STF කොටුකරගත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරම – රුපියල් කෝටි 10 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 9 ක් අත්අඩංගුවට

STF කොටුකරගත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරම – රුපියල් කෝටි 10 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 9 ක් අත්අඩංගුවට


STF කොටුකරගත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරම – රුපියල් කෝටි 10 ක ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 9 ක් අත්අඩංගුවට

(03.03.2024 – 17:09 +0530 – sinhala.adaderana.lk)

දීර්ඝ කාලයක් තිස්සේ චොකලට් තුළ සඟවා කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට ‘අයිස් මත්ද්‍රව්‍ය’ රැගෙන ආ ජාවාරමක් අනාවරණය කරගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී අනාවරණය වූ තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.

එහිදී ප්‍රථමයෙන් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී චොකලට් දවටනවල අසුරා තිබූ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 5 කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත්තේ දැනට ඩුබායි හි සැඟවී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘නිපුණ’ සහ ‘නන්දසේන’ යන පුද්ගලයින්ගේ අනුදැනුම මත මෙම ජාවාරම සිදුකර ඇති බවටය.

මෙහිදී සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී ඉන් එක් ජාවාරම්කරුවෙකුට අයත් වත්තල සහ ගනේමුල පිහිටි නිවාස පිළිබඳව තොරතුරු ද විශේෂ කාර්ය බළකාය අනාවරණය කරගෙන තිබේ.

මේ අතර එහිදී අනාවරණය වූ වැඩිදුර තොරතුරු මත සිය සූක්ෂම ලෙස සිය ගමන්මළු තුළ සඟවා ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක වෙත ‘අයිස් මත්ද්‍රව්‍ය’ රැගෙන එන යුවළක් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකාය විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව අදාළ සැකකාර යුවළ සිය මෝටර් රථයෙන් ගමන්කරමින් සිටියදී කටුනායක පොලිස් වසමේදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන් පවසා ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ චොකලට් සහ රසකැවිලි තුළ සඟවා ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක දක්වා මෙලෙස ‘අයිස් මත්ද්‍රව්‍ය’ රැගෙනවිත් ඇති බවය.

එසේම ඔවුන් විවිධ අවස්ථාවලදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 2 සහ කිලෝ 5 බැගින් මෙලෙස මෙරටට රැගෙනවිත් ඇති බවද පොලිස් විශේෂ කාර්ය බළකාය අනාවරණය කරගෙන ඇත.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එලෙස තමන් විසින් මෙරටට ගෙන එනු ලැබූ මත්ද්‍රව්‍ය මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ සිටින ජාවාරම්කරුවන් වෙත ලබාදෙන බවය.

පසුව ඔවුන් ලබාදුන් තොරතුරු මත හෝටලයක කාමරයක් පරීක්ෂා කිරීමේදී තවත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 4 ක ප්‍රමාණයක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

ඒ අනුව මෙම වැටලීමේදී සොයාගෙන ඇති සමස්ත ‘අයිස් මත්ද්‍රව්‍ය’ ප්‍රමාණය කිලෝ 9 ක් වන අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 10 කට ආසන්න බවට වාර්තාවෙයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කටුනායක දී අත්අඩංගුවට ගත් සැකකාර යුවළ සහ කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

+


වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන සී.අයි.ඩී. විමර්ශන ඇරඹෙයි

(03.03.2024 – 16:05 +0530 – hirunews.lk/sinhala)

වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍ර නිකුත් වූ පළාත්වල අධ්‍යාපන බලධාරීන් පැවසුවේ පළාත් මට්ටමින් ද පරීක්ෂණ පැවැත්වෙන බවයි.

2023 වසරට අදාළ වාර අවසාන පරීක්ෂණ මේ වන විට පැවැත්වෙන අතර, විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම විභාගයට පෙර පිටවීම හමුවේ එම විභාගය සම්බන්ධයෙන් ගැටලු‍කාරි තත්ත්වයක් මතුව තිබෙනවා.

බස්නාහිර පළාතේ පාසල්වල 10 සහ 11 ශ්‍රේණිවලට අදාළ විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රය පසුගිය පළමුවැනිදා (01) පැවති අතර, විභාගය පැවැත්වීමට පෙර එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය වෙත නිකුත් වි තිබුණා.

සබරගමුව පළාතේ පාසල්වල හෙට (04) දිනයේදි පැවැත්වීමට නියමිත 10 ශේණිය ඉංග්‍රිසි භාෂා දෙවන (2) ප්‍රශ්න පත්‍රයද ඊයේ (02) දිනයේදි සමාජ මාධ්‍ය වෙත නිකුත් වි තිබු බව හිරු ප්‍රවෘත්ති අනාවරණ කළා.

ඒ අනුව එම විභාග දෙකම (2) අත්හිටුවීමට පළාත් බලධාරීන් පියවර ගත්තා.

කෙසේ වෙතත් මෙවැනි පසුබිමක බස්නාහිර පළාතේ පාසල්වලට ලබන අඟහරුවාදා (05) ලබාදීමට නියමිත ගණිතය විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සහ එහි පිළිතුරු පත්‍රය ද ඊයේ (02) දිනයේදි සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.

මෙම තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පාසල්වල ඉදිරි දින තුන (3) තුළදි පැවැත්වීමට නියමිත 10 සහ 11 ශ්‍රේණි වර්ෂ අවසාන වාර විභාගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීර සඳහන් කළා.

ඒ අනුව එම ශ්‍රේණිවලට අදාළව හෙට (04) දිනයේදි පැවැත්වීමට නියමිතව තිබු ඉංග්‍රිසි ප්‍රශ්න පත්‍රය, අනිද්දා (05) දිනයේදි පැවැත්වීමට නියමිතව තිබු ගණිතය ප්‍රශ්න පත්‍රය සහ හයවැනිදා (06) පැවැත්වීමට නියමිතව තිබූ විෂයයන්වලට අදාළ ප්‍රශ්න පත්‍ර අත්හිටුවා තිබෙනවා.

එම විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් ඉදිරියේදි දැනුම් දෙන බවත්, එතෙක් සාමාන්‍ය පරිදි හෙට (04) සිට පාසල් පවත්වාගෙන යන ලෙසත් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දෙනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ප්‍රශ්න පත්‍ර නිකුත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සහ දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණ පැවැත්වෙන බවයි.

සබරගමුව පළාත තුළ 10 ශ්‍රේණිය දක්වා වු ප්‍රශ්න පත්‍ර පාසල් මට්ටමින් මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබූ අතර, පහසුකම් නොමැති පාසල් එම ප්‍රශ්න පත්‍ර වෙළෙඳසැල් තුළින් පවා මුද්‍රණය කරවා ගැනීම විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර මෙලෙස පිටවීමට හේතුවිය හැකි කරුණක් බව ‘හිරු ප්‍රවෘත්ති’ ඊයේ (02) අනාවරණ කළා.

කෙසේවෙතත්, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීර පැවසුවේ එවැනි ක්‍රමවේදයක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක නොකළ බවයි. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව හරහා එම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කළ බවත්, විභාගය පැවැත්වෙන පාසල් වෙත එම ප්‍රශ්න පත්‍ර කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා විධිමත්ව නිකුත් කළ බවත් ඔහු සඳහන් කළා.

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ්‍යවරයා පැවසුවේ එවැනි පසුබිමක ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍ය වෙත නිකුත් වීම ගැටලු‍ සහගත බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති චෝදනා කළේ එම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව හරහා සිදු නොවූ බවයි.

ගුරු වෘත්තිය සංගම් පවසන්නේ ප්‍රශ්න පත්‍ර නිකුත්වීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. මේ ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන ද අදහස් දැක්වූවා.

+


බෝට්ටු දෙකක් (2) ගැටී බිහිසුණු අනතුරක්

(03.03.2024 – 07:05 +0530 – hirunews.lk/sinhala)

කිළිනොච්චිය පුනරීන් මුහුදේදී බෝට්ටු දෙකක් (2) එකිනෙකට ගැටීම නිසා පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පුනරීන් පලයතීව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට යමින් සිටි බැතිමතුන් රැගත් බෝට්ටු දෙකක් අධික වේගයෙන් ගමන් කිරීම නිසා එම බෝට්ටු දෙක එකිනෙක ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

බෝට්ටු දෙක ගැටීමෙන් පසුව බෝට්ටු දෙකේම සිටි පුද්ගලයින්ගෙන් හතර දෙනෙකු (4) මුහුදට අද වැටී ඇති අතර සෙසු පිරිස විසින් ඔවුන්ව බේරා ගෙන තිබෙනවා.

අනතුරට පත් බෝට්ටු දෙකම මගීන් ප්‍රවාහනය කෙරෙන බෝට්ටු නොවන අතර කිළිනොච්චියේ ධීවරයන්ට අයත් ධීවර බෝට්ටු දෙකක් බවයි පුනරීන් පොලීසිය ප්‍රකාශ කර සිටියේ.

දේවස්ථානයේ මංගල්‍යට සහභාගී වීම පිණිස බෝට්ටු අයත් පවුල් දෙකේ හිතවතුන් පිරිසක් එම බෝට්ටුවලින් දේවස්ථානය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල කරුවන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර පුනරීන් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා ෴


‘හිරු’ අනුග්‍රහය ලැබූ මැරතන් ධාවක ‘ධනුෂ්ක ප්‍රදීප් පෙරේරා’ ශ්‍රී ලංකාවට අභිමානය ගෙන එයි

(03.03.2024 – 09:45 +0530 – hirunews.lk/sinhala)

‘හිරු මාධ්‍ය ජාලයේ’ අනුග්‍රහයෙන් මැලේසියාවේදී පැවති ජාත්‍යන්තර මැරතන් තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ‘ධනුෂ්ක ප්‍රදීප් පෙරේරා’ ශ්‍රී ලංකා බලාපොරොත්තු ඔසවා තැබීමට සමත්ව තිබෙනවා.

ඒ, ලොව පුරා නම් දැරූ ක්‍රීඩකයින් දහසකට (1000) අධික සංඛ්‍යාවක් අතරින් සිව්වැනි (4) ස්ථානය දිනා ගනිමින්.

වැලිවේරිය, කිතුලකන්දගම ග්‍රාමයේ දිළිඳු පවුලක සාමාජිකයෙකු වන ධනුෂ්කට මැලේසියානු මැරතන් තරගාවලියට සහභාගිවීම පැවතියේ අවිනිශ්චිත තත්ත්වයකයි.

එම තරගාවලියට එක්වීමේ දහසකුත් බලාපොරොත්තු පොඳි බැඳගෙන සිටි ධනුෂ්ක ප්‍රදීප් පෙරේරා සම්බන්ධයෙන් පසුගිය මස 13 වැනිදා ‘හිරු ප්‍රවෘත්ති’ තුළින් රටටම අනාවරණය කළා.

ඒ අනුවයි ගුවන් ප්‍රවේශ පත්‍රය, මැරතන් පාවහන් ඇතුළු ඊට අදාළ වියදම් සඳහා වන අනුග්‍රහකත්වය ලබාදීමට ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතා පියවර ගනු ලැබුවේ.

+

+


පාසල් බෑගයේ බර අඩු චක්‍ර ලේඛනය හෙට (04) සිට ක්‍රියාත්මකයි

(03.03.2024 – 12:51 +0530 – hirunews.lk/sinhala)

පාසල් බෑගයේ බර අඩු කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය හෙට (04) සිට බස්නාහිර පළාතේ පාසල්වල ක්‍රියාත්මක කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සිරි‍සෝම ලොකුවිතාන පවසනවා.

මෙම ගැටලුව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට යොමු වුණේ ‘හිරු ප්‍රවෘත්ති’ ඒ සම්බන්ධයෙන් කළ අනාවරණයෙන් පසුවයි.

පවතින තරගකාරී අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් සිසුසිසුවියන්ට මුහුණ පෑමට සිදු වන තවත් ගැටලුවක් වන පාසල් පොත් බෑගයේ බර සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ පසුගියදා අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට යොමු කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් බෑගයේ බර අඩු කිරීමේ අරමුණින් පොත් කොටස් වශයෙන් රැගෙන ඒම, පන්ති තුළ පොත් තැන්පත් කිරීම ඇතුළු උපදෙස් මාලාවක් සමග චක්‍රලේඛයක් ද නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත්තා.

මේ සම්බන්ධයෙන් සිසුන් සහ මව්පියන් පළ කළේ දැඩි ප්‍රසාදයක්.

මේ අතර පාසල් දරුවන් කොඳුඇට පේළිය ආශ්‍රිත රෝගවලට වැඩි වශයෙන් ගොදුරු වීමට වගකිව යුත්තේ අධ්‍යාපන බලධාරීන් බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා.

එමෙන් ම පාසල් පෙළපොත් වෙනුවට සුහුරු පන්ති උපකරණ ලබාදීම තුළින් සිසුන් මුහුණ පා ඇති පාසල් පොත් බෑගයේ බර පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබා ගත හැකි බව බස්නාහිර පළාත් අධ්‍යාපන, ක්‍රීඩා සහ සංස්කෘතික අමාත්‍යාංශය පවසනවා.

+


අනුරාධපුර රෝහලේ ශල්‍යාගාරයේ සොරකමක් ගැන විමර්ශනයක්

(03.03.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයේ වෛද්‍යවරුන් ඇඳුම් මාරු කරන කාමරයේ භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 27 වනදා ශල්‍ය වෛද්‍යවරයෙකු සතු රුපියල් ලක්ෂ 03 ක් වටිනා අත් ඔරලෝසුවක් එහිදී සොරකම්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් රෝහලේ හෙද පාලිකාව සිදු කළ පැමිණිල්ලකට අනුවයි රෝහල් අධ්‍යක්ෂකවරයා අදාළ විමර්ශනය ආරම්භ කර ඇත්තේ.

අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයෙන් නියුතු සේවිකාවක් සහ සේවකයෙක් අත් ඔරලෝසුව සොරකම් කළ දින ශල්‍යාගාරයේ පිරිසිදු කිරීම් සඳහා කැදවා තිබුණා.

ඔවුන් ඊට සම්බවන්ධ බවට සැක පළ කරන බවයි ශල්‍යාගාර සේවකයින් ප්‍රකාශ කර ඇත්තේ ෴


බදු ගෙව්වත් නඩත්තු නොවන කොටුවේ ස්වයං රැකියා වෙළෙඳපොළ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *