‘සෞඛ්‍ය වාත්තීය සමිති සන්ධානය’ අනතුරු අඟවයි
(18.02.2024 – 21:15 +0530 – hirunews.lk/sinhala)
දීමනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ හෙට (19) පැවැත්වෙන සාකච්ඡාවේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් නැවතත් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ‘සෞඛ්‍ය වාත්තීය සමිති සන්ධානය’ ප්‍රකාශ කළා.
වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000 ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාවලියක නිරත වුණා.
එහි අවසන් වැඩ වර්ජනය ක්‍රියාත්මක වුණේ පසුගිය 15 වැනිදායි.
සිය ඉල්ලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමේ එකඟතාව මත එම වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවූ අතර එම සාකච්ඡාව හෙට (19) පෙරවරු 11 ට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.
‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ’ සභාපති රවී කුමුදේශ් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළා.
+
මාස දෙකක් (2) අවසානයේ යුක්තියේ ප්‍රගතිය
(18.02.2024 – 21:35 +0530 – sinhala.adaderana.lk)
දිවයිනපුරා ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම ඔස්සේ මේ වනවිට අපරාධකරුවන් 64,850 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 56,140 ක් සිටින අතර අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 8,710 ක් සිටින බව වාර්තාවෙයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 56,140 දෙනා අතරින් සැකකරුවන් 1,850 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 2,009 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.
නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 234 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,202 ක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළෙඳපළ වටිනාකම මිලියන 7,852.6 කට ආසන්න වන අතර, තහනමට ගත් දේපළවල වෙළෙඳපළ වටිනාකම මිලියන 726 කට ආසන්න බව අනාවරණය වී ඇත.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 8,710 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 1,333 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 6,700 ක්ද සිටී.
මේ අතර ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 284 ක් සහ අපරාධවලට අවශ්‍යකරන සැකකරුවන් 393 ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇත ෴
මුදල් වංචාවකට අම්පාර ලංගම ඩිපෝවේ වැඩ තහනමක්
(18.02.2024 – 19:40 +0530 – hirunews.lk/sinhala)
ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථයක් අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කළ මුවාවෙන්, එහි අංක තහඩුව ධාවනය වන බස් රථයකට සවිකර මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළව අම්පාර ලංගම ඩිපෝවේ සියලුදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ, බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ පැවති උත්සවයකදීයි.
ධාවනයෙන් ඉවත් කළ බස් රථ, අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි (2) අදියර යටතේ අම්පාර ලංගම ඩිපෝවට අයත්, බස් රථයක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කිරීම සඳහා රජය විසින් මුදල් ලබා දී තිබුණා.
කෙසේ වෙතත් දැනට ධාවනය තත්ත්වයේ පවතින NB 5432 දරන බස් රථය, අලුත්වැඩියා කළ යුතුව තිබූ NB 5430 බස් රථයේ අංක තහඩුව සවි කර අම්පාර ඩිපෝ බලධාරීන් විසින් වංචාවක් සිදු කළ බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
අදාළ බස් රථය අලුත්වැඩියා කිරීම සඳහා රජය විසින් අනුමත කර තිබූ මුදල රුපියල් 20,66,650 ක් ෴
ශ්‍රි පාද වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
(18.02.2024 – 19:43 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ සහ බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් දස දෙනෙකු (10) තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඉන් තුවාලකරුවන් දෙදෙනෙකුගේ (2) තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
අද (18) පස්වරු 03:00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්රදේශයේදීයි.
අදාළ වෑන් රථය ඉදිරියෙන් ධාවනය වු ලොරි රථයකට අපරික්ෂාකාරි ලෙස ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම අනතුරෙන් වෑන් රථයට සහ බස් රථයට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා ෴
+
අද (18) කොළඹ හදිසි මෙහෙයුමක්
(18.02.2024 – 17:59 +0530 – sinhala.adaderana.lk)
අද (18) බස්නාහිර පළාතේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් සිදුකර තිබේ.
මෙම සෝදිසි මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 2,253 ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,112 ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 219 ක් යොදවා ඇත.
‘යුක්තිය මෙහෙයුම’ ආරම්භ කර මාස දෙකක් (2) ගතවීම හේතුවෙන් ඊට සමගාමීව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදුකර තිබේ.
එහිදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 11 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
නිවාස සෝදිසිකිරීම්වලදී තියුණු ආයුධ රැසක් පොලිස්භාරයට ගෙන ඇති අතර මෙලෙස සොයාගෙන ඇති ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් :
- කඩු 06
- මන්නා 01
- කිනිසි 01
- තහනම් පිහි 02
- හෙරොයින් ග්‍රෑම් 322
- අයිස් ග්‍රෑම් 111
- ගංජා ග්‍රෑම් 160
- ඈෂ් ග්‍රෑම් 13
- නීති විරෝධී මත්පැන් මිලිලීටර් 21,750
- නීතිවිරෝධී දුම්වැටි 855
දොර ළඟ වැටුණු හුස්ම පොද – වැවෙන් හමුවුණු අබිරහස් මරණය (18.02.2024)
+
මාව මරන්න හැදුවේ ජාතික රෝහලේ කුඩු විකුණන මංකොල්ලකාරයෝ සෙට් එකක් (18.02.2024)
+
කැණීම් හේතුවෙන් සංවේදී පරිසර පද්ධතියක් විනාශ වෙයි – ප්‍රදේශවාසීන් එකතුවී වැටලීමෙන් උණුසුම් තත්ත්වයක් (18.02.2024)
+
වැරදි කරන රියදුරන් හඹා යන CCTV මෙහෙයුම
(18.02.2024 – 23:04 +0530 – hirunews.lk/sinhala)
පෙබරවාරි මාසයේ මුල් දින 15 තුළ කොළඹ නගරය ආශ්‍රිතව මාර්ග නීති උල්ලංඝණය කළ රියැදුරන් 793 දෙනෙකු CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම වැරදි සිදුකර ඇති තවත් රථවාහන 300 කට අදාළව එහි මුල් හිමිකරුවන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගනිමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.
මාරක රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව රටට අහිමි වන ජීවිත සංඛ්‍යාව 2,000 ඉක්මවා තිබෙනවා.
2021 වසරේ රිය අනතුරු 2,452 ක් සිදුව ඇති අතර ඉන් මියගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,557 ක්.
කෙසේවෙතත් ඊට සාපේක්ෂව 2023 වසරේ රිය අනතුරු සංඛ්‍යාවේ හා මරණවල අඩුවීමක් පෙන්නුම් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව 2023 වසරේ මාරක රිය අනතුරු 2,200 ක් සිදුව ඇති අතර පුද්ගලයින් 2,310 දෙනෙකු මියගොස් තිබෙනවා.
එම මියගිය පුද්ගලයින් අතරින් වැඩි පිරිසක් පාපැදිකරුවන්.
මේ අතර කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ CCTV දර්ශන ඔස්සේ රථවාහන වැරදි හඳුනාගැනීමේ පොලිස් මෙහෙයුම යටතේ රියැදුරන් 793 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
එමෙන්ම වැරදි සිදුකර ඇති තවත් රථවාහන 300 කට අදාළව එහි මුල් හිමිකරුවන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගනිමින් සිටින බව ද පොලිසිය පැවසුවා.
+
පිළියන්දල – මහරගම බස් මාර්ගයේ නීලම්මහර මංසන්ධියේදී යතුරුපැදි දෙකක් (2) එකිනෙක ගැටීමෙන් සිදුවුණු මාරක රිය අනතුර
(18.02.2024 – facebook.com/accident1stofficial/)
පිළියන්දල – මහරගම බස් මාර්ගයේ නීලම්මහර මංසන්ධියේදී යතුරුපැදි දෙකක් (2) එකිනෙක ගැටීමෙන් පසු එක් (1) යතුරුපැදියක් එම ස්ථානයේ සිට මීටර් දහයක් (10) පමණ ඉදිරියට විසිවී ගොස්, රාත්‍රි කාලයේ ධාවනය අවසන්ව පසෙක නවතා තිබූ පෞද්ගලික බස් රථයක ගැටීමෙන් පෙර දින (17) රාත්‍රීයේ 12:10 ට පමණ සිදුවූ අනතුරකින් (19) වැනි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු (1) බරපතල තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරුනා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුනේ පිළියන්දල පාර, ඇරව්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එච්.ජී. මෙත්සිත් නැමැති අය සහ ඇරැව්වල පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කවිඳු රණසිංහ නැමැති තරුණයන් දෙදෙනා (2) යි.
අනතුරින් පසු පෞද්ගලික බස් රථයේ රියදුරාද අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴