ඇල්පිටිය – පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා ඝාතනය කරයි

ඇල්පිටිය – පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා ඝාතනය කරයි


ඇල්පිටිය – පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා ඝාතනය කරයි

(26.02.2024 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය – පතිරාජ මාවතේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (26) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පොලිස පවසන්නේ 51 හැවිරිදි මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ‘ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ’ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන ‘රොෂාන් කුමාර’ බවයි.

ඔහුගේ නිවසට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

එමෙන්ම, මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර 9 ක ගිනි අවියක් භාවිතා කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

+


දියේ ගිලී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

(26.02.2024 – 06:50 +0530 – hirunews.lk/sinhala)

ලිඳුල, නාගසේන ප්‍රදේශයේ ආග්‍රා ඔයේ දිය නෑමට ගිය සිසුවෙකු ඊයේ (25) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් බවයි.

මෙම සිසුවා තවත් සිසුන් 5 දෙනෙකු සමඟ ආග්‍රා ඔයේ දියනෑමට ගොස් ඇති අතර, දියනාමින් සිටියදී දියේ ගිලී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව ප්‍රදේශවාසින් සහ ලිඳුල පොලිසියේ නිලධාරින් එක්ව දියේ ගිලි අතුරුදහන් වු සිසුවාගේ සිරුර ඔයේ ගැඹුරු වලක තිබී ගොඩගෙන තිබෙනවා.

දිය නැමට ඔයට බැස ඇති පාසල් සිසුවාට පිහිනිමට නොහැකි බවත්, ගොඩගත් සිරුර නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලද බවත් පොලිසිය සඳහන් කළා ෴


කොළඹ – නුවර මාර්ගයේ ලොරි රථයක් පෙරළී යාමෙන් රථවාහන තදබදයක්

(26.02.2024 – 07:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිට ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා පෙරළී යාම හේතුවෙන් රථවාහන තදබදයක් පවතින බව වාර්තාවනවා.

ඒ අනුව මේ වනවිට කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ රථවාහන තදබදයක් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

සහල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මෙලෙස පෙරළී ගොස් ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ රිය සහයකයා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴


කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට ඔන්ලයින් ක්‍රමයට

(26.02.2024 – 07:29 +0530 – hirunews.lk/sinhala)

2024 වර්ෂයට අදාලව පැවැත්විමට නියමිත කොරියා භාෂා පරීක්ෂණය ප්‍රෙව්ශ පත්‍ර නිකුත් කිරිම 2024 පෙබරවාරි 26 සිට 29 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියට
( http://www.slbfe.lk/ ) පිවිස Registration for Point System Examination – 2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2)‍ වෙත පිවිස අයදුම් කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවයි එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.

මෙම සබැදිය විවෘත වන්නේ 2024.2.26 සිට වන අතර එය 29 දක්වා විවෘතව පවතින බවයි කාර්යංශය පැවසුවේ.

ඉන්පසුව එම සබැදිය වසා දැමෙන අතර අයදුම් කිරිමටද නොහැකි වන බවයි කාර්යංශය පවසන්නේ.

නිෂ්පොදන, ධීවර, නැව් කර්මාන්තය, ඉදකිරීම්, යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ ‍සේවා1 සහ සේවා 2 යටතේ අයදුම් කළ යුතු වේ ෴


ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පහළට

(26.02.2024 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශිඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඩෙංගු අධි අවදානම් කාලප 60 ක් ජනවාරි මාසයේ පැවති අතර, මේ වනවිට අධි අවදානම් කාලප 24 ක් දක්වා අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.

එම ඒකකය පවසන්නේ ජනවාරි මාසයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 10,417 ක් දෙනෙකු හඳුනා ගත් බවයි ෴


නිවසක සිදුවුන තෙරපිවරියගේ අබිරහස් මරණය

(26.02.2024 – 08:12 +0530 – hirunews.lk/sinhala)

කඳාන ප්‍රදේශයේ නිවසක දී අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වී තිබු තෙරපිවරියකගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ යකඩ පොල්ලකින් පහර දීමකින් ඇය මරණයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

අනියම් සැමියා ඇඹිලිපිටිය ප්‍රදේශයේ හේනක සැඟ වී සිටි අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රදේශවාසින් දැඩි දුගඳක් හමනවා යනුවෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව පොලිසිය සිදුකළ විමර්ශන කටයුතුවලින් අනතුරුව, මෙම මළ සිරුර සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියකගේ බව අනාවරණය වී තිබෙනවා.

මියගිය කාන්තාව හා අත්අඩංගුවට ගත් සැකකරු වසර 7 ක් අඹු සැමියන් ලෙස ජිවිත්ව ඇති බවත්, බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙය සිදු වී ඇති බවට සැක කෙරෙන තොරතුරු රැසක් ද ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශ සිදුකරන බවයි ෴


මහ බැංකුවට පඩි වැඩි කර ගන්න මුදල් ලැබෙන හැටි මෙන්න… – පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල

(26.02.2024 – 15:00 +0530 – lankacnews.com)

ජනතාව කැපකිරීම් කල යුතුයැයි වැදි බණ කියන මහ බැංකුව සිය වැටුප් අධික ලෙස ඉහල දමා ගෙන කකුළුවෙකු ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතුයැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් එහිදී මෙසේ අදහස් දැක්වීය :

වැටුප් වැඩි කර ගන්න මහ බැංකුවට සල්ලි කොහෙන්ද?

මහ බැංකුව 93% කින් වැටුප් වැඩි කර ගැනීමක් කරගෙන වැඩි කලක් යන්න කලින් නැවත වතාවක් 70% ක වැටුප් වැඩි කර ගැනීමක් කරගෙන. අපි බොහෝ දෙනෙක්ගේ වැටුප් කියන්නේ දහස් ගණන් වලින්. මහ බැංකුවේ ඉන්න හැමෝගේම වගේ වැටුප් කියන්නේ ලක්ෂ ගණන් වලින්. ඒ වැටුප් වැඩි වීමේ යෝජනාව මුදල් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබෙන්නේ ජනතාව කැප කිරීම් කරන්න ඕනේ කියලා වැදි බණ කියන මහ බැංකු අධිපතිතුමා විසින්.

මහ බැංකුව දැවැන්ත වැටුප් වැඩි කර ගැනීම සාධාරණීකරණයට හේතු දෙකක් (2) කියනවා. පළමුව, බැංකුවේ නිලධාරින් විදෙස් රැකියා වලට යෑම වලක්වන්න කියන එක. මේක මහ බැංකුව විතරක් නොවේ සමස්ත ලංකාවම මුහුණ දෙන ප්‍රශ්නයක්. එහෙම බැලුවාම සමස්ත ලංකාවේම වැටුප් වැඩි කරන්න ඕනේ. එහෙම කලොත් උද්ධමනය තවත් ඉහළ ගිහින් තත්වය මීටත් වඩා නරක් වෙන බව මහ බැංකුවට අමුතුවෙන් කියා දෙන්න ඕනේ නෑනෙ. දෙවනුව කියන්නේ, අපි වැටුප් වැඩි කර ගත්තේ ජනතාවගේ සල්ලි වලින් නොවේ; අපේ ලාභ වලින් කියලා. මහ බැංකුව වාණිජ බැංකු වගේ තරගකාරි පදනමකින් වැඩ කරන ආයතනයක් නොවේ. ඒකාධිකාරයක් තිබෙන ආයතනයක්. මහ බැංකුව තමයි ආණ්ඩුවට කෙතරම් මුදලක් නෝට්ටු අච්චු ගහලා ණයට දෙනවා ද කියලා තීරණය කරන්නේ. මහ බැංකුවට තිබෙන්නේ තීන්ත වියදමයි කඩදාසි වියදමයි විතරයි. නමුත් නෝට්ටුවේ වටිනාකම ආණ්ඩුවෙන් අය කරනවා විතරක් නොවේ ඒකට වෙළඳපොලේ තිබෙන ගානටම පොලියත් අය කරනවා. ඒ වගේම වාණිජ බැංකු වලට මහ බැංකුව ණය දෙන විට අය කරන පොලිය තීරණය කරන්නෙත් මහ බැංකුවමයි. අවසානයේ මේ සියල්ලේම බර පැටවෙන්නේ සාමාන්‍ය මහ ජනතාවටයි. ඒ නිසා මහ බැංකු නිලධාරින් වැඩි කළ වැටුප නැවත අඩු කළ යුතුයි වගේම කකුළුවා වගේ ජනතාවට එකක් කියලා තව එකක් කිරීම ගැන ජාතියෙන් සමාව ගත යුතුයි.

ඔන්න මහ බැංකුව ස්වාධීන කිරීමේ ආනිසංස. අපි ඔය ගැන කලින්ම අනතුරු ඇඟෙව්වා. නමුත් ආණ්ඩුවත් විපක්ෂයත් එකට එකතු වෙලා අපිට බැන්නා. මහ බැංකුව ස්වාධීන විය යුතුයි කියලා කට්ටියක් කිව්වා. අපි මහ බැංකු පනතට විරුද්ධ වෙලා අයි.එම්.එෆ්. ණය නැති කරන්න යනවා කියලා සමහරු කිව්වා. බැනුම් අහගෙන අපි අධිකරණයට ගිහින් මහ බැංකු පනතට සංශෝධන 72 ක් කර ගත්තු නිසා මේ මට්ටමට හරි රට බේරිලා තිබෙනවා. එහෙනම් අයි.එම්.එෆ්. සහ ලෝක බැංකුව එක්ක එකතු වෙලා මහ බැංකුව ලංකාවත් උකස් තියලයි පස්ස බලන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය බැලුවේ පනතේ ව්‍යවස්ථානුකූලත්වය විතරයි. ආර්ථික කරුණු, පරිපාලන කරුණු, සමාජ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය බලන්නේ නෑ. ඒ ප්‍රශ්න තවම තිබෙනවා.

සමහරු කිව්වේ දේශපාලකයින් දූෂිත නිසා මහ බැංකුව ස්වාධීන කළ යුතුයි කියලා. මේ අයට අමතක වුණා ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව වන බැඳුම්කර වංචාව සැලසුම් කලේ මහ බැංකු අධිපතියෙක් මිස දේශපාලකයෙකු නොවන වග. අද බාල ඖෂධ මිල දී ගැනීමේ මහ මොලකරු අමාත්‍යාංශ ලේකම්වරයෙක්. ඒ නිසා තමයි සෑම ප්‍රජාතන්ත්‍රවාදි රටකම රජයේ සෑම ආයතනයක්ම විධායකයකට සහ ව්‍යවස්ථාදායකයට වග කියන්න ඕනෙයි කියන්නෙ. විධායකය සහ ව්‍යවස්ථාදායකය වසර පහකට (5) වරක් ජනතාව ඉදිරියට එන නිසා ඔවුන් ජනතාවට වග කියනවා. දේශපාලකයින් එලවා දැමීමට වසර පහකට (5) වරක් ජනතාවට අවස්ථාව හිමි වුණත් නිලධාරින් එලවන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. එහෙව් එකේ ඒ අය දේශපාලකයින්ගේ අධීක්ෂණයෙන් ද මිදුනොත් ඒ අයට පුළුවන් රටට මහ විනාශයක් කරන්න ෴


සීනි කම්හලේ මැෂින් හොර පාරෙන් යකඩවලට විකුණලා

(26.02.2024 – 08:48 +0530 – hirunews.lk/sinhala)

සෙවණගල සීනි කම්හලේ ‘කාපට් මැෂින්’ දෙකක් (2) සොරකම් කිරීමෙන් අනතුරුව පරණ යකඩවලට විකුණා තිබියදී එම ආයතනයේ ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට භාර දී තිබෙනවා.

සෙවණගල සීනි කම්හලේ එම ‘කාපට් මැෂින්’ දෙක (2) එකී කම්හලේ වෘත්තීය සමිති නායකයෙකු බව කියන පුද්ගලයකු රැගෙන ගොස් ඇඹිලිපිටියේ පිහිටි පරණ යකඩ බඩු මිලට ගන්නා සමාගමකට විකුණා රුපියල් 535,000 ක මුදලක් ලබාගෙන ඇති බව‍යි සෙවණගල පොලිසිය සඳහන් කළේ.

එම ‘කාපට් මැෂින්’ දෙක (2) ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රියදුරු ද සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෘත්තීය සමිති නායකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ වෘත්තිය සමිති නායකයාගේ වැඩ තහනම් කර ඇති බවත්, මේ පිළිබඳව සෙවණගල සීනි කම්හලේ පරිපාලනය විසින් වෙනම විමර්ශනයක් සිදුකරන බවයි වාර්තා වෙන්නේ ෴


මව මියගිය සොවින් පුතාත් පැය කිහිපයකට පසු ජිවිතක්ෂයට

(26.02.2024 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ඉඳුරුව ප්‍රදේශයේ 71 හැවිරිදි මවක් මියයාමෙන් පසු දැඩි සොවින් පසුවූ ඇගේ පුතෙකු ද ඇය මියගොස් පැය කිහිපයකට පසු හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.

මෙසේ මියගිය පුද්ගලයා 47 හැවිරිදි එක් දරු පියෙකු බව සඳහන්.

ඔහු සිය මවට උපස්ථාන කරමින් එකම නිවසේ ජීවත්වූ ඇයගේ පස්වන (5) පුතා බවයි වාර්තා වන්නේ ෴


United Petroleum Australia සමාගමට මෙරට ඉන්ධන අලෙවිය සඳහා අවසර

(26.02.2024 – 11:07 +0530 – hirunews.lk/sinhala)

United Petroleum Australia සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පසුගිය පෙබරවාරි 22 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව, එම සමාගමට දැනට පවතින ඉන්ධන පිරවුම්හල් 150 ක් පවරා ඇති අතර නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීමේ අයිතියද ලබා දී තිබෙනවා.

United Petroleum Australia යනු ඔස්ට්‍රේලියානු උප මහද්වීපය පුරා ඉන්ධන පිරවුම්හල් 500 කට අධික ප්‍රමාණයක් හිමි ඔස්ට්‍රේලියානු සමාගමක්.

මෙම සමාගම ඔස්ට්‍රේලියාවෙන් පිටත රාජ්‍යයක් තුල මෙලෙස ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන අලෙවියට එක්වූ පළමු අවස්ථාවද මෙය බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ ෴


කථානායකවරයාට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක්

(26.02.2024 – 12:12 +0530 – hirunews.lk/sinhala)

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධාන සමගි ජන සන්ධානය විශ්වාසභංග යෝජනාවකට අත්සන් තබා තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත වීමෙන් පසු කථානායකවරයා ඊට අත්සන් තැබුවද එම පනතට ශේෂ්ඨාධිකරණය නිර්දේශ සංශෝධන ඇතුළත් නොකිරීමට එරෙහිවයි ඔවුන් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත්තේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන එරෙහිව විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් තැබුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *