වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 3,800 ක හිඟයක්

වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 3,800 ක හිඟයක්


වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 3,800 ක හිඟයක්

(18.02.2024 – 13:36 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතිය අනුව අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 3,800 ක හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

මේ තත්ත්වය දිගටම පැවතියහොත් ඉදිරි සති 02 තුළ මෙරට රෝහල්වල ශල්‍යකර්ම කටයුතු අඩාල විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත පද්ධතියට අනුව මෙරට රෝහල් තුළ ශල්‍යකර්ම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ 5,800 ක ප්‍රමාණයක් තිබිය යුතු වනවා.

නමුත් වර්තමානය වනවිට එම උපකරණවලින් 3,800 කට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ.

+


රියැදුරන් 793 දෙනෙකු CCTV ඔස්සේ හඳුනා ගැනේ

(18.02.2024 – 14:04 +0530 – sinhala.adaderana.lk)

පෙබරවාරි මාසයේ මුල් දින 15 තුළ මාර්ග නීති උල්ලංඝණය කළ රියැදුරන් 793 දෙනෙකු CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන නීතිමය පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම වැරදි සිදුකර ඇති තවත් රථවාහන 300 කට අදාළව එහි මුල් හිමිකරුවන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගනිමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.

මාරක රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව රටට අහිමි වන ජීවිත සංඛ්‍යාව 2,000 ඉක්මවා තිබෙනවා.

2021 වසරේ රිය අනතුරු 2,452 ක් සිදුව ඇති අතර ඉන් මියගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,557 ක්.

කෙසේවෙතත් ඊට සාපේක්ෂව 2023 වසරේ රිය අනතුරු සංඛ්‍යාවේ හා මරණවල අඩුවීමක් පෙන්නුම් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව 2023 වසරේ මාරක රිය අනතුරු 2,200 ක් සිදුව ඇති අතර පුද්ගලයින් 2,310 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම මියගිය පුද්ගලයින් අතරින් වැඩි පිරිසක් පාපැදිකරුවන්.

මේ අතර කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පෙබරවාරි පළමුවැනිදා (01) සිට ක්‍රියාත්මක කළ CCTV දර්ශන ඔස්සේ රථවාහන වැරදි හඳුනාගැනීමේ පොලිස් මෙහෙයුම යටතේ රියැදුරන් 793 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

එමෙන්ම වැරදි සිදුකර ඇති තවත් රථවාහන 300 කට අදාළව එහි මුල් හිමිකරුවන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගනිමින් සිටින බව ද පොලිසිය පැවසුවා.

+


විදුලිසැර වැදී තරුණයෙක් ජීවිතක්ෂයට

(18.02.2024 – 14:12 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ කුලී කාමරයක පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු මෙලෙස මියගොස් තිබුණේ කාමරයේ තිබූ විදුලි පංකාව අලුත්වැඩියා කිරීමට උත්සාහ ගත් අවස්ථාවේයි.

මියගිය තරුණයා සිය බිරිඳ සමඟ කොට්ටාව රුක්මල්ගම පාසල් මාවතේ කුලී කාමරයක පදිංචියට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙරයි.

කාමරයේ තිබූ විදුලි පංකාව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔහු ඊයේ (17) රාත්‍රී 11 ට පමණ එය අලුත්වැඩියා කිරීමට උත්සාහ ගෙන තිබුණා.

එම අවස්ථාවේ ඔහුට එක්වරක් විදුලි සැර වැදී තිබුණද ඔහු එය නොතකා නැවත විදුලි පංකාව අලුත්වැඩියා කර තිබෙන අතර එහිදී ඔහුට නැවතත් විදුලි සැර වැදී බිම ඇද වැටුණු බව ඔහුගේ බිරිඳ පවසනවා.

පසුව ඔහුව ප්‍රදේශවාසීන්ගේ ද සහායනේ හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ ද ඔහු මියගොස් තිබුණා.

හෝමාගම හදිසි මරණ පරීක්ෂක මානෙල් ගමගේ කළ ස්ථානීය පරීක්ෂාවේදී අනාවරණ වුණේ නිසි ලෙස ක්‍රියාත්මක නොවන ප්‍රධාන ස්විචය සහිත පරිපථයකින් විදුලි සැපයුම ලබාගැනීම හේතුවෙන් මෙලෙස විදුලි සැර වැදී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචි කවිෂ්ක විජයතුංග නම් 22 හැවිරිදි තරුණයෙක්.

ඔහු මීට මාස 03 කට පමණ පෙර විවාහ වී බිරිඳ ද සමග මෙම කුලී කාමරයේ පදිංචිව සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

+


පිටකොටුවේ අනවසර ඉදිකිරීම්

(18.02.2024 – 15:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පදික වේදිකා වෙළෙඳුන් විසින් අත්පත් කරගැනීම හේතුවෙන් ජනතාවට එල්ල වී ඇති ජීවිත අවදානම පිළිබඳවද තොරතුරු වාර්තා වෙනවා.

දිනකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පිටකොටුවට පැමි‍ණෙන්නේ ආර්ථික මෙන්ම ප්‍රවාහන මර්මස්ථානයක් ලෙස එය පැවතීම හේතුවෙන්.

කෙසේ වෙතත් එලෙස පැමිණෙන ජනතාවගේ ජීවිත අවදානමක හෙළමින් පදික වේදිකා වෙළෙඳුන් විසින් අත්පත් කරගෙන සිටීම හේතුවෙන් ජනතාව පත්ව සිටින්නේ දැඩි අපහසුතාවයකටයි.

මෙලෙස පදික වේදිකාවෙන් ජනතාවට ගමන් කිරීමට නොහැකි වන පරිදී වෙළඳසැල් පවත්වාගෙන යෑම හේතුවෙන් ජනතාවට සිදුව ඇත්තේ ප්‍රධාන මාර්ගය සිය පදික වේදිකාව ලෙස භාවිත කිරීමටයි.

එය ඉතා අවදානම් සහගත වන්නේ රථවාහන විශාල සංඛ්‍යාවක් නිරන්තරයෙන් ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන්.

මේ තත්ත්වයට අමතරව හරස් වීදීවල අවිධිමත් ලෙස රථවාහන නවතා තැබීමෙන් එම වීදිවල වෙළෙඳුන් ද දුෂ්කරතාවයකට පත්ව සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම තත්ත්වයට විසඳුමක් ලබා දෙන ලෙසයි.

+


උපන් දින සාදයේ ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට

(18.02.2024 – 17:06 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම නගරයේ ‘හොරෙයිෂන් පාක්’ ගම්මානයේ නිවසක කුඩා දරුවෙකුගේ උපන් දින සාදයක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි පුද්ගලයා අද (18) ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක්.

උපන්දින සාදයට සහභාගී වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු (2) අතර ඇතිවු ගැටුමක් බේරීමට ගිය අවස්ථාවේදී තියුණු අයුධයකින් සිදු කළ පහරදීමකින් ඔහු තුවාල ලබා රෝහල්ගත කර තිබුණා ෴


පාසල් සිසුවෙකුට අසභ්‍ය දර්ශන පෙන්වූ වල්ගුරා රක්ෂිත බන්ධනාගාරයට

(18.02.2024 – 17:18 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක 12 හැවිරිදි සිසුවෙකුට පාසලේ පරිගණකයෙන් ලිංගික හා නිරුවත් දර්ශන ඇතුළත් ඡායාරූප පෙන් වූ බව කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට එම පාසලේ වල්ගුරා හෙට (19) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකාර වල්ගුරා තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම පාසලේම සෞන්දර්‍ය විෂය උගන්වන 53 හැවිරිදි වල්ගුරා පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ 12 හැවිරිදි සිසුවා විසින් කළ පැමිණිල්ලකට අනුවයි ෴


‘කුඩු සලිඳු’ගේ ‘පැට්ටා’ අත්අඩංගුවට

(18.02.2024 – 17:47 +0530 – hirunews.lk/sinhala)

‘කුඩු සලිඳු’ නමැති සැකකරුගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරුවෙකු අද (18) පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘පැට්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරු වයස අවුරුදු 26 ක අයෙක්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10.571 ක් සහ උපයාගත් ආකාරය හෙළිකරගැනීමට නොහැකි වූ රුපියල් 22,47,450/- ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම සැකකරු පානදුර ප්‍රදේශයේ සැඟව සිටියදී වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

+++++++

‘පැට්ටා’ අවසානයේදී කොටුවෙයි

(18.02.2024 – 18:44 +0530 – sinhala.adaderana.lk)

හෙරොයින් ග්‍රෑම් 10 ක් සමග ‘පැට්ටා’ පානදුර ප්‍රදේශයේදී ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය’ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී අදාළ කාන්තාව සන්තකයේ තිබී උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි වූ මුදලින් රුපියල් 2,247,450 ක මුදලක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

සැකකාර කාන්තාව මේ වනවිට CID භාරයේ සිටින ‘කුඩු සලිඳු’ගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන ‘අසිත’ නැමැත්තාගේ බිරිඳගේ වැඩිමල් සොහොයුරිය බවට හෙළිවී තිබේ.

සැකකාර කාන්තාව විසින් ‘තරංග’ නමින් හඳුන්වන සැකකරුගෙන් ලබාගත් මත්ද්‍රව්‍ය රහස් ප්‍රදේශයේ සඟවා සිය නිවස වෙත පැමිණි අවස්ථාවේ කළ වැටලීමකදී ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ නිවසේ පොලිස් නිලධාරීන්ට ඇතුල්වීමට නොහැකිවන ලෙස පුහුණුකරන ලද දරුණුගණයේ සුනඛයින් සිව්දෙනෙකු (4) ඇතිකරන බවද විමර්ශන නිලධාරීන් හෙළිකරගෙන ඇත.

එසේම වැටලීම සඳහා නිලධාරීන් පැමිණියහොත් ඔවුන් හඳුනාගැනීම සඳහා අධිසන්නිවේදන උපාංග භාවිත කර විශේෂ CCTV පද්ධතියක් ද සවිකර තිබීම විශේෂත්වයකි.

එසේම සැකකාර කාන්තාවට එරෙහිව හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ මේ වනවිටත් මහාධිකරණය හමුවේ නඩු දෙකක් (2) විභාග වෙමින් පවතින බවද පොලීසිය පවසයි.

එසේම මීට පෙර හෙරොයින් ජාවාරම් කිරීම හේතුවෙන් අදාළ කාන්තාවගේ පියා, සැමියා, සහ සහෝදරිය ද මේ වනවිටත් අත්අඩංගුවේ පසුවෙයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ උපදෙස් මත ලද තොරතුරකට අනුව මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබේ.

+


මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු (1) අත්අඩංගුවට

(18.02.2024 – 18:38 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය පැදවූ බව කියන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර – මහඔය ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 12 වනදා යතුරු පැදියකින් පැමිණි නාදුණන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් මෙම තරුණියට වෙඩි තබා මුදල් කොල්ලකා පලාගොස් තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *