙකු (3) හපුගල ප්‍රදේශයේ නිවාස කිහිපයකට රහසින් ඇතුළු වී මුදල් සොරකම් කර තිබුණා.

එහිදී ඔවුන් එක් නිවසක තිබූ මෝටර් රථයක එක් (1) යතුරක් ද සොරකම් කර තිබුණේ වෙනත් දිනයක පැමිණ මෝටර් රථය සොරකම් කිරීමේ අරමුණින්.

මෝටර් රථයේ හිමිකරු මෙම යතුරු සොරකම පිළිබඳව දැනගැනීමත් සමග මෝටර් රථයේ ටයරයක් දම්වැලකින් ඇලුමිනියම් ඉනිමඟකට සම්බන්ධ කර තිබුණා.

එමෙන්ම නිවසට cctv කැමරා සහ මෝටර් රථයට GPS තාක්ෂණය ද සම්බන්ධ කර තිබුණේ සොරුන් පැමිණ මෝටර් රථය සොරකම් කරගෙන යෑම වැළැක්වීමේ වැඩිදුර පියවර ලෙසයි.

කෙසේවෙතත් පසුගිය පළමුවැනිදා (01) නිවසට පැමිණි සොරුන් මෝටර් රථය පැහැරගෙන ගොස් තිබුණේ මෙලෙසින් :

+


කුණු ඇළට පැන්න ‘කුඩු රැජින’ ඇල්ලූ මෙහෙයුම

(03.03.2024 – 22:46 +0530 – hirunews.lk/sinhala)

කදිරාණවත්ත ‘කුඩු රැජින’ නමින් හැඳින්වෙන 45 හැවිරිදි කාන්තාවක් දැඩි පරිශ්‍රමයකින් පසු අත්අඩංගුවට ගැනීමට අද (03) පොලිසිය සමත්ව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් කාන්තාවගේ නිවස වැටලූ අවස්ථාවේ ඇය අසල වූ කුණු ඇළකට පැන පලා යාමට තැත් කර තිබුණා.

පසුව ඇය අත්අඩංගුවට ගත්තේ අමතර පොලිස් නිලධාරින් කණ්ඩායමක්ද එම ස්ථානයට ගෙන්වා ගැනීමෙන් පසුවයි.

රුපියල් ලක්ෂ 5 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ඇය සතුව තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

+


මාතර, වැලිගම – පෞද්ගලික ඉස්ලාම් බාලිකා විද්‍යාලයක නේවාසිකාගාරයේ ගින්නක්

(03.03.2024 – 22:52 +0530 – hirunews.lk/sinhala)

මාතර, වැලිගම – පෞද්ගලික ඉස්ලාම් බාලිකා විද්‍යාලයක නේවාසිකාගාරයේ අද (03) පස්වරුවේ ගින්නක් හටගත්තා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න සම්පූර්ණයෙන්ම මැඬ පැවැත්වීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ‘හෆ්සා කාන්තා අරාබි විද්‍යාලයේ’ නේවාසිකාගාරයේ මෙම ගින්න හටගෙන තිබුණේ අද (03) පස්වරු 05:30 ට පමණ.

එම අවස්ථාවේ දී එහි සිසුවියන් 150 කට ආසන්න පිරිසක් සිට ඇති අතර ඔවුන් කඩිනමින් ඉන් ඉවත් කර ගැනීමට පාසල් බලධාරීන් සමඟ එක්ව ප්‍රදේශවාසීන් කටුයුතු කර තිබෙනවා.

ගින්නෙන් නේවාසිකාරයේ තුන් වැනි සහ සිව්වැනි (3-4) මහල් දෙකම සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර එහි තිබූ ඇඳන් සියල්ල ද ගිනිගෙන විනාශ වී තිබුණේ මේ ආකාරයෙන්.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් ‍සිදුව නොමැති අතර ගින්නට හේතුව මේ වන තෙක් අනාවරණය වී නැහැ.

+++++++++

+


කොළඹ ආමර්වීදියේ හෝටලයකට අද (03) අලුයම කඩු, මුගුරු රැගෙන ඇතුළුවූ පිරිසක් එම හෝටලයේ දේපළවලට හානිකරති

(03.03.2024 – 23:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ආමර්වීදිය ප්‍රදේශයේ හෝටලයකට අද (03) අලුයම ඇතුළුවූ පිරිසක් කඩු, මුගුරුවලින් හෝටලයේ දේපළවලට හානිකර එහි සේවකයින්ට ද තුවාල කර තිබුණා.

හෝටලයේ භුක්තිය සම්බන්ධයෙන් අයිතිකරු සහ කුලීකරුවන් අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් පහරදීමට හේතුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

පිරිස හෝටලයේ දේ‍පොළවලට පහරදෙන අවස්ථාවේ එහි ආහාර ගනිමින් සිටී පිරිස කලබලවී පිටතට ගමන් කරන අයුරුද CCTV කැමරා දර්ශනවල සටහන්ව තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *