මෙරට සිදුකළ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙක් ඩුබායි හිදි අත්අඩංගුවට

මෙරට සිදුකළ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙක් ඩුබායි හිදි අත්අඩංගුවට


මෙරට සිදුකළ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙක් ඩුබායි හිදි අත්අඩංගුවට

(22.02.2024 – 20:47 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුකළ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් 13 දෙනෙක් ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයට අදාළ සැකකරුවන් දෙදෙනෙකු (2) ද සිටින බවට කරුණු වාර්තා වන බවයි.

ඩුබායි හි රැදි සිටින මෙරට පුද්ගලයින් 13 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසියම් සිද්ධියක් මුල්කර ගනිමින්. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව වාර්තා වන්නේ රාත්‍රි සමාජ ශාලාවක ඇති වු ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක් අතර මෙම ශ්‍රී ලාංකිකයින් 13 දෙනා ද සිටින බවයි.

ඔවුන් අතර, රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් ද සිටින බවට කරුණු වාර්තාවන අතර, ඒ සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් මෙරටට දැනුම් දි තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ නම් ඇතුළු විස්තර තවමත් සවිස්තරව අනාවරණ වී නොමැති බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර, මෙරටට අවශ්‍යව සිටින රතු වරෙන්තු නිකුත් කර ඇති අපරාධකරුවන් වෙතොත් ඔවුන් මෙරටට රැගෙන ඒම සඳහා දැනටමත් කණ්ඩායමක් සූදානම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඔවුන් සම්බන්ධයෙන් විස්තර දැනුම් දුන් සැනින් එම නිලධාරීන් පිටත්කර යැවීමට සැළසුම්කර ඇති බවයි.

පොලිසිය විශ්වාස කරන්නේ දැනට නිකුත් කර ඇති රතු වරෙන්තු 13 ට අයත් සැකකරුවන් කිහිප දෙනෙකු ඒ අතර සිටිය හැකි බවටයි.

මෙරට සිදුවන සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් රැසක් මේ වන විට ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් අතර ඔවුන් එහි සිට මෙරට අපරාධ මෙහෙයවමින් සිටිනවා.

පසුගිය ජනවාරි මස 22 වැනිදා බෙලිඅත්තේ සිදුවු පංච (5) පුද්ගල ඝාතනයට අදාළ ප්‍රධාන වෙඩික්කරු සහ එය මෙරට සංවිධාන කළ කිහිප දෙනෙකු මේ වන විට ඩුබායි රාජ්‍ය වෙත පලා ගොස් සිටින බවද අනාවරණ වි තිබෙනවා.

එලෙස පලා ගිය ‘ඌරගහ මයිකල්’ ඇතුළු බෙලිඅත්ත ඝාතනයට අදාළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට පත් වූවන් අතර සිටින බවටයි කරුණු වාර්තාවන්නේ.

බෙලිත්ත ඝාතනය සිදුවු දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අසළ ඔත්තු බැලීම සඳහා පුද්ගලයින් දෙදෙනෙක් (2) යෙදවීම ඇතුළු අපරාධය සංවිධාන කිරීමේ ඇතැම් කටයුතු ‘ඌරගහ මයිකල්’ට පැවරි තිබුණා.

මේ අතර, කලක් ඩුබායි හි සැඟව සිටිමින් මෙරට අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වු පසුව දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ගේ පියා විසින් ගොනුකළ පෙත්සම අද (22) යළි අභියාචනාධිකරණයේදි විභාගයට ගැණුනා.

එහිදි අභියාචනාධිකරණ විනිසුරු ඩි.එන්. සමරකොන් මහතා නියෝග කළේ ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ දැනට රඳවා සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දිය යුතු බවට නිකුත් කර ඇති නියෝගය මාර්තු මස 28 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙසයි.

මේ අතර, මෙරට ප්‍රධාන පෙළේ ලැයිස්තුගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘මළලගේ සුදත් කිත්සිරි’ නොහොත් ‘වැලිවිට සුද්දා’ නමැති පුද්ගලයා මාලබේ උතුර, වැලිවිට ප්‍රදේශයේ සැඟව සිටියදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මාස දෙකක (2) පමණ කාලයක් පොලිසිය මඟහරමින් සැඟව සිටි අදාළ සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකින් එම සැකකරු සිය සහෝදරියකගේ නිවසේ සැඟව සිටියදි අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවයි.

අත්අඩංගුවට ගත් ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමවුට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළා.

උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකිවීම හේතුවෙන් ‘වැලිවිට සුද්දා’ට අයත් බව පැවසෙන ඔහුගේ සහෝදරියකගේ නමින් ලියාපදංචිකර ඇති රුපියල් කෝටි 10 ක් පමණ වටිනා රථවාහන ‘යුක්තිය මෙහෙයුම’ යටතේ පසුගිය දෙසැම්බර් මාසයේදි පොලිසිය සිය භාරයට ගත්තා.

එම වාහන සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කඩුවෙල අධිකරණය පසුගියදා නියෝග කර තිබුණේ එම වාහන යළි එහි ලියාපදිංචි හිමිකරු වෙත ලබා දෙන ලෙසයි.

ඒ අනුව ‘වැලිවිට සුද්දා’ගේ සහෝදරියක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසයට පැමිණ එම වාහන යළි රැගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත් එම දේපළ රැගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය හෝමාගම මහාධිකරණයේ මෝසමක් ගොනු කරනු ලැබු අතර, හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා එහිදි නියෝග කළේ එම දේපළ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන විමර්ශන කටයුතු සිදු කරන ලෙසයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එම වාහන කඩුවෙල කැකිරිදෙනිය ප්‍රදේශයේදී නැවත සිය භාරයට ගනු ලැබුවා.

මේ අතර, දරුණු ගණයේ අපරාධකරුවන් මෙන්ම ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බූස්ස බන්ධනාගාරයේ සිට සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කර ගැනීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (21) සමත්වුණා.

එහිදි අනාවරණ වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙරොයින් ජාවාරමේ නිරත ‘අක්කා’ නමින් හඳුන්වන කාන්තාවක් බූස්ස බන්ධනාගාරයේ සිටින ‘රැවුල් කුමාර’ හෙවත් ‘මහින්ද කුමාර’ නමැති පුද්ගලයා සමඟ දුරකථයෙන් සම්බන්ධ වෙමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන බවයි.

ඔවුන් අතර ඇති වු දුරකථන සංවාදයක හඬ පටයක් ද අප වෙත ලැබුණා.

මෙම දුරකථන සංවාදයට අනුව කඩිනමින් බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක් දියත් කළ පොලිස් විශේෂ කාර්ය බලකාය ‘රැවුල් කුමාර’ නමැති රැඳවියා රඳවා සිටින සිරමැදිරියේ තිබි ජංගම දුරකථන දෙකක් (2) ඇතුළු උපාංග කිහිපයක් සොයා ගැනීමට සමත් වුණා.

පොලිසිය පැවසුවේ ‘මහින්ද කුමාර’ හෙවත් ‘රැවුල් කුමාර’ නමැති රැඳවියා රඳවා සිටින එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ C කොටසේ අංක 97 සිර මැදිරියේ තිබි එම ජංගම දුරකථන දෙක (2)සහ ඩේටා කේබලයක් සොයාගත් බවයි.

එමෙන්ම, මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘කොස්ගොඩ තාරක’ගේ සහෝදරයා වන ‘මධුක නිර්මාල් පෙරේරා’ රඳවා සිටින C කොටසේ 53 වැනි සිර මැදිරියේ තිබි තවත් ජංගම දුරකථන දෙකක් (2) ඇතුළු උපාංග සහ අපරාධකරුවන් ඇතුළු විවිධ පුද්ගලයින්ගේ 300 කට ආසන්න දුරකථන අංක ඇතුළත් පොතක් ද සොයාගෙන තිබෙනවා.

මෙම බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට අවස්ථා කිහිපයකදි තොරතුරුද වාර්තා වු අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඔවුන් සන්තකයේ තිබි ජංගම දුරකථන සහ උපාංග සොයා ගත්තා.

+

+

+


කැළෑව කැපුවේ ප්‍රේරණ කලාපයේ බව තහවරු වෙයි – තාඹුගලට වනය කපන්න තියෙන දේශපාලන බලය මොකක්ද? (22.02.2024)

+


මේ වගේ එවුන් එහෙදි නම් අතුරුදහන් වුණා | Dr Rukshan Bellana | @MeeMassooTV (22.02.2024)

+


කුරුණෑගල සමාගමක අධ්‍යක්ෂවරුන් 6 කට රට ගමන් තහනම් – මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ගනුදෙනු කරලා

(23.02.2024 – dinamina.lk)

කුරුණෑගල නාගොල්ලාගම ප්‍රදේශයෙහි ‘ආර්.ඩී.ඊ.ටූ.ත්‍රී. ෆ්‍රීඩම්’ නොහොත් ‘ආර්.ත්‍රී.එෆ්.’ නමින් සමාගමක් ලියාපදිංචි කර එම සමාගම හරහා රුපියල් කෝටි 500 කට අධික මුදලක පිරමීඩාකාර ගනුදෙනු සිදු කළැයි කියන එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය (6) දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (22) නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම් වූයේ ‘ආර්.ත්‍රී.එෆ්.’ නම් මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන ‘චින්තක මධුසංඛ අත්තනායක’, ‘නිමල් රත්න ජයසිංහ’, ‘රෝහිණී පටබදිනගේ’, ‘වල්පොල ලියනගේ නිමල් ශාන්ත’, ‘ඉමිහාමි මුදියන්සේලාගේ අජන්ත’ සහ ‘රජේෂ්වර බණ්ඩාර’ යන අයවලුන්ගේය.

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කළ බව සඳහන් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පිරමීඩාකාර ගනුදෙනු විමර්ශන කරන විශේෂ ඒකකය මඟිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පොලිස්පතිවරයාට කරනු ලැබූ පැමිණිල්ලෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස්පතිවරයා මඟින් තම දෙපාර්තමේන්තුවට ලැබුණු බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

කුරුණෑගල නාගොල්ලාගම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම පිරමීඩාකාර ගනුදෙනු සිදුකරන සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයකින් තොරව මූල්‍ය ගනුදෙනු සිදුකර ඇති බවත් මේ සම්බන්ධයෙන් පහළොස් දෙනකු (15) පමණ තම කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබාදී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සමාගම මඟින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවගෙන් මුදල් ලබාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර මේ වන විට එලෙස පිරමීඩාකාර ගනුදෙනුවල යොදවා ඇති මුදල රුපියල් කෝටි 500 කට අධික බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අනුව අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට එම දෙපාර්තමේන්තුවට නියෝග කළේය ෴


උපන් ගමන් බිලිඳිය ළිඳට දැමු 17 හැවිරිදි සිසුවිය රිමාන්ඩ්

(23.02.2024 – dinamina.lk)

පෙම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස උපන් බිලිඳිය උපන් හැටියේම සිය ගෙවත්තේ පිහිටි ළිඳට දමා ඝාතනය කළ බව කියන 17 හැවිරිදි පාසල් සිසුවියක් වෙලගෙදර පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන ඇත. අඹකොටේ හැවැන්පොල පදිංචිකාරියක වන ඇය පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ බව පොලිසිය සඳහන් කළේය. මෙම සිසුවිය සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී විභාගය අසමත්වී ඇති බැවින් දෙවැනිවර පෙනී සිටීම සඳහා නැවතත් පාසල් යමින් සිටින්නියකි.

මෙම සිසුවිය ඇය පදිංචි ප්‍රදේශයේ පදිංචි ගරාජ් සේවකයකු වන 25 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බව පොලිසිය කියයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබිනියක් බවට පත්ව තිබේ.

මේ ගැන ඇය පෙම්වතාට පවසා පසුව එය ගබ්සා වී ඇති බව කියා ඇත. ඇය අධ්‍ය්‍යාපනය ලබන පාසලේ ඇති පාසල් නිල ඇඳුම සිරුරට තද ඇඳුමක් නොවන බැවින් සහ නිවසේ දී පවා ඇය සැහැල්ලු ඇඳුමකින් සිටීම හේතුවෙන් පසුගිය මාස 10 ක කාලය පුරාම ඇය ගැබිනියක් බව කිසිවෙකුටත් දැනගන්නට ලැබී නැත. ඇය සිය කුස තුළ වැඩුණු බිලිඳිය බිහිකර ඇත්තේ පසුගිය 12 වෙනිදා මධ්‍යම රාත්‍රීයේදීය. නිදන කාමරයේදී බිලිඳා ප්‍රසූත කළ ඇය එම බිලිදිය ගෙවත්තේ ඇති ළිඳට දමා ඇති බව පොලීසිය කියයි.

මෙම සිරුර ළිදේ පාවෙමින් තිබී ඇති බව පසුගිය 14 වෙනිදා දුටු සිසුවියගේ පියා ඒ බව පොලිසියට පැමිණිලිකර ඇත්තේ කිසියම් අයකු තමන්ගේ ගෙවත්තේ ඇති ළිඳට බිලිඳු සිරුරක් දමා ඇති බව කියමිනි.

එම සිරුර පොලිසිය පැමිණ ගොඩගැනීමේදී පෙනී ගොස් ඇත්තේ අලුත උපන් බිලිඳියක මෙසේ ළිඳට දමා ඇති බවය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ උපන් හැටියේම බිලිඳිය ළිඳට විසිකර ඇති බවත් මියගොස් ඇත්තේ දියේ ගිලීමකින් බවත්ය. විමර්ශනවලින් පොලිසියට පෙනී ගොස් ඇත්තේ මේ පවුලේ තරුණියන් තිදෙනකු (3) සිටින බවය. ඒ දියණිවරුන් දෙදෙනකු (2) සහ පුතෙකුගේ විවාහක බිරියය. ඒ අනුව පොලිසිය සිසුවියගේ පියාට දැනුම් දෙන්නේ පවුලේ දියණිවරුන් තිදනො මුලින්ම වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීම වැදගත් බවය. ඊට තිදෙනාම (3) එකඟවූ බැවින් රෝහල්ගත කර වෛද්‍ය පරීක්ෂණයකට සූදානම්කර ඇත. රෝහල්ගත කිරීමෙන් අනතුරුව සිසුවිය වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටීම ප්‍රතික්ෂේපකර තිබේ.

එහිදී ඇතිවූ සැකය මත මුලින්ම වෛද්‍ය පරීක්ෂණයට යොමුකර ඇත්තේ එම සිසුවිය බව පොලිසිය කියයි. බිලිඳා බිහිකර ඇත්තේ ඇය විසින් බව එහිදී හෙළිවී තිබේ. ඇගෙන් ඒ ගැන වෛද්‍යවරුන් මෙන්ම පොලිසිය ද ප්‍රශ්න කිරීමේදී සියල්ල පවසා ඇත. දරුගැබ ගබ්සා වූ බව සිය පෙම්වතාට පැවසූ බවද සිසුවිය පොලිසියට පවසා තිබේ. පෙම්වතාගෙන් ද පොලිසිය මේ ගැන ප්‍රශ්න කර ඇත. ඔහු ද පවසා ඇත්තේ දරුගැබ ගබ්සා වූ බව ඇය තමන්ට පැවසූ බවය. ඇයව විවාහකර ගැනීමට පවා ඔහු කැමැත්තෙන් සිටින බව පොලිසිය හමුවේ පවසා තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *