නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි

නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි


නාරම්මලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලයි

(16.02.2024 – 16:22 +0530 – hirunews.lk/sinhala)

නාරම්මලදී සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිසියේ නිලධාරීයෙකු සිදු කළ වෙඩි තැබීමකින් මිය ගිය ලොරි රථ රියදුරුගේ බිරිඳ විසින් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඇය සිය පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් එල්ලකල වෙඩි පහරින් තම සැමියා මරණයට පත් වූ බවයි.

එමඟින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එහි වග උත්තරකරුවන් ලෙස නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන, පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා ෴

++++++++++

+


කටුනායක ගුවන් තොටුපළේ 2 වන පර්යන්තය ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට JICA සහාය

(16.02.2024 – 17:32 +0530 – hirunews.lk/sinhala)

ජයිකා සහන ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 145 ක වියදමින් 2020 දී ආරම්භ කළ කටුනායක ගුවන් තොටුපළේ දෙවැනි (2) පර්යන්තයේ ඉදිකිරීම් 2022 මාර්තු වන විට රට තුළ ඇති වූ ආර්ථික අර්බුධය හේතුවෙන් නවතා දැමුණා.

මෙම දෙවන (2) පර්යන්තයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ජපාන රජය සහ ජයිකා ආයතනය සමඟ පසුගියදා සාකච්ඡාවක නිරත වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස ජයිකා ආයතනයේ සභාපති අකිහිකෝ ටනාකා ඇතුළු නියෝජිතයින් පිරිසක් පෙබරවාරි 14 වැනිදා නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා හමුවී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාකර තිබෙනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය, උපකරණ සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් ජයිකා ආයතනය ලබා දෙන ණය මුදලට අමතරව තවත් ඩොලර් මිලියන 450 ක ප්‍රතිපාදනයක් අවශ්‍ය බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ.

දෙපාර්ශවය අතර පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ජයිකා ආයතනයේ සභාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනයක් පෙන්නුම් කරන බැවින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමෙන් පසු දෙවන (2) පර්යන්තය ඉදිකිරීමට ජයිකා ආයතනය සහාය දක්වන බවයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජයිකා ආයතනයේ සභාපති ටනාක අකිහිකෝ ඇතුළු නියෝජිතයින් කටුනායක ගුවන් තොටුපළේ දෙවන (2) පර්යන්තයේ දැනට සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය චාරිකාවකද නිරත වී තිබෙනවා ෴


පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකමින් යුත් විහාරස්ථාන 11 ක් පූජා භූමි ලෙස නම් කෙරේ

(16.02.2024 – 16:29 +0530 – hirunews.lk/sinhala)

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුතු විහාරස්ථාන 11 ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම අද (16) ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අනුරාධපුර – අඹගස්වැව පුරාණ රජමහා විහාරය, පුත්තලම – පොතුවටවන මහා විහාරය, අම්පාර – මුහුදු මහා විහාරය, ගම්පහ – මැද්දෙගම රජමහා විහාරය ඊට ඇතුලත් බවයි.

මීට අමතරව හම්බන්තොට – උද්ධකන්දර රජමහා විහාරය, ත්‍රිකුණාමලය ශ්‍රී සද්ධර්ම යුක්තික වන සෙනසුන, කුරුණෑගල – දඹදෙණිය විජය සුන්දරාරාම රජමහා විහාරය සහ ත්‍රිකුණාමලය ශාන්ති විහාරයද මෙලෙස පූජා භූමි ලෙස නම් කරනු ලැබුවා.

එමෙන්ම කුරුණෑගල – ඇඹව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානය සහ ගම්භාර සිද්ධ කඹලෑමුල් සූනියම් දේවාලය, ත්‍රිකුණාමලය යාන්ඔය රජමහා විහාරය සහ සාගරපුර සමුද්‍රගිරි වන සෙනසුනද මෙලෙස පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දැනට මෙරට පූජා භූමි 142 ක් ප්‍රකාශයට පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴


මාවනැල්ලේ බොක්සිං පංතියකට බඹර ප්‍රහාරක්

(16.02.2024 – 16:16 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල නගරයේ බොක්සිං පංතියකට සහභාගී වී සිටි ළමයින් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් 30 දෙනෙකු මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 10 ත් 12 ත් අතර ළමයින් පිරිසක් බව සඳහන්.

පංතිය පැවැත්වුණු ස්ථානය අසළ අත්හැර දමා ඇති මහල් 10 කින් පමණ යුත් ගොඩනැගිල්ලක සාදා තිබූ බඹර කූඩු ඇවිස්සීමෙනුයි මෙලෙස ළමයින් බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

එම අවස්ථාවේ ළමයින් 50 දෙනෙකු පමණ මෙම බොක්සිං පංතියට සහභාගී වී තිබුණා.

මාවනැල්ල මූලික රෝහලේ ප්‍රකාශයෙකු සඳහන් කළේ රෝහල්ගත කළ ළමයින්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ෴


කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (17) ජල සැපයුම අත්හිටුවයි

(16.02.2024 – 14:24 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ජල සැපයුම් මධ්‍යස්ථානයේ සිදු කෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක හෙට (17) ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ, කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට බවයි සඳහන් වන්නේ.

මෙම ජල සැපයුම අත්හිටු වන්නේ පස්වරු 5 සිට පැය 16 ක් දක්වා බවයි එම මණ්ඩලය පවසන්නේ ෴


තලෙයිමන්නාරම – තලෙයිමන්නාරම්තොට ප්‍රදේශයේදී දැරියක් දූෂණය කර ඝාතනය කරලා

(16.02.2024 – 14:06 +0530 – hirunews.lk/sinhala)

තලෙයිමන්නාරම – තලෙයිමන්නාරම්තොට ප්‍රදේශයේදී දූෂණය කර ඝාතනය කර ඇති බවට සැක කෙරෙන දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු 10 ක පමණ දැරියක් මෙසේ ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලීසිය පැවසූවේ දැරිය සිය නිවස ආසන්නයේ වෙළෙඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමකදී මෙම සිරුර සොයාගත් බවයි.

අදාළ සිරුර දැරියගේ නිවසෙන් මීටර් 300 ක් පමණ දුර ඉඩමක තිබී සොයා ගත් බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ සැකකරුවෙකු ද ගම්වාසීන්ගේ සහාය ඇතිව තලෙයිමන්නාරම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

+++++++

+


වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්‍යාල අඩස්සියට

(16.02.2024 – 13:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඒ එම රෝහලේ සුළු සේවක කාර්‍ය මණ්ඩලය විසින් ඔහුගේ කාර්‍යාලය අසල සිටිමින් විරෝධය දැක්වීම හේතුවෙන්.

පසුගියදා සිදුකළ වර්ජනයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට එරෙහිව අදහස් පළ කිරීමට විරෝධය පළ කරමින් මෙලෙස ඔහු කාර්‍යාල අඩස්සියට ගෙන ඇති බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

+

++++++++

+

++++++++

++++++++

+


හෙදියන්ට සුබ පණිවිඩයක්

(16.02.2024 – 13:42 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවකයින් සඳහා ‘ඩැට්’ දීමනාව ලබා දීම, නිලඇඳුම් දීමනාව ඉහළ දැමීම මෙන්ම අතිකාල ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා එකඟ වූ බව රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

කෙසේ වෙතත් උන්වහන්සේ පවසන්නේ එම දීමනා ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණය එළඹෙන 19 වැනිදා පැවැත්වෙන සකච්ඡාවකදී ගැනීමට නියමිත බවයි.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000 ක ‘ඩැට්’ දීමනාව ඉල්ලා වෘත්තිය සමිති 72 ක් එක්ව ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (15) අවසන් කෙරුණා.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වීමත් සමඟ එම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි වෘත්තීය සමිති නායකයින් පැවසුවේ.

කෙසේ වෙතත් මෙම වැඩවර්ජනය සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය එක් වූයේ නැහැ.

කෙසේ වෙතත් හෙද වෘත්තිය සමිති පසුගිය 05 වැනිදා සහ 06 වැනිදා නිල ඇඳුම වෙනුවට සාමාන්‍ය ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරනු ලැබුවා.

ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුමත කළ රුපියල් 10,000 ක දීමනාව ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින්.

+


පිටකොටුවේ වැසිකිළි ගැටලුව

(16.02.2024 – 12:59 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ ප්‍රධාන වැසිකිළිය භාවිතා කිරීමේදී අය කරන ගාස්තුව රුපියල් 50 ක දක්වා ඉහළ දමා ඇති බවට ජනතාව චෝදනා කරනවා.

අප කළ විමසීමකදී එහි පරිපාලන නිලධාරියෙකු සඳහන් කළේ ජල හා විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් ගාස්තු ඉහළ දැමීමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත්, ගාස්තු වැඩි කිරීම සදහා ඉල්ලීමක් ලැබුණ ද, ඊට මෙතෙක් අවසර ලබාදී නොමැති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

එහෙත්, ජනතාව චෝදනා කරන්නේ රුපියල් 20 ක්ව ඇති ගාස්තුව රුපියල් 50 ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

+++++++++

‘හිරු’ අනාවරණයෙන් පසු බැස්ටියන් මාවතේ වැසිකිළි ගාස්තුව අඩු වේ

(16.02.2024 – 20:04 +0530 – hirunews.lk/sinhala)

‘හිරු ප්‍රවෘත්ති’ කළ සවිස්තරාත්මක හෙළිදරව්වෙන් පසු පිටකොටුව, බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ ප්‍රධාන වැසිකිළිය භාවිතා කිරීමේදී අය කරන ගාස්තුව යලි සංශෝධනය කර තිබෙනවා.

එහි ගාස්තුව මීට දින කිහිපයකට පෙර සිට රුපියල් 50 ක් දක්වා ඉහල නැංවුනු අතර, මතු වූ ජනතා විරෝධය හමුවේ යලිත් වැසිකිලි ගාස්තු පහල නංවන ලෙස අදාල ටෙන්ඩර් හිමියාට ලිඛ්තව දැනුම්දීමට කටයුතු කල බවයි ජාතික ගමනාගමන කොමිශන් සභාව ප්‍රකාශ කළේ.

මෙම ගැටලු‍ව පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති අංශය’ අද (16) මධ්‍යාහ්න ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අවධානය යොමු කළා.

දිනපතා පිටකොටුවට පැමිණෙන සහ ඉන් පිටවන බොහෝ දෙනෙකු සිය සනීපාරක්ෂක කටයුතු සඳහා මෙම වැසිකිලිය භාවිත කරනවා.

ඔවුන් චෝදනා කලේ මෙම වැසිකිලිය භාවිතා කිරීමේ දී රුපියල් 20 ක්ව පැවති ගාස්තුව එකවර රුපියල් 50 දක්වා ඉහල දමා ඇති බවයි.

කෙසේ වෙතත් අප කළ සවිස්තරාත්මක අනාවරණයෙන් පසු අද (16) පස්වරුවේ සිට බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ ප්‍රධාන වැසිකිළිය භාවිත කිරීමේදී රුපියල් 20 ක ගාස්තුවම අයකර ගැනීමට එම ස්ථානයේ සිටින සේවකයින් කටයුතු කර තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *