Pfizer, Moderna සහ AstraZeneca කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇතිවේ

Pfizer, Moderna සහ AstraZeneca කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇතිවේ


Pfizer, Moderna සහ AstraZeneca කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇතිවේ

(20.02.2024 – 18:37 +0530 – hirunews.lk/sinhala)

Pfizer, Moderna සහ AstraZeneca කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා ඇති වීමේ හැකියාවක් පවතින බව මෙතෙක් සිදු කරන ලද විශාලතම සමීක්ෂණය ඔස්සේ අනාවරණය වී තිබෙනවා.

ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් මිලියන 99 කගේ වාර්තා මෙම අධ්‍යනය සඳහා භාවිත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අධ්‍යනය කළ පර්යේෂකයන් කණ්ඩායම එහිදී රෝග තත්ත්ව 13 ක් පිළිබඳව නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී එම රෝග තත්ත්ව වැළඳීමේ අවදානම ‘ෆයිසර්’ , ‘මොර්ඩනා’ සහ ‘ඇස්ට්‍රසෙන්කා’ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමෙන් පසු ඉහළ යන ආකාරය පිළිබඳ පර්යේෂණ කණ්ඩායම අධ්‍යනය කර තිබෙනවා.

එහිදී ‘මොඩර්නා එම්.ආර්.එන්.ඒ’ සහ ‘ෆයිසර්’ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත මාත්‍රා තුන (3) ලබා ගැනීමෙන් පසුව ‘මයොකාර්ඩයිටස්’ නම් හෘද රෝගී තත්ත්වය වැළඳීමේ අවදානම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වන ප්‍රතිශතයට වඩා 6 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යනයෙන් හෙළි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ෴


වී මිලදී ගැනීමට රජයෙන් වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව ගොවීන් කියයි

(20.02.2024 – 14:36 +0530 – hirunews.lk/sinhala)

තම වී අස්වනු නෙලීමේ කටයුතු මේ වනවිට අවසන්ව ඇතත්, වී මිලදී ගැනීම සඳහා රජයෙන් කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි.

අම්පාර ගල්ඔය දකුණු ඉවුරේ ගොවීන් රැසකගේ වී අස්වනු නෙලීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.

කෙසේ වුවත් එම වී අස්වනු මිලදී ගැනීමට රජයෙන් මේ දක්වා කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

රජය සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පැවසුවත්, අම්පාර දිස්ත්‍රික්කය තුළ එවැනි වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය හිඟුරාණ පැරණිගම ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති වී ගබඩාවෙන්, වසර පහක (5) පමණ කාලයකින් වී මිලදී ගැනීමේ කටයුතු සිදු කර නොමැති බවද ඔවුන් පවසනවා.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රදේශයේ මෙවර මහ කන්නයේ ගොඩ භූමිවල වගා කළ වී වගාවන්ගේ අස්වනු නෙලීම් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

එහෙත් වී මිල ශීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් ගොවි ජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

මේ වනවිට කූට වෙළෙඳුන් තම වී අස්වනු කිලෝවක් රුපියල් 70-80 ත් අතර මිලකට ගනිමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වී කිලෝවක් සඳහා තමන්ට අවම වශයෙන් රුපියල් 120 ක මිලක් හෝ ලැබිය යුතු බවද ගොවීන් පවසනවා.

+


පාසල් සිසුන් කිහිපදෙනෙකුට බඹර ප්‍රහාරයක්

(20.02.2024 – 14:37 +0530 – hirunews.lk/sinhala)

පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ක්‍රීඩා උළෙලේ පෙරහුරු අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සිදුවූ බඹර ප්‍රහාරයකින් සිසුන් 50 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ෴


රජයේ ඇතැම් තීරණ ගැන මන්ත්‍රීවරුන් නොදන්නා බව සරත් වීරසේකර කියයි

(20.02.2024 – 14:46 +0530 – hirunews.lk/sinhala)

රජය ගනු ලබන ඇතැම් බරපතල තීරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දැනුවත් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

ජනාධිපතිවරයාට සහ සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත ලිපියක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ එවැනි දැනුවත් වීමක් සිදු නොවන හෙයින් ජනතාව ඉදිරියේ, මන්ත්‍රීවරුන් අසරණ තත්ත්වයට පත්වන බවයි.

ඊයේ (19) පාර්ලිමේන්තුවේ පැවති කණ්ඩායම් රැස්වීමට නොහැකි වීමට හේතු සඳහන් කරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයා මෙම ලිපිය යොමු කර තිබෙනවා.

ඉන්දියානු රුපියල මෙරට භාවිතා කිරීම, මෙරට ගුවන්තොටුපොළ පාලනයන් ඉන්දියානු සමාගම්වලට පැවරීම සහ එට්කා ගිවිසුම අත්සන් කිරීම වැනි තීරණ රජය මේ වන විටත් ගෙන ඇත්ද යන්න නොදන්නා බවත් එවැනි තීරණ ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මාධ්‍ය මගින් දැනුවත් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව, රටේ අනාගතයට සෘජුවම බලපාන රජයේ තීරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසද ඔහු එමගින් ඉල්ලා තිබෙනවා ෴


විද්‍යා පීඨ සිසුන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට ඉහළට

(20.02.2024 – 15:15 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට රුපියල් 8,000 දක්වා ඉහළ දමන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බවයි ෴


රුපියල් 30,000 ක අල්ලසක් ගත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(20.02.2024 – 16:03 +0530 – hirunews.lk/sinhala)

‘මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ’ නුවරඑළිය දිස්ත්‍රික් කළමණාකරු සහ කාර්යාල සහයකයෙකු ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ’ විමර්ශන නිලධාරීන් විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන්.

නුවරඑළිය – ඩන්ඩිනන් ප්‍රදේශයේ බස් රථයක මගී ප්‍රවාහන බලපත්‍රයක් අලුත් කරගැනීම සඳහා ඔවුන් මෙම අල්ලස් මුදල ලබා ගෙන ඇති බව සඳහන් වෙනවා ෴


ගන්දර නිවසකට වෙඩි ප්‍රහාරයක්

(20.02.2024 – 16:31 +0530 – hirunews.lk/sinhala)

මාතර – ගන්දර – තලල්ල ප්‍රදේශයේ නිවසකට අද (20) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) සිදුකළ එම වෙඩිතැබීමෙන් නිවසට සහ ඒ අසළ නවතා තිබූ ලොරි රථයකට හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගන්දර පොලිසිය කියා සිටියේ වෙඩි ප්‍රහාර 05 ක් පමණ මෙලෙස එල්ල වී ඇති බවයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ පුද්ගලයින් රැඳී සිට ඇති නමුත් කිසිවෙකුටත් ඉන් හානියක් සිදුව නැහැ.

සිද්ධියට අදාළව මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තාවන්නේ ෴


උදැල්ලකින් පොලිසියට පහර දුන් චීන කාන්තාවක් අත්අඩංගුවට

(20.02.2024 – 17:34 +0530 – hirunews.lk/sinhala)

වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇය උදැල්ලකින් පහරදී ඇති අතර, එය පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

පොලිසිය අදාළ වැටලීම සිදුකරනු ලැබුවේ වීසා බලපත්‍ර නොමැතිව චීන ජාතික කාන්තාවක් බේරුවල – මංගල මාවතේ නිවසක පදිංචිව සිටින බවට ලද තොරතුරකට අනුවයි.

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට (2) අමතරව තවත් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු (2) ද වැටලීමට ගොස් ඇති අතර, එහිදී චීන ජාතික කාන්තාව එක්වරම නිවසේ තිබූ උදැල්ල රැගෙන කළහකාරී අන්දමින් හැසිරී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා (2) කලුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, අත්අඩංගුවට ගත් චීන ජාතික කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+


‘හරක්කටා’ සහ ‘කුඩු සලිඳු’ ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ?

(20.02.2024 – 22:37 +0530 – hirunews.lk/sinhala)

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ සහ ‘සලිඳු මල්ෂික ගුණරත්න’ හෙවත් ‘කුඩු සලිඳු’ ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණයක් දියත් කළ බවට කිසිදු කරුණක් අනාවරණය වී නොමැති බව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (20) ප්‍රකාශ කළා.

එබැවින් අසත්‍ය ඉල්ලීමක් ඉදිරිපත් නොකරන ලෙසත් අනුකම්පාව දිනා ගැනිමට ඉල්ලීම් සිදු නොකරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා සැකකරැවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වෙත දැනුම් දුන්නා.

ඔහු මෙම දැනුම්දීම් සිදුකළේ මෙම සැකකරුවන් දෙදෙනොම (2) ඝාතනය කිරීම සදහා සැලසුමක් ඇති බවට ඔවුන්ගේ නීතිඥයින් විසින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලූ අවස්ථාවේදීයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් රදවා සිටින සිරමැදිරිය ආසන්නයේ තිබෙන සී.සී.ටී.වී. නිරීක්ෂණය කර අධිකරණයට වාර්තාවක් ද ඉදිරිපත් කළා.

ඒ රාජකාරියේ නිරත නිලධාරීන්ට පරිබාහිරව වෙනත් පාර්ශ්වයක් අදාළ සිරකුටිය ආසන්නයේ රැඳී සිටින බවට සැකකරුවන්ගේ නීතිඥයින් කරුණු දැක්වීමත් සමගයි.

එහෙත් එය සනාථ කිරීම සදහා කිසිදු සාක්ෂියක් සී.සී.ටී.වී. දර්ශනවල පටිගත වී තිබුණේ නැහැ.

එහිදී මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ තමන් සැකකරුවන් නිරීක්ෂණය කරන අවස්ථාවේ පවා ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටි බවයි.

එහෙත් සැකකරුවන් සිදුවීම් වාර්තා වූ දිනය පවා කීමට අපොහොසත් වූ බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

+


‘විහඟ ප්‍රේමය’ HBO Max ඔස්සේ ප්‍රදර්ශනය කෙරේ

(20.02.2024 – 15:35 +0530 – sinhala.adaderana.lk)

මෙරට සිනමාපටයක් වන ‘විහඟ ප්‍රේමය’ හෙවත් ‘Peacock Lament’ ලොව ප්‍රකට HBO නාලිකාව සිය HBO Max ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබේ.

‘විහඟ ප්‍රේමය’ ජාත්‍යන්තර සම්මානලාභි චිත්‍රපට අධ්‍යක්ෂ ‘සංජීව පුෂ්පකුමාර’ විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ නිර්මාණයකි.

එම සිනමාපටය HBO Max ඔස්සේ මාර්තු 01 වනදා සිට පෝලන්තය, රුමේනියාව, හංගේරියාව, බල්ගේරියාව ඇතුළු නැගෙනහිර යුරෝපීය රටවල් ඉලක්ක කර ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

අමෙරිකාවේ ප්‍රකට වෝනර් බ්‍රෝස් (Warner Bros) ව්‍යාපාර සමූහයට අයත් HBO ආයතනය සිය මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශනයට තෝරාගත් ප්‍රථම ශ්‍රී ලාංකීක චිත්‍රපටය ‘විහඟ ප්‍රේමය’ යි.

බිළිඳු දරුවන් විදේශිකයින්ට අලෙවි කිරීමේ මෙරට සිදුවන ජාවාරම පදනම් කොට ‘විහඟ ප්‍රේමය’ නිර්මානය කර තිබේ.

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුවුණු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයද මෙය වෙයි.

ජනප්‍රිය රංගන ශිල්පිනී සබීතා පෙරේරා, අකලංග ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචි හේවා, මහේන්ද්‍ර පෙරේරා, අමිත්ත වීරසිංහ, සහ ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලොරන්ස්සෝ අක්කුව්වා ඇතුළු පිරිසක් මෙම නිර්මානය සඳහා රංගනයෙන් එක්වී සිටී.

මෙම වසරේ (2024) මැද භාගයේදී සැවෝයි සිනමා සමාගම ‘විහඟ ප්‍රේමය’ ශ්‍රී ලංකාවේ සිනමාශාලාවල බෙදාහැරීමට නියමිතව ඇත.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *