සෞඛ්‍ය දීමනා ගැටලු ගැන සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්

සෞඛ්‍ය දීමනා ගැටලු ගැන සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්


සෞඛ්‍ය දීමනා ගැටලු ගැන සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්

(19.02.2024 – 13:26 +0530 – hirunews.lk/sinhala)

දීමනා ගැටලු‍ව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තිය සමිති අතර අද (19) පැවති තීරණාත්මක සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙහිදී තීරණය වී ඇත්තේ දීමනා සම්බන්ධයෙන් සළකා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටයි.

ඒ අනුව වර්ජනය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන්නේද? නැද්ද? යන්න අද (19) පස්වරුවේ සෞඛ්‍ය වෘත්තීය සමිති එකතු වී සාකව්ඡා කිරීමට නියමිත බවයි සඳහන් කළේ.

+


ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පියුමා ගෙන් මාස 3 ක් රඳවා ප්‍රශ්නකරන බව අධිකරණයට දැනුම්දෙයි

(19.02.2024 – 12:43 +0530 – hirunews.lk/sinhala)

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන ‘සලිඳු මල්ෂික’ හෙවත් ‘කුඩු සළිදු’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන ‘හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික’ නොහොත් ‘පියුමා’ නැමැති අපරාධ කල්ලි සාමාජිකයා ඊයේ (18) සිට දින 90 ක් රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් තිබිණ ගමගේ හමුවේ දැනුම් දී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු රඳවා ප්‍රශ්න කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.

ඩුබායි හීදී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන පසුගිය (15) අලුයම මෙරටට රැගෙන ආ මොහු ‘කුඩු සළිදු’ වෙනුවෙන් ඩුබායිහි රැදී සිට මෙරට කුඩු ජවාරම මෙහෙයවා තිබේද යන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියමිතයි ෴


යුක්තිය මෙහෙයුමේදී තවත් සැකකරුවන් 1,017 දෙනෙකු අත්අඩංගුවට

(19.02.2024 – 11:56 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමේදී තවත් සැකකරුවන් 1,017 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 903 දෙනෙකු සිටින බවයි.

එමෙන්ම, අපරාධ අංශය වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි 114 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් විසි දෙදෙනෙකු (22) සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු ලැබූ 79 දෙනෙකුද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ෴


ඉන්දීය ආධාර යටතේ වතු කම්කරු නිවාස දස දහසක් (10,000)

(19.02.2024 – 11:19 +0530 – hirunews.lk/sinhala)

වතුකරයේ කම්කරුවන් සඳහා නිවාස 10,000 ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පැවැත්වුණා.

එහිදී සිව්වන (4) අදියර යටතේ දිස්ත්‍රික්ක දහයක (10) වතු 45 ක් පුරා නිවාස 1300 ක් ඉදිකිරීමට නියමිතයි.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴


දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛනගත නොකරන රට ශ්‍රී ලංකාව

(19.02.2024 – 10:37 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා සහ දුර්වලම වාර්තාවලින් යුත් දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සිය නවතම වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.

එහිදී ඔවුන් පෙන්වා දී ඇති කරුණු ලෙස, දූෂිත ක්‍රියාවල යෙදිම සහ වංචනික ක්‍රියාකාරම් කිරීම අසාදුලේඛනගත වීමට හේතුවක් සේ නොහඳුනා නොගැනීම මෙන්ම නෛතික ප්‍රතිපාදන තිබෙද්දිත් ගිවිසුම්ගත බැඳීම් පැහැර හැර ඇති කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛනගත නොකිරීම යන කරුණු සඳහන්.

එමෙන්ම එම ආයතනය පෙන්වා දෙන්නේ ගිවිසුම්ගත බැදීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට පමණක් නොව එම කොන්ත්‍රාත්කරුවන්ගේ නම් පොදු, මාර්ගගත දත්ත ගබඩාවක් මගින් ප්‍රකාශයට පත් කිරීමටද මෙරටට ප්‍රතිපාදන ඇතත් පසුගිය වසරේ (2023) ජූලි මස වනතෙක් එම දත්ත ගබඩාවේ කිසිම නමක් ප්‍රදර්ශනය වී නොමැති බව‍යි.

එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ පවතින රෙගුලාසි වලට අනුකූල නොවීම බව එම වාර්තාවෙන් පෙනී යන බවයි.

කෙසේ වෙතත් වගකීම් පැහැර හැර අසාදුලේඛනගත කරන කොන්ත්‍රාත්කරුවන්ගේ තොරතුරු සහිත දත්ත ගබඩාව හිස් බවත්, එම දත්ත යාවත්කාලීන කර පවත්වාගැනීමේ වගකීම ඇත්තේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ අනෙකුත් දකුණු ආසියානු රටවලද මෙවැනිම දත්ත ගබඩාවක් තිබෙන බවත්, නේපාලයේ එම දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැදීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 629 කගේ සහ බංග්ලාදේශයේ දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැදීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 510 කගේ නම් ඇතුළත් වී තිබෙන බවයි ෴


කෑමට ගත් ඥාණකතාවේ මියගිය හූනෙක්

(19.02.2024 – 18:52 +0530 – hirunews.lk/sinhala)

කෑමට ගත් ඥාණකතාවක් තුළ මියගිය හූනෙකුගේ සිරුරක් තිබූ බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ කල්ලංචියාගම ඉපලෝගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළින්.

කල්ලංචියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි වඩුකාර්මික ශීල්පියකු හා ඔහුගේ සහයකයා තේ පානය සදහා වෙළදසැලකින් ඥාණකතා පැකට්ටුවක්
මිලදී ගෙන තිබෙනවා.

ඔවුන් එය සිය නවාතැන්පළ වෙත රැගෙන ගොස් තේ පානයට පෙර එම පැකට්ටුව විවෘත කර එහි තිබූ ඥාණකතා ආහාරයට ගැනීමට සූදානම් වී තිබෙනවා.

එහිදී එම පැකට්ටුවේ තිබූ එක් ඥාණකතාවක් තුළ තිබී මැරුණු හූනකුගේ තැම්බුනු සිරුරක් ඔවුන්ට හමු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පැවැති මෙම ඥාණකතා සම්බන්ධයෙන් ඒවා අලෙවි කළ වෙළසැල් හිමියාද දැනුම්වත් කොට ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා හා අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ද මේ සම්බන්ධයෙන් පැමිණීලිකර තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම ඥාණකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණීළි කිරීමත් සමග උරණ වි ඇති එම ඥාණකතා අලෙවි කළ බව කියන වෙළදසැල් හිමියාගේ පාර්ශවයේ පිරිසක් අද (19) දිනයේ එම වඩුකාර්මික ශිල්පියාට හා සහයකයාට පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධව ඉපලෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


රජයේ පාසල්වලින් ජල ගාස්තු අය කිරීමේ චක්‍ර ලේඛයක්

(19.02.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාසයේ (2024-01) සිට රජයේ පාසල්වලින් ජල ගාස්තු අය කරන බව සඳහන් කරමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙතෙක් පාසල්වලින් ජල ගාස්තුවක් අය නොකෙරුණු අතර සිසුන් වෙනුවෙන් නොමිලේ ජලය ලබාදීම සිදුකෙරුණා.

මසකට දින 20 ක් පාසල් පැවැත්වෙන බවට උපකල්පනය කර සිසුන්, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට මසකට ජලය ලීටර 400 ක් නොමිලේ ලබා දෙන බව අදාළ චක්‍ර ලේඛයේ සඳහන්.

ඊට වඩා පරිභෝජනය කරන්නේ නම් ඒ සඳහා ගාස්තු පාසල් පරිපාලනය මගින් අය කරගත යුතු බව එහි දැක්වෙනවා.

එසේම දැනට ජල සැපයුමක් ලබා දී නොමැති පාසල් සඳහා එක් නව ජල සැපයුමක් ඇස්තමේන්තු ගාස්තුවලින් තොරව නොමිලේ ලබා දෙන අතර අමතර ජල සැපයුමක් ලබා ගන්නා විට නියමිත ගාස්තුව අය කරන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියේ.

විදුහල්පති, ගුරු නිවාස, පිහිණුම් තටාක සඳහා වෙනම ජල සැපයුම් ලබා දීමටත්, නිල නිවාසවල ගාස්තු ඒවායෙහි පදිංචිකරුවන් විසින් සහ පිහිණුම් තටාකවල බිල්පත් ඒවා කුලියට දීම තුළින් ලබා ගන්නා ආදායමෙන් ගෙවීම් කරන ලෙසත් අදාළ චක්‍රලේඛයේ දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛයෙන් තවත් බරක් දෙමාපියන් මත පැටවෙන බවයි ගුරු සංගම් පෙන්වා දෙන්නේ.

මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් අප ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රුවන් ලියනගේගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ පාසල්වල ජලය විශාල වශයෙන් අපතේ යෑම කළමනාකරණය කිරීම මෙහි අරමුණ බවයි.

කෙසේ වෙතත් මෙවැනි ක්‍රියාමාර්ග මගින් පාසල් තුළ ජල කළමනාකරණයක් සිදු කළ නොහැකි බවත් මෙම චක්‍රලේඛය පිළිබඳව තමා කිසිදු දැනුවත් වීමක් නොමැති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

+


“අසාදුලේඛනගත වන සමාගම් ගැන රජය තොරතුරු වසන් කරනවා” – විපක්ෂ නායක

(19.02.2024 – 20:49 +0530 – hirunews.lk/sinhala)

අල්ලස්, දූෂණ සහ වංචා සිදුවීම් සම්බන්ධයෙන් අසාදුලේඛනගත වන සමාගම් පිළිබඳව රජය තොරතුරු වසන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

‘සක්වල’ වැඩසටහනේ 105 වැනි අදියර යටතේ අනුරාධපුර, කැබැතිගොල්ලෑව, ඇටවීරවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා ‘සුහුරු පන්ති කාමර උපකරණ’ ලබාදීමේ උත්සවයට අද (19) එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.

+


කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීරණය අප්‍රේල් මාසයේදී විවෘත වෙයි

(19.02.2024 – 21:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ලබන අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

මෙහි මෙහෙයුම් සිදු කිරීම සඳහා සපුරාලිය යුතු කරුණු රජය විසින් පසුගිය වසරේ (2023) ඔක්තොම්බර් මාසයේදී ගැසට් කළ අතර ඊට පෙර සිංගප්පූරුවට අයත් ‘වන් ගෝල්ඩ් ඩියුටි ෆ්‍රී’ ආයතනය සහ කොළඹ වරාය නගරය තීරු බදු රහිත වෙළඳසැල් ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට අත්සන් තැබුණා.

මේ අතර කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය සහ කොළඹ වරාය නගරය යාකෙරෙන ගුවන් මාර්ගය ලබන ඔක්තොම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතයි ෴


කතෝලික සභාවට විරෝධයක්

(19.02.2024 – 22:05 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – පිටිපන ලෙල්ලම කාදිනල් හිමිපාණන් යටතට පත් කිරීමට එරෙහිව එක්සත් ධීවර සමිතියේ නියෝජිතයින් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී අද (19) විරෝධතාවයක නිරතවුණා.

එහිදී ඔවුන් චෝදනා කළේ කාදිනල් හිමියන් ප්‍රමුඛ කතෝලික සභාවේ බලපෑම මත මෙය සිදුකර ඇති බවයි.

වසර 65 ක් පමණ පැරණි පිටිපන ලෙල්ලමේ පරිපාලනය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා.

මීට වසර 15 කට පෙර කෲස් නමැති පාදිලිවරයා විසින් එම නඩුව ගොනුකර ඇති අතර එහිදී අතුරු තහනම් නියෝගයක් මගින් ලෙල්ලමේ පරිපාලනය කාදිනල් හිමිපාණන් යටතට පත් කරන ලෙසට නියෝග කර තිබෙනවා.

‘පිටිපන එක්සත් ධීවර සමිතියේ’ නියෝජිතයින් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී අද (19) විරෝධතාවයක නිරත වුණේ ධීවරයින්ගේ ගැටලු පරිපාලනය කිරීමට කතෝලික සභාවට හැකියාවක් නොමැති බවට පවසමින්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *