ඇමති හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශයට සහ එට්කා ගිවිසුමට සිවිල් සංවිධානවල විරෝධය

ඇමති හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශයට සහ එට්කා ගිවිසුමට සිවිල් සංවිධානවල විරෝධය


ඇමති හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශයට සහ එට්කා ගිවිසුමට සිවිල් සංවිධානවල විරෝධය

(27.02.2024 – 19:54 +0530 – hirunews.lk/sinhala)

ඇමති හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශයට විරෝධය දක්වමින් සහ එට්කා ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ගොදුරක් වන බවට චෝදනා කරමින් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් සංචාරක අමාත්‍යාංශය අසළ සිට කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය දක්වා අද (27) පෙරවරුවේ පා ගමනින් පැමිණියා.

එම අවස්ථාවේ ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබූ අතර, විරෝධතාකරුවන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් භාරදීමට උත්සහ කළත්, එය භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

+


ඇමති ටිරාන් සහ පොලිස්පති ඝාතනයට ලක්වූ PHIගේ නිවසට

(27.02.2024 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ‘රෝෂන් කුමාර’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තොරතුරු කෙටි කලක් තුළදී අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

රෝෂන් කුමාරගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පතිවරයා අද (27) පස්වරුවේ ඔහුගේ නිවසට පැමිණියා.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ක බලකායද සම්බන්ධ වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් 15 ක් විමර්ශන මෙහෙයවනවා.

මේ අතර වැල්ලවත්ත මුහුදු මාවතේ පිහිටි හෝටලයකට අද (27) උදෑසන එල්ල කළ වෙඩි තැබීම බිය වැද්දීමක් සදහා සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) මෙලෙස වෙඩි තබා තිබුණේ දැනට විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ට අයත් බවට සැලකෙන ‘පර්ල් බීච්’ නැමති හෝටලයටයි.

එහිදී කිසිවෙකුටත් හානියක් සිදුනොවූ අතර, එම ස්ථානයේ තිබී ටී 56 හිස් පතොරම් කොපු 9 ක් ද සොයා ගත්තා. වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වූ 21 වැනි වෙඩි තැබීම මෙයයි ෴


බත්තරමුල්ල ‘වෝටර්ස් එඩ්ජ්’ (Waters Edge) පරිශ්‍ර භූමියෙහි පිහිටි ඉඩම් කොටස් දෙකක් (2)බදු දෙයි

(27.02.2024 – 20:07 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල Waters Edge පරිශ්‍ර භූමියෙහි පිහිටි ඉඩම් කොටස් දෙකක් (2) බදු දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල් මගින් දීර්ඝ කාලීන බඳු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ කොළඹ 10 අශෝක විද්‍යාලය මෙම ඉඩම් බදු දීමට නියමිතයි.

එම පරිශ්‍ර භූමියේ පිහිටි රූඩ් 2 පර්චස් 30.89 ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු පැදීම සහ දිවි ගලවා ගැනීමේ කඳවුරු පුහුණු කිරීම සඳහා නාවික හමුදාව වෙත මෙසේ ලබා දී ඇති බව සඳහන්.

එමෙන්ම අක්කර 4 රූඩ් 2 පර්චස් 1.60 ක ඉඩම් කොටස ක්‍රීඩා පිටියක් ලෙස පරිහරණය කිරීම සඳහා කොළඹ 10 අශෝක විද්‍යාලය වෙත ලබා දී තිබෙනවා ෴


‘පරාටේ නීතිය’ ගැන මුදල් රාජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

(27.02.2024 – 20:44 +0530 – hirunews.lk/sinhala)

‘පරාටේ නීතිය’ තාවකාලිකව අත්හිටුවුව ද බැංකුවකට තම ණය අය කරගැනීම සඳහා නඩු පැවරීමේ අයිතිය ඉන් ඉවත් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

කෙසේ වෙතත් මේ හරහා ණය ගෙවාගත නොහැකි වූ පාර්ශ්වයන්ට ණය ගෙවීමට අවස්ථාවක් ලැබෙන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ.

ණය ගැනුම්කරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීම සඳහා බැංකුවලට බලය හිමිවන පරාටේ නීතිය ක්‍රියාත්මක වීම මේ වසරේ දෙසැම්බර් 15 වනදා දක්වා අත්හිටුවීමට ඊයේ (26) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ අධිකරණ හා කර්මාන්ත අමාත්‍යවරුන්ගේ ඉල්ලීමකට අනුවයි.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය මුදල සම්බන්ධයෙන්ද අද (27) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළවුණා.

+


ලංකාවේ කෘෂභාවය සහිත වැඩිම පාසැල් දරුවන් පිරිසක් වාර්තාවෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් – විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව

(27.02.2024 – 21:16 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට දරුවන්ගේ මන්ද පෝෂණ තත්වය වඩාත් ඉහළ ගොස් ඇති බවත්, ඒ අතරිනුත් පාසැල් දරුවන් අතරින් කෘෂ බව වැඩි දරුවන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව පවසනවා.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පෙරවරුවේ සූරියවැව ප්‍රදේශයේදී මාධ්‍ය සාකච්ජාවකට සහභාගී වෙමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව :

“මීට වසර එක හමාරකට (1½) පමණ පෙර අප හම්බන්තොට දරුවන්ගේ පෝෂණ තත්වය පිළීබදව හෙළිදරව්වක් කළා. නමුත් නිළධාරීන් ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන තවමත් ඒ පිළිබදව හෙළිකල මා පිළිබදව විමර්ශණ පැවැත්විම සිදුකරමින් යනවා. අප කළ හෙළිදරව්ව පිළිබදව හම්බන්තොට රාජ්‍ය නිළධාරීන් මේ වනතුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මෑතකදී පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් 2023 වර්ෂයට අදාලව නිකුත් කරන ලද වාර්තාවේ බොහොම පැහැදිලිව සදහන්ව තිබෙනවා.

පසුගිය වසරට අදාලව පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් නිකුත් කල වාර්තාවේ බොහොම පැහැදිලිව සදහන් වෙලා තියෙනවා පාසැල් දරුවන් අතර උසට සාපේක්ෂව බර අඩු විම හෙවත් කෘෂභාවය වැඩිම දරුවන් පිරිසක් ජිවත් වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බව. එය ප්‍රතිශතයක් ලෙස 32.4% ක්. ඒ අනුව ලංකාවේ අනිත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව බලන විට කෘෂභාවය වැඩි වැඩිම දරු පිරිසක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළින්. මේ මම හදපු වාර්තා නෙමේ. මේ පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් නිකුත් කරන ලද දත්ත.

දරුවන්ගේ උසට සරිලන බර ඌණතාවය කියන්නේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයේ පවතින අර්බුධයක්. ළමා වර්ධන සටහන් ගත්තමත් උසට සාපේක්ෂව බර කියලා කියන්නෙත් ඉතා වැදගත් සාධකයක්.

අප සිදුකල සොයාබැලිම් වලදි පවා අපට අනාවරණය වුනේ මේ හම්බන්තොට පාසැල් යන වයසේ දරුවන්ගේ ආහාර වේල බවට බොහෝ වෙලාවට පත්වෙලා තියෙන්නේ ‘කිඹුලා බනිස්’ එකක් හෝ පාන්පිටි සහිත ආහාරයක්. ඇතැම්විට දරුවාට දවසටම කෑමට තියෙන්නේ කිඹුල බනිස් ඒක විතරයි. දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාරවේලක් ලබා දිමට දෙමාපියන් මේ වනවිට අපොහොසත් වෙලා ඉන්නවා පවතින ආර්ථික තත්වයත් එක්ක.

මීට වසර ඒකහමාරකට (1½) පමණ පෙර මේ විදියටම මම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිදුකළ සමාජ සමීක්ෂණයකින් පසු හම්බන්තොට දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබදව හෙළිදරව් කලා. නමුත් දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය ඊට යොමු වුනේ නෑ. මේ දරුවන් සම්බන්ධව දරුවන්ගේ වර්ධනය පිළිබදව, දරුවන්ගේ පෝෂණය පිළිබදව හම්බන්තොට රාජ්‍ය නිළධාරීන් කිසිවෙකුත් කිසිදු තැකීමක් කලේ නෑ. ඒ නිසා එහි ප්‍රථිපල තමයි අද මේ දකින්න තියෙන්නේ.

එදා මම මේ තත්වය පිළිබදව රටට කිව්වම ඒ ගැන හොයලා බලලා ඊට විසදුමක් දෙනවා වෙනුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞබ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් කලේ මගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පැවැත්වීමයි. නමුත් ප්‍රශ්ණය තවමත් ඒතනමයි. ඊට විසදුම් දෙන්න බළධාරීන් කටයුතු කලේ නෑ. ඒ නිසා හම්බන්තොට දරුවන් අතර පෝෂණ අර්බුදය අද වන විට උග්‍ර ලෙස වැඩිවෙමින් පවතිනවා.

උසට අදාළ බර අඩුවීම ‘කෘෂභාවය’ ලෙස හඳුන්වන අතර කෘෂ බව මගින් කෙටි කාලයක් තුළ දරුණු ලෙස බර අඩුවීමක් හඟවන බැවින්ද ඇතැම් විට මෙම තත්ත්වය කාලයක් තිස්සේ පැවතිය හැකි බවද ආහාර ප්‍රමාණය සහ පෝෂක සංඝටක – විශේෂයෙන්ම ශක්ති ජනක ආහාර අවශ්‍ය ප්‍රමාණ වලින් නොලැබීම හෝ නිතර නිතර රෝගී වීම හෝ දීර්ඝකාලීනව පවත්නා රෝගී තත්ත්වයන් නිසා මෙම තත්වය ඇතිවෙන්න පුළුවන්.

පෝෂණ දත්ත අනුව අඩුබර දරුවන් වැඩිම ප්‍රතිශතයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙනුත්, උග්‍ර තීවුර බර අඩු දරුවන් කළුතර දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වී තිබෙනවා. එමෙන් ම ගර්භනී මව්වරුන් අතරත් මන්දපෝෂණයේ සහ නීරක්තියේ වැඩිවීමක් මේ වන විට දක්නට ලැබෙනවා. මේ වන විට වයස අවුරුදු පහට (5) අඩු දරුවන්, වයස අවුරුදු පහට (5) වැඩි පාසල් වයසේ දරුවන් හා ගර්භනී මව්වරුන් සහ තරුණියන් අතර ඇතිවන පෝෂණ අර්බුදය කෙරෙහි කඩිනම් අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා.

මේ සදහා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයින් සක්‍රීය දායකත්වයක් ලබාදීම නොකළහොත් අත්වෙන ඉරණමද ඉතා භයානක වෙන්න පුළුවන්. පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබදව නොසලකා හැරීම කියන්නේ දිගු කාලීන සමාජ අර්බුදයක් දක්වා වැඩි වර්ධනය විය හැකිකාරණයක් බැවින් ඒ සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්‍රයේ දී ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුයි” ෴


ලංකාවේ බලශක්ති සැපයුමට ඉස්සරහට මොකද වෙන්නේ ?

(27.02.2024 – 22:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති ක්ෂේත්‍රය මෑතක සිට වඩාත් වේගයෙන් සංවර්ධනය වීමට පටන්ගෙන තිබෙනවා.

ආසියාවේ නැගී එන බලවතා වන ඉන්දියාව තම රටේ පුනර්ජනනීය බලශක්ති භාවිතය 2050 වන විට 70% ක කඩඉම දක්වා වැඩිකර ගැනීමට සැලසුම් කර ඇති අතර ඉන්දියාවේ තවත් සැලසුමක් වී ඇත්තේ, දකුණු ආසියාවේ අසල්වැසියන් විදුලිය භාවිතය සම්බන්ධයෙන්, බලශක්තියෙන් සන්නද්ධ කිරීමයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති හවුල්කාරිත්වය සංවර්ධනය වෙමින් පවතින්නේ ඉන්දියාවේ මෙම අරමුණට සමාන්තරවයි.

පසුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාව මුහුණදුන් බලශක්ති අර්බුදය හේතුවෙන් බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට ඉන්දියානු සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කැමැත්තෙන් පසුවෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා Adani Green, L&T, සහ Tata Power වැනි සමාගම් ඉදිරිපත් වී තිබෙනවා.

එම සමාගම්වල ඉලක්කය වී තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ බලශක්ති සම්ප්‍රේෂණයේ සහ බෙදාහැරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර, ලාභදායී බලශක්ති පද්ධතියක් සඳහා අඩිතාලම දැමීමයි.

ඉන්දියාවේ ප්‍රමුඛ පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන Adani Green විසින් ශ්‍රී ලංකාවේ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 750 ක ආයෝජනයක් සිදුකරන බවට නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව 2025 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවට ද්‍රව ස්වාභාවික වායු නැත්නම් LNG සැපයීම ආරම්භ කිරීමට සැලසුමක් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ක්‍රියාවලියේ ඊළඟ පියවර වන්නේ කොළඹ වරායේ ප්‍රතිවායුකරණ පර්යන්තයක් ඉදිකිරීමයි.

මෙම සැලසුමට අනුව ආරම්භයේදී කොළඹට ද්‍රව වායු සැපයීමට සැලසුම් කර ඇත්තේ ටැංකි නැව් උපයෝගී කරගනිමින්.

මෙම ඉන්ධන සැපයීම සහ ප්‍රතිවායුකරණ පර්යන්තය ඉදිකිරීමට ඉදිරිපත්වී සිටින්නේ ඉන්දියාවේ විශාලතම LNG පර්යන්ත ක්‍රියාකරු ලෙස හැඳින්වෙන Petronet LNG සමාගම විසිනුයි.

Petronet LNG සමගම දිනකට ටොන් 850 ක් පමණ බැගින් LNG නොහොත් ද්‍රව ස්වභාවික වායුව වසර පහක (5) කාලයක් අඛණ්ඩව ශ්‍රී ලංකාවට සැපයීමට ගිවිසුමකට එළඹීමට සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Petronet LNG සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අක්ෂේ කුමාර් සිං, පසුගියදා නිමාවූ ගෝවා ඉන්දියා බලශක්ති සතියේදී ජනමාධ්‍ය වාර්තාකරුවන්ට අනාවරණය කළ ආකාරයට සමාගම සෑම වසරකම LNG ටොන් 350,000 ක් පමණ ශ්‍රී ලංකාවට සැපයීමට අපේක්ෂා කරන බවද සඳහන්.

එමෙන්ම FSRU සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා කර අතර, අවසානයේ Petronet LNG සමාගම සමඟ එක්ව 2028 දී එය ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති සහයෝගිතාවයේ තවත් විශේෂිත සැලසුමක් වන්නේ, ශ්‍රී ලංකාවේ වැඩිවන විදුලිය ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රැහැන් මාර්ගයෙන් විදුලිය පද්ධති සම්බන්ධ කිරීමයි.

මුලින්ම මේ සම්බන්ධතාව මුහුද යටින් එළන කේබලයක් හරහා සිදුකිරීමට යෝජනා වී තිබුණ අතර ඒ වෙනුවන් වැයකිරීමට සිදුවන වැඩි පිරිවැය නිසා අවසානයේ සාගරයට ඉහලින් කණු මත ගමන් කරන විදුලි රැහැන් ඔස්සේ ඉන්දියාවෙන් විදුලිය ශ්‍රී ලංකාවට ලබාදීමට සැලසුම් කර ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය 2030 වර්ෂය වන විට අවසන් කිරීමට රටවල් දෙක (2) එකඟවී තිබෙන බව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසනවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින විශාලතම ගැටළුවක් වී ඇත්තේ විදුලිය වෙනුවෙන් අධික මිලක් ගෙවීමට ජනතාවට සිදුවීමයි.

ඒ අනුව මේ ආකාරයට ඉන්දියාවෙන් විදුලිය ලබාගැනීම හරහා විදුලිය සඳහා වැයකිරීමට සිදුවන ඉහල පිරිවැය අඩුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

රටවල් දෙකහිම ස්වාධීනත්වයන් ආරක්ෂා කරගනිමින් මෙම බලශක්ති ව්‍යාපෘති සාර්ථක කරගැනීමට හැකියාව ලැබුණොත්, ඒ හරහා ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවටද විශාල වාසියක් අත්කර ගැනීමට හැකියාව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට දැරීමට සිදුවන විශාල බලශක්ති පිරිවැයක් අඩුකර ගැනීමේ වාසිය සෘජුවම ලැබෙනවා.

එමෙන්ම මේ ඔස්සේ ඉන්දියාවට ලැබෙන වාසිය වන්නේ බලශක්තිය නිසා පිඩා විඳින සහ නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු රටක් සම්බන්ධයෙන් පවතින වගකීමෙන් නිදහස ලැබීමයි ෴


එක්වරම කඩේ ඇතුළට උඩින් පාත් වූ දැවැන්ත ටයරය CCTV කැමරාවේ පටිගත වෙයි (27.02.2024)

+


පාතාලයට හිසරදයක් වූ IP තර්ජන නිසා රටින් යයි – “මගේ බිරිඳයි දුවයි බේරලා දෙන්න” (27.02.2024)

+


වැලිගම බස්නැවතුම්පල – 26.02.2024

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *