බස්නාහිර වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවෙයි

බස්නාහිර වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවෙයි


බස්නාහිර වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයක් කලින් පිටවෙයි

(01.03.2024 – 13:25 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පාසල්වල තුන්වන (3) වාරයට අදාළව 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට අද (01) ලබාදුන් ‘විද්‍යා ප්‍රශ්න පත්‍රය’ කලින් පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ජයවීරට උපදෙස් ලබා දුන් බවයි.

2023 වර්ෂයට අදාළව බස්නාහිර පළාතේ වර්ෂ අවසාන ඇගයීම් විභාගයට අදාළව අද (01) පැවති ‘විද්‍යා ප්‍රශ්න පත්‍රය’ 10 සහ 11 ශ්‍රේණි සඳහා ලබාදීමටත් පෙර එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

+


හිටපු පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ සභාපති ගෙදර යයි

(01.03.2024 – 07:49 +0530 – hirunews.lk/sinhala)

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය සංජය පෙරේරා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලය වෙත ඊයේ (29) භාරදුන් බවයි ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

හිටපු පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඔහුව සභාපති ධුරයට පත් කළ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල, පරිසර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණා.

අනතුරුව පරිසර ඇමති ධුරය තමන් යටතට ගැනීමටයි ජනාධිපති කටයුතු කරනු ලැබුවේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට නව සභාපතියෙකු පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තාවීම හේතුවෙන් තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි ආචාර්ය සංජය පෙරේරා සඳහන් කළේ ෴


‘නීති සහන යෝජනා ක්‍රමයට’ අනුමැතිය

(01.03.2024 – 07:59 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන් සදහා නීති ආධාර ලබාදීම පිණිස ක්‍රියාත්මක ‘නීති සහන යෝජනා ක්‍රමයට’ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනුමැතිය ලබාදී තිබෙනවා.

මීට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

නිලධාරියෙකු විසින් රාජකාරි විෂය පථය තුල සිදුකරන ලද ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් යම් නීති කෘත්‍යයකට භාජනය වුවහොත් සහ ඊට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව මගින් රජයේ නීති සහාය ලබාදීම ප්‍රතික්ෂේප කරන හෝ නීති සහාය ලබා නොදෙන අවස්ථා වල දී, මෙම ක්‍රමවේදයෙන් සහය ලබා ගත හැකියි.

පෞද්ගලික නීතිඥ සහාය ලබා ගැනීම සහ වෙනත් නීති සේවාවන් ලබාගැනීම වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සිදුවන ආර්ථික අපහසුතාවයන් සදහා, මෙම යෝජනා ක්‍රමය භාවිතා කර යම් මූල්‍යමය සහනයක් ලබාදීම මෙහි අරමුණ වනවා ෴


ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

(01.03.2024 – 10:18 +0530 – hirunews.lk/sinhala)

මෙම මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරනවා.

ඒ අනුව පවතින මිල ගණන් එලෙසින්ම මෙම මාසයේදීත් ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

මිල සූත්‍රයට අනුව සෑම මසකම මුල් සතියෙහි ලිට්‍රෝ මිල ගණන්වල සංශෝදනයක් සිදු වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දැනට පවතින මිල ගණන් :

  • 12.5 kg – රුපියල් 4,250
  • 5 kg – රුපියල් 1,707
  • 2.3 kg – රුපියල් 795

++++++++

මාර්තුවේ ලාෆ් ගෑස් මිල ගැන විශේෂ දැනුම්දීමක්

(01.03.2024 – 11:33 +0530 – hirunews.lk/sinhala)

මාර්තු මාසයේ දී ගෑස් මිල වැඩි නොකරන බව ලාෆ් ගෑස් සමාගම (LAUGFS) පවසනවා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවදුරටත් රුපියල් 4,740 ක් ලෙස පවතින අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1,900 ක් ලෙසයි.

කෙසේ වෙතත්, ලිට්‍රෝ සමාගමද මෙම මාසයට අදාළව ගෑස් මිලෙහි වෙනසක් සිදු කළේ නැහැ ෴


අකුරණ දී ත්‍රිරෝද රථයක් සහ පුද්ගලයෙකු පැහැරගත් පස්දෙනෙකු (5) අත්අඩංගුවට

(01.03.2024 – 10:30 +0530 – hirunews.lk/sinhala)

අකුරණ නගරයේ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදුකර රුපියල් ලක්ෂ විස්සක (20,00,000) මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ කොළඹ – කොච්චිකඩේ ප්‍රදේශයේ වෙළඳසැළක සේවය කරන පුද්ගලයෙක්.

මීට දින කිහිපයකට පෙර අදාළ වෙළඳසැලේ රුපියල් ලක්ෂ විස්සක (20,00,000) මුදල් සොරකමක් සිදුව ඇති අතර, පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා එම සොරකම සිදුකර ඇති බවට සැකකල එහි හිමිකරු ඇතුළු පිරිසක් විසින් මොහුව පැහැරගනු ලැබ තිබෙනවා.

අනතුරුව ඔහුව සොයාගෙන ඇත්තේ සැකකරුවන්ට අයත් නිවසක සිරකර තබාගෙන සිටියදියි.

පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා මේ වනවිට අකුරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ ත්‍රිරෝද රථය සහ ලියකියවිලිද සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වෙනවා ෴


මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ගැන සොයා බැලීම පක්ෂ නායක රැස්වීමේදී

(01.03.2024 – 12:06 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මාර්තු 05 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට මහ බැංකු නිලධාරීන් කැඳවීමට තීරණය කර තිබෙනවා.

මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින්.

රජයේ ආයතන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල වැටුප් සංශෝධනය විය යුතු බව ‘මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය’ අවධාරණය කරනවා.

මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ අදාළ වැටුප් සංශෝධනය සිදු නොවුණේ නම් මහ බැංකුවේ ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් මහ බැංකුවෙන් මෙන්ම රටද හැර යා හැකිව තිබූ බවයි.

පසුගිය වසර (2023) තුළ මහ බැංකුවට එහි සේවය කළ පලපුරුදු නිලධාරීන් සීයකට (100) ආසන්න පිරිසක් අහිමි වී ඇති බවද එම සංගමය පෙන්වා දෙනවා ෴


ප්‍රකාශයක් ලබාදීමට වෛද්‍ය සමන් රත්නායක CIDයට

(01.03.2024 – 12:45 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ‘වෛද්‍ය සමන් රත්නායක’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළවයි.

මීට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (29) විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම කියා සිටියේ වෛද්‍ය සමන් රත්නායක ගැන සැකකාරිත්වය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව මේ වනවිට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු හත්දෙනෙකු (7) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

+++++++++

+


අහුන්ගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(01.03.2024 – 12:51 +0530 – hirunews.lk/sinhala)

අහුන්ගල්ල ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට අද (01) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු බව සඳහන් වෙනවා.

+


ඉන්ධන මිල සංශෝධනය වැටඋඩ ?

(01.03.2024 – 13:14 +0530 – hirunews.lk/sinhala)

මිල සූත්‍රයට අනුව ඊයේ (29) සිදුකිරීමට නියමිතව තිබූ ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරුණේ නැහැ.

කෙසේ වෙතත් මිල සංශෝධනයක් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන අතර, මිල සංශෝධනයක් සිදුකරන්නේද නැද්ද යන්න, ලබන සඳුදා (04) ප්‍රකාශයට පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අද (01) යළි රැස්වනවා. පස්වරු 3 ට එම සාකච්ඡාව පැවැත්වෙන බවයි එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ.

විදුලිබල මණ්ඩලය විසින් ලබාදුන් නව ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය 28 වනදා පැවති කොමිෂන් සභා රැස්වීමේ දී මුල්වරට සාකච්ඡාවට බදුන් වුණා.

එහිදී තීරණය වුණේ අද (01) දිනයේද රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටයි.

විදුලි ගාස්තු පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඉහළ දැමූ ප්‍රතිශතයෙන්ම පහත දමන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

කෙසේ වෙතත් 33% ක වැනි ප්‍රතිශතයකින් විදුලිබිල අඩු කළ හැකි බවයි මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරින් පසුගියදා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට කැඳවූ අවස්ථාවේ අනාවරණ වුණේ ෴


ඉන්දියාවෙන් යාපනයට දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතියක්

(01.03.2024 – 13:21 +0530 – hirunews.lk/sinhala)

යාපනය දූපත් 3 ක් වෙනුවෙන් විදුලිබලය සම්පාදනය කරන දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරිම වෙනුවෙන් ගිවිසුම්ගත වීම අද (01) සිදුව තිබෙනවා.

ඒ අනුව ඉන්දීය රජයේ පුර්ණ මූල්‍ය ප්‍රධානයක් ලෙස ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 10.995 ක මුදලක් මගින් ඩෙල්ෆ්, එලුවතිව් සහ නයිනතිව් (නාගදීපය) දූපත්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

කිලෝ වොට් 530 ක සුළං බලය, කිලෝ වොට් 1700 ක සුර්ය බලය, කිලෝ වොට් පැය 2400 ක බැටරි පද්ධතියක් සමග පුනර්ජනනීය බලය සහ විකල්ප කිලෝ වොට් 2500 ක ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන මෙම දෙමුහුම් පද්ධතිය 2025 මාර්තු වන විට වැඩ අවසන් කිරීමට නියමිතයි ෴


2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

(01.03.2024 – 13:34 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල්වලට අයදුම් කිරීම සඳහා ලබාදී ඇති කාලය ලබන හත්වනදායින් (07) අවසන් වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දැනටමත් පාසල්වල විදුහල්පතිවරුන් වෙත ඊට අදාළ අයදුම්පත් ලබාදී ඇති බවයි.

ඒ අනුව ඒවා නිසි පරිදි සම්පූර්ණ කර ලබන හත්වනදාට (07) පෙර විදුහල්පති වෙතම නැවත භාරදීමට කටයුතු කරන ලෙසයි එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ෴


සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් මෙන්න

(01.03.2024 – 18:18 +0530 – hirunews.lk/sinhala)

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිතව පාසල් විභාහය හා ඒවා පැවැත්වෙන දිනයන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව සඳහන් කරනවා.

2023 වර්ෂයට අදාළ පැවැත්වීමට නියමිතව තිබු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 06 සිට 2024 මැයි 15 දක්වා පැවැත්වීමට නියමිතයි.

2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පැවැත්වෙන්නේ විභාගය 2024 සැප්තැම්බර් 15 වැනි ඉරු දිනයි.

එමෙන්ම, අ.පො.ස උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවත්වීමට නියමිතයි.

වැඩිදුරටත් එම දෙපාර්තමේතුව සඳහන් කරන්නේ 2024 අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට යෝජිත දිනයන් ඉදිරීයේ දී දැනුම් දෙන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *