ජනාධිපතිවරයා තේරී පත්විය යුත්තේ සෘජු ජනතා ඡන්දයෙන් – හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන්

ජනාධිපතිවරයා තේරී පත්විය යුත්තේ සෘජු ජනතා ඡන්දයෙන් – හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන්


ජනාධිපතිවරයා තේරී පත්විය යුත්තේ සෘජු ජනතා ඡන්දයෙන් – හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන්

(26.02.2024 – 21:11 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා තේරී පත්විය යුත්තේ සෘජු ජනතා ඡන්දයෙන් මිස පාර්ලිමේන්තුවෙන් නොවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

කොත්මලේ ප්‍රදේශයේ පැවැති සමුළුවක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය සමයේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තෝරාගැනීමේදී රුපියල් ලක්ෂ 500 බැගින් 36 දෙනෙකුට ලබාදී ඇති බවයි.

දූෂණය නවතමු – මව්බිම ගොඩනගමු සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව කොත්මලේදී පැවැත්වුණේ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන්.

මේ සඳහා හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් එක්වුණා.

+


දරුවන් තිදෙනෙකු (3) සමග පැයකට රුපියල් 20,000 ක් ඉපයූ යාචක කාන්තාවක් අත්අඩංගුවට

(26.02.2024 – 22:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – හයිඩ් පාර්ක් ප්‍රදේශයේදී දරුවන් තිදෙනෙකු (3) සමග සිඟමන් යදිමින් සිටියදී අත්අඩංගුවට ගත් කාන්තාව පැයක (1) පමණ කාලයකදී රුපියල් 20,700 කට ආසන්න මුදලක් උපයා ගෙන ඇති බවට හෙළි වී තිබෙනවා.

ඒ මීට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (26) විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහිදී අදාළ කාන්තාව භාරයේ සිටි දරුවන් දෙදෙනෙකු (2) ද පරිවාස භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා. ඒ අනුව පාසල් යන වයසේ පසුවන දරුවන් දෙදෙනා (2) මීරිගම – මහබෝධි සුරැකුම් මධ්‍යස්ථානය භාරයට පත් කෙරෙණු ඇති.

අනන්‍යතාවය තහවුරු කිරීමට අපොහොසත් වූ අවුරුදු 02 ක් පමණ අනුමාන වයසැති අනෙක් බාල වයස්කාර දරුවා (1) මොරටුව – ප්‍රේමා ළමා නිවාසයට යොමු කිරීමට මීට පෙර අධිකරණය නියෝග කළා.

මෙම කාන්තාව සහ දරුවන් තිදෙනා (3) කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එක්තරා කාන්තාවක් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.

එම කාන්තාව යාචක කාන්තාව සහ දරුවන් තිදෙනා (3) කොළඹ හයිඩ් පාර්ක් ප්‍රදේශයේ සිඟමන් යදිමින් සිටි අවස්ථාවේ දරුවෙකුට මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

අනතුරුව එම මුදල යාචක කාන්තාව විසින් ලබා ගැනීම හේතුවෙනුයි මුදල් පරිත්‍යාග කළ කාන්තාව අදාළ පැමිණිල්ල පොලිසියට සිදු කර තිබුණේ.

කෙසේ වෙතත් මීට අදාළ නඩුව අද (26) කැඳවූ අවස්ථාවේදී යාචක කාන්තාව ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහිදීයි ඇයව පසු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කෙරුණේ ෴


රුපියල් දස දහසක (10,000) අල්ලසක් ගත් පොලිසියේ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(27.02.2024 – 06:57 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් දස දහසක (10,000) මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු (2) පොලිස් ස්ථානය තුළදීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුයි.

හිස් ආවරණයක් නොමැතිව යතුරුපැදියකින් යමින් සිටී පුද්ගලයකුගේ රියදුරු බලපත්‍රයක් ඉත්තෑපාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම වරද සමතයකට පත්කර රියදුරු බලපත්‍රය නැවත ලබාදීම සදහා එක් පොලිස් නිලධාරියෙකු රුපියල් දස දහසක (10,000) මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා ඇති අතර, එම මුදල පොලිස් ස්ථානය තුළදීම ලබා ගන්නා අවස්ථාවේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එමෙන්ම අනෙක් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධියට අදාළව අධාර අනුබල දීමේ චෝදනාව මතයි ෴


වියට්නාම තානාපති නිල නිවසේ මුදල් සොරාගත් අයෙකුට අධිකරණයෙන් වරෙන්තු

(27.02.2024 – 07:15 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 07, වියට්නාම තානාපති කාර්යාල නිල නිවසට ඇතුළු වී මුදල් සොරාගත් මරදානේ පුද්ගලයකුට විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (26) නියෝග කර තිබෙනවා.

පසුගිය ජුනි මස 26 වැනි දින කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි වියට්නාම තානාපති කාර්යාලයේ නිල නිවසට මහ රාත්‍රියේ ඇතුළු වී ඇති සැකකරු තම නිදනකාමරයේ අල්මාරිය තුළ තිබූ මුදල් සොරා ගත් බවයි තානාපති කාර්යාල පරිපාලන නිලධාරී ඩුවන්ටී තුයාන් අධිකරණයට සාක්ෂි දෙමින් සඳහන් කළේ.

එහිදී ඔහු සඳහන් කළේ තම බිරිඳ නිදාගෙන සිටියදී සැකකරු දැක කෑ ගැසීම හේතුවෙන් ඔහු හඹා ගොස් අල්ලා ගැනීමට හැකිවූ බවත් එම අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අමෙරිකානු ඩොලර් 2300 ක්, මාලදිවයින් රුපියල් සීයක් (100) සහ ශ්‍රී ලංකා රුපියල් දෙලක්ෂ හය දහසක් (2,06,000) සමඟ සැකකරු කුරුඳුවත්ත පොලිසියට බාර දුන් බවයි.

දිගින් දිගටම අධිකරණය මගහැර සිටි ‘මොහොමඩ් න්‍යාස් මොහොමඩ් රිකාස්’ නම් මෙම සැකකරුට එරෙහිව වරෙන්තුව නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහු නොමැතිව නඩුව විභාග කිරීමටද නියෝග කරනු ලැබුවා.

පොලිසිය භාරයේ තිබූ සැකකරු සොරා ගන්නා ලද මුදල් සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේදී හඳුනා ගැනීමෙන් පසුව සාක්ෂිකරුට යළි ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා ෴


රා බිබී වත්තේ හොරෙන් මැණික් ගරලා

(27.02.2024 – 07:26 +0530 – hirunews.lk/sinhala)

රා පානය කරමින් ගෙවත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු (4) හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සිව්දෙනා (4) හැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්ත ඉහළ කොටසේ සැකකරුවෙකු පදිංචි නිවසක ගෙවත්තේ අනවසරෙන් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී සැකකරුවන් සිව්දෙනා (4) සහ මැණික් ගැරීමට උපයෝගී කරගත් විදුලි මොටරයක් ඇතුළු උපකරණ රැසක් සමඟ සැකකරුවන් පානය කිරිම සඳහා රැගෙනවිත් තිබූ රා ලීටර 5 ක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම වත්තේම පදිංචිකරුවන් බවත්, සැකකරුවන් විදුලි මෝටරය ක්‍රියාත්මක කිරිම සඳහා නිවසේ සිට ගෙවත්තට අනවසරෙන් විදුලි රැහන් ඇද විදුලි මෝටරය ක්‍රියාත්මක කරමින් මැණික් ගැරීම සිදු කර තිබෙනවා ෴


තම 7 හැවිරිදි දරුවා ලවා දුරකථන ඉස්සු මව රිමාන්ඩ්

(27.02.2024 – 07:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ දෙමාපියන්ගේ දුරකථන තම හත් හැවිරිදි (7) දරුවා ලවා සොරකම් කරවූ මවක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම දරුවා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් ඔහු පවසා ඇත්තේ, ජංගම දුරකථන සොරාගෙන නොගෙන ආවොත් මව විසින් තමාට පහර පිට පහර ලබා දෙනු ලබන බවත්, රැගෙන එන ජංගම දුරකථන තම මව පියාට භාරදෙන බවයි.

නේවාසිකව ප්‍රථිකාර ලබන දරුවෙකුගේ මව සමග ඇය කතාකරමින් සිටින අතර මවගේ අතේ තිබු රුපියල් 40,000 පමණ වටිනා දුරකථනයක් රැගෙන පලාගොස් තිබෙන බවට ද පැමිණිලි ලැබී තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ සැකකාර මව ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි ෴


මේ වසරේ (2024) ජල ගාස්තු වැඩි වීමක් නැහැ

(27.02.2024 – 08:07 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ (2024) ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ප්‍රකාශ කළා.

එමෙන්ම ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක්ද හඳුන්වාදීමට කටයුතු කරන බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මේ අතර පවතින විදුලි ගාස්තුව අවම වශයෙන් 20% ඉක්මවූ ප්‍රතිශතයකින් අඩු කළ යුතු බවට ආර්ථික අර්බුදයෙන් සිදුවූ බලපෑම සමනය කිරීම පිළිබදව ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ එම නිර්දේශය මහජන උපයෝගිතා කොමිසම වෙතද දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තු සඳහන් කළේ.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඉහළ දැමූ ප්‍රතිශතයෙන්ම මෙවර විදුලි ගාස්තු පහත දමන බවයි.

කෙසේ වෙතත් විදුලිබිල ඉහළ යාම නිසා දිවයින පුරා මේ වනවිට විදුලි සබඳතා කපා හැරීම් ලක්ෂ 10 ක් ඉක්මවා ඇති බව ආර්ථික අර්බුදයෙන් සිදුවූ බලපෑම සමනය කිරීම පිළිබදව ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

එහිදී මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී ඇත්තේ මේ මස අවසන් වනවිට විදුලිබිල අඩු කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කළ හැකි බවයි ෴


වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයකට වෙඩි

(27.02.2024 – 09:02 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත – රාමක්‍රිෂ්ණා මාවතේ පිහිටි හෝටලයකට අද (26) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙනෙකු (2) විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර හෝටලයේ දේපළවලට හානි සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

+

+


රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින් වැඩවර්ජනයේ

(27.02.2024 – 09:06 +0530 – hirunews.lk/sinhala)

වසර 3 කින් වැටුප් වැඩි නොකිරීම සහ කළමනාකාරීත්වයේ නිද්‍රාශීලි පිළිවෙතට එරෙහිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයින් අද (27) සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රත්මලාන ගබඩාව හා ප්‍රධාන කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල උදෑසන 8 සිට සියලුම සේවාවලින් ඉවත් වන බවයි එහි ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව ප්‍රකාශ කළේ.

එසේම රාජ්‍ය ඔසුසැල් ඉදිරිපිට දහවල් 12 සිට පැයක (1) කාලයක් විරෝධතා ද සංවිධාන කර තිබෙනවා.

දීප ව්‍යාප්තව පවතින රාජ්‍ය ඔසුසැල් සංඛ්‍යාව 50 ක් ෴


පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර වස පානය කරයි

(27.02.2024 – 09:33 +0530 – hirunews.lk/sinhala)

නාත්තවල ප්‍රදේශයේ දී ඊයේ (26) උදෑසන තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නාත්තවල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක් බවයි සඳහන් වන්නේ.

අදාළ කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඉන් පසුව ඔහු ද සියදිවි නසාගැනීමේ අරමුණින් වස පානය කර ඇති අතර, මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඔහු ප්‍රතිකාර ලබනවා.

පොලිසිය පැවසුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *