ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත මකා දැමීම ගැන ඇමති අතට ලැබුණු තොරතුරු

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත මකා දැමීම ගැන ඇමති අතට ලැබුණු තොරතුරු


ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත මකා දැමීම ගැන ඇමති අතට ලැබුණු තොරතුරු

(15.02.2024 – 17:49 +0530 – sinhala.adaderana.lk)

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනයේ හඳුනාගත් මුලික කරුණු අද (15) සවස තමා වෙත ලැබුණු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ 2022 වසරේ තමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වෝහාරික පරීක්ෂණය සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට දන්වා තිබුණි බවය.

ඒ අනුව KPMG නම් අන්තර්ජාතික විගණන ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය විසින් අදාළ පරීක්ෂණය සිදුකර තිබුණි.

ඒ අනුව, 2010 වසරේ සිට තොරතුරු දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධති යෙදවුමෙන් මකා දමා හෝ වෙනස්කර ඇති බවද, ඉන් බහුතරය 2022 වසරේදී ඉන්ධන අර්බුදය ඇතිවූ අවස්ථාවේ සිදුවී ඇති බවද වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2022 වසරේ සිදුකළ පැමිණිල්ලට පසුව 2023 වසර වනවිට එම දත්ත මකා දැමීම් හෝ වෙනස් කිරීම් අඩුවීමක් ඇතිවී තිබෙන බවද ඉන් සඳහන් කර තිබේ.

2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් බිලියන 28 ක් වාර්තා කර ඇති බවත් එය 2023 වසර වන විට රුපියල් බිලියන 4 දක්වා අඩුවී ඇති බවද පැවසෙයි.

පැරණි චක්‍රලේඛ සහ රෙගුලාසි මත මෙහෙයුම් සිදුවන බව සහ ප්‍රමාණවත් දත්ත සහ තොරතුරු නොමැති බවද නිරීක්ෂණය වී ඇත.

මෙහි සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව එළඹෙන සතියේදී KPMG ආයතන විසින් ලබාදීමට නියමිතය.

පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට සහ අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන අතර මෙම වාර්තාව ඉදිරි අවශ්‍ය කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලයටද, පාර්ලිමේන්තුවටද, විගණකාධිපති දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි ෴


රටින් පළා ගිය අපරාධකරුවන් 42 කට රතු නිවේදන

(15.02.2024 – 10:54 +0530 – sinhala.adaderana.lk)

පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ ව මෙරටින් පැන ගිය අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42 ක් මේ වන විට නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට නව පොලිස් මුරපොළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ඉදිරියේ දී ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇති ව මෙම රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් මෙරටට ගෙන්වීමට නියමිත බව ද ඔහු පැවසීය.

අද (15) උදෑසන මෙරටට රැගෙන ආ ‘කුඩු සලිඳු’ගේ ප්‍රධාන ගෝලයාගෙන් ද මෙරට කුඩු ජාවාරම පිළිබඳ ප්‍රශ්න කර තොරතුරු ලබා ගැනීමට නියමිත බව වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.

එසේම පාතාල නායක ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට දැරූ අසාර්ථක උත්සාහයට සහාය දුන් පොලිස් නිලධාරියා ද කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ඔහු පැවසීය.

ඒ සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගන්නා බව ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.

මේ අතර, ‘යුක්තිය මෙහෙයුම’ ද නොනවත්වා ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පතිවරයා අවසන් වරට ප්‍රකාශ කළේ ය ෴


ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු පිටුවහල් කෙරේ

(15.02.2024 – 10:05 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු ඇතුළු විදේශිකයන් 186 දෙනෙකු පිටුවහල් කිරීමට මාලදිවයින රජය තීරණය කර තිබේ.

වීසා උල්ලංඝනය කිරීම් සහ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පිරිසක් මෙලෙස එරටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.

පිටුවහල් කෙරෙන පිරිස අතරට ශ්‍රී ලාංකිකයන් 25 දෙනාට අමතර ව බංග්ලාදේශ ජාතිකයන් 83 දෙනෙකු, ඉන්දීය ජාතිකයන් 46 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 08 දෙනෙකු වන බව සඳහන් වේ.

කෙසේ වෙතත් අදාළ විදේශිකයන් පිරිස පිටුවහල් කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වේ ෴


වසරක් තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 10,000 ක්

(15.02.2024 – 06:55 +0530 – sinhala.adaderana.lk)

ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 10,000 කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරිය’ වෙත ලැබී තිබේ.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,434 ක් ලැබී ඇති බවය.

ළමයින් ක්‍රෑරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2,242, ලිංගික අතවරයට ලක් කිරීම් සම්බන්ධ පැමිණිලි 472 ක්, බරපතළ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 404 ක්, ගැහැනු ළමුන් දූෂණය කිරීම් සම්බන්ධ පැමිණිලි 51 ක් සහ අසභ්‍ය පළ කිරීම්වලට ළමුන් යොදා ගැනීම් සම්බන්ධ පැමිණිලි 06 ක් ඒ අතර වන බව සඳහන්ය.

ඊට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම, ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම්, ගෘහස්ථ හිංසනය මඟින් පීඩාවට පත් කිරීම්, නොසලකා හැරීම, පැහැරගෙන යාම, තුවාල සිදුකිරීම, ළමුන් අලෙවිකිරීම, පාසල් අධ්‍යාපනය ලබානොදීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේය.

2022 වසරේ දී ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 7,466 ක් ලැබී තිබිණි.

මෙම ළමා අපයෝජන පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට අදාළ අංශ වෙත යොමුකර ඇති බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේය.

මීට අමතරව ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා දැනට පවතින ඇතැම් නීති සංශෝධනය කිරීමට ද සාකච්ඡා සිදුකරමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් ක‍ළේය ෴


ඔන්ලයින් පනත වෙනස් කරන්නේ මෙහෙමයි (15.02.2024)

+


ඖෂධ වංචාව සිදුවූ හැටි හෙළිවෙයි… කෙහෙළියගේ භූමිකාව අධිකරණයේදී දිගහැරේ (15.02.2024)

+++++++

කෙහෙළියට උඩින් හිටපු මහ හොරා තවම එළියේ. ළගදිම ඇතුලට දාන සෙට්එක මෙන්න. (15.02.2024)

+


වෛද්‍ය බෙල්ලනගෙන් කුමුදේශ්ලට නෝන්ඩියක් | දැන් ඉතින් එයාලට අබසරණ තමයි | බෙල්ලන සෞඛ්‍ය වර්ජනය කුජීත කරයි (15.02.2024)

+


37 වසරකට පසු පළාත් සභාවෙන් පොලිස් බලතල ඉවත් කිරීමේ සූදානමක් – පාර්ලිමේන්තුවේ විශේෂ පරීක්ෂාවක් සූදානම් (15.02.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *