අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට


අනතුරකින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(27.02.2024 – 14:02 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (26) දහවල් සිදු වූ රිය අනතුරකින් අධිවේගී මාර්ග සේවකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දොඩංගොඩ සිට මාතර දෙසට ධාවන වෙමින් තිබූ ලොරි රථයක් කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ මාර්ගයේ සේවය කරමින් සිටි කම්කරුවන්ගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ අනතුරුව තුවාල ලැබූ සේවකයින් දෙදෙනෙකු (2) කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණු අතර ඒ වන විටත් ඔවුන් මිය ගොස් සිටි බවයි.

+


සියලු ක්ෂේත්‍රවල වැටුප් සංශෝධනය විය යුතු බව මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය කියයි

(27.02.2024 – 13:55 +0530 – hirunews.lk/sinhala)

රජයේ ආයතන ඇතුලු‍ අනෙකුත් ක්ෂේත්‍රවල වැටුප් සංශෝධනය විය යුතු බව මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ අදාළ වැටුප් සංශෝධනය සිදු නොවුණේ නම් මහ බැංකුවේ ඉතිරි නිලධාරීන්ගෙන් ද සැලකිය යුතු ප්‍රමාණයක් මහ බැංකුවෙන් මෙන්ම රටද හැර යා හැකිව තිබූ බවයි.

පසුගිය වසර (2023) තුළ මහ බැංකුවට එහි සේවය කළ පලපුරුදු නිලධාරීන් සීයකට (100) ආසන්න පිරිසක් අහිමි වී ඇති බවද එම සංගමය පෙන්වා දෙනවා.

+


ලිංගික අධ්‍යාපනය දීමට සැකසූ ප්‍රකාශන ලබන 07 වැනිදා එළි දැක්වේ

(27.02.2024 – 14:59 +0530 – hirunews.lk/sinhala)

පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීමට සැකසූ නව අධ්‍යාපන ප්‍රකාශන ලබන මස 07 වනදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මේ බව අනාවරණය කළේ ළමයින් සඳහාවන, පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදීයි.

අධ්‍යාපන සහ සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ අධීක්ෂණය හා අනුමැතිය යටතේ පුද්ගලයින්ගේ ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ අල්ප දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශන සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා.

මෙහි පළමු (1) අදියර යටතේ ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන, ඊ-ප්‍රකාශන ලෙස ලබා දීමට යෝජනා කර තිබෙනවා ෴


පොලිස් සැරයන්වරයෙකු අධිකරණ භූමියේදී වෙඩි තබා ගනී

(27.02.2024 – 15:56 +0530 – hirunews.lk/sinhala)

මාතර – කොටවිල ‍පොලිසියට අනුයුක්ත සැරයන්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කොටවිල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී අද (27) දහවල් ඔහු මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි.

මියගිය පොලිස් සැරයන්වරයාගේ වයස අවුරුදු 52 ක් වන අතර, සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴

+


ළමා ජීවිත අවදානමක දැමූ බීමත් රියදුරා

(27.02.2024 – 16:12 +0530 – hirunews.lk/sinhala)

බීමතින් පාසල් ළමුන් ප්‍රවාහනය කළ ලංගම බස්රථ රියදුරෙකු පොතුහැරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරික්ෂාකාරීව ධාවනය වූ බස් රථය රථවාහන පොලිස් නිලධාරීන් පරීක්ෂා කීරීමේදීයි මේ බව අනාවරණ වී ඇත්තේ.

පොතුහැර ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදීසිටි පොලිස් නිළධාරීන් අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බස්රථයක් නැවැත්වීමට සංඥා කළද එය නොනවත්වා ධාවනය කර තිබෙනවා.

ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ලුහුබැද ගොස් බස් රථය නවත්වා පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ රියැදුරු බීමත්ව සිට ඇති බවටයි.

අනතුරුව රියදුරු පොතුහැර පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ස්වසන පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහිදී ඔහු බීමතින් සිටි බවට යලිත් තහවුරු වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ, ත්‍රීකුණාමලයේ පැවති බාලදක්ෂ ජම්බෝරියක් නිමවා යළි නිවෙස් බලා පැමිනෙමින් සිට දරුවන් රැගත් හොරණ ඩිපෝවට අයත් ලංගම බස් රථයක රියැදුරෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

පසුව කුරුණෑගල ඩිපෝවේ රියැදුරෙකු කැඳවා ළමුන් පිරිස නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා.

හොරණ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අදාළ බීමත් රියැදුරා අද (27) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+


නව පොලිස්පතිගෙන් අලුත් චක්‍රලේඛයක්

(27.02.2024 – 16:26 +0530 – hirunews.lk/sinhala)

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට යම් අයෙකු පොලීසිය වෙත කැඳවන අවස්ථාවේදී පැමිණිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැනුවත් කළයුතු බවට වන චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

ඒ, බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු වන එම්.බී.වී. රැළපනාව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහි වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම දැනුම් දීම සිදුකළා.

එම චක්‍රලේඛය කෙටුම්පත් කොට අධිකරණයට ඉදිරිපත් කිරීමට දිනයක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පෙත්සම්කරු ප්‍රකාශ කර ඇත්තේ තමා විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවේ අදහසක් පළ කිරීමෙන් පසුව ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දුරකථන මාර්ගයෙන් දැනුම් දුන් බවයි.

ඒ පිළිබඳ විමසූ විට ඊට අදාළව කරුණු පැහැදිලි කිරීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බැවින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සම ගොනු කර තිබුණා ෴


ජ’පුර සරසවියේ විරෝධතාවයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

(27.02.2024 – 16:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් ආරම්භ වී තිබෙනවා.

ඒ නේවාසිකාගාර ගැටලු – මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදවීම් – ආපනශාලා ඇතුළු අධ්‍යයන සුබසාධන ගැටලුවලට එරෙහිවයි.

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයේ නිරත වූ විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර‍යක් එල්ල කර තිබෙනවා ෴


හෙට (28) දිනයේ කාලගුණය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

(27.02.2024 – 17:50 +0530 – hirunews.lk/sinhala)

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (28) දිනය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ පවතින උණුසුම් කාලගුණය සම්බන්ධයෙන්.

ඒ අනුව වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ශරීරයට දැනෙන මට්ටමක පවතින බවත් ඒ පිළිබඳව නිරතුරු අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ.

එමෙන්ම ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවන ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව නිරතුරු අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තවදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටියේ සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසයි ෴


‘ගැබ්ගෙල පිළිකා’ පිළිබඳ භයානක අනාවරණයක්

(27.02.2024 – 18:11 +0530 – hirunews.lk/sinhala)

ගැබ්ගෙල පිළිකා මෙරට කාන්තාවන් ගොදුරුවන දෙවැනියට (2) සීඝ්‍ර වර්ධනයක් සහිත පිළිකාව ලෙස හදුනාගෙන ඇති අතර ගැබ්ගෙල පිළිකා මුලුමනින්ම මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් සිදුකළ නියමු ව්‍යාපෘතිය හරහා HPV DNA පරීක්ෂණ හරහා ගැබ්ගෙල පිළිකා කලින් හදුනාගැනීම හා අවම කිරීම සඳහා දිරිගන්වන සුළු ප්‍රතිඵල පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

ගැබ්ගෙල පිළිකාව මෙරට සීඝ්‍රයෙන් ව්‍යාප්තවන දෙවන (2) සුලභ පිළිකාව බවට ද සමීක්ෂණයකින් හෙලිවී තිබෙනවා.

ඒ අනුව වසරකට වාර්තාවන රෝගීන් ගනණ 1407 ක් පමණ වන බව ගනණය කර ඇති අතර ගැබ්ගෙල පිළිකාව නිසා වසරකට දිවි අහිමවන පිරිස 780 ක් පමණ වන බවයි සොයාගෙන ඇත්තේ.

මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මෙම රෝග ව්‍යාප්තිය නොසලකා සිටියහොත් මෙරට තුළ 2070 වන විට මරණ 58,754 ක් හා 2120 වනවිට මරණ 115,137 වන බවට පුරෝකථනය කර තිබීමයි.

කළුතර දිස්ත්‍රික්කය පදනම්ව සිදු කළ මෙම සාකච්ඡාව හරහා ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සාකච්ජාවට බදුන් කර ඇති අතර එම සමීක්ෂණය සඳහා කලුතර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 35 හා 45 දක්වා වයසේ පසුවන කාන්තාවන් සහභාගී කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම සමීක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක හා අරමුණුවලට අදාළව සෞඛ්‍ය කාර්‍යාංශය විසින් සිදුකර ඇති බවද සඳහන්.

සංසන්දනාත්මක විශ්ලේෂණයන් මගින් සොයා ගත් කරුණු අනුව අවුරුදු 35 සිට 45 දක්වා විවාහක කාන්තාවන් උදෙසා වඩාත් ඵලදායි හා සාර්ථකම සොයා ගැනීමේ හැකියාව සහිත පරීක්ෂණයන් වන්නේ Pap smear, LBC හා HPV DNA වැනි පිළිකා කලින් හදුනා ගැනීමේ ක්‍රමවේදයන් බව මෙහිදී තහවුරු කර තිබෙනවා.

සෙසු පර්යේෂණයන්ට වඩා HPV හා DNA කලින් හදුනාගැනීමේ ක්‍රමවේදය ගැබ් ගෙල Cervical Intraepithelial Neoplasia (CIN) හදුනාගැනීමේ අනුපාතය ඉහළ මට්ටමක පවතින බවයි සොයා ගෙන ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ සෑම අවුරුදු 5 කට 10 කට වරක් නිරතුරුව මෙම හදුනාගැනීමෙ ප්‍රාථමික පර්යේෂණයන්ට ලක්කිරීම මඟින් ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි.

එය HPV – DNA පර්යේෂයණය මඟින් ඕනෑම කාන්තාවකට ගැබ්ගෙල පිළිකා මාරයාගෙන් ගැලවීමට මංපෙත් විවර වනු ඇති බවයි.

එහිදී වෛද්‍ය චිත්‍රමාලී අදහස් දක්වමින් කියා සිටියේ, “සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සිදු කරන සුවනාරී (Well Women) වැඩසටහන හරහා දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සිදුකරන බවත්, ඒ හරහා ප්‍රජාවගේ දැනුම්වත් භාවය වර්ධනීය තලයකට ඔසවා තැබීමෙන් මෙරට ගැබ්ගෙල් පිළිකා පිළිබඳ දැනුම්වත් භාවය ඇති කිරීම මගින් එය තුරන් කිරීමට ඉවහල් විය හැකි සමාජ කතිකාවත්ක් ගොඩ නැංවීමට අවශ්‍ය පසුබිම සැකසෙන බවයි.

එමෙන්ම HPV – DNA පරීක්ෂාව මගින් වඩා නිවැරදිව හා සාර්ථකව පිළිකාව හඳුනාගැනීමට ඉඩ ප්‍රස්තාව විවරවණ බවත් ය.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය පද්මක ද සිල්වා කියා සිටියේ එන්නත් කිරීම් හා රෝග නීර්ණය කිරීමේ මූලික පර්යේෂණ හරහා ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම සඳහා සැලකිවයුතු ප්‍රගතියක් අත්කර ගැනීම මෙහි අරමුණ බවයි.

පළාත් නවයම (9) ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය ඒකක 354 ක, සුවනාරී (Well Women) මධ්‍යස්ථාන 1000 ක පුළුල් ජාලය හරහා ගැබ්ගෙල පිළිකා කලින් හදුනාගැනීම සැලකිව යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා ෴


ඡන්ද දිනය ගැන කොමිසම දුන් ඉඟිය

(27.02.2024 – 19:45 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය සැප්තැම්බර් 18 හෝ ඔක්තෝම්බර් මස 18 අතර දිනයකදී පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියේ මැතිවරණ වියදම් නියාමන පනත පිළිබඳ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා දේශපාලන පක්ෂ 40 ක් අද (27) මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණා.

ඊට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, දෙවන පරපුර පක්ෂයේ නායක උවිඳු විජේවීර ඇතුළු තවත් දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව අත්සන් තැබූ විශ්වාසභංග යෝජනාව ඉදිරි පාර්ලිමේන්තු සතියේදී භාරදීමට නියමිත බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.

මේ වන විට විපක්ෂය අත්සන් තැබූ මෙම විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීමටයි ජාතික ජන බලවේගය සහ උත්තර ලංකා සභාගය තීරණය කර ඇත්තේ.

මාර්ග සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවලට පටහැනිව එය සම්මත කර ගැනීමට කථා නායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඉඩ ලබා දී ඇති බව පවසමින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ඊයේ ආරම්භ කරනු ලැබුවා.

විපක්ෂය චෝදනා කරන්නේ අදාළ ක්‍රියාවලිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝණය වී ඇති බවයි.

මේ අතර, කථානායකවරයාට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංගය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් විවිධ අදහස් පළ කරනවා ෴


බැංකුවල අයිතිය සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ නෑ – මේ තීරණය ගැනීම ගැන ජනපතිට ස්තූති වෙනවා (27.02.2024)

+


“පොලිස්පති පත්වීම නීත්‍යානුකූල නෑ – ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරලා” (27.02.2024)

+

+


‘පෝට් සිටියේ’ වැලි ජාවාරමක්? – එතකොට අතිරික්ත වැලි ප්‍රමාණයක් මුහුදෙන් අරන් (27.02.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *