පාසල් පොත් බෑගය නිසා දැඩි පීඩාවට පත්ව ඇති දරුවන්

පාසල් පොත් බෑගය නිසා දැඩි පීඩාවට පත්ව ඇති දරුවන්


පාසල් පොත් බෑගය නිසා දැඩි පීඩාවට පත්ව ඇති දරුවන්

(24.02.2024 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පවතින අතිශය තරගකාරී අධ්‍යාපන ක්‍රමයෙන් එල්ල වන පීඩනයට අමතරව පාසල් සිසු සිසුවියන්ට මුහුණ දීමට සිදුව ඇති තවත් ගැටලුවක් වී ඇත්තේ පාසල් පොත් බෑගයේ බරයි.

දීර්ඝ කාලීනව සිසු දරුවන් මුහුණ දෙන මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට මෙතෙක් කිසිවෙකුටත් හැකියාව ලැබී නැහැ.

මේ හිරු ප්‍රවෘත්ති ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක්.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විෂය ධාරාවන් පුළුල් වීමත් සමග මේ වනවිට පාසල් සිසු සිසුවියන්ට දිනපතා රැගෙන යාමට සිදුව ඇති පෙල පොත් සහ අභ්‍යාස පොත් සංඛ්‍යාවද බෙහෙවින් ඉහළ ගොස් තිබෙනවා.

මේ පාසල් දරුවන්ට දෛනිකව පාසැල් රැගෙන යාමට සිදුව ඇති පොත් පත්වල තරමයි.

දීර්ඝ කාලයක සිට මේ ගැන සමාජයේ දැඩි කතාබහක් මතුව තිබුණත් අධ්‍යාපන බලධාරීන් ඊට පිළියම් සෙවීමට අසමත් වී තිබීම කණගාටුවට කරුණක්.

කෙසේ වෙතත් මේ තත්ත්වය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින්නේ මෙරට අනාගතය භාර ගැනීමට නියමිතව සිටින පාසල් සිසු සිසුවියන්.

මව්පියන්ද පෙන්වා දෙන්නේ, සිය දරුවන්ගේ පාසල් බෑගයේ බර හේතුවෙන් තමන්ටද ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

මේ අතර, වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කොන්දේ අමාරුවට ගොදුරු වූ ළමුන් වෛද්‍ය සායනවලට පැමිණීම මේ වනවිට වර්ධනය වී ඇති බවයි.

කෙසේ වෙතත් පාසල් බෑගයේ බර වැඩිවීම හේතුවෙන් දරුවන්ට ඇතිවන ගැටලු යම් තරමකින් හෝ මගහරවා ගැනීමට පිළිගත් ක්‍රමවේදයන් ද පවතිනවා.

මෙරට අනාගතයේ උරුමකරුවන් මෙලෙස දීර්ඝ කාලීනව රෝගීන් වීමේ අවදානම මගහරවා ගැනීම සඳහා කඩිනමින් පිලියම් සෙවීම අධ්‍යාපන බලධාරීන්ට පැවරෙන පැහැර හැරිය නොහැකි වගකීමක් නොවේද?

+

+


‘බෙල් පෙපර්’ වලට ඉහළ ඉල්ලුමක්

(24.02.2024 – 14:43 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ, ඌව පරණගම, කැප්පෙටිපොල සහ බොරලන්ද ආදී ප්‍රදේශවල ‘බෙල් පෙපර්’ වගාව මෙවර සාර්ථක වී තිබෙනවා.

එම ප්‍රදේශවල හරිතාගාර තුළ ‘බෙල් පෙපර්’ වගාව මෙවර මහා පරිමාණයෙන් සිදුකර ඇත්තේ පසුගිය වගා කන්නවල ‘බෙල් පෙපර්’ ආදායම පහළ ගොස් තිබූ පසුබිමකයි.

වෙළෙඳුන් සඳහන් කළේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් සමග මේ වන විට ඒ සඳහා ඉහළ ඉල්ලු‍මක් ලැබී ඇති බවයි ෴


වැල්ලවාය කොස්ලන්දේ ඝාතන සිද්ධියකට සැක දෙදෙනෙකුගේ (2) නිවෙස්වලට ගිනි තබයි

(24.02.2024 – 15:38 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – කොස්ලන්ද – අලු‍ත්වෙල ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුගේ (2) නිවෙස් ප්‍රදේශවාසීන් විසින් ඊයේ (23) ගිනිතබා තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මෙම සැකකරුවන් දෙදෙනා (2) අද (24) අත්අඩංගුවට ගත් බවයි.

මීට දින දෙකකට (2) පෙර මෙලෙස පහරදීමෙන් ඝාතනයට ලක්වූයේ වැල්ලවාය – දෙමටත්ආරගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 46 ක පුද්ගලයෙක්.

මොහුගේ මෘතදේහය ඊයේ (23) ප්‍රදේශවාසීන් විසින් වැල්ලවාය – කොළඹ ප්‍රධාන මාර්ගයේ තබා විරෝධතාවකද නිරතවුණා.

ඒ, සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්.

++++++++

+


වසර මිලියන 240 ක් පැරණි ජලජ ජීවියෙකුගේ පොසිලයක් සොයාගනී

(24.02.2024 – 15:43 +0530 – hirunews.lk/sinhala)

වසර මිලියන 240 ක් පමණ පැරණි ජලජ ජීවියෙකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන අවසන් කිරීමට විද්‍යාඥයන් සමත්වී තිබෙනවා.

පළමුවෙන්ම මෙම ෆොසිලයේ කොටස් හමු වී තිබුණේ 2003 වසරේදියි.

ඒ, දකුණු චීනයේ පිහිටි පැරණි හුණු ගල් නිධියකින්.

අනතුරුව මෙම ෆොසිලය අධ්‍යයනය කළ ජාත්‍යන්තර කණ්ඩායමේ සාමාජිකයකු වූ ස්කොට්ලන්තයේ ආචාර්ය නික් ෆ්‍රේසර් ඇතුලු විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණවලට අනුව සම්පූර්ණ ෆොසිලය මතුකර ගෙන අවසන් කර තිබෙනවා.

මෙම සත්ත්වයාගේ බෙල්ලෙහි දිග සිරුර සහ වලිගය යන දෙකෙහිම එකතුවට වඩා දිගින් යුක්ත වන අතර, දිගින් අඩි 16 ක් පමණ බව සඳහන්.

මෙම ෆොසිලය ඈත අතීතයේ ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ජලජ උරගයකුගේ බවට සැළකෙන අතර, ‘ඩයිනොසෙපලසෝරස් ඔරියන්ටලිස්’ (Dinocephalosaurus orientalis) යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ජීවියෙකුගේ පොසිලයකුයි මෙලෙස සොයාගෙන ඇත්තේ ෴


බහාලුමක සැඟවී රටින් පිටවීමට තැත් කළ දෙදෙනෙකු (2) චීනයේ සිට යලි දිවයිනට

(24.02.2024 – 15:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නවතා තිබූ නැවකට පැටවූ හිස් බහාලු‍මක සැගවී මැලේසියාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු (2), චීනයේ දී අත්අඩංගුවට පත් වී වසරකට (1) පසු එරටින් පිටුවහල් කර අද (24) කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.

මෙලෙස පිටුවහල් කර ඇත්තේ 26 සහ 39 හැවිරිදි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්.

මොවුන් 2023 වසරේ ජනවාරි 30 වනදා කොළඹ වරායේ සී.අයි.සී.ටී.ජැටියේ නවතා තිබූ ‘‍මර්ක්ස් යුනිකෝන්’‍ නැවට පටවා තිබූ හිස් බහාලු‍මක් තුළට රහසිගතව ඇතුළු වී ඇත්තේ මැලේසියාව බලා පිටත්ව යාමටයි.

එහෙත් අදාළ නැව මැලේසියාවට පැමිණි විට, මෙම බහාලු‍ම තුළ සැගවී සිටි මොවුන් දෙදෙනා (2) භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා, එහි නාවුක බලධාරීන් මොවුන් රැගෙන තවත් රටවල් ගණනාවකට යෑමෙන් පසු චීනය වෙත පැමිණ තිබෙනවා ෴

+++++++

+


ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැටලු ගැන තානපතිවරයාගේ අවධානය

(24.02.2024 – 17:25 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මුහුණදී සිටින රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ගැටලුව සහ රැකියා කෝටාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, මෙරට ඉතාලි තානාපති දෙමියනෝ ප්‍රැන්කොවික් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ සඳහා සකස් කර ඇති නව අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව මෙරට ඉතාලි තානාපතිවරයා පොරොන්දු වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි හිරු ප්‍රවෘත්ති වෙත කියා සිටියේ.

එමෙන්ම මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර සිටියේ දෙරට අතර අවබෝධතා ගිවිසුමක් මඟින් වාර්ෂිකව ඉතාලියේ රැකියා අවස්ථා ලාංකිකයින්ට ලබාදීමට සූදානම් බව තානාපතිවරයා පැවසූ බවයි.

එමෙන්ම ‘වතු වීසා’ සම්බන්ධයෙන්ද තානපතිවරයා සමඟ තමන් සාකච්ඡා කළ බවත්, එහිදී වතු වීසා මෙන්ම අනෙකුත් වීසාද කඩිනමින් ලබාදීමේ වැඩපිලිවෙලක් සඳහා අවදානය යොමු කරන බවද එහිදී ඔහු සඳහන් කළ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

+


රාජගිරියේ ගින්නක්

(24.02.2024 – 17:39 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය – ඔබේසේකරපුර – නව කොළොන්නාව පාරේ පිහිටි උත්සව භාණ්ඩ අලෙවි ආයතනයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සදහා ගිනි නිවන රථ 3 ක් යෙදවූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිමේ එක්කය සදහන් කළා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත ෴

+++++++

+


පෙම්වතිය සමඟ හෝටලයට යන්න වෙළඳසැලකින් මුදල් සොරකම් කළ තරුණයා අත්අඩංගුවට

(24.02.2024 – 19:00 +0530 – hirunews.lk/sinhala)

අම්පාර ප්‍රදේශයේ දී තරුණයෙකු සිය පෙම්වතිය සමඟ නවාතැන් පහසුකම් ගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැති විමෙන් වෙළඳසැලකින් මුදල් සොරකම් කළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තරුණිය බස් නැවතුම්පොළහි නතර කර, ඔහු වෙළඳසැලින් රුපියල් 10,000 ක මුදලක් රැගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ බස් නැවතුම්පොළෙහි රඳවා සිටි තරුණිය මව්පියන් කැඳවා භාරදීමට පොලිසිය කටයුතු කර ඇති බවයි ෴


සම්බාහන මධ්‍යස්ථානයකට 15 හැවිරිදි දැරියක් විකුණු 17 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට

(24.02.2024 – 12:50 +0530 – hirunews.lk/sinhala)

මීගමුව සම්බාහන මධ්‍යස්ථානයකට 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරියගේම ‍යෙහෙළියක් වන 17 හැවිරිදි සැකකාරියක් පසුගිය (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය පොලිසියට පවසා ඇත්තේ සැකකාරිය ඇයගේ මව නොමැති අවස්ථාවේ දී පෙම්වතුන් මුණ ගැසීමට යන ලෙස පවසා රැගෙන ගිය බවයි.

දියණිය නිවසෙන් පිටතට ගොස් නැවත පැමිණි නොමැති බවට මව විසින් පොලිසියට පැමිණි කර ඇති බවයි සඳහන් වන්නේ.

තවද සැකකාරිය දුම්රියෙන් නිවසකට රැගෙන ගොස් ඇති අතර, සිටින ස්ථානය පිළිබඳව ඇය විමසු විට පවසා ඇත්තේ එය මීගමුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථනයක් බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *