“දේශපාලකයන්ට භාෂාව මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතරයි” – මහාචාර්ය සඳගෝමි කෝපරහේවා

“දේශපාලකයන්ට භාෂාව මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතරයි” – මහාචාර්ය සඳගෝමි කෝපරහේවා


“දේශපාලකයන්ට භාෂාව මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතරයි” – මහාචාර්ය සඳගෝමි කෝපරහේවා

(22.02.2024 – mawbima.lk)

දේශපාලකයන්ට සිංහල භාෂාව අවශ්‍ය වන්නේ ඡන්ද ලබා ගැනීමට පමණක් යැයි මහාචාර්ය සඳගෝමි කෝපරහේවා කොළඹ 7 පදනම් ආයතනයේ පැවති මවු භාෂා දින ජාතික සැමරුම් උත්සවයේදී ඊයේ (පෙබ. 21) චෝදනා කළේ ය.

පාර්ලිමේන්තුවට ගිය පසු සිංහල භාෂාව අමතක කරන දේශපාලකයන්ට නැවතත් එය අවශ්‍ය වන්නේ ඡන්ද ලබා ගැනීමට හා නිවෙසේදී කතා කිරීමට පමණක් යැයි ද මහාචාර්ය කෝපරහේවා අවධාරණය කළේ ය.

සිංහලය රාජ්‍ය භාෂාව කර වසර හැටකට (60) වඩා ගතව ඇතත් ආණ්ඩුකරණයේදී එය නිසි ලෙස භාවිත කෙරෙන්නේ නැතැයි කී හෙතෙම අඩුම තරමින් කැබිනට් පත්‍රිකාවක්වත් නිවැරදි සිංහලයෙන් සකස් නොවන්නේ යැයි ද චෝදනා කළේ ය.

තේ, රබර්, පොල්වලට ඕනෑ තරම් පර්යේෂණ ආයතන ඇති රටේ සිංහල භාෂාව සඳහා පර්යේෂණ ආයතන ඇත්තේ අතිශය සුළු සංඛ්‍යාවක් යැයි ඒ මහතා කීවේ ය. එසේ තිබෙන අතළොස්සක් වූ පර්යේෂණ ආයතනවලට ද රජයෙන් ලබා දෙන මුදල් ප්‍රමාණවත් නැතැයි ද ජාතික අය-වැයෙන් ඒවාට වෙන්වන්නේ ද ඉතා සුළු මුදලක් යැයි ද මහාචාර්යවරයා චෝදනා කළේ ය.

‘සිංහල විශ්වකෝෂය’ මෙන්ම ‘සිංහල ශබ්දකෝෂය’ ද මේ වනවිට අකර්මණ්‍ය යැයි කී හෙතෙම ඉතිරිව තිබෙන්නේ මොන කෝෂය දැයි සිතාගත නොහැකි යැයි පැවසීය. ආරම්භක අධ්‍යාපනයේදී පාසලේදී සිංහල බසින් ඉගෙනගත්තත් පසුකාලීනව ලද ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් පසුව මවුබස අමතක කර ඇතැයි ද කෝපරහේවා මහතා කීවේ ය.

‘රජයේ පරිවර්තන සේවය’ අඩාළ යැයි ද ඊට හේතුව බඳවාගැනීම් නිසි කලට නොවීම යැයි ද ඒ මහතා කීවේ ය. මේ නිසා විශ්වවිද්‍යාලවලින් භාෂා අධ්‍යයනය හදාරා පිටවන සිසු සිසුවියන් ද ඉහළ වැටුප්වලට තානාපති කාර්යාලවල සේවයට යමින් ඇතැයි මහාචාර්ය කෝපරහේවා සඳහන් කළේ ය.

‘භාෂාව ප්‍රවර්ධනය සඳහා ඇති රාජ්‍ය ආයතන’වල නිලධාරීන් දැන් කරන්නේ ඒ වෙනුවට ඉන්ධන ඇතුළු වෙනත් දීමනා ලබාගනිමින් ඉහළ වැටුපක් ලබා ගැනීම පමණක් යැයි ද ඒ මහතා කීවේ ය ෴


ළමා පිළිකා වැඩිවීමට හේතුව X-press pearl. ආණ්ඩුවෙන් යට ගහපු රහසිගත වාර්තාව (20.02.2024)

+


සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 17 ක් රෝහලේ

(22.02.2024 – 07:06 +0530 – hirunews.lk/sinhala)

‘රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ’ පුහුණුව සඳහා පැමිණි පාසල් දරුවන් අතර ඇති වු ගැටුමකින්, සුළු තුවාල ලබා ප්‍රතිකාර සඳහා දරුවන් 17 දෙනෙකු මහියංගණ මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

පැමිණි සිසුවියකට සිදුකළ විහිලුවක් සම්බන්ධයෙන් සිසුන් දෙපිරිස අතර මෙලෙස ගැටුමක් ඇති වූ බවයි පැවසෙන්නේ.

කිසිදු සිසුවෙකුට බරපතල තුවාල තත්වයක් නොමැති අතර සුළු තුවාල පමණක් ඇති බවයි වාර්තා වෙන්නේ.

රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා පැමිණ ඇත්තේ කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කයන් ඇතුළු රට පුරා පාසැල්වල දරුවන් බවයි පැවසෙන්නේ.

දරුවන්ගේ ගැටුම සම්බන්ධයෙන් හසලක පොලිසිය විමර්ශණ සිදු කරනු ලබනවා ෴


සුදු වෙනවා කියලා පිළිකා කාරක අඩංගු ක්‍රීම් වර්ග රටටම බෙදලා

(22.02.2024 – 07:08 +0530 – hirunews.lk/sinhala)

පාවිච්චියට නුසුදුසු පිළිකා කාරක අමුද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය උපකරණ ආනයනය කර රට පුරා බෙදා හරින පිටකොටුවේ පිහිටි ප්‍රධාන මධ්‍යස්ථාන හතරක් (4) පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් ඊයේ (21) වැටලීමට ලක් කර තිබෙනවා.

එහිදී රුපියල් දශ ලක්ෂයකට (10,00,000) අධික වටිනාකමකින් යුත් ක්‍රීම් වර්ග සමග ව්‍යාපාරිකයන් සිව්දෙනකු (4) අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මෙහිදී සොයා ගත් පිළිකාකාරක අඩංගු ක්‍රීම් වර්ග කාන්තාවන්ගේ සම පැහැපත් කිරීමට යැයි කියමින් අලෙවි කර ඇති බවයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙසේ අලෙවි කර ඇති ක්‍රීම් වර්ග නිසි ප්‍රමිතියකින් තොර ඒවා වන අතර ඒවා ආනයනය කිරීමේදී අවශ්‍ය අවසරයන් පවා ලබාගෙන නොමැති බවයි.

මෙම වැටලීම හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහනම් කර ඇති ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය උපකරණ සොයාගෙන ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් මෙම ව්‍යාපාරිකයන් සිව්දෙනා (4) දීර්ඝ කාලයක පටන් මහා පරිමාණයෙන් මෙම ක්‍රීම් වර්ග ආනයනය කර රට පුරා බෙදා හැර ඇති බව‍යි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

+


‘වැලිවිට සුද්දා’ගේ බස් 5 ක් යළි CIDයට

(22.02.2024 – 08:35 +0530 – hirunews.lk/sinhala)

‘යුක්තිය මෙහෙයුම’ යටතේ කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය බාරයේ තිබූ ‘වැලිවිට සුද්දා’ට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා බස් රථ 5 ක්, සුඛෝපභෝගි මෝටර් රථයක් සහ යතුරුපැදියක් යලි ලියාපදිංචි හිමිකරුට ලබාදෙන ලෙස කළ නියෝග බල රහිත කර තිබෙනවා.

ඉකුත් 17 වනදා මෙම නියෝගය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ අතර එය බලරහිත කරමින් අදාළ වාහන යලි සී.අයි.ඩීය භාරයට ගෙන විමර්ශන සිදුකරන ලෙස ඊයේ (21) දැනුම් දී තිබුණේ හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර විසින්.

ඉකුත් 17 වනදා ‘කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩර’ විසින් කර තිබූ නියෝගයට අනුව පෙරේදා (20) මෙම වාහන අදාළ හිමිකරුවන් විසින් රැගෙන ගොස් තිබුණා.

මෙම දේපල රැගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන සිල්වා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොලිස් නිලධාරීන් හෝමාගම මහාධිකරණය හමුවේ ඊයේ (21) කරුණු දක්වනු ලැබුවා.

කෙසේ වෙතත් හෝමාගම මහාධිකරණය ලබාදුන් නියෝගයෙන් පසුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (21) පස්වරුවේ අදාළ වාහන නැවත සිය භාරයට ගෙන තිබෙනවා ෴


පාසල් සිසුන් දෙදෙනෙකුට (2) කඩු ප්‍රහාරයක්

(22.02.2024 – 09:09 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ පේදුරුතුඩුව පුතුතුරෙයි ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙදෙනෙකුට (2) කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද කඩු ප්‍රහාරයක් නිසා එම සිසුන් දෙදෙනා (2) තුවාල ලබා පුදුවේරී රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් පේදුරුතුඩුව රෝහල වෙත මාරු කොට යවා අති අතර මෙම ප්‍රහාරය එල්ල කළ පිරිස මේ දක්වා හදුනා ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

පේදුරුතුඩුව පොලීසිය විසින් තුවාල ලැබූ සිසුන් දෙදෙනා (2) ගෙන් ලබා ගත් ප්‍රකාශ වලදී සිසුන් දෙදෙනාම ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට කඩු ප්‍රහාර එල්ල කළ පිරිසට තුන් දෙනෙකු (3) ඇතුළත් බවත් ඒ අයව ඔවුන් නොහඳුණන බවයි.

සිසුන්ට කඩු ප්‍රහාරයක් එල්ල කොට තුවාල සිදු කිරීමට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වෙන්නේ.

පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


මල්වතුහිරිපිටියේ දී හිමි නම ඝාතනයට ආධාර අනුබල දුන් තරුණියක් අත්අඩංගුවට

(22.02.2024 – 09:31 +0530 – hirunews.lk/sinhala)

මල්වතුහිරිපිටිය කෙහෙල්කන්ද – කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී පූජ්‍ය කලපලු‍වාවේ ධම්මරතන හිමිට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල දුන් තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් ඇය ඊයේ (21) අරලගංවිල – වේරගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.

22 හැවිරිදි සැකකාරිය මෙම ඝාතනයට ආධාර අනුබල දීම, රැකවරණ ලබා දීම සහ සත්‍ය තොරතුරු වසන් කිරීම යන චෝදනා මතයි අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


සැකකටයුතු මරණයක් ගැන පොලිස් විමර්ශන

(22.02.2024 – 08:50 +0530 – sinhala.adaderana.lk)

සිය පුතා පොල්ලකින් පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයෙකු ඊයේ (21) දොම්පේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව පොලීසිය විසින් ඔහුට රෝහල්ගතවීමට අධිකරණ වෛද්‍ය පෝරමයක් ද නිකුත් කර ඇති අතර රෝහල් ගතවීමක් සිදුවී නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව ඊයේ (21) දහවල් කාලයේ දොම්පේ පොලිස් වසමේ ගිරිදර හන්දිය අසල සැකකටයුතු ලෙස පුද්ගලයෙක් වැටී සිටින බවට දොම්පේ පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

අදාළ පුද්ගලයා එලෙස වැටී මියගොස් තිබූ අතර ඔහු 60 හැවිරිදි මැදවරණිය තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය ෴


විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(22.02.2024 – 10:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට පෞද්ගලික රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් තමන් පළ කළ අදහස් සම්බන්ධව යම් ජන කොට්ඨාශයකට සිත් තැවුලක් සිදුවූයේ නම් ඒ සම්බන්ධව තමත් බලවත් කනගාටුව පළ කරන බවත් තමන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ‘විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත’ පවසනවා.

පසුගිය 20 වෙනිදා මෙරට පෞද්ගලික රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඔහු පල කළ අදහස් සමාජයේ දැඩි විවේචනයට බඳුන් වූවා.

ඒ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව පවසන්නේ.

විදුලි බිල පිළිබඳව අදහස් විමසීමේ දී ඔහු පවසා තිබුණේ ළමයින්ට පාඩම් කිරීමට විදුලිය අවශ්‍ය නොවන අතර විදුලිය නොමැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කිරීමට හැකි බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

“මා අතින් සිදුවූ යම් ප්‍රකශයක් නිසා කිසියම් ජන කොට්ඨාසයකට සිත් තැවුලක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කරමි”

++++++++

+

+

+

+


තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ අවදානමක්

(22.02.2024 – 09:54 +0530 – hirunews.lk/sinhala)

තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය තනුජා දක්ෂිලි පතිරාජ ප්‍රකාශ කළේ, පසුගිය කාලසීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

එමෙන් ම කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වැළදීම යම්තාක් දුරට අඩු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා වැඩිදුරටත් සඳහන්කර සිටියා ෴


‘වැලිවිට සුද්දා’ අත්අඩංගුවට

(22.02.2024 – 10:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රධාන පෙළෙහි මත් ජාවරම්කරුවන්ගේ ලැයිස්තුවේ සිටින ‘මළලගේ සුදත් කිත්සිරි’ නොහොත් ‘වැලිවිට සුද්දා’ නැමැත්තා හොරොයින් සමඟ අද (22) අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසනවා.

ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතුරින් ලැයිස්තු ගත සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුනත් මෙම සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබූ බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක් ලබා ගැනීම සදහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


සරසවි සිසුවෙක් අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්වෙයි

(22.02.2024 – 12:23 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පලමු (1) වසර සිසුවෙකු තමා පදවමින් සිටි යතුරු පැදියේ බල්ලෙකු ගැටීම නිසා සිදු වූ අනතුරෙන් ඊයේ (21) ජීවිතක්ෂයට පත් වුනා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක් වූ ‘රමේෂ් සකින්තන්’ නැමති තරුණයෙක්.

ඔහු යාපනයේ සුප්‍රසිද්ධ ඌරේලු ක්‍රීඩා සමාජයේ පාපන්දු කණ්ඩායමේ අති දක්ෂ ක්‍රීඩකයෙකු ද වෙනවා.

මියගිය විශ්ව විද්‍යාල සිසුවා ඔහුගේ නිවස පිහිටි යාපනයේ මනිපායී ප්‍රදේශයේ සිට නීර්වේලී පොලට යතුරු පැදියෙන් යමින් සිටියදී එක්වරම පාර හරහා දිව ගිය බල්ලකු ඔහුගේ යතුරු පැදියේ ගැටීම නිසා යතුරු පැදිය පෙරළී ගොස් තිබෙනවා.

එහිදී බරපතල ලෙස තුවාල ලබූ ඔහු යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *