පරිසරයේ පවතින අධික උෂ්ණත්වය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

පරිසරයේ පවතින අධික උෂ්ණත්වය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්


පරිසරයේ පවතින අධික උෂ්ණත්වය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

(28.02.2024 – 11:44 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

සියලු ම පාසල්වල විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම පිණිස අදාළ උපදෙස් මේ වන විටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාව අනුව ඉදිරියේ දී ද කටයුතු කරන ලෙසද වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

+

හෙටත් (29) පළාත් කිහිපයක ඉහළ උණුසුමක්

(28.02.2024 – 16:52 +0530 – hirunews.lk/sinhala)

වයඹ, බස්නාහිර, දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උෂ්ණත්වය හෙට (29) දිනයේත් අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, හැකිතාක් එමගින් සිරුරට වන බලපෑම් අවම වන අයුරින් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

උණුසුම් කාලගුණය හේතුවෙන් සිකුරාදා (01) දිනය දක්වා ඉහළ උෂ්ණත්ව අවස්ථාවන්වලදී පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ද අද දැනුම් දුන්නා.

+

+++++++

https://www.youtube.com/watch?v=89M6jJzlm_A

+


ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

(28.02.2024 – 11:27 +0530 – hirunews.lk/sinhala)

මහරගම හයිලෙවල් පාරේ පැරණි ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කොටසක් කඩා වැටිමෙන් බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙක් මිය ගොස් තිබෙනවා.

පුද්ගලයින් කිහිප දෙනෙකු එක්ව ගොඩනැගිල්ලක ජනේලයක් ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

එම ජනේලය ඉවත් කිරීමට යාමේදී එකවරම ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටී තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වන හෝමාගම ගැමුණු මාවතේ පදිංචි පුද්ගලයෙක් ෴


ජනප්‍රිය ගුරුවරයෙකු අත්අඩංගුවට

(28.02.2024 – 11:44 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 90 ක් සන්තකයේ තබාගෙන සිටි ජනප්‍රිය පාසැල් ගුරුවරයෙකු එම හෙ‍රොයින් මත්කුඩු සමග හලාවත කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම – හලාවත පාරේ ලුණුඔය පාලම අසලදි ඊයේ (27) දහවල් හෙරොයින් මත්කුඩුත් සමග මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම ප්‍රදේශයේ දෙමළ පාසැලක උගන්වන ගුරුවරයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම පුද්ගලයා උඩප්පුව කොට්ඨාශ අංක 03 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වැඩිදුර විමර්ශණවලදි හෙළි වී ඇති අතර සැකකාර ගුරුවරයා සන්තකයේ තිබි පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්කුඩුත් සමග ඔහු හලාවත ම‍හේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කර තිබෙනවා ෴


වැලි මැක්කා ඇවිත් දෂ්ඨ කරොත් භයානකයි

(28.02.2024 – 12:12 +0530 – hirunews.lk/sinhala)

වැලි මැක්කාගේ දෂ්ඨ කිරිමේ හේතුවෙන් ‘ලිශ්මනයිසීස්’ රෝගය වැළඳුනු රෝගීන් නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් රැසකින් වාර්තා වන බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසනවා.

මාතලේ හා දඹුල්ල මුලික රෝහල් මගින් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගත් හා ලබාගන්නා පිරිස් සම්බන්ධයෙන් කළ සොයා බැලිමේ දී මෙම තොරතුරු අනාවරණය වුණා.

නාඋල – නාලන්ද, උඩුදෙනිය, නාඋල නගරය ආශ්‍රිත කලාපය සහ සේනාගම ගම්මානය ආදී ප්‍රදේශ පිරිස් ‘ලිශ්මනයිසීස්’ රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

සමේ වේදනා ඇති නොවන තුවාල ගනන්නොගෙන සිටිම ආදී හේතුන් නිසා බොහෝ රෝගීන්ගේ වැඩි තුවාල ප්‍රමාණයක් හෝ වර්ධනය වු තුවාල මෙම රෝගයේ දී දක්නට ලැබෙන බව මේ සම්බන්ධයෙන් කල විමසීමක දී නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පැවසුවා.

ජිවත්වන නිවෙස් අවට පරිසරය පිරිසිදුව තබාගැනීම, රෝගී තත්ත්වයන් දුටු සැනින් ප්‍රතිකාර ලබාගැනීම සහ අවට පරිසරය සම්බන්ධයෙන් වඩා විමසිලිමත්ව කටයුතු කිරිම මහජනයා විසින් සිදුකිරිම මගින් මෙම රෝගි තත්ත්වයෙන් ආරක්ෂා විය හැකි බවයි මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සඳහන් කළා ෴


පමාව ගැන උත්තර දිය නොහැකි බව ශ්‍රී ලංකන් සභාපති කියයි

(28.02.2024 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දිගින් දිගටම පවතින ගැටලු‍කාරී තත්ත්වයන් හමුවේ අද (28) උදෑසනත් ගුවන් යානා 3 ක් අවලංගු කිරීමත් සමග ගුවන් මගින් දැඩි පීඩාවට පත් වුනා.

කෙසේ වෙතත් මෙම ගැටලු‍ව පිලිබදව අප කල විමසීමකදී ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ කියා සිටියේ තමන් කාර්ය බහුල බැවින් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවයි.

කටුනායක සිට අද (28) අලු‍යම 00:25 ට මැලේසියවේ ක්වාලාලම්පූර් බලා පියාසර කිරීමට නියමිතව තිබූ එච් එම් 178 දරණ ගුවන් යානයත්, ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත අද (28) උදෑසන 07:25 ට ගමන් කිරීමට නියමිතව තිබූ යූ එල් 177 දරණ යානයත් අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම නේපාලයේ කත්මණ්ඩු නුවර දක්වා අද (28) උදෑසන 08:55 ට පියාසර කිරීමට නියමිතව තිබූ යූ එල් 181 දරණ ගුවන් යානය ද අද (28) දින අවලංගු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ගුවන් යානා අවලංගු කිරීම හමුවේ විදේශීය සංචාරකයින් මෙන්ම දේශීය සංචාරකයින්ද දැඩි අපහසුතාවට පත් සිටිනවා.

මෙලෙස ගුවන් යානා ප්‍රමාද වීමට හේතුව ලෙස ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම පවසන්නේ සේවක හිඟය සහ අමතර කොටස් වල හිඟකමයි.

මෙය කඩිනමින් නිරාකරණය කරගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි එම සමාගම සදහන් කලේ.

ඊයේ (27) දිනයේද මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් ගමන්වාර 06 ක් අවලංගු කෙරුණා ෴


යෝජිත මන්නාරම් සුළං බලාගාරය නිසා පක්ෂීන් මිලියන 15 කට දැඩි තර්ජන

(28.02.2024 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීම සඳහා පරිසර ඇගයීම් වාර්තාව සකස් කර ඇත්තේ නිසි දත්ත පදනම් කරගෙන නොවන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ පරිසර ඇගයීම් වාර්තාව දෝශසහගත නිසා එහි අවසන් නිගමනයද නිවැරදි නොවිය හැකි බවයි.

ලෝකයේ පක්ෂීන් සංක්‍රමනය වන ප්‍රධාන මාර්ග අටෙන් (8) එකක් (1) වන මධ්‍යම ආසියානු සංක්‍රමණික මාර්ගයේ ගමනාන්තය වන බැවින් ශ්‍රී ලංකාව හදුන්වනු ලබන්නේ කුරුලු පාරාදීසයක් ලෙස යි.

කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවාගෙන රටවල් 30 කින් සංක්‍රමණික පක්ෂීන් මිලියන 15 ක් පමණ වාර්ෂිකව මෙරටට පැමිණෙන බවට පර්යේෂකයින් ඇස්තමේන්තු කර තිබෙනවා.

මන්නාරම පක්ෂීන් ඇතුළුවන ප්‍රධාන මාර්ගයක් වන අතර යෝජිත මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා මෙරටට පැමිනෙන පක්ෂීන් හට දැඩි අවදානමක් මතුව ඇති බවට ගෙවුණු කාල සීමාවේ බොහෝ පාර්ශව පෙන්වා දුන්නා.

අදාළ ව්‍යාපෘතියට අනුමැතිය ලබා ගැනීම සදහා සකස් කළ පරිසර ඇගයීම් වාර්තාවද මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ අදාළ පරිසර ඇගයීම් වාර්තාව නිසි දත්ත පාදක කොටගෙන සකස් කර නොමැති බවයි.

+


විදේශ ගමන් බලපත්‍ර හදන්න මහනුවරට මහ ජනගඟක්

(28.02.2024 – 13:28 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගමන් බලපත්‍ර ඉලලුම් කිරීමේ අපේක්ෂාවෙන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලය ඉදිරිපිට දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා එම ස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා ඇති අයුරු දක්නට ලැබුණා.

මේ මහනුවර ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ඊයේ (27) පස්වරුවේ පැවැති තත්ත්වයයි.

විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කිරීමට පැමිණි ජනතාව හේතුවෙන් මෙලෙස තදබදයක් හටගෙන තිබුණා.

මෙම පිරිස ඊයේ (27) රාත්‍රිය පුරා එම ස්ථානය ඉදිරිපිට රැඳී සිට ඇති අතර අද (28) පෙරවරුවේ ද තවත් පිරිසක් එහි පැමිණීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැඳී සිටි ජනතාව මේ හේතුවෙන් දුර බැහැර සිට පැමිණි ජනතාවද අද (28) පත්ව සිටියේ දැඩි අපහසුතාවකටයි.

තත්ත්ව‍ය පාලනය කිරීම සඳහා ඒ අවට ප්‍රදේශයට පොලිස් නිලධාරීන් ද කැඳවා තිබුණා.

+++++++++

+


වසරේ ගත වූ මාස 2 තුළ රටපුරා ඝාතන 83 ක්

(28.02.2024 – 14:19 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ මනුශ්‍ය ඝාතන හා සම්බන්ධ සිදුවීම්වලින් පුද්ගලයින් 83දෙනෙකු පමණ මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා.

පසුගිය 26 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එමෙන්ම දේපොළ සොරකම් කිරීමේ සිදුවීම් 1180ක් ද මංකොල්ලකෑම් 310ක් ද වාර්තා වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ වෙඩි තැබීම් සිද්ධීන් 20ක් මේ වන විට වාර්තා වී ඇති බවයි.

එමෙන්ම එම සිද්ධින්වලදී 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙම වෙඩි තැබීම්වලින් බහුතරයක් පාතාල කල්ලි අතර පවතින ගැටුම් හේතුවෙන් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *