කොළඹ – ජම්පටා වීදියේ වෙඩි තැබීමක්

කොළඹ – ජම්පටා වීදියේ වෙඩි තැබීමක්


කොළඹ – ජම්පටා වීදියේ වෙඩි තැබීමක්

(25.02.2024 – 14:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ජම්පටා වීදිය ප්‍රදේශයේ අද (25) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදුණු පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔහු ජම්පටා වීදිය ප්‍රදේශයේ මත්ස්‍ය වෙළඳසැලක් පවත්වා ගෙන යන 57 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

++++++++

https://www.youtube.com/watch?v=ax2SW5K5CQw

++++++++

+


නිධන් හෑරූ බැංකු කළමනාකරුවෙක් ඇතුළු 5 ක් අත්අඩංගුවට

(25.02.2024 – 12:58 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ඉසිපතන මාවතේ, වකුගඩු රෝහල පිටුපස ඇති අවන්හල් භූමියක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කළමනාකාරවරයෙකු ඇතුළු පස්දෙනෙකු (5) පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පුරාවස්තු සෙවීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක්, කැණීම් කිරීමට යොදාගත් උපකරණ තොගයක්, වතාවත් කිරීමට ගෙනා පූජා භාණ්ඩ සහ ඔවුන් පැමිණි වාහනද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල, ගිරිඋල්ල, මාකොළ, මහරගම, සියඹලන්ගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

පුරාවස්තු කැණීම් සිදුකළ ඉඩම ඔවුන් මීට වසර කිහිපයකට පෙර මුදලට ලබාගෙන ඇති බවත්, ඒ තුළ පිහිනුම් තටාකයක් හදන මුවාවෙන් කැණීම් සිදුකර තිබෙන බවත් පොලිසිය සඳහන් කළා.

එහිදී කැණීම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන ඇති බවට සැකකරුවන් ප්‍රකාශ කළද, ඔවුන්ට ඒ සඳහා කිසිඳු අනුමැතියක් හිමිවූ ලියකියවිලි ඉදිරිපත් කිරීමටද නොහැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

කෙසේවෙතත් ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි පූජාව සිදුකළ ගුරුන්නාන්සේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම නීතිවිරෝධී කැණීම ගැන සියලු තොරතුරු හෙළිකළ බවයි පොලිසිය සඳහන් කළේ ෴


‘යුක්තිය’ ක්‍රියාත්මක වන්නේ දරුවන් බේරා ගැනීම සඳහායි – ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

(25.02.2024 – 14:35 +0530 – hirunews.lk/sinhala)

‘යුක්තිය මෙහෙයුම’ ක්‍රියාත්මක වන්නේ මෙරට දරුවන් මත්ද්‍රව්‍ය සහ අපයෝජනවලින් බේරා ගැනීම සඳහා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ක්‍රියාව සාර්ථක කර ගැනීමට දරුවන්ගේ ද සහය ඊට අවශ්‍ය බවයි.

බොරලන්ද ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නව පොලිස් ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ බලන පොලිස්පති දේශබන්දු තේනකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවැත්වුණා.

+


සේවක වැටුප් වැඩි කිරීමේ සංශෝධනය පිළිබඳ මහ බැංකුවෙන් නිවේදනයක්

(25.02.2024 – 14:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු පැහැදිළි කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස මහබැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ පසුගිය 22 වනදා මහ බැංකු අධිපතිවරයා එම ලිඛිත දැනුම්දීම සිදුකර ඇති බවයි.

එලෙස පැහැදිළි කිරීම සඳහා අවස්ථාව ලැබීමෙන් අනතුරුව සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බව එහි වැඩිදුරටත් සඳහන්.

සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇති බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

+


වැලිගමදී රුසියානු ජාතිකයෙකු දියේ ගිලී මරුට

(25.02.2024 – 16:33 +0530 – hirunews.lk/sinhala)

වැලිගම, පැළෑණ මුහුදු තීරයේ දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදී සිටි රුසියානු ජාතිකයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

සංචාරයක් සඳහා 37 හැවිරිදි මෙම රුසියන් ජාතිකයා පසුගියදා තවත් පිරිසක් සමග වැලිගම ප්‍රදේශයේ හෝටලයක පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අතරතුරයි ඔහු වැලිගම පැළෑණ මුහුදු තීරයට පැමිණ දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ සිටියදී අද (25) උදෑසන මෙම අනතුරට මුහුණ පා ඇත්තේ ෴


පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නගා සිටුවන්න තවත් වැඩසටහනක්

(25.02.2024 – 16:48 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබා දීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබා දීමේ ජනාධිපති අධ්‍යන ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මතයි 2024, 2025 වර්ෂ සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ.

වසරකට පාසල් සිසුන් ලක්ෂයකට (100,000) ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා රුපියල් මිලියන 3,600 ක ප්‍රතිපාදන මේ යටතේ වෙන් කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴


නීත්‍යානුකූල නොවන අයුරින් භාවිතා කරන නැගෙනහිර පළාතේ ඉඩම් ගැන සොයා බැලීමක්

(25.02.2024 – 19:45 +0530 – hirunews.lk/sinhala)

යුද සමයෙන් පසු නැගෙනහිර පළාතේ ඉඩම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් භාවිතා කර ඇත්නම් ඒ පිළිබඳ ඉඩම් අමාත්‍යවරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡා කර විසදුම් ලබා දීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අමාත්‍යවරයා අතර පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණේ නැගෙනහිර පළාතේ ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවයි.

එහිදී ප්‍රාදේශීය ලේකම්වරුන් අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ නැගෙනහිර පළාතේ ඇතැම් ඉඩම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් භාවිතා කරන බවයි.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ ඉඩම් අමාත්‍යවරයා සහ නීතිපතිවරයා සමග සාකච්ඡා කර විසදුම් ලබා දීමට පියවර ගන්නා බවයි ෴


තරුණයෙකු ලෙස අඟවා සිසුවියක් සමඟ ප්‍රේම සබඳතා පවත්වා නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ තරුණියක් අත්අඩංගුවට

(25.02.2024 – 20:22 +0530 – hirunews.lk/sinhala)

තරුණයෙකු ලෙස අඟවා 15 හැවිරිදි සිසුවියක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් එම සිසුවියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දෙදෙනා (2) වසරකට ආසන්න කාලයක් එම ප්‍රේම සබඳතාව පවත්වාගෙන ගොස් තිබූ අතර තරුණයෙකු ලෙස පෙනී සිට ඇත්තේ තරුණියක් බව සිසුවිය දැනගෙන තිබුණේ ඇය අත්අඩංගුවට පත්වූ අවස්ථාවේදීයී.

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් මාතර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවියක් සමඟ ප්‍රේම සබඳතාවයක් ගොඩ නගාගෙන තිබුණා.

එහිදී 19 හැවිරිදි තරුණිය 15 හැවිරිදි සිසුවියට තමන්ව හඳුන්වා දී තිබුණේ පිරිමි පුද්ගලයෙක් ලෙසයි.

ඇය දුරකථනය ඔස්සේ පිරිමි පුද්ගලයෙකුගේ හඬින් අමතමින් මෙම සබඳතාව පවත්වාගෙන ගොස් තිබෙනවා.

වසරක පමණ කාලයක් එම සබඳතාව පවත්වාගෙන ගොස් තිබූ අතර, 15 හැවිරිදි සිසුවිය සිය නිරුවත් ඡායාරූප සහ දර්ශන ද තම පෙම්වතා ලෙස පෙනී සිටි තරුණියට සමාජ මාධ්‍ය ඔස්සේම යොමුකර තිබුණා.

පසුව එම තරුණිය 15 හැවිරිදි සිසුවියට පවසා ඇත්තේ තමන්ව හමුවීමට පැමිණෙන ලෙසයි.

එහෙත්, සිසුවිය එය ප්‍රතික්ෂේප කිරීම හමුවේ පෙම්වතා ලෙස පෙනි සිටි තරුණිය ඇයට තර්ජනය කර තිබුණේ හමුවීමට නොපැමිණියහොත් මීට පෙර ඇය එවූ ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත යොමුකරන බවටයි.

කෙසේ වෙතත් සිසුවිය දිගින් දිගටම හමුවීමට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් 19 හැවිරිදි තරුණිය 15 හැවිරිදි සිසුවියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

+


රුසියානු – යුක්‍රේන සංචාරකයින් ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙනුත් පැහැදිලි කිරීමක්

(25.02.2024 – 22:44 +0530 – hirunews.lk/sinhala)

රුසියානු – යුක්‍රේන සංචාරකයන්ට දින 14 ක් ඇතුළත රටින් පිටවන ලෙසට කිසිදු දැනුම් දීමක් සිදු නොකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14 ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහද නියෝග කර තිබෙනවා.

මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට පෙර වාර්තා වූයේ මෙරට දීර්ඝකාලීනව ජීවත්වන රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට රට හැර යෑමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දින 14 ක කාලයක් ලබාදී ඇති බවයි.

ආගමන විගමන පාලකවරයා පසුගිය 22 වනදා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් මෙම නීතිය පිළිබඳ අදාළ සංචාරකයන් දැනුවත් කරන ලෙසද ඉල්ලා තිබුණා.

රුසියානු – යුක්රේන අර්බුදය ආරම්භ වූ 2022 වසරේ පෙබරවාරි 28 වනදා සිට පුරා වසර දෙකක (2) කාලයක් එම රටවලින් මෙරටට පැමිණි සංචාරකයන්ට වීසා කාලය ඉක්මවා තිබියදීත් රට තුළ රැඳී සිටීමට අවසර ලබාදී තිබුණා.

කෙසේ වෙතත් ආගමන විගමන පාලකවරයා මීට පෙර සඳහන් කර තිබුණේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් මේ වනවිට විධිමත් පරිදි ක්‍රියාත්මක වන අතර, යුක්රේන ජාතිකයන්ටද මෙරටට ඇතුලුවීමට හෝ පිටවීමට පහසුකම් සළසා ඇති බවයි.

ඒ අනුව මෙරට වීසා නොමැතිව රැඳී සිටීමට කාලය ලබාදීම අවශ්‍ය නොවන බවටයි එමගින් සඳහන් කර තිබුණේ.

කෙසේ වෙතත් දින 14 ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රටින් පිටවන ලෙසට කළ දැනුම් දීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි ෴


පාසල් විෂය අඩුවෙන්නේ මෙහෙමයි

(25.02.2024 – 15:48 +0530 – sinhala.adaderana.lk)

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07 ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වරාපිටිය ප්‍රදේශයේ ඊයේ (24) පැවති උත්සවයකදීය.

මේ අතර එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඉතිරි විෂයන් 03 සිසුන් වෙසෙන ඒ ඒ පළාත් අනුව ආවේණික කර්මාන්ත ව්‍යාපාර සම්බන්ධ කර ගනිමින් හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවය.

එමෙන්ම, ඉදිරියේදී පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බවත් මේ වනවිට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත් අමාත්‍යවරයා පවසා ඇත.

ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතරම මෘදුකාංග සංවර්ධනයට සහ අලු‍ත්වැඩියා කටයුතු වෙනුවෙන් ද කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැහැදිළි කර තිබේ.

මේ අතර, මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලයේ හැදෑරීමට අවස්ථාව ලබාදීමට එළැඹෙන මාර්තු 05 වනදා සිට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසා තිබේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ට ද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ මග පෙන්වීම් යටතේ තමාට ආසන්නතම මධ්‍යස්ථානය වෙත ගොස් පාසල් කාල වේලාවෙන් පසු දිනකට පැය දෙකහමාර (2½) බැගින් පැවැත්වෙන පුහුණු වැඩසටහන සමග එක් විය හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *