හිටපු සෞඛ්‍ය ඇමති ‘කෙහෙළිය රඹුක්වැල්ල’ මාර්තු 14 තෙක් යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය ඇමති ‘කෙහෙළිය රඹුක්වැල්ල’ මාර්තු 14 තෙක් යළි රිමාන්ඩ්


හිටපු සෞඛ්‍ය ඇමති ‘කෙහෙළිය රඹුක්වැල්ල’ මාර්තු 14 තෙක් යළි රිමාන්ඩ්

(29.02.2024 – 20:07 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ‘කෙහෙළිය රඹුක්වැල්ල’ ඇතුළු සැකකරුවන් 06 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා – මාර්තු 14 වැනිදා දක්වා.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

කෙසේ වෙතත් අද (29) දිනයේදී කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන් විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

එම අවස්ථාවේදී අධිකරණ පරිශ්‍රයට පැමිණි පිරිසක් මාධ්‍ය ආවරණ කටයුතුවලට බාධා කරමින් හැසිරුණා.

කෙසේ වෙතත් නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්කවරල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයාගේ පාදයේ ආබාධයක් පවතින බැවින් ඔහුට අසුන් ගැනීමට අවශ්‍ය බවයි.

ඊට අධිකරණය අවසර ලබා දුන්නා. එමෙන්ම පසුගිය නඩු විභාගයට පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවද අද (29) දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

නඩු විභාගය කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ නඩුවට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන ‘වෛද්‍ය සමන් රත්නායක’ නැමැත්තා අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් පරීක්ෂණවලට සහය දීම මග හරිමින් සිටන බවයි.

ඔහුට ඊයේ (28) සහ අද (29) යන දෙදින තුළම තම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් තමන් සිටින ස්ථානය පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එහිදී මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ ඔහුට එරෙහිව අපරාධ නඩු විධි විධාන සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙසයි.

මීට අමතරව ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව තවත් එක් (1) සැකකරුවෙකු විදෙස් ගතව සිටින බැවින් ඔහුව සම්බන්ධ කර ගැනීම සඳහා අවස්ථා ගණනාවකදී උත්සහ කළත් ඔහු ද පරීක්ෂණ මග හැර සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එබැවින් ඔහුට එරෙහිව ‘රතු නිවේදනයක්’ නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සිය නීතිඥවරුන් මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. එමෙන්ම වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් අයකර දෙන ලෙසයි එමගින් ඉල්ලා ඇත්තේ.

+


රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉහළ දැමීම අප්‍රේල් මාසයේ සිට

(29.02.2024 – 22:09 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දැමීම අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (29) පැවති විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින්.

ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කළේ 2015 වසරේ තමා අගමැතිවරයා ලෙස සිටි කාලවකවානුවේ දී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බවයි.

තවද, මේ වසරේදීත් ආර්ථික පීඩාකාරි තත්ත්වය නිසාම රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩිකරන බව ඔහු සඳහන් කළා ෴


ලොතරැයි අලෙවිය මුවාවෙන් සිදුකළ වංචාව

(29.02.2024 – 22:27 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ලොතරැයි මණ්ඩල විසින් ලොතරැයි අලෙවිය විනිවිදභාවයෙන් යුතුව සිදුකරන්නේ එමගින් රටට ලබා දෙන ආර්ථික ප්‍රතිලාභය මූලික කරගනිමින්.

නමුත් වාසනාව උරගා බැලීමට අවස්ථාවක් දෙන මුවාවෙන් ඇතැමුන් සිදු කරන වංචාවන් පිළිබඳවත් සමාජයෙන් වාර්තා වනවා.

එලෙස ලොතරැයි මණ්ඩලයේ නියමයන් නොතකා පිටකොටුව ප්‍රදේශයේ සිදු කෙරුණු ලොතරැයි ජාවාරමක් පිළිබඳව අපට යළිත් තොරතුරු වාර්තා වුණා.

මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි අලෙවිය විනිවිදභාවයෙන් යුතුව සිදුකරන්නේ එමගින් රටේ ආර්ථිකයට ලැබෙන සුවිශේෂී දායකත්වය හේතුවෙන්.

කෙසේ වුවත් ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියමයන්ට එරෙහිව ක්‍රියාත්මකවන විවිධ ජාවාරම් පිළිබඳවද වරින් වර අසන්නට ලැබෙනවා.

පසුගිය වසරේදී (2023) ද එලෙස සිදු කෙරුණු ජාවාරමක් නීතියේ රැහැනට හසු කර දෙන්නට ‘හිරු සීඅයිඒ’ සමත් වුණා.

ලොතරැයි අලෙවි නියෝජිතයා එම වංචනික ලොතරැයි ක්‍රමවේදය හඳුන්වා දෙන අතරතුර, එම ලොතරැයියේ ජයග්‍රාහකයෙකු බව පවසා ඒ අසල සිටි පුද්ගලයෙකුට එම අවස්ථාවේම මුදල් ලබාදුන්නේ ද මෙලෙසින්.

නමුත් පසුව ‘හිරු CIA’ අනාවරණ කරගත්තේ ඔහු ද මෙම ලොතරැයි අලෙවි ජාවාරමේ කොටස්කරුවෙකු බවයි.

ඒ සම්බන්ධයෙන් ‘හිරු CIA’ පිටකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ජාවාරමට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා.

කෙසේ වුවත් තවමත් එවැනි ජාවාරම් නතර වී නොමැති බව මේ දර්ශනවලින් තහවුරු වනවා.

මෙම ජාවාරමට හසුවූ පුද්ගලයෙකු ඒ පිළිබඳ පිටකොටුව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

මෙම පුද්ගලයා අදාළ ලොතරැයි අලෙවිසැලෙන් රුපියල් 100 ක මුදලක් ලබා දී ලොතරැයි 5 ක් මිලදී ගෙන ඇති අතර එහි එක්ලක්ෂ අසූදහසක බෝනස් මුදලක් ලැබී තිබෙනවා.

මෙලෙස බෝනස් මුදල් වෙනත් පුද්ගලයකන්ට ද ලැබෙන බව තහවුරු කිරීම සඳහා ලොතරැයි කූඩුව අසල සිටින පුද්ගලයෙකු හට බෝනස් මුදල් ලෙස යම්කිසි මුදලක් ද පරිත්‍යාග කරන අයුරු දැක ගන්නට ලැබී තිබෙනවා.

එම මුදල් ලබාගත් පුද්ගලයා ද අදාළ ජාවාරමේ කොටස්කරුවෙක් බවයි පසුව දැනගන්නට ලැබී ඇත්තේ.

අනතුරුව අදාළ පුද්ගලයා පිටකොටුව පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් එම අලෙවි සැලට පැමිණ අදාළ ජාවාරම්කරු අත්අඩංගුවට ගත්තේ ඔහු සන්තයේ තිබූ ව්‍යාජ ලොතරැයි පත් තොගයක්ද සිය භාරයට ගනිමින්.

+


මහ අව්වේ පාසල් දරුවන් දණ ගස්සවා තැබූ අමනුස්ස ගුරී

(29.02.2024 – 22:39 +0530 – hirunews.lk/sinhala)

= මහ අව්වේ පොඩ්ඩන් දණ ගැස්සූ හිත්පිත් නැති ගුරුවරු =

හෙට (01) දිනයේත් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්වලදී එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු, ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා පාසල් දරුවන් යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල්වලට උපදෙස් දී තිබෙනවා.

එවන් පසුබිමක නාරහේන්පිට ප්‍රදේශයේ පිහිටි පාසලක ගුරුවරියක් සිසුන් පිරිසක් එළිමහනේ දණගස්වා තිබූ අයුරු ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණා.

මේ අතර අධික උණුසුම හේතුවෙන් ගොවිතැන් කටයුතු , එදිනෙදා කුලී වැඩ කරන පුද්ගලයින් සහ වැඩබිම් වල සිටින පිරිසද බලපෑමට ලක්ව සිටිනවා.

සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ මේ දිනවල ජනතාව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.

+


මවට නොදැනී දුවන ත්‍රීරෝදයෙන් මහමඟට වැටුනු මසක් වයසැති බිළිඳා (29.02.2024)

+


මාරක අනතුරින් අවුරුදු 4 ක දරුවෙක්ට දිවි අහිමි වෙයි

(01.03.2024 – 07:11 +0530 – hirunews.lk/sinhala)

පෙරියනිලාවනි පොලිස් වසමේ විෂ්ණු විද්‍යාල පාර ප්‍රදේශයේදී පාසල් වෑන් රථයකට යටවීමෙන් ඊයේ (29) බරපතළ තුවාල ලැබූ ළදරුවෙකු කල්මුණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 04 ක් වූ පෙරියනිලාවනි ප්‍රදේශයේ පදිංචි ළදරුවෙක්.

මියගිය දරුවාගේ වැඩිමහල් සහෝදරිය පාසල් යාම සඳහා පැමිණි පාසල් වෑන් රථයට සහෝදරිය නංවා ගැනීමෙන් පසු රියදුරු විසින් රථය ඉදිරියට ධාවනය කරන අවස්ථාවේ මෙම ළදරුවා වෑන් රථයට යට වී ඇති බව‍යි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෙරියනිලාවනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

(01.03.2024 – 09:14 +0530 – hirunews.lk/sinhala)

ඇල්ල පොලිස් වසමේ ඇල්ල දුම්රියපොළ ආසන්නයේදි ඊයේ (29) පුද්ගලයෙකු දුම්රියේ ගැටී මියගොස් තිබෙනවා.

බදුල්ල දෙස සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී මොහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වන හාලි ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


දුම්රිය මගට යටින් අලින්ට උමං මාර්ග

(01.03.2024 – 13:38 +0530 – hirunews.lk/sinhala)

අලි මංකඩ පිහිටි ස්ථාන හඳුනාගෙන දුම්රිය මාර්ගයට පහතින් උමං මාර්ග තැනීමට රජය තීරණය කර තිබෙනවා.

මේ යටතේ පළමු උමං මාර්ගය ඉදිකිරීම ගල්ගමුව, ගැටදිවුල ප්‍රදේශයේ දී අද (01) ආරම්භ වන්නේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

දුම්රියේ ගැටීමෙන් පසුගිය වසර කිහිපය තුළ වන අලි 200 ක් පමණ මියගොස් තිබෙනවා.

ඊට පිළියමක් ලෙස දුම්රිය හරස් මාර්ග අසල ඇති අලිමංකඩ හඳුනාගෙන එම ස්ථානවලට පහතින් මෙලෙස උමං මාර්ග තැනීමටයි යෝජනා වී ඇත්තේ.

+


සපුගස්කන්ද පිරිපහදුව ලබන ජුලි මාසයේ වැසේ

(01.03.2024 – 16:49 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දෛනික මෙහෙයුම් කටයුතු දින 45 කට තාවකාලිකව අත්හිටුවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව සඳහන් කළේ ලබන ජුලි මස සිට මෙලෙස දෛනික මෙහෙයුම් කටයුතු අත්හිටුවා නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කරන බවයි.

මෙම කාලසීමාව තුළ රටේ ඉන්ධන අවශ්‍යතාව සපුරාලීමට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවද ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *