ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට


ශිරාන් බාෂික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

(17.02.2024 – 07:59 +0530 – sinhala.adaderana.lk)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘ශිරාන් බාෂික්’ නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (16) වැල්ලවත්ත, හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ ගාලේ සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ‘හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ’ ඉදිරිපිට මාර්ගයේ රාජකාරියේ නියුතු නිලධාරියෙකු විසින් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කර ඇති අතර, එහි දී එම මෝටර් රථය එම නිලධාරියාව අනතුරට ලක් කර හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර තිබේ.

පසු ව එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) පළා යාමට තැත් කර ඇති අතර, එහි දී එක් (1) සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩාබුද්ගමුව – අංගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සතු ව තිබී මෝටර් රථ 3 ක යතුරු හමු ව ඇති අතර, පසුව එම මෝටර් රථ තුන (3) පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 19 ක් ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක්, රුපියල් 29,000 ක්, ඩිරාම් 535 ක් සහ ඩොලර් 161 ක් සොයාගෙන ඇත.

එමෙන්ම එහි තිබී ‘නදින් බාෂික්’ යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක් සහ රියදුරු බලපත්‍රයක් සහිත ගමන් බෑගයක් ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

‍පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය ඇතුළු දේපොළ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ, පළා ගිය සැකකරු ‘ශිරාන් බාෂික්’ යන අයගේ පුතෙකු වන ‘නදින් බාෂික්’ බවට යි.

++++++++

+


වෛද්‍ය බෙල්ලනට විරෝධය පා ජාතික රෝහලේ සෞඛ්‍ය සේවක සටන දිගටම

(17.02.2024 – 13:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම රෝහලේ සෞඛ්‍ය සේවකයින් පිරිසක් අද (17) පෙරවරුවේත් විරෝධතාවයක නිරත වුණා. ඒ එම රෝහල් පරිශ්‍රයේදීයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඊයේ (16) දිනයේ දී පැය 07 කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ රදවා ගැනීමට සෞඛ්‍ය සේවකයින් කටයුතු කළා.

පසුව වෛද්‍යවරයා පොලිසිය මැදිහත්ව කාර්යාලයෙන් පිටතට රැගෙන යාමටයි කටයුතු කළේ.

වෛද්‍යවරුන් සදහා අනුමත කල ‘ඩැට්’ දීමනාවට සමාන දීමනාවක් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් පසුගිය දින වල වර්ජනයක නිරතවූ අතර, එම කාලය තුළදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එම වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ නිකුත් කර තිබුණා.

මෙම ප්‍රකාශ හමුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සෞඛ්‍ය කාර්ය සහයකයින් ඊයේ (16) විරෝධතාවක නිරත වුණා.

මේ අතර අද (17) පෙරවරුවේ ද කොළඹ ජාතික රෝහලේදී සෞඛ්‍ය කාර්ය සහයකයින් විරෝධතාවක නිරතවූ අතර, එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉවත් කරන තුරු තමන් සේවයෙන් ඉවත්ව සිටින බවයි ෴

+++++++++

+

+

+

+


5 ශ්‍රේණියේ සිසුන් පිරිසක් මත් වී ගහක් ‍යට වැටිලා ඉඳලා

(17.02.2024 – 11:07 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු ඊයේ (16) සිහිසුන්ව විද්‍යා­ලයේ ගසක් යට වැටී සිටි­යදී කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර තිබෙනවා.

මෙලෙස රෝහ­ල්ගත කර සිටින එක් (1) සිසු­ව­කුගේ තත්ත්වය බර­ප­තළ වන බවයි කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සඳහන් කළේ.

මෙම සිදු වීමට මුහුණ දී ඇත්තේ ඉබ්බා­ග­මුව ලිහි­ණි­වැ­හැර ප්‍රාථ­මික විද්‍යා­ලයේ සිසුන් පිරිසක්.

රෝහ­ල්ගත කර සිටින සිසුන් සිව්දෙ­නාම (4) ලිහි­ණි­වැ­හැර අවට පදිං­චි­ක­රු­වන් වන අතර, මොවුන් කිසි­යම් හඳුනා නොගත් මත්පෙති වර්ග­යක් පානය කර ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

කිසි­යම් පෙති වර්ග­යක් ගස යට වැටී තිබී අහු­ලා­ගෙන පානය කළ බවට සිසුන් පැව­සු­වත් මේවා කිසි­යම් වැඩි­හි­ටි­යකු මේ සිසුන්ට දුන්නේද යන්න පිළිබඳ සොයා බලන බව ද පොලි­සිය වැඩිදුරටත් පැවසුවා ෴


නැගෙනහිර පළාත් හිටපු සභාපතිනිය ගමන් ගත් රථයේ ගැටී පුද්ගලයෙකු මරුට

(17.02.2024 – 09:16 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල – පැල්වැහැර ප්‍රදේශයේදී නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිනි ආරියවතී ගලප්පත්ති ගමන් ගත් මෝටර් රථයේ ගැටී මාර්ගය හරහා මාරුවීමට පැමිණි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද (17) උදෑසන සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ මාතලේ නාවුල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.

ඇය, ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් රථය පැදවූ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


ගෙවත්තක ළිඳක් තුළ තිබී නාඳුනන බිළිඳියකගේ මළසිරුරක් හමුවෙයි

(17.02.2024 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ගෙවත්තක ළිඳක් තුළ තිබී නාඳුනන බිළිඳියකගේ මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.

රීදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙලගෙදර පොලිස් වසමේ නිවසක තිබී මෙම මළසිරුර සොයා ගත් බවයි වාර්තා වන්නේ.

අදාළ නිවෙස් හිමියා නිවසෙහි ජලය නොමැති වීම හේතුවෙන් වතුර මෝටරය ක්‍රියාත්මක කිරීමට පෙර ළිඳ පරීක්‍ෂා කර බලා තිබෙනවා.

එහිදී බෝනික්කෙකු ජලය මත පාවෙනු දැක එය ඉවත්කිරීමට ලීයක් ගෙන එහා මෙහා කිරීමේදී එය බෝනික්කෙකු නොවන බවට එම නිවෙස් හිමියා හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පසුව ඔහු විසින් එය තවදුරටත් පරීක්ෂා කර ඇති අතර එහිදී හඳුනාගෙන ඇත්තේ එය බිළිඳියකගේ වන මළසිරුරක් බවයි.

මේ සම්බන්ධයෙන් නිවෙස් හිමියා විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය විසින් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර ඇති අතර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිළිඳියගේ මළසිරුර කුරුණෑගල ශික්ෂණ රෝහලට යවා ඇති බවයි වාර්තා වන්නේ ෴


තලෙයිමන්නාරමේ දස (10) හැවිරිදි දැරියගේ මරණයට පොල්වත්තේ මුරකරු අත්අඩංගුවට

(17.02.2024 – 07:38 +0530 – hirunews.lk/sinhala)

අපයෝජනය කර ඝාතනය කළ දස (10) හැවිරිදි දැරියකගේ සිරුර සොයා ගනු ලැබූ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පොල්වත්තේ මුරකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු සිදුකළ පරස්පර විරෝධී ප්‍රකාශ හේතුවෙන්.

තලෙයිමන්නාරම පොලිසිය සඳහන් කළේ 55 හැවිරිදි කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි සැකකරු අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මෙම සිද්ධිය වාර්තා වන්නේ 2022 වසරේ අටලුගම ප්‍රදේශයේදී නව (9) හැවිරිදි දැරියක් ඝාතනය කළ සැකකරුට වසර 27 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වී දින 3 කට පසුව වීමද විශේෂත්වයක්.

‘වර්ණකුලසූරිය ඉයන්සි’ නමැති මෙම දැරිය තම සහෝදර සහෝදරියන් සමග තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි සිය මිත්තනියගේ නිවසේ පදිංචිව සිටියේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේ පහසුව සඳහායි.

ඇයගේ මව සහ පියා ධීවර රැකියාව සඳහා සිලාවතුර ප්‍රදේශයට ගොස් නැවතී සිටින බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඇය තම බාල සහෝදරියට ආහාර රැගෙන ඒම සඳහා පෙරේදා (15) පස්වරුවේ අසළ වෙළඳසැලකට ගොස් තිබූ අතර, යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මිත්තනිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඇයත් සමඟ නිවස ආසන්නයේ පිහිටි පොල් ඉඩමේ මුරකරුද වෙළඳසැලට ගොස් ඇති බවට ලැබුණු තොරතුරුවලට අනුව සිදුකළ විමර්ශනවලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ දැරිය වෙළඳසැලට කැදවාගෙන ගිය තමන් පසුව පොල් ඉඩමට ගිය බවයි.

මොහු දැඩිව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බවටද අනාවරණ වී තිබෙනවා.

පසුව පොලිසිය ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව දැරිය සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කළ අතර, එහිදී මිත්තනියගේ නිවසට මීටර 300 ක් පමණ දුරින් පිහිටි පොල් වත්තක තිබී ඇයගේ සිරුර සොයාගෙන තිබුණා.

එම අවස්ථාවේ දැරිය ගවුමකින් සැරසී සිට ඇතත්, යටි කය නිරුවත්ව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව, දැරිය ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැරියගේ සිරුර යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මේ අතර, දැරියට සාධාරණයක් ඉල්ලා තලෙයිමන්නාරම උතුර ප්‍රදේශවාසීන් ඊයේ (16) විරෝධතාවක නිරත වුණා.

+

තලෙයිමන්නාරම උතුර ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ වයස අවුරුදු 10 ක දැරිය මියගොස් ඇත්තේ ගෙල සිරකර ඝාතනය කිරීමෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

එසේම, ඇය දූෂණයට ලක් කර ඇති බවට ලක්ෂණ ද නිරීක්ෂණය වී ඇති බවයි අදාළ වාර්තාවේ සඳහන් වන්නේ.

මියගිය දැරියගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී අද (17) සිදුකෙරුණේ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනන් ඉදිරියේයි.

එමෙන්ම, එම දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා.

ඒ අදාළ සැකකරු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඒ අනුව, සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණය, පොලීසියට අවසර ලබාදී ඇත්තේ.

+


සාම විනිසුරු පත්වීම් සඳහා වූ කොන්දේසි සංශෝධනය කෙරේ

(17.02.2024 – 18:17 +0530 – hirunews.lk/sinhala)

සාම විනිසුරු පත්වීම් ලබා ගැනීම සඳහා අධ්‍යාපන සුදුසුක​ම් ලෙස නියමකර තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනක් (3) සමත් වීමේ කොන්දේසිය අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අඩුකර තිබෙනවා.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් පසුගිය නොවැම්බර් 27 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් සාම විනිසුරු පත්වීම් ලබා දීමේදී අධ්‍යාපන සුදුසුකම ලෙස අ.පො.ස උසස් පෙළ විෂයන් තුනක් (3) සමත් විය යුතු බවට නියම කර තිබුණා.

අනතුරුව, අමාත්‍යවරයා විසින්ම එම නියමය සංශෝධනය කරමින් පෙබරවාරි 13 වැනිදා තවත් අති විශේෂ ගැසට් නිවේදයක් නිකුත් කරමින් සාම විනිසුරු පත්වීම් දීමේදී අධ්‍යාපන සුදුසුකම ලෙස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර දෙකකට (2) නොවැඩි වාර ගණනකදී සම්මාන සාමාර්ථ දෙකක් (2) සහිතව විෂයන් 6 ක් සමත් විය යුතු බවට සංශෝධනය කර තිබෙනවා.

කෙසේවෙත​ත්, එම සුදුසුකම නොමැති අයෙක් වුවද, ඔහු සමාජයට සහ ප්‍රජාව වෙත කළ ආදර්ශවත් සේවයක් සළකා සාම විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට යෝග්‍ය බවට කීර්තිමත් ආගමික නායකයෙක් හෝ සමිති සභාපතිවරයෙක් නිර්දේශ කරන්නේ නම් අධිකරණ අමාත්‍යවරයාට ඒ බව සළකා එම තැනැත්තා සාම විනිසුරුවරයෙකු ලෙස පත්කළ හැකි බවද එම ගැසට් නිවේදනයේ සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *