රුපියල් කෝටි 14 ක් වටිනා ‘CT ස්කෑන්’ යන්ත්‍රය මාස 2 ක් තිස්සේ ගුවන් තොටුපලේ

රුපියල් කෝටි 14 ක් වටිනා ‘CT ස්කෑන්’ යන්ත්‍රය මාස 2 ක් තිස්සේ ගුවන් තොටුපලේ


රුපියල් කෝටි 14 ක් වටිනා ‘CT ස්කෑන්’ යන්ත්‍රය මාස 2 ක් තිස්සේ ගුවන් තොටුපලේ

(20.02.2024 – 09:51 +0530 – hirunews.lk/sinhala)

මාතර මහ රෝහලට ගෙන්වූ රුපියල් කෝටි 14 ක් වටිනා CT ස්කෑන් යන්ත්‍රය පිලිබඳ නිශ්කාෂණ කටයුතු සිදු නොකර දැනට මාස 2 ක් තිස්සේ ගුවන් තොටුපලේ භාණ්ඩ බහාලුම් පර්යන්තයේ දමා ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසනවා.

එම යන්ත්‍රය පසුගිය දෙසැම්බර් 16 වෙනිදා ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපලට ගෙන්වීමෙන් පසු යන්ත්‍රය අඩංගු බහාලුම් නිදහස් කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන නැති බවත්, විශේෂිත ආර්ද්‍රතාවයක් සහ උෂ්ණත්ව තත්ත්වයන් යටතේ ගබඩා කළ යුතු මෙම යන්ත්‍රයන්හි ගබඩා තත්ත්වය සම්බන්ධව කිසිම අදහසක් නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ මේ වනවිට එම සීටී ස්කෑන් යන්ත්‍රය වෙනුවෙන් ගුවන්තොටුපල ගුදම් ගාස්තුව රුපියල් ලක්ෂ විස්සක් (20) ඉක්මවා ඇති බවයි.

දැනට මාතර මහ රෝහලේ තිබෙන CT ස්කෑන් යන්ත්‍රය වසර 18 ක් පැරණි, වරින් වර බිඳවැටීම් සහිතව පවතින, සීමිත පරීක්ෂණ ප්‍රමාණයක් පමණක් සිදුකරන යන්ත්‍රයක් බැවින් කොළඹ ජාතික රෝහල් බාහිර රෝගී අංශයට ගැනීමට සූදානම් වූ යන්ත්‍රය මාතර මහ රෝහලට යොමු කරනු ලැබුවා ෴


ග්‍රෑන්ඩ්පාස්වල ඝාතනයක්

(20.02.2024 – 10:32 +0530 – sinhala.adaderana.lk)

අද (20) අලුයම ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හංදියේ කුණු ඇළ අසල දී තරුණයෙකුගේ හිසට කතුරකින් ඇන ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 19 ක් වූ රුවන් කුමාර නැමති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

මියගිය තරුණයා මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ අයෙකු බවටත් විවිධ සොරකම්වලට සම්බන්ධ වුවෙක් බවටත් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත ෴


අනෝදා ගෙඩියක් අහුලා ගැනීමට ගිය පුද්ගලයෙක් ඇදවැටී මරුට

(20.02.2024 – 09:26 +0530 – sinhala.adaderana.lk)

ගම්පොළ, ගල්ගෙඩියාව ප්‍රදේශයේදී බෑවුමකින් ඇද වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කිරින්ද, හොඬියාදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු ඊයේ (19) අනෝදා ගෙඩියක් අහුලා ගැනීමට යාමේදී එම ස්ථානයේ ඇති ගල් සහිත බෑවුමකට ඇද වැටී ඇති බවට අනාවරණය වී ඇත.

මෘත ශරීරය ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


රාමනාදපුරම්, කල්මඩුනගර් ප්‍රදේශය ගිනියම් වූ අනියම් පෙම

(20.02.2024 – 07:26 +0530 – sinhala.adaderana.lk)

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) හා කාන්තාවන් තිදෙනෙකු (3) බරපතළ තුවාල සිදුකර තිබේ.

ඊයේ (19) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ රාමනාදපුරම්, කල්මඩුනගර් ප්‍රදේශයෙනි.

තුවාලකරුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තුවාලකරුවන් දෙදෙනෙකු (2) වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත මාරුකරු යවා ඇත.

තුවාලකරුවන් අවුරදු 28 හා 30 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (2) හා අවුරුදු 28, 30 හා 50 වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු (3) වන අතර ඔවුන් පලෛයි හා වව්නියාව ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදී ඇති බවය.

සිද්ධියට සම්බන්ධ අවුරදු 24, 33 හා 59 වයස්වල පසුවන කිලිනොච්චිය හා වට්ටකච්චි ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබේ.

රමනාදපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


අගරදගුරු මැදුරෙන් නිවේදනයක්

(19.02.2024 – 21:39 +0530 – sinhala.adaderana.lk)

මීගමුව පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ප්‍රකාශ සහ අද (19) දින පැවති විරෝධතාවය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැදුර අද (19) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.

එහි දැක්වෙන්නේ අද (19) දින පැවති විරෝධතාවයට සම්බන්ධ වූ පිරිස් පිටිපන ලෙල්ලම සම්බන්ධයෙන් අසත්‍ය පවසමින් ධීවර ජනතාව සහ මහජනතාව මුළා කිරීමට උත්සාහ දරන බවය.

වසර ගණනාවක් පුරාවට පිටිපන මීසමේ ‘එක්සත් ධීවර සමිතිය’ යැයි කියාගන්නා පුද්ගලයින් කිහිපදෙනෙකු පමණක් භුක්ති විදින මෙම දේපළ සම්බන්ධයෙන් නඩු පවරන ලද්දේ එහි ආදායම තමන්ට පෞද්ගලිකව භූක්තිවිඳීමට නොව පුළුල් ධීවර පිරිසකට හිමිකරදීමේ අදහසින් බවද අගරදගුරු මැදුර නිවේදනය කරයි.

මේ අතර මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා එහි ධීවරයින් අද (19) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වුණි.

ඒ සිය ගැටලුවට නිසි විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලමිනි.

‘ලෙල්ලම’ යනුවෙන් ජනප්‍රිය වී ඇති ‘මීගමුව ධීවර වෙළෙඳ මධ්‍යස්ථානයේ’ දේපල පරිපාලනය සහ කළමනාකරණය ‘පිටිපන එක්සත් ධීවර සමිතියෙන්’ ඉවත් කර භාරකරුවෙකු වෙත පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය පසුගියදා නියෝග කළේය.

ඒ, ‘පිටිපන එක්සත් ධීවර සමිතියේ’ නිලධාරි මණ්ඩලයට එරෙහිව අගරදගුරු හිමිපාණන් ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදීය.

ඒ අනුව මීගමුව පිටිපන ලෙල්ලම, කොළඹ අගරදගුරු පදවියට පවරා ගැනීමට විරෝධය පළ කිරීම සඳහා ලෙල්ලමේ ධීවර කටයුතු සිදුකරන ධීවරයින් අද (19) දහවල් කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති මැදුර ඉදිරිපිටට පැමිණියේය.

විරෝධය පළ කළ ඔවුන් පසුව තමන්ට සිදුවූ අසාධාරණය ගැන වතිකානය දැනුවත් කරමින් අපෝස්තලික තානාපති මැදුර වෙත ලිපියක්ද යොමු කළේය.

අනතුරුව ඔවුන් පැමිණියේ කොළඹ, අගරදගුරු නිල නිවස ඉදිරිපිටටය.

එහිදීද විරෝධතාවයේ නිරත වූ ඔවුන් කොළඹ අගරදගුරු හිමිපාණන්ට දැඩි විරෝධයක් එල්ල කළේය.

ඒ අතරවාරයේ අගරදගුරු මැදුරේ සිට පිටතට පැමිණි පියතුමෙකුටද විරෝධතාකරුවන් සිය ඉල්ලීම් දැනුම් දුනි.

කෙසේවෙතත් මෙම ගැටලුවට විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලා එම ධීවරයින් අද (19) පස්වරුව වනවිටත් කොළඹ, අගරදගුරු නිල නිවස ඉදිරිපිට රැඳී සිටියේය.

පසුව ඔවුන් අගරදගුරු නිල නිවසේ ප්‍රධාන දොරටුව විවෘත කිරීමට උත්සාහ ගත් අවස්ථාවේදී පොලීසිය ඊට මැදිහත් වුණි.

‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේ අවසානයේ පිරිස විසිර ගිය බවය.

+

+

+


කොටකෙතන ඝාතකයාට මරණ දඬුවම දුන්නේ මෙහෙමයි

(19.02.2024 – 20:31 +0530 – sinhala.adaderana.lk)

කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට රත්නපුර මහාධිකරණය අද (19) මරණ දඬුවම නියම කළේය.

මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය එලෙස මරණ දඬුවම නියම කළේ වසර 12 ක දීර්ඝ නඩු විභාගයකින් පසුවය.

රත්නපුර, කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ ඝාතන පෙළ රටක් භීතියට පත්කරන්නට සමත්වුණි.

එය හැඳින්වුණේ ‘කොටකෙතන ඝාතන රැල්ල’ නමිනි.

එම ඝාතන රැල්ලේ මව සහ දියණිය මරාදැමූ සිදුවීම් කිහිපයක් ද වාර්තාවූ අතර අදත් පුද්ගලයෙකුට මරණ දඬුවම හිමිවූයේ එවැනි සිද්ධියකටය.

2012 වසරේදී ජූලි 19 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ ලියනාරච්චිගේ ප්‍රේමවතී නම් හැටතුන් (63) හැවිරිදි මවක් සහ හේවාගේ පුෂ්පාකුමාරි නමැති තිස්දෙහැවිරිදි (32) අවිවාහක දියණියකි.

දියණිය දුෂණය කර තිබූ බවටත් එහිදී හෙළිවුණි.

එම ඝාතනයට අදාළව සැකකරුවන් සිව්දෙනෙකු (4) කහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර නීතිපතිවරයා විසින් එම සිව්දෙනාට (4) එරෙහිව කොළඹ මහාධිකරණයේදී නඩු පවරනු ලැබීය.

ඉන් එක් (1) අයෙක් රජයේ සාක්ෂිකරුවෙකු කෙරුණු අතර සෙසු තිදෙනා (3) නිදොස්කොට නිදහස් කෙරුණි.

ඒ අනුව, ඝාතකයා කවුදැයි තහවුරු කරගැනීමට නොහැකි වීම මත කහවත්ත පොලීසිය සිද්ධියේ විමර්ශන යළි ආරම්භ කර තිබුණි.

කොටකෙතන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයන් පිරිසක් අහඹු ලෙස තෝරාගෙන DNA පරීක්ෂාවට ලක් කෙරෙන්නේ ඒ අනුවය.

ඉන් එක් සැකකරුවෙකුගේ DNA සාම්පල කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ වෙනත් ඝාතන සිද්ධියකින් ලබාගත් සාම්පල සමග ගැළපී තිබේ.

ඒ අනුව, මෙම මව සහ දියණියගේ ඝාතනයට අදාළවද එම සැකකරුගේ DNA සාම්පල පරික්ෂා කෙරෙන අතර එහිදී එම ඝාතනයටද අදාළ සැකකරුගේ සම්බන්ධයක් ඇතැයි හෙළිවුණු බව වාර්තාවුණි.

එම සැකකරුට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පැවරුණු අතර එම නඩු විභාගය වසර 12 ක් පුරා පැවැත්වුණි.

පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය අධිකරණයට අද (19) සඳහන් කළේ මෙම චූදිතයා එම ඝාතනය සිදුකර ඇතැයි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුවී ඇති බවයි.

ඒ අනුව කරුණු සලකා බැලූ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය එම වරදකරුට අද (19) මරණ දඬුවම නියමකළේය.

මරණ දඬුවම නියමවූයේ කොටකෙතන ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන හතළිස් දෙහැවිරිදි (42) ‘නීල් ලක්ෂ්මන්’ නමැති පුද්ගලයාටය.

අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා, ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකා අක්‍රිය කර චූදිතයාට මරණ දණ්ඩනය පැනවූ විනිසුරුවරිය, ජනාධිපතිවරයා නියම කරන දිනක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළ චූදිතයාගේ ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරා දැමීමට නියම කර ඇති බව සඳහන්ය.

ඒ අනුව කොටකෙතන ඝාතන රැල්ලට අදාළව මේ වන විට වරදකරුවන් දෙදෙනෙකුට (2) මරණ දඬුවම නියම වී තිබේ.

https://www.youtube.com/watch?v=lqMUXYE6Tng

+


මහාචාර්ය චන්න ජයසුමන ට ජාත්‍යන්තර සම්මානයක්

(19.02.2024 – 11:53 +0530 – sinhala.adaderana.lk)

‘අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය’ විසින් ‘විද්‍යාත්මක නිදහස සහ වගකීම’ වෙනුවෙන් පිරිනමන සම්මානය ‘මහාචාර්ය චන්න ජයසුමන මහතා’ට හිමිව තිබේ.

ඒ මහතාට මෙම සම්මානය ලබා දී ඇත්තේ 2019 වසර වෙනුවෙනි.

විවිධ පාර්ශ්ව වලින් එල්ල වූ අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සිදුකළ දායකත්වය මත මෙම සම්මානය ඔහුට පිරිනමා තිබේ.

මෙම සම්මානය ඔහුට හිමි වූ බවට පළමු වරට ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී කෘෂි රසායන සමාගම් ඇතුළු විවිධ පාර්ශව ඊට විරෝධය දක්වා තිබූ බව වාර්තා විය.

ඒ අනුව සම්මානය ලබාදීම යළි සලකා බැලීමට විශේෂ ජූරි සභාවකට යොමු කර ඇති අතර එම ජූරි සභාව ද තීරණය කර ඇත්තේ මෙම සම්මානය ඔහුට ලැබිය යුතු බවටය.

ඔහුගේ මෙම පර්යේෂණ සිදුකිරීම සඳහා ‘කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක මහතා’ ද සහාය වී තිබුණි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සම්මානය ලබාදීම ප්‍රමාද වී තිබේ.

අමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුවේදී එහි අධ්‍යක්ෂ තෙරේසා හැරිස් මහත්මිය විසින් මෙම සම්මානය මහාචාර්ය ජයසුමන මහතාට පිරිනමා ඇත.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *