පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයන් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක්

පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයන් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක්


පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයන් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක්

(26.02.2024 – 16:04 +0530 – hirunews.lk/sinhala)

පවත්නා අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්වයන් හමුවේ ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල සහ ඒවායින් අත්මිදීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ලබාදිය යුතු උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මේ සම්බන්ධව සියලු විදුහල්පතිවරුන් දැනුම්වත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.


ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිකන් දුන්නත් ගන්න කෙනෙක් නෑ – අමාත්‍ය නිමල් සිරිපාල

(26.02.2024 – 16:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවත් මෙරට ගුවන්තොටුපළ ගැනීමට අදානි සමාගම පමණක් නොව චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැසක් බලාපොරොත්තුවෙන් සිටින බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන්සේවා අමාතයංශයේදී අද (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවන් පසුගිය කාලයේ කළ වර්ජනයන් හේතුවෙන් එම සමාගමට තිබූ පිළිගැනීම බින්දුවට වැවී ඇති බවත් ඒ හේතුවෙන් එම සමාගම නොමිලයේ දුන්න ද භාරගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන තත්වයකට පත්ව ඇති බවයි ඔහු සඳහන් කළේ ෴

මීයෙක් නිසා ශ්‍රී ලංකන් ගුවන් යානයක් දින 03 ක් පාකිස්ථානයේ

(26.02.2024 – 20:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් යානාවල ඊයේ (25) සිදු වූ ප්‍රමාදය එම සමාගමේ පරිපාලන බිඳ වැටීමක් නිසා සිදු වූවක් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.

එම සමාගමේ නිලධාරීන් හා අමාත්‍යවරයා අතර අද (26) පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේ එදින නිවාඩු ගත් සේවකයින් 13 දෙනෙකු සේවයෙන් ඉවත් කරන ලෙසයි.

මෙම සාකච්ඡාවට වෘත්තිය සමිති ද එක්ව සිටි අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්වයක්ද ඇති වුණා.

ඊයේ (25) අලු‍යම ගුවන් තොටුපොළ පිරික්සුම් කවුළුවල සිදුවු ප්‍රමාදයත් සමග ඉන්දියාව, බංග්ලාදේශය සහ මැලේසියාව දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර ප්‍රමාද වීමක් වාර්තා වුණා.

මෙම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සමඟ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ඇතුලු එහි නිලධාරීන්ද එක්ව සිටියා. එහිදී අමාත්‍යවරයා ඊයේ (25) ඇති වූ ගුවන් ගමන් ප්‍රමාදයට හේතුව විමසා සිටියා.

යානයකට මීයෙක් රිංගීම නිසා පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පියාසර කිරීමට නොහැකිව දින 3 ක් රඳවා තැබීමට සිදු වූ බවද මෙහිදී අනාවරණය වුණා.

කෙසේ වෙතත් මෙම රැස්වීම උණුසුම් වූයේ කැබිනට් රැස්වීමට යා යුතු බව පවසමින් අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව යාමට සූදානම් වීමත් සමගයි.

+++++++++

+


සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩිට විරෝධයක්

(26.02.2024 – 17:42 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

හොමියෝපති වෛද්‍ය පත්විම් සම්බන්ධයෙන් ඇති ගැටලු සම්බන්ධයෙන් ලිපියක් විශය භාර අමාත්‍ය සිසිර ජයකොඩිට භාර දීම සඳහා හෝමියෝපති වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ අමාත්‍ය සිසිර ජයකොඩි අමාත්‍යාංශයට පැමිණ පිටතට යාමේදී අමාත්‍යවරයාගෙන් වෘත්තීය සමිති ප්‍රශ්න කිරිමට පැමිණ ඇති අතර එම අවස්ථාවෙදී එම උණුසුම් තතත්වය හටගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම තත්ත්වය හමුවේ අමාත්‍යවරයා එය මඟහැර එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

අමාත්‍යවරයා පිරිස මග හැරීම හේතුයෙන්, පැමිණි පිරිස අදාළ ලිපිය අමාත්‍යාංශ ලේකම් වෙතා භාරදීමට පිරිවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

+


‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට කැබිනට් තීරණයක්

(26.02.2024 – 17:50 +0530 – hirunews.lk/sinhala)

‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා දක්වා ‘පරාටේ නීතිය’ ක්‍රියාත්මක වීම අත්හිටුවනු ලබනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය ‍‍‍‍‍‍‍‍වෛද්‍ය රමේෂ් පතිරණ විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනපති විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ෴


ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පති ලෙස දේශබන්දුව පත් කෙරේ

(26.02.2024 – 19:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර ඒ අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් දේශබන්දු තෙන්නකෝන් ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ ස්ථීර කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි අනුමැතිය අද හිමිවුණා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබා දුන් මාස 03 ධූර කාලය බදාදා (28) රාත්‍රී 12 ට නිමාවීමට නියමිතව තිබුණා.

+


කිඹුලාපිටියේ පිපිරීමකින් තුන්දෙනෙකු (3) රෝහලේ

(26.02.2024 – 19:41 +0530 – hirunews.lk/sinhala)

කිඹුලාපිටියේ රතිඤ්ඤා හදන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් පිළිසුම් තුවාල ලැබූ තිදෙනෙක් (3) මිගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කටාන පොලීසිය සඳහන් කළේ කිහිපදෙනෙකු එකතු වී රතිඤ්ඤා සාදන ස්ථානයක මෙම සිදුවීම සිදුව ඇති බවයි ෴


‘හිරු’ නිසා එළිය වුණු ධනුෂ්කගේ මැරතන් සිහිනය

(26.02.2024 – 20:22 +0530 – hirunews.lk/sinhala)

සිහිනවලට පණ දෙන්නට වෙරදරන දක්ෂයින්ට කවදත් ඒ සිහින යථාර්ථයක් කරගන්නට ශක්තිය ලබා දෙන ‘හිරු මාධ්‍ය ජාලය’ ජාත්‍යන්තරය ජය ගන්නට උත්සාහ කරන තවත් දිරිය ක්‍රීඩකයෙකුගේ සිහිනය අද (26) සැබෑ කළා.

ඒ, මැරතන් ක්‍රීඩක ‘ධනුෂ්ක ප්‍රදීප්’ට ලබන මාසයේ මැලේසියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර මැරතන් තරගයට සහභාගි වීමට අවැසි අනුග්‍රාහකත්වය ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති ‘රේනෝ සිල්වා මහතා’ විසින් ලබා දෙමින්.

ඒ අනුව ‘හිරු මාධ්‍ය ජාලයේ’ එම අනුග්‍රාහක ශක්තියෙන් ධනුෂ්ක ප්‍රදීප් හෙට (27) මැලේසියාව බලා පිටත්ව යෑමට ද නියමිතයි.

ලබන මාර්තු මස 03 වැනිදා මැලේසියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර මැරතන් තරගාවලියට එක්වීමේ දහසකුත් බලාපොරොත්තු පොඳි බැඳගෙන සිටි ධනුෂ්ක ප්‍රදීප් පෙරේරා ගැන පසුගිය 13 වැනිදා හිරු ප්‍රවෘත්ති තුළින් රටටම අනාවරණය කළා.

වැලිවේරිය, කිතුලකන්දගම ග්‍රාමයේ ඉතා දිළිඳු පවුලක දිවි ගෙවන ධනුෂ්කට මැලේසියානු මැරතන් තරගාවලියට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පසු වෙද්දී, හිත ඇත්තම් පත කුඩා ද යන කියමන පසක් කරමින් ධනුෂ්ක මේ සඳහා අවැසි මුදල් සොයා ගැනීම ආරම්භ කර තිබෙන අයුරුත් අප එහිදී පෙන්වා දුන්නා.

ඒ ටිකට් පතක් මුද්‍රණය කර අලෙවි කරමින්.

ඒ අනුව සිය පදක්කම් සහ සහතික පත් කරපින්නාගෙන පාරක් පාරක් ගානේ ගොස් යාචකයකු සේ මුදල් සොයා ගන්නට මේ තරුණයා කටයුතු කළේ මෙලෙසින්.

නිකරුණේ කාසි කොළ කාබාසිනියා කරමින් මෙරට ක්‍රීඩාව කරවන ඇත්තන් සකසන ක්‍රීඩා සැලසුම්වල ධනුෂ්ක වැනි රට දිනවන්නට පෙරට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පුංචි ඉඩක් හෝ වෙන්ව නොතිබෙන පසුබිමක සැමදාමත් වගේ ඒ සමාජ වගකීම හඳුනන ‘හිරු මාධ්‍ය ජාලය’ ධනුෂ්ක ප්‍රදීප්ගේ සිහිනය අද (26) සැබෑ කරන්නට ශක්තිය ලබා දුන්නා.

ඒ අනුව මැලේසියානු ජාත්‍යන්තර මැරතන් තරගයට සහභාගිවීමට ධනුෂ්ක ප්‍රදීප්ට අවැසි ගුවන් ප්‍රවේශ පත්‍රය ,මැරතන් පාවහන් ඇතුළු ඊට අදාළ වියදම් සඳහා වන අනුග්‍රහකත්වය ‘හිරු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතා ලබා දීමට කටයුතු කළා.

සිහිනවලට පණ දෙන්නට වෙරදරන මෙරට සුවහසක් වූ ජනතාව වෙනුවෙන් කවදත් ඒ සිහින සැබෑ කරන ‘හිරු මාධ්‍ය ජාලය’ ධනුෂ්කගේ සිහිනය සැබෑවක් කරද්දී, ශ්‍රී ලංකා මාතාව ජාත්‍යන්තරයේ බබලවන්නට අවැසි ශක්තිය ඔහුට ලැබේවා යන්න ‘හිරු’ගේ ප්‍රාර්ථනයයි.

+


රාජ්‍ය ආයතනවල දුරකථන ගොළු වෙයි

(26.02.2024 – 21:42 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම කිරීම සඳහා රජයේ නිලධාරීන්ට පෞද්ගලික පරිහරණය සඳහා ලබාදී ඇති දුරකථනවලින් 49% ක් අක්‍රිය වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

ග්‍රාම නිලධාරීන්ගේ සිට සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දක්වා මෙම තත්ත්වය පවතින බවයි එහි මහාචාර්ය වසන්ත අතුකෝරළ කියා සිටියේ.

දිවයින පුරා නියැදියක් ලෙස රජයේ නිලධාරීන් 589 දෙනෙකු ඇසුරෙන් සිදු කළ මෙම සමීක්ෂණයේදී තවදුරටත් තහවුරු වී ඇත්තේ නිලධාරීන්ගෙන් 22% ක් දුරකථන නාද වුවද ඊට ප්‍රතිචාර නොදක්වන බවයි.

ඒ අනුව මෙහිදී අවශ්‍ය රාජ්‍ය සේවා සඳහා සම්බන්ධ කරගැනීමට හැකිව ඇත්තේ රජයේ නිලධාරින්ගෙන් 29% දෙනෙකු පමණයි.

එමෙන්ම දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතනවල ස්ථාවර දුරකථනද නිසි පරිදි ජනතාවට ප්‍රතිචාර නොදක්වන බව මෙහිදී හෙළි වී තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *