දෙහිවල, කඩවත පාරේදී යතුරුපැදි කරුවෙකු තමන්ට දුන් උපදෙස නොරිස්සූ කාර්රථ රියැදුරෙකු තම රථය එම යතුරුපැදියේ හප්පා යතුරුපැදි කරු මරා දමයි

දෙහිවල, කඩවත පාරේදී යතුරුපැදි කරුවෙකු තමන්ට දුන් උපදෙස නොරිස්සූ කාර්රථ රියැදුරෙකු තම රථය එම යතුරුපැදියේ හප්පා යතුරුපැදි කරු මරා දමයි


දෙහිවල, කඩවත පාරේදී යතුරුපැදි කරුවෙකු තමන්ට දුන් උපදෙස නොරිස්සූ කාර්රථ රියැදුරෙකු තම රථය එම යතුරුපැදියේ හප්පා යතුරුපැදි කරු මරා දමයි

(22.02.2024 – gossiplankanews.com)

දෙහිවල, කඩවත පාර ඇතුළත මාර්ගයක රිය අනතුරක් මුවාවෙන් කළ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ තොරතුරු ලැබී තිබේ. මෙම සිද්ධිය සිදුවන්නේ ඊයේ (21) පෙරවරු 09:45 ට පමණය. ‘ස්කූටි’ වර්ගයේ යතුරු පැදියක ගමන් ගත් 52 හැවිරිදි පුද්ගලයෙකු පිටිපසින් ගමන් කළ ‘ඇක්වා’ වර්ගයේ කාර් රථයක සිටි පුද්ගලයෙකුට පාරේදී යමක් පෙන්වා උපදෙසක් ලබාදී ඇති අතර පසුව එම යතුරුපැදිකරු තම යතුරුපැදිය පණගන්වා ඉදිරියට ගමන් කරද්දී, ඔහු හප්පා මරාදමන්නට පසුපසින් ගිය රථයේ ගිය රියදුරු කටයුතු කර තිබේ.

කාර් රථයේ හැප්පුණ යතුරුපැදිකරු ආසන්නයේ කානුවක වැටෙන අතර ‘ස්කූටිය’ සමග වැටෙන ඔහු බරපතල තුවාල ලබන්නේය. අවට සිටි අය ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කරන්නට කටයුතු කළ නමුත් ඔහු අවාසනාවන්ත ලෙස මියයන්නේය.

මියගිය පුද්ගලයා මොරටුව කටුබැද්ද පදිංචි 52 හැවිරිදි අයකු බව පොලිසිය හඳුනාගෙන තිබේ.

සිද්ධිය සිදුවූ අවස්ථාවේ අවට සිටි අය ප්‍රකාශ කර තිබෙන්නේ,

කාර් රථය පාරේ තිබෙන ගල් කණ්ඩියක ගෑවී ආ අයුරු දුටු යතුරුපැදි කරු, කාර්රථයේ රියදුරුට කාර් රථයේ ඇතිවූ සීරීම ගැන දැනුම්දීමක් කළ බවත්,

නමුත් එය කිසියම් වැරදි වැටහීමකින් තේරුම්ගත් කාර් රථ රියදුරු, යතුරුපැදි කරු සමග බහින්බස්වීමක් ඇති කරගෙන ඇති අතර තමා උදව්වක් ලෙස සිදුවූ සීරීම ගැන සඳහන් කළ බව කියමින් යතුරුපැදි කරු, කාර් රථ රියදුරුගෙන් ඉවතට යන්නට තීරණය කර ස්කූටිය පණගන්වා ටිකදුරක් යද්දීම කාර් රථය ඔහු පසුපස වේගයෙන් විත් ඔහුව කානුවට තල්ලුවන ලෙස හප්පා ඇති බවත්ය.

මෙම අවස්ථාවේ එම රථය ද අසළ විදුලි කනුවක හැපෙන අතර ඊට ද අලාබහානි සිදුවේ.

ගල්කිස්ස පොලිසිය සඳහන්කර සිටියේ කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.

මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන රියදුරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

++++++++

+

+

+

+


මුහුණේ ඇති වන විකෘතිතා යථා තත්ත්වයට පත්කරන්න සියලුම පහසුකම් රජයේ රෝහල්වලට

(22.02.2024 – 13:21 +0530 – hirunews.lk/sinhala)

උපතේදී, පිළිකා හෝ අනතුරු හේතුවෙන් මුහුණේ ඇති වන විකෘතිතා සම්පුර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර පියකරු මුහුණක් ලබාදීමට අවශ්‍ය සියලුම පහසුකම් සහ ප්‍රතිපාදන රජයේ රෝහල් විසින් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මුඛ හනුක – මුහුණු පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.එච්.එම්.කේ. අබේසිංහ විසින් මේ බව සඳහන් කළා.

‘පියකරු මුහුණක් සිතට සතුටක්, මුහුණේ විකෘතිතා ප්‍රකෘති කළ හැක’ යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වෛද්‍යවරයා පැවසුවේ මුහුණේ විකෘතිතා ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව මාර්ග අනතුරු සහ මිනිස් ගැටුම් නිසා ඇති වන අනතුරු බවයි.

එමෙන්ම මුඛ පිළිකා හේතුවෙන්ද මුහුණේ විකෘතිතා ඇති වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

උපතේදී සහ ලිංගිකව ආසාදනය වන වයිරස නිසාද මුහුණේ විකෘතිතා ඇති වන බවත් ඊට අමතරව සතුන්ගේ සපාකෑම් සහ පහරදීම් නිසාද විකෘතිතා ඇති බවත් ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මේ ඕනෑම ආකාරයකින් සිදු වන විකෘතිතාවන් ඉතාම සියුම් ආකාරයෙන් යථා තත්ත්වයට පත් කිරීමට අපේ රටේ රජයේ රෝහල්වල සියලු පහසුකම් තිබෙන අතර ඒ සඳහා රජය විශාල මුදලක් වැය කරන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ ෴


බේකරි නිෂ්පාදන ආයතන දහසක් (1000) වැසේ

(22.02.2024 – 13:38 +0530 – hirunews.lk/sinhala)

අධික ජල, විදුලි බිල්පත් සහ වැට් බදු හේතුවෙන් රට පුරා පාන් ඇතුලු බේකරි නිෂ්පාදනය කරන ආයතන දහසකට (1000) වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා

එමෙන්ම බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම, බිත්තර මිල ඉහළ යාම සහ පාරිභෝගිකයින් බේකරි නිෂ්පාදන පරිභෝජනයෙන් ඉවත් වීම නිසා බේකරි කර්මාන්තය පසුබෑමකට ලක් වී ඇති බවයි එහි සභාපති එන්.කේ. ගුණවර්ධන සදහන් කළේ.

මේ අතර, පාන් සදහා වන ගැසට් පත්‍රයට අනුව නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළදසැල් 453 කට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය පවසනවා.

පාන් ගෙඩියක තිබිය යුතු බර ග්‍රෑම් 450 ක් ලෙසත් ඉන් අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13.05 ක් ලෙස සදහන් කරමින් එම අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුනා.

එමෙන්ම, පාන් භාගයක (½) බර ග්‍රෑම් 225 ක් විය යුතු අතර අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 09 ක් බවද එහි සදහන්.

එලෙස ගැසට් නිවේදනයක් නිකුත් වුවද තවමත් බේකරි අලෙවි සැල් බොහොමයක නියමිත බර ප්‍රමාණය අනුව පාන් අලෙවි නොවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පෙබරවාරි මස 05 වැනිදා සිට 20 වැනිදා දක්වා කාළය තුළ සිදු කළ පරීක්ෂා කිරීමේදී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළදසැල් 453 ක් සොයා ගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිවේදයක් නිකුත් කරමින් පවසන්නේ එම බේකරි සහ වෙළදසැල්වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ඇත්නම් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ක්ෂණික ඇමතුම් අංකය වන 1977 අංකයට අමතා දැනුම් දිය හැකි බවයි.

මේ අතර පාන් පිළිබදව නිකුත් වී ඇති ගැසට් නිවේදනය අනිවාර්යෙන්ම මාර්තු මස පළමු වැනිදා (01) සිට ක්‍රියාත්මක කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති බේකරි හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනකදි සදහන් කෙරුණා.

මේ අතර මුදල් අමාත්‍යංශය විසින් සැලකිල්ලට නොගත් වෛද්‍ය උපකරණ, ගිලන් රථ , ළමුන් සඳහා අධි ප්‍රෝටීන් කෘෂි ආහාර සහ කෘෂිකාර්මික ද්‍රව්‍ය සදහා වැට් බදු නිදහස් කිරීම නැවැත සලකා බලන ලෙස රජයේ මුදල් පිළිබද කාරක සභාව මුදල් අමාත්‍යංශයට නිර්දේශ කර තිබෙනවා.

+


උෂ්ණත්ව කාලගුණය තවත් මාසයක කාලයක්

(22.02.2024 – 14:38 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික උෂ්ණත්වය තවත් මාසයක පමණ කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට මෙන්ම, මොණරාගල යන දිස්ත්‍රික්කවලට උෂ්ණත්වය පිළිබඳව අවදානම් නිවේදන ද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත්තේ එවන් පසුබිමකයි.

මේ අතර පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් විජලන තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇතිබැවින් ස්වභාවික දියර වර්ග දරුවන්ට වැඩිපුර ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා ෴

අනුරාධපුරය, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (23) දිනයේ දී අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඊට අමතරව ගම්පහ, කොළඹ, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලද උෂ්ණත්වයද එම මට්ටමේ පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඒ අනුව වැඩබිම්වල සිටියදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ පවතින උණුසම් කාලගුණය හේතුවෙන් කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා යෑමෙන් වළකින ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලූ ඇදුම් භාවිත කරන ලෙසයි.

එසේම, අධික උණුසුම හේතුවෙන් විජලනය, මස්පිඩු පෙරළීම, අධික මහන්සිය වැනි තත්ත්වයන් ද ඇති විය හැකියි.

+


උසස් පෙළ සිසුන් දෙදෙනෙකු (2) සතුව තිබි නවතම මත් උපකරණයක් සොයා ගනී

(22.02.2024 – 16:36 +0530 – hirunews.lk/sinhala)

මාවතගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙදෙනෙකු (2) සතුව තිබි මත්වීම සඳහා භාවිතා කරන නව උපකරණයක් සොයා ගෙන තිබෙනවා.

මෙම උපකරණ විදේශ ‍රටකින් ආනායනය කරන ලද්දක් බවයි වාර්තා වන්නේ.

පොලිසිය ලද තොරතුරක් මත එම පාසලේ ඊයේ (21) සිදුකළ හදිසි සොදිසි කිරීමක දී පොත් බෑගයක් තුළ සඟවා තිබි මෙම උපකරණය සොයා ගැනීමෙන් අනතුරුව මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සිසුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම උපකරණ අලෙවි කළ බව කියන එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදුකරනු ලබන බවයි සඳහන් වන්නේ ෴


වැලන්ටයින් සැමරුමක ප්‍රතිඵල නිකුත් වෙයි

(22.02.2024 – 17:27 +0530 – hirunews.lk/sinhala)

අනියම් ඇසුරක් පවත්වා ගෙන යන කාන්තාවකට වැලන්ටයින් දිනයේදී තෑගි කිරීම සදහා යාපනයේ නිවසකින් රත්තරන් පවුම් 29 ක ස්වර්ණාභරණ සොරකම් කළ තරුණයෙකු හා තෑගි වශයෙන් ඒවා ලබා ගත් කාන්තාවක් කන්කසන්තුරේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලස අත්අඩංගුවට ගත් තරුණයා 25 හැවිරිදි වියේ පසු වන අතර කාන්තාව වයස අවුරුදු 49 ක් බවයි පොලිසිය සඳහන් කළේ.

අනියම් පෙම් සබඳතාවයක් පවත්වා ගෙන ගිය තරුණයා විසින් ලබා දුන් ස්වර්ණාභරණ වලින් අදාල කාන්තාව පවුම් හතරක (4) රන් මාලයක් යාපනය නගරයේ ස්වර්ණාභරණ අලෙවි සැලකට උකස් තැබීමට ගිය අවස්ථාවේදී වෙළදසැල් හිමියාට ඇති වූ සැකයක් මත පොලිසියට දැනුම් දී තිබෙනවා.

පසුව පොලීසිය පැමිණ කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය සියල්ල පොලිසියට පවසා තිබෙනවා.

රන් භාණ්ඩ සොරකම් කළ තරුණයාද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴


සිර මැදිරියට මත්ද්‍රව්‍ය විසි කළ පුද්ගලයෙකුට මාස 6 ක සිර දඬුවම්

(22.02.2024 – 18:05 +0530 – hirunews.lk/sinhala)

තමන්ට එරෙහිව පවරා තිබූ නඩුවක් සඳහා අධිකරණයට පැමිණ සිර මැදිරියට අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් විසි කළ පුද්ගලයෙකුට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මාස 06 ක සිර දඬුවමක් අද (22) නියම කළා.

ඒ, මෙම පුද්ගලයා අදාළ ක්‍රියාව සිදු කරන අයුරු මහේස්ත්‍රාත් අසුනේ සිටි අතිරේක මහේස්ත්‍රාත්වරයාට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

පසුව පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුට අධිකරණයට අපහාස කිරීමට මාස 03 ක් සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට මාස 03 ක් ලෙස මාස 06 ක සිර දඩුවම් පැනවීමටයි ෴


ප්‍රේම සබඳතාවයක් නිසා පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදෙයි

(22.02.2024 – 18:56 +0530 – hirunews.lk/sinhala)

කහතුඩුව ප්‍රදේශයේ දී තරුණයෙකු තම පෙම්වතිය සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගියේ යැයි උරණ වී තරුණයෙකුගේ ගෙලට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

මීට පෙර අවස්ථාවකදී සැකකරු විසින් මෙම සබඳතාවය නවතන ලෙස ඔහුට පවසා ඇති අතර, මේ පිළිබඳව කතා කිරීමට පැමිණෙන ලෙස පවසා පහර දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලේ ප්‍රථිකාර ලබන බවත් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ පිළිබඳව පොලිසිය වැඩිදුරටත් විමර්ශන පවත්වනවා ෴


ශ්‍රී පාද වන්දනාවේ ගිය බැතිමතුන් රැගත් බස් රථයක් පෙරළි පුද්ගලයින් 20 දෙනෙකුට තුවාල

(22.02.2024 – 19:42 +0530 – hirunews.lk/sinhala)

රදැල්ල – නානුඔය මාර්ගයේ ගමන් කළ බස් රථයක් පෙරළි අනතුරක් සිදු වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකුට පමණ තුවාල ලබා ඇති බවයි.

එම බස් රථය ශ්‍රී පාද වන්දනාවේ ගිය බැතිමතුන් රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ ෴

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *