කෙහෙළියගේ අසනීපය ගැන හොයන්න වෛද්‍ය මණ්ඩලයක්

කෙහෙළියගේ අසනීපය ගැන හොයන්න වෛද්‍ය මණ්ඩලයක්


කෙහෙළියගේ අසනීපය ගැන හොයන්න වෛද්‍ය මණ්ඩලයක්

(19.02.2024 – 06:37 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කර තිබෙනවා.

එහිදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයේ රෝගී තත්ත්ව ඇතිවීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි මෝසමක් මාර්ගයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කළ ඉල්ලීමක් පිළිගනිමිනුයි මෙලෙස එම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

අමාත්‍යවරයාගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට හෘද රෝග හා විකලාංග රෝග, පෙනහලු රෝග, සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් ඇතුළත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එහිදී නියම කර තිබෙන බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේ 08 වැනි සැකකරු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය පෙබරවාරි 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි අන්දමේ රෝගී තත්ත්වයකින් පසුවන බවට දැනුම් දෙමින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබුවා.

එහිදී කෙහෙළිය රඹුක්වැල්ලගේ පපුවේ වම් පස වේදනාවක් ඇති බවත්, ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙන බවත් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතතුරුව පැමිණිල්ලේ ඉල්ලීම්වලට අවසර දෙමින් අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධ වාර්තාව ලබන 26 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළා.

+


සීගිරියට ආසන්න මොරගොඩ මූකලාන රක්ෂිතයේ කැණීම් හේතුවෙන් සංවේදී පරිසර පද්ධතියක් විනාශ වෙයි

(18.02.2024 – 23:51 +0530 – hirunews.lk/sinhala)

සීගිරියට ආසන්න මොරගොඩ මූකලාන රක්ෂිතයේ සංවේදී පරිසර පද්ධතියට හානි සිදුකරමින් තිරිවානා කැණීම් සිදුකරන බවට ගම්වාසීන් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මාතලේ දිසා වන නිලධාරී අශෝක හේරත් මහතා පැවසුවේ එල්ල වන ජනතා විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම ස්ථානයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් කැණීම් සිදුකර ඇත්ද යන්න පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන බවයි.

සීගිරිය මොරගොඩ මූකලාන රක්ෂිතයේ ස්ථාන 7 ක සංවේදී පරිසර කලාපයට හානි වන අයුරින් තිරිවානා ඇතුළු පාෂාණ කැණීම හේතුවෙන් දැඩි පාරිසරික ගැටලුවක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මේ හේතුවෙන් රක්ෂිත භූමියේ පවතින දුර්ලභ වර්ගයේ ශාක සහ ඖෂධීය පැලෑටි විනාශ වී ඇති බවයි පරිසරවේදීන් ද පෙන්වා දුන්නේ.

රක්ෂිත භූමියේ තිරිවානා නිධිය පිහිටි ස්ථානයේ අඩි 250 ක පමණ ගැඹුරට කැණීම් කිරීම හේතුවෙන් ප්‍රදේශයේ උල්පත් ජලයට ද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

මේ සම්බන්ධයෙන් සීගිරිය, දමන යාය ප්‍රදේශයේ ජනතාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව විරෝධතාවයක ද නිරත වුණා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ කැණීම් සිදුකරන කණ්ඩායම සහ වන සංරක්ෂණ නිලධාරීන් අතර අතයට ගනුදෙනුවල ප්‍රතිඵලයක් ලෙස මෙම කැනීම්වලට බලපත්‍ර නිකුත් කර ඇති බවයි.

ප්‍රදේශවාසීන් විරෝධය දක්වන අතරතුර එම ස්ථානයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණීමත් සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

විරෝධතාවයෙන් නොනැවතුණු ප්‍රදේශවාසීන් කැණීම් සිදුකරන ස්ථානය ද වැටලීමට පියවර ගත්තා.

එම අවස්ථාවේදීත් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් තිරිවානා නිධියේ කැනීම් සිදුකරන ආකාරය දක්නට ලැබුණේ මෙලෙසින්.

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් කෙරෙන මෙම පරිසර විනාශය ගැන ප්‍රශ්න කිරීමත් සමග කැනීම් සිදුකරන පිරිස් සහ ජනතාව අතර ද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති මාතලේ දිසා වන නිලධාරී අශෝක හේරත් මහතාගෙන් විමසූ අතර ඔහු පැවසුවේ ඒකාබද්ධ පරීක්ෂණයකින් අනතුරුව මෙම ස්ථානයට බලපත්‍ර නිකුත් කර ඇති බවයි.

කෙසේවෙතත් එල්ල වන ජනතා විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම ස්ථානයේ කැණීම් සිදුකරන පාර්ශ්ව බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කර ඇත්ද යන්න පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

+


සෞඛ්‍ය වෘත්තිය සමිති, ඇමති සමග අද (19) තීරණාත්මක සාකච්ඡාවක

(19.02.2024 – 08:58 +0530 – hirunews.lk/sinhala)

දීමනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග අද (19) පැවැත්වෙන සාකච්ඡාවේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000 ක ‘ඩැට්’ දීමනාවට සමාන දීමනාවක් තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව අවසන්වරට වර්ජනය ක්‍රියාත්මක කළේ පසුගිය 15 වනදායි.

කෙසේ වෙතත් සිය ඉල්ලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමේ එකඟතාව මත එම වර්ජනය තාවකාලිකව අත්හිටවූ අතර එම සාකච්ඡාව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

එහිදී යහපත් පිළිතුරක් නොලැබුනහොත් යළිත් වර්ජනයකට එළඹීමට සිදුවන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙවන් පසුබිමක මෙරට රෝහල් සේවාව යම් පසුබෑමකට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අම්පාර මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (18) එක්වෙමින් කියා සිටියේ.

+


පිටකොටුවේ අනවසර වෙළඳසැල් පොලිසියෙන් පරීක්ෂාවට

(19.02.2024 – 08:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ පදික වේදිකාව වෙළෙඳුන් විසින් අත්පත් කරගැනීම හේතුවෙන් මහමග ගමන් කරන ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති ආකාරය පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති’ ඔස්සේ වාර්තා කිරීමත් සමග ඒ පිළිබඳව පොලිසියේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඊයේ (18) රාත්‍රියේම පදික වේදිකාවේ අනවසරයෙන් සිදු කරන වෙළදාම් සම්බන්ධයෙන් සහ එම වෙළදාම් සිදු කරන පුද්ගලයින්ගේ බලපත්‍ර පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගනු ලැබුවා.

පදික වේදිකාවේ ජනතාවට ගමන් කිරීමට නොහැකි වන පරිදි වෙළඳසැල් පවත්වාගෙන යෑම හේතුවෙන් ජනතාවට සිදුව ඇත්තේ ප්‍රධාන මාර්ගය සිය පදික වේදිකාව ලෙස භාවිත කිරීමටයි.

එමෙන්ම පිටකොටුව හරස් වීදීවල අවිධිමත් ලෙස රථවාහන නවතා තැබීමෙන් එම වීදිවල වෙළෙඳුන් ද දුෂ්කරතාවයකට පත්ව සිටිනවා.

මේ අතර කොළඹ නගරයේ රථගාල්වලින් නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කරන ජාවාරමක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වනවා.

ඇතැම් ස්ථානවල ඒ සඳහා රිසිට් පත්ද නිකුත් නොකරන බවටයි අප සිදු කළ සොයා බැලීමකදි අනාවරණය වූයේ.

එලෙස නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පුද්ගලයින්ගෙන් මේ පිළිබඳව විමසීමේදී උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණා.

+

+


මත්ද්‍රව්‍ය සිද්ධින් මත යාපනයේ තරුණයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(19.02.2024 – 08:14 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය සිද්ධින් මත යාපනයේ තරුණයින් දෙදෙනෙකු (2) ස්ථාන දෙකක (2) දී ඊයේ (18) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ තරුණයෙකු මත්ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා මවගෙන් මුදල් ඉල්ලා, මව මුදල් ලබා නොදීම හේතුවෙන් ඔහු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වයස අවුරුදු 30 ක තරුණයෙක්.

එම තරුණයා මත්ද්‍රව්‍ය චෝදනා මත යාපනය බන්ධනාගාරයේ සිර දඬුවම් විඳ නිවස පැමිණ දින 06 කට පසු මෙම සිදුවීම සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, තවත් යාපනය ප්‍රදේශයේ තරුණයෙක් අධික ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය ලබා ගනිමින් සිටිය දී හෘදයාබාධයක් වැළදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක තරුණයෙක් බවයි සඳහන් වන්නේ.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ මේ මරණයන් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි ෴


නව පාසල් වාරය අදින් (19) ඇරඹේ

(19.02.2024 – 07:32 +0530 – hirunews.lk/sinhala)

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර අද (19) ආරම්භවන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා (16) අවසන් වුණා.

පළමු අදියර අප්‍රේල් මස 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි ෴


පාසල් ළමුන්ට විකිණීමට ‘ගංජා මිශ්‍ර මාවා’ ලඟ තබාගෙන සිටි අයෙක් හසුවෙයි

(19.02.2024 – 07:16 +0530 – hirunews.lk/sinhala)

යාපනය ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර අළෙවි කිරීම සඳහා ‘ගංජා මිශ්‍ර මාවා’ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (18) යාපනය පොලිස් වසමේ අංක 25, කාරෙයිකාට්ටු පාර, වන්නාර්පන්නෙයි, යාපනය ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිටදී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී දිගු කලෙක සිට පාසල් ළමුන් ඉලක්ක කර අළෙවි කිරීම සඳහා ගංජා මිශ්‍ර මාවා කිලෝ ග්‍රෑම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි කොකුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴


සැකකරුගේ ජංගම දුරකථනය විකුණු පොලිස් නිලධාරි‍යා අත්අඩංගුවට

(19.02.2024 – 06:52 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු සන්තකයේ තිබූ රුපියල් 58,000 ක් වටිනා ජංගම දුරකතනයක් රුපියල් 5,000 කට පුද්ගලයෙකුට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටින පොලිස් කොස්තාපල් රියැදුරෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අම්පාර ප්‍රදේශයේ පසුගිය වසරේ ජුලි 30 වැනිදා පැවති සැණකෙළියක් අතරතුර දී, ඇති වූ සිද්ධියක් මුල් කරගෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් එම පුද්ගලයාගේ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ එහිදී පොලිසිය භාරයට ගත් ජංගම දුරකථනය ඉහත සැකකාර කොස්තාපල්වරයා වෙනත් පුද්ගලයකුට අලෙවි කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් ජංගම දුරකථනයේ හිමිකරු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව, අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *