සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක්

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක්


සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මිදුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක්

(16.02.2024 – 08:11 +0530 – hirunews.lk/sinhala)

තමන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස පසුගියදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන මේ වනවිට සීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටින ධීවරයින් ඉල්ලීමක් කරනවා.

හලාවත ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට සීෂෙල්ස් රාජ්‍යයේ සිට එක්වෙමින් අදාළ යාත්‍රාව පැදවූ නියමුවා වන රකිත දුෂාන් කියා සිටියේ පානය සඳහා ජලයවත් තමන්ට නොලැබෙන බවයි.

දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වනදා මංගල මුහුදු ගමනට එක්වූ ‘ලොරෙන්සෝ පුතා 04’ නැමති මෙම බහුදින ධීවර යාත්‍රාව මෙරට ධීවරයින් 07 දෙනෙකු සමග අරාබි මුහුදේ දී කොල්ලකරුවන්ගේ ග්‍රහනයට ලක් වූයේ පසුගිය මස 27 වනදායි.

කෙසේ වෙතත්, යාත්‍රාව සහ එහි සිටි මෙරට ධීවරයින් පිරිස මෙහෙයුමකින් පසු මුදා ගැනීමට සී ෂෙල්ස් වෙරළ ආරක්ෂක බලකාය විසින් පසුගිය 01 වනදා සමත් වුණා.

අනතුරුව මෙම ධීවරයින් පසුගිය 2 වනදා සීෂෙල්ස් හි වික්ටෝරියා වරාය වෙත රැගෙන ආ අතර, ඔවුන් මේ වන විට එරට ආරක්ෂක අංශ භාරයේ සිටිනවා.

++++++++

+


නව විදුලි සැපයුම් ලබාදීමේදී අයකරගනු ලබන පාරිභෝගික තැන්පතු මුදල් වෙනුවෙන් රුපියල් කෝටි 112 ක පොලියක් ගෙවයි

(16.02.2024 – 12:06 +0530 – hirunews.lk/sinhala)

නව විදුලි සැපයුම් ලබාදීමේදී අයකරගනු ලබන පාරිභෝගික තැන්පතු මුදල් වෙනුවෙන් රුපියල් කෝටි 112 කට ආසන්න මුදලක් පාරිභෝගිකයන් වෙත ගෙවා තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ පසුගිය වසරට (2023) අදාළව මෙම ගෙවීම් සිදුකළ බවයි.

ඉදිරියේදීත් මෙලෙස පොලී මුදල් ගෙවීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළා.

+


යුක්තිය මෙහෙයුමේදී තවත් සැකකරුවන් 708 දෙනෙකු අත්අඩංගුවට

(16.02.2024 – 11:18 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමේදී තවත් සැකකරුවන් 708 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 551 දෙනෙකු සිටින බවයි.

එමෙන්ම, අපරාධ අංශය වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි 157 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 37 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු ලැබූ 93 දෙනෙකුද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴


අකුරට වැඩ කිරීමේ රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

(16.02.2024 – 10:52 +0530 – hirunews.lk/sinhala)

රේගු වෘත්තීය සමිති දියත් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.

ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ අද (16) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

වසර 04 ක් පුරා ප්‍රමාද කර ඇති උසස්වීම් කඩිනමින් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඊයේ (13) උදෑසන කාලයේදීයි ෴


‘දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා’ ‍ඇතුගල් පුරවරයට

(16.02.2024 – 10:08 +0530 – hirunews.lk/sinhala)

දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ එහි තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍යය ඓතිහාසික ඇතුගල් පුරවරයේ සිද්ධස්ථාන වෙත වැඩම කිරීමට නියමිතයි.

දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයාගන්නා ලද, ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ එම සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාවක් සලසා දී තිබෙනවා.

ඒ අගෝස්තු මස 30 වන පොහොය දින කැළණිය රජ මහා විහාරයෙන් ආරම්භ කර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍ය දිවයින පුරා වැඩමවීම කරනු ලබනවා.

ඒ අනුව, මෙම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය, පෙබරවාරි 20 සහ 21 දිනවල රිදීගම, මොණරාගල රජ මහා විහාරයේදීත්, 22 සහ 23 දින වල ඉබ්බාගමුව, වලව්වත්ත සුභද්‍රාරාම විහාරයේදීත්, 24 සහ 25 දිනවල කුඹුක්ගැටේ කසාගල රජ මහා විහාරයේදීත්, 26 සහ 27 දිනවල හිරිපිටිය ශ්‍රී ගුණරතනාරාම විහාරයේදීත් බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරෙන අතර, ඉන් අනතුරුව 28 වන දින උදෑසන වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන වෙත වැඩම කරවීමට නියමිතයි.

මෙම උතුම් අවස්ථාව සියැසින් දැක වන්දනා කර කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහා සෑ රඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායකවීමටත් සැදැහැ සිතැති ලක්වාසී ජනතාවට ඉන් අවස්ථාව සලසා දී තිබෙනවා ෴


මස්කෙළියේ බස් ගැටුමට මැදිවූ 9 දෙනෙකු රිමාන්ඩ්

(16.02.2024 – 09:13 +0530 – hirunews.lk/sinhala)

මස්කෙළියේදී ශ්‍රී ලංගම හා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ගැටුමට මැදිවූ 9 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඊයේ (15) මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණ අදාළ ලංගම බස් රථයෙන් යළි ගමන් කරමින් සිටි තරුණයින් හත්දෙනෙකු (7) සහ දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පෞද්ගලික බස් රථයේ රියදුරා හා එහි කොන්දොස්තරවරයායි.

පෙරේදා ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන නල්ලතන්නියේ සිට හැටන් බලා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථය මස්කෙළිය නගරයේ ඉන්ධන පිරවුම්හල අසලදී මගීන් පිරිසක් පටවා ගෙන තිබුණා.

ඊට මස්කෙළියේ සිට හැටන් බලා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයේ රියදුරා හා කොන්දොස්තරවරයා විරෝධය පළ කිරීමෙන් අනතුරුවයි අදාළ ගැටුම හටගෙන තිබුනේ.

එහිදී ලංගම බස් රථයේ වීදුරුවකට ගල් ප්‍රහාරයක් එල්ලවීමෙන් හානි සිදුවුණා.

ඉන් අනතුරුව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මස්කෙළිය පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කළ අතර එය මේ වනවිටත් ක්‍රියාත්මකයි ෴


පොල් තෙල්වලටත් රතු එළියක්?

(16.02.2024 – 08:43 +0530 – hirunews.lk/sinhala)

මෙරට වාර්ෂික පොල් තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 24,000 ක් වන අතර, එම අවශ්‍යතාව සපුරාලීමට දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොමැති බව මිනුවන්ගොඩ ප්‍රදේශයේ මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ පොල් තෙල් නිෂ්පාදකයෝ පවසනවා.

දේශීය නිෂ්පාදනය ගණන් බලා හිඟය පමණක් ආනයනය කර සමතුලිතතාවක් පවත්වා නොගතහොත් දේශීය පොල් තෙල් කර්මාන්තය කඩා වැටෙන්නේ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මේ වනවිට රටේ වාර්ෂික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 2800-3200 ක් වන අතර, ගෘහස්ථ පරිභෝජනයට ගතහොත් එය 70% ක් වනවා.

වගාකරුවාගෙන් පොල් ගෙඩියක් රුපියල් 70 ට මිලට ගෙන තෙල් සෑදීම කළහොත් තෙල් බෝතලයක් රුපියල් 600 ක් වන අතර, දැනට වෙළෙඳපළේ පොල් තෙල් බෝතලය රුපියල් 400–450 ත් අතර පවතින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴


Valentine දවසේ සිසුන්ගේ බෑග්වල තිබු චොකලට් ගුරුවරුන් කාලා

(16.02.2024 – 07:20 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසලක පසුගිය Valentine දිනයේ (14) සිසුන්ගේ බෑග්වල තිබු චොකලට් තොගය ගුරුවරු ආහාරයට ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් එම පාසලේ සිසුන්ගේ දෙමාව්පියන් චෝදනා එල්ල කරනවා.

එදින ගුරුවරුන් විසින් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමේ දී එහි තුළ තිබු චෝකලට් ගෙන ඇති බවයි සඳහන් වන්නේ ෴


වාරියපොළදී බිහිසුණු අනතුරක් : 12 දෙනෙක් රෝහලේ

(16.02.2024 – 18:41 +0530 – hirunews.lk/sinhala)

වාරියපොළ – කළුගමුව මාර්ගයේ බමුණාකොටුව ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුව තිබෙනවා.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ මෙම රිය අනතුර හේතුවෙන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි ෴


දැරියක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(17.02.2024 – 07:06 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 12 ක් වන මීගොඩ පාසල් ශිෂ්‍යාවක් අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි ඇයගේ ළඟම ඥාතීන් වන පිය පුතු දෙපළක් (2) සහ අසල්වැසි තරුණයකු බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම පසුගිය වර්ෂයේ (2023) දෙසැම්බර් මාසයේදී සිදුව ඇති අතර අදාළ දැරිය එය සඟවා ගෙන සිට ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම දැරිය ඇයගේ මවට සියල්ල පවසා ඇති අතර ඒ අනුව මව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි මෙම පුද්ගලයින් තිදෙනා (3) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

+++++++++

+


“වහාම ජනපති කොමිසමක් පත් කරන්න” “නැත්නම් කඩා වැටෙයි…” (16.02.2024)

+


අයිස් ක්‍රීම් කප් එකක තිබී මියගිය ගෙම්බෙක් හමුවෙයි

(16.02.2024 – 12:08 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ තොණ්ඩමානාරු සෙල්වචන්නිධි මුරුගන් කෝවිල අසල වෙළද සැලකින් ලබාගත් අයිස් ක්‍රීම් කප් එකක මියගිය ගෙම්බෙකු සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පාරිභෝගිකයා යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඊයේ (15) පැමිණිලි කර තිබෙනවා.

මේ දිනවල එම කෝවිලේ විශේෂ පූජාවන් පැවැත්වෙන අතර එම පූජාවක් සදහා පැමිණි බැතිමතෙකු මිලට ගත් අයිස්ක්‍රීම් කප් එකක මෙම මියගිය ගෙම්බා සිට ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු පැවසුවේ වෙළදසැලේ අයිතිකරුට ඒ පිළිබඳව දැන් වූ පාරිභෝගිකයා ඔහු ඉදිරියේ ඡායාරූප ගෙන සිද්ධිය සම්බන්ධයෙන් ලිපියක්ද ලබා ගෙන යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හමුවීමට ගොස් ඔවුන්ට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි.

පාරිභෝගිකයාගේ පමිණිල්ල සටහන් කරගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදාළ වෙළදසැල වෙත පැමිණ එම වෙළදසැලේ තිබූ එම වර්ගයේ සියළුම අයිස්ක්‍රීම් තොග සිය භාරයට ගෙන ඇති අතර අදාළ අයිස්ක්‍රීම් නිෂ්පාදන සමාගමට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *