‘හැටන් නැෂනල් බැංකුව’ට සින්න වූ කොළඹ ‘නවලෝක රෝහල’ විකුණා දැමීමට අධිකරණයෙන් අවසර

‘හැටන් නැෂනල් බැංකුව’ට සින්න වූ කොළඹ ‘නවලෝක රෝහල’ විකුණා දැමීමට අධිකරණයෙන් අවසර


‘හැටන් නැෂනල් බැංකුව’ට සින්න වූ කොළඹ ‘නවලෝක රෝහල’ විකුණා දැමීමට අධිකරණයෙන් අවසර

(23.02.2024 – 21:42 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 63 කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා බැංකුවට සින්න වූ කොළඹ ‘නවලෝක පෞද්ගලික රෝහල’ විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ විසින් ඉවත් කර තිබෙනවා.

එහිදී මෙම නවලෝක රෝහල විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න ඉදිරිපත් කළ ඉල්ලීම පිළිගනිමිනුයි මහාධිකරණ විනිසුරුවරයා අදාළ තහනම් නියෝගය ඉවත් කරනු ලැබුවේ.

නවලෝක රෝහල විසින් ‘හැටන් නැෂනල් බැංකුව’ට එරෙහිව ඉදිරිපත් කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අදාළ පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් අධිකරණය විසින් මීට පෙරාතුව තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එම තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලමින් හැටන් නැෂනල් බැංකුව ප්‍රතිවිරෝධතා ගොනු කරමින් අදාළ පෞද්ගලික රෝහල ඉදිකිරීමට වැය වු මුදල් ගෙවීම සඳහා හැටන් නැෂනල් බැංකුවෙන් ලබාගත් ‘රුපියල් කෝටි 63’ කට ආසන්න බැංකු ණය මුදල් ගෙවා නැතැයි බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රියන්ත අලගියවන්න අධිකරණයට කරුණු ඉදිරිපත්කරනු ලැබුවා.

පෙත්සම්කාර නවලෝක රෝහල අයත් සමාගම තම බැංකුවෙන් ලබාගත් ණය මුදල් සහ ඊට අදාළ පොළිය නොගෙවීම නිසා ණය ගැනීමේදී ඇපයක් වශයෙන් තබා තිබූ එම පෞද්ගලික රෝහල සහ ඊට අදාළ පරිශ්‍රය විකුණා ණය මුදල් හා ඊට අදාළ පොළිය අයකර ගැනීමට බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණයක් ගෙන ඇතැයි පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න තම බැංකුව කටයුතු කර ඇත්තේ බැංකු මඟින් ප්‍රදානය කරන ණය ආපසු අයකර ගැනීමේ විශේෂ විධිවිධාන පනත අනුව යැයිද එහිදී පෙන්වා දෙනු ලැබුවා.

නීත්‍යානුකූලව තම බැංකුව කටයුතු කර තිබියදී, අදාළ දේපළ විකුණා තම ණය මුදල හා ඊට අදාළ පොලිය අයකර ගැනීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීම ගැටළු සහගත බව පෙන්වා දුන් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න අදාළ තහනම් නියෝගය ඉවත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටි‍යා.

දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වු සියළු කරුණු සළකා බැලු විනිසුරුවරයා අදාළ පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය ඉවත් කිරීමට නියම කළා ෴


කුවේට් ගිය ලාංකිකයෙකුට වෙඩි

(23.02.2024 – 23:38 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍යයේ රැකියාවක නිරතව සිටියදී වෙඩි වැදී ඔත්පලව අසරණ වී සිටින ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 44 ක දෙදරු පියෙක්.

රාජාංගනයේ ප්‍රදේශයේ පදිංචිව සිටි ‘සාගර ලක්ෂ්මන් තිලකරත්න’ කුවෙට් රාජ්‍ය බලා මෙරටින් පිටත්ව ගොස් තිබුණේ තම දරුවන් දෙදෙනාගේ (2) අනාගතය ගැන දහසක් බලාපොරොත්තු පෙරදැරිවයි.

ඒ අනුව තෙවරක් (3) කුවෙට් රාජ්‍යයට ගොස් තිබූ සාගර, අවසන් වතාවට පිටත්ව තිබුණේ 2022 වසරේ ඔක්තෝබර් 25 වැනිදායි.

කුවෙට් හි ජහරා ප්‍රදේශයේ හෝටලයක ආහාර ඇනවුම් බෙදාහරින්නෙකු ලෙස කටයුතු කළ සාගර පසුගිය ජනවාරි මස 09 වැනිදා අලුයම 04:00 ට පමණ ආහාර ඇණවුමක් ලබා දීම සඳහා පිටත් ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් යායුතු මාර්ගය සහ ආහාර භාරදිය යුතු ස්ථානය නිවැරදි නොවීම හේතුවෙන් ඔහු ඇණවුම ලබා දීම ප්‍රමාද වී තිබුණා.

ඒ හේතුවෙන් ආහාර ඇණවුම භාරදුන් පුද්ගලයා උරණ වී සාගරට බැණ වැදී ඇති අතර, එම අවස්ථාවේදී වෙනත් වාහනයකින් පැමිණි කිසියම් පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා තිබෙනවා.

තුවාල ලැබූ සාගර ශල්‍යකර්මයකටද භාජනය කළ අතර, මේවන විට ඔහු සිටින්නේ දැඩිසේ රෝගාතුරවයි.

තම අනාගතය සාර්ථක කර ගැනීමේ අදිටනින් විදෙස් ගත වුවත් සාගර මේවන විට පත්තව ඇති තත්ත්වය හේතුවෙන් ඔහුගේ බිරිඳ සහ දරුදෙනා (2) පත්ව ඇත්තේ දැඩි අසරණභාවයකටයි.

+


ජපන් සිහින පෙන්වා මුදල් ගැරූ කතක් කොටු – සත් (7) වසරකට පෙර CIA අනාව‍රණය කරලා – Hiru News (23.02.2024)

+


වැනසෙන කප්පල්වට්ට උරුමය – නිධන් හොරුන්ගේ ග්‍රහණයෙන් විනාශ වෙලා – Hiru News (23.02.2024)

+


වසර ගණනක් පැරණි ඔසු උයනක් කොටස් කිරීමට සූදානමක් – ලොකු සේවයක් මේක ආරක්ෂා කරන එක – Hiru News (23.02.2024)

+


මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට (2) පාඩමක්

(24.02.2024 – 07:45 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු (2) නොරොච්චෝලේ සහ කොළඹ කෙසෙල්වත්ත පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන වැඩතහනම් කර තිබෙනවා.

කොළඹ කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙළිවූ තොරතුරු අනුව ඔහු ‘අයිස්’ සහ ‘කංසා’ වලට ඇබ්බැහිවූ අයෙකු බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

නොරොච්චෝලේ පොලිසියට ලැබුණු තොරතුරු ඔස්සේ කළ වැටලීමක දී නිවසක කාමරයක් තුළ මත්ද්‍රව්‍ය පරිහරණය කළ හත්දෙනකු (7) අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු පොලිස් කොස්තාපල්වරයායි ෴


සමනල වැවේ ජල කාන්දුව නැවතිය නොහැකි බවට අනාවරණයක්

(24.02.2024 – 10:15 +0530 – hirunews.lk/sinhala)

දිගු කාලයක් පුරා සමනල වැව ජලාශයේ පවතින ජලකාන්දුව නතර කළ නොහැකි බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ පෞද්ගලික සමාගම ප්‍රකාශ කළා.

ඒ, බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදියි.

අදාළ ජල කාන්දුව වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත්, ඉන් කිසිදු ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකිවී ඇති බවයි මෙහිදී එම සමාගමේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ෴


පංචිකාවත්තේ ගින්නට හේතුව විදුලි කාන්දුවක්

(24.02.2024 – 10:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – පංචිකාවත්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් වෙළඳසැල් කිහිපයක හටගත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව අනාවරණ වී තිබෙනවා.

මරදාන පොලිසිය සඳහන් කළේ ඊයේ (23) රාත්‍රියේදී එක් වෙළඳසැළක ඇතිවූ ගින්න අසළ තිබූ අනෙකුත් වෙළඳසැල්වලටද පැතිර ගොස් තිබූ බවයි.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ හයක් (6) යොදා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ අතර, ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ ෴


රට පුරා ව්‍යාජ වෛද්‍යවරු 50,000 ක්

(24.02.2024 – 10:44 +0530 – hirunews.lk/sinhala)

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000 ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එම සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් සඳහන් කළේ ව්‍යාජ වෛද්‍යවරුන් නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි ෴


කුරුණෑගල රෝගීන් පිරිසක් ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

(24.02.2024 – 13:14 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ඒකකයේ රෝගීන් පිරිසක් ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් පංච (5) පුද්ගල විද්වත් කමිටුවක් හරහා පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ ඒකකය තාවකාලිකාව මුද්‍රා තැබූ බවයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සතියක පමණ කාලයක සිට මිය යෑමට පටන්ගෙන තිබුනා.

රෝහළේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එලෙස රෝගීන් පස් දෙනෙකු (5) පමණ මිය ගොස් ඇති බවයි.

රුධිර කාන්දුකරණයෙන් අනතුරුව එම රෝගීන්ගේ රුධිර මට්ටම පහළ වැටී මෙම මරණ සිදුව ඇති අතර රුධිර කාන්දුකරණයේදී භාවිත කරන රසායනික ද්‍රව්‍යයක බලපෑමෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවටයි විශවාස කෙරෙන්නේ රෝහලේ උද්ගත වී ඇති මෙම තත්ත්වය හමුවේ වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණ ඒකකය තාවකාලිකව මුද්‍රා තැබීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයද මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පරීක්ෂණ කණ්ඩායමක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් විමර්ශන කටයුතු සඳහා අද (24) දහවල් කුරුණෑගල රෝහලට යාමට නියමිතයි.

+++++++

+


ආරච්චිකට්ටුවේ නිවසක හටගත් ගින්නකින් කතක් ජීවිතක්ෂයට

(24.02.2024 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ආරච්චිකට්ටුව, කිරිවැල්කැළේ ප්‍රදේශයේ නිවසක ඊයේ (23) රාත්‍රියේ හටගත් ගින්නට බිලිවූ එම නිවසේ වාසය කළ 65 හැවිරිදි සිව්දරු මවක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ එම කාන්තාව සහ ස්වාමි පුරුෂයා පමණක් නිවසේ සිට ඇති අතර, 70 හැවිරිදි ස්වාමි පුරුෂයා ගින්නෙන් දිවි බේරාගෙන තිබෙනවා.

එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති අතර, අසල්වාසීන් කිහිපදෙනෙකුගේ ආධාරයෙන් නිවසේ ගින්න මැඩ පවත්වා ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පොලිසිය සැක පළ කරන්නේ කුප්පි ලාම්පුවක් පෙරලී යාමෙන් මෙම ගිනි ගැනීම සිදුවන්නට ඇති බවටයි.

+


මහ බැංකුවේ පඩි වැඩි කිරීම ගැන ප්‍රශ්න කිරීමට සැරසෙයි

(24.02.2024 – 14:08 +0530 – hirunews.lk/sinhala)

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් 70% කින් වැටුප් වැඩිකරගෙන ඇතැයි පැවසෙන කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එහි ප්‍රධානීන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඇතුළු කමිටු කිහිපයකට කැඳවීමට තීරණය කර තිබෙනවා.

මෙලෙස මහ බැංකු නිලධාරීන් වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බවද වාර්තා වුණා.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී මහ බැංකු නිලධාරීන් සිය වැටුප් 70% කින් වැඩි කරගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කළේ දැඩි විවේචනද එල්ල කරමින්.

මෙම කරුණ සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ යුතු බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වෙතත් මාවනැල්ල ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ මෙම අවස්ථාවේ මහ බැංකු නිලධාරීන් සිය පඩි වැඩි කර නොගත්තේ නම් යහපත් බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මහ බැංකු නිලධාරීන් පාර්ලිමේන්තුවට ගෙන්වා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *