‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්..’ – ඇමති හරීන්

‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්..’ – ඇමති හරීන්


‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්..’ – ඇමති හරීන්

(14.02.2024 – 09:20 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාව ජීවත්වීම මුම්බාහි ජීවත්වීමට වඩා ලාභදායි බවත් තමන් නම් මුම්බායි දේපල විකුණා ශ්‍රී ලංකාවේ පදිංචි වන බවත් ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවත් සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ ඉන්දියාවේදී පැවති සමුළුවක් අමතමිනි.

“ඉන්දියානු සමාගම් දැන් අපේ ගුවන්තොටුපල භාර ගන්නවා. ඔවුන් අපේ ගුවන්තොටුපළ තුනක් (3) කළමනාකරණය කරනවා. මේ තීරණය අපිට උපකාර වන්නක්.

අපේ තෙල් ටැංකිත් ඉන්දීය සමාගම් බාරගෙන තිබෙනවා. අපට සූර්ය බල ශක්තියත් ලබා දෙන්නේ ඉන්දියානු සමාගම්.

මෙය මා හිතන විදිහට ඉන්දියානු විදේශ කටයුතු ඇමතිවරයා ලංකාවේ සංචාරය කරන්නයි පැවසීමට එක් හේතුවක් වන්නට ඇති. මොකද ශ‍්‍රී ලංකාවත් ඉන්දියාවේ කොටසක්.

ඇත්ත වශයෙන්ම ලංකාවේ අවස්ථා බොහොමයක් තිබෙනවා. මම ඔබ වූවානම් මුම්බාහි දේපළ විකුණා ලංකාවේ පදිංචි වෙනවා. මෙහි ජීවත්වීම ඉතා ලාභදායකයි”.

+

+

+

+


මාදුරු ඔයේ මහා පරිමාණ වැලි ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

(14.02.2024 – 23:28 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මාදුරු ඔයේ කලක පටක් සිදු කරගෙන ගිය මහා පරිමාණ වැලි ජාවාරමක තොරතුරු හෙළි වී තිබෙනවා.

රජයට අති විශාල ආදයමක් අහිමි කරමින් මෙම ජාවාරම සිදු කෙරෙන්නේ බලපත්‍රලාභී වැලි කැණීම් සමාගම් මෙන්ම මහවැලි අධිකාරියේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අනුදැනුම මත බවයි වාර්තා වුණේ.

මාදුරු ඔය රක්ෂිතයේ පොළොන්නරුව සහ මඩකළපුව දිස්ත්‍රික් මායිමේ නිධන්වල ප්‍රදේශය ආශ්‍රිතව මාදුරු ඔය දකුණු ඉවුර ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

එම ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් ස්ථානවල වැලි නිධි කැණීම සඳහා පතල් හා කැණීම් කාර්යංශය 2020 වර්ෂයේදී සමාගම් 4 කට බලපත්‍ර ලබාදී තිබුණා.

කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා මෙම බලපත්‍රවලට මුවාවී මහා පරිමාන වැලි ජාවාරමක් සිදුකරන බවට පතල් හා කැණීම් කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට තොරතුරක් ලැබුණා.

එම නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මාදුරු ඔය රක්ෂිතයේ විශේෂ වැටලීමක් සිදු කළේ ඒ අනුවයි.

බලපත්‍ර කොන්දේසි පවා කඩ කරමින් රාත්‍රී කාලයේ වැලි ගොඩදමා ට්‍රැක්ටර් රථවලට පටවමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් සමත් වුණා.

පසු දින සිදු කරන ලද වැඩිදුර විමර්ශණ වලදී හෙළි වුයේ බලපත්‍ර නොමැතිව මාදුරු ඔයේ වැලි කැණීම් සිදු කරන ජාවාරම් කරුවන් එම වැලි අලෙවි කරන්නේ බලපත්‍ර සහිත වැලි ගබඩාවලට බවයි.

මීට අමතරව මහවැලි අධිකාරියේ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අනු දැනුම මත මෙම අනවසර වැලි තොග පිටතට ප්‍රවාහනය කරන බවත් එහිදී හෙළි වුණා.

මහවැලි අධිකාරීයට අයත් ඉඩම්වල කණින ලද වැලි ප්‍රවාහනය කිරීමේදී ආරක්ෂක අංශ මඟින් සෑම ටිපර් රථයකටම රිසිට්පතක් නිකුත් කළ යුතුව තිබෙනවා.

නමුත් රිසිට්පත් නිකුත් නොකර රුපියල් 1000 ක මුදලක් ලබාගෙන හොර රහසේ ටිපර් රථ පිටතට යවන බවයි ලිපි ලේඛන පරීක්ෂාවේදී තහවුරු වුණේ.

පතල් හා කැණීම් කාර්යංශය විසින් ලබාදී ඇති බලපත්‍ර කොන්දේසිවලට පටහැනිව වැලි ප්‍රවාහනය කරන බවද මෙහිදී අනාවරණය වුණා.

මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ සියලු පාර්ශවයන් වෙත නීතිය ක්‍රියාත්මකවන ආකාරය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අවධානයෙන්.

+


පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවන්ට වස දුන් හැටි ගැන කරුණු හෙළිවෙයි

(14.02.2024 – 22:41 +0530 – hirunews.lk/sinhala)

ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට (2) විෂ මිශ්‍ර ආහාර සහ කිරි ලබාදීමේ සිද්ධියක් පසුගිය 07 වැනිදා වාර්තා වුණා.

එලෙස පොලිස් සිර මැදිරිය තුළදී වස දී තිබුණේ ඉකුත් මස 23 වැනිදා ජින්තුපිටිය ප්‍රදේශයේදී ‘ධනුෂ් රාජ්’ නමැති පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකුට (2) යි.

මෙම වස ලබාදීමේ මෙහෙයුමේ සංවිධානාත්මක සැලැස්ම හඳුනාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශය සමත් ව තිබෙනවා.

එය දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ‘පළනි රිමෝෂන්’ නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ .

ඔහු විසින් මෙම මෙහෙයුම පුද්ගලයින් කිහිපදෙනෙකු වෙත පවරා තිබූ අතර ඔවුන්ගෙන් බහුතරයක්ම මෙම මෙහෙයුමේ මූලික අරමුණ දැන නොසිටීම ද විශේෂත්වයක්.

දැනට කරන ලද විමර්ශනවලට අනුව ‘පළනි රිමෝෂන්’ගේ මෙහෙයවීම මත, කොටහේන ප්‍රදේශයේ වෙළෙඳ සැලකින් මාලු පාන් සහ කිරි පැකැට්ටුව මිලදි ගෙන තිබුණේ එක් පුද්ගලයෙක්.

පසුව ඔහු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නා තවත් පුද්ගලයෙකුට එම කිරි පැකැට්ටුව ලබා දී තිබෙනවා.

ඔහු එය රැගෙන කොටහේන ජම්පටාවීදියට පැමිණෙනවා.

ජම්පටාවීදියේදි එම ආහාර සහිත කිරි පැකැට්ටුව ඔහු විසින් ‘මධූෂන්’ නමැති පුද්ගලයාට ලබාදී තිබෙනවා.

ඒවා ලබාගත් ඔහු ත්‍රිරෝද රථයකින් ආදුරුප්පුවිදිය පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි මෙම ෆාමසියට පැමිණ තිබු අතර, එහිදි ඔහු විසින් රුපියල් පන්දහසක මුදලක් මාරුකරගන්නා අයුරු ද එහි දැක්වෙනවා.

එම රුපියල් පන්දහසේ මුදල ඔහුට ලබාදි ඇත්තේ ‘රංග’ නමැති මෙම පුද්ගලයා විසිනුයි.

පොලිසිය පැවසුවේ ‘පළනි රිමෝෂන්’ගේ දැනුම්දීමකට අනුව ඔහු විසින් එම මුදල ඔහුට දී තිබූ බවයි.

පසුව ‘මධූෂන්’ නමැති පුද්ගලයා විසින් එම ආහාර සහ කිරි පැකැට්ටුව පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනාට (2) ලබා දි තිබුණේ එය ‘සින්න‍යියා’ විසින් ලබාදුන් බව පවසමින්.

‘සින්නයියා’ ලෙස ඔවුන් හඳුන්වා ඇත්තේ මෙම අපරාධය සැලසුම්කළ ‘පළනි රිමෝෂන්’ නමැති පුද්ගලයායි.

එම විෂ සහිත කිරි පැකැට්ටුව ලබාදීමෙන් අනතුරුව ‘මධූෂන්’, ‘විනෝද්’ ලෙස හඳුන්වන පුද්ගලයෙකු සිටි නිවසට ගොස් සිය ඇදුම් මාරුකරගෙන ඇති අතර, පසුව ‘විනිත්’ සහ ‘අසීස්’ ලෙස හඳුන්වන මෙම පුද්ගලයින් දෙදෙනා (2) සමඟ ත්‍රිරෝද රථයකින් ගොස්, බස් රථයකින් හංවැල්ල දෙසට ගොස් ඇති බවද මේ වන විට අනාවරණ කරගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනවලින් අනාවරණ කරගෙන ඇත්තේ මෙම මෙහෙයුම දියත් කළ ‘පළනි රිමෝෂන්’, ‘කුඩු සෙල්වි’ නමින් හඳුන්වන තැනැත්තියගේ පුත්‍රයා බවයි.

ජින්තුපිටිය ප්‍රදේශයේදි ඉකුත් මස (2024-01) විසි තුන්වැනිදා (23) ‘ධනුෂ් රාජ්’ නමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව ද ලබාදි ඇත්තේ ද ‘පළනි රිමෝෂන්’ බව ද හෙළි වී තිබෙනවා.

මියගිය ‘ධනුෂ් රාජ්’ කලක් ‘පළනි රිමෝෂන්’ සමඟ එක්ව කුඩු ජාවාරමේ යෙදි ඇති අතර, ඔහුගෙන් වෙන්ව විදේශගතවීමට සැලසුම් කිරීම හේතුවෙන් ‘පළනි රිමෝෂන්’ ඔහුව ඝාතනය කිරීමට පියවර ගෙන ඇති බවත් දැනට කරන ලද විමර්ශනවලින් අනාවරණ වි තිබෙනවා.

අදාළ ඝාතනය සඳහා ඔත්තු බැලීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ‘ලක්ෂිත’ නැමැත්තා එම ඝාතන ප්‍රයත්නය ගැන ‘ධනුෂ්’ දැනුවත් කිරීම හේතුවෙන් ‘පළනි රිමෝෂන්’ ඔහුව ඝාතනය කිරීමේ අරමුණින් විෂ සහිත කිරි පැකට් සිරමැදිරියට යවන්නට ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කිරි පැකැට්ටුව සිරමැදිරියට ලබාදුන් පුද්ගලයා සහ පළමුව කිරි පැකැට්ටුව වෙළෙඳ සැළෙන් මිලදී ගත් පුද්ගලයා සොයා පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා.

+


කඳාන නගරය ආශ්‍රිතව සැරිසැරූ අබිරහස් කාන්තාව ගැන හෙළිවෙයි

(14.02.2024 – 22:09 +0530 – hirunews.lk/sinhala)

මරියා තුමියට සමාන ස්වරූපයෙන් කඳාන නගරය ආශ්‍රිතව රාත්‍රී කාලයේ සැරිසරන නාඳුනන කාන්තාවකගේ දර්ශණ ඇතුළත් වීඩියෝ රැසක් පසුගිය දින කිහිපය පුරා සමාජයේ වඩාත් කතා බහට ලක් වුණා.

අදාළ කාන්තාවගේ අනන්‍යතාව සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී කඳාන පොලිසිය සඳහන් කළේ.

සුදු පැහැති ඇඳුමකින් සැරසී රාත්‍රී කාලයේදී කඳාන නගරය තුළ සැරිසැරූ මෙම කාන්තාව සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා සමාජය තුළ දැඩි කතාබහකට ලක්වුණා.

විදෙස් කාන්තාවක බවට සැකකළ හැකි ඇය මරියා තුමියගේ ස්වරූපය නිරූපණය කරන බවද ඇතැමුන් පැවසුවා.

ඒ අනුව ඇගේ අනන්‍යතාවය සම්බන්ධයෙන්ද සමාජය තුළ පැවතියේ දැඩි කුතුහලයක්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කඳාන පොලිසියෙන් විමසීමක් සිදුකළේ ඒ අනුවයි.

පොලිසිය සඳහන් කළේ ඇය රුසියානු ජාතික කාන්තාවක් බව, සිදුකළ පරීක්ෂණවලදී හෙළි වූ බවයි .

ඇය මෙරටට පැමිණ බෞද්ධ දර්ශණයේ පවතින භාවනා ක්‍රම සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු වල නිරත වන බවටද පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

ඇය කතෝලික ආගමේ කාන්තාවක් වුවද බෞද්ධ දර්ශණය සම්බන්ධයෙන් ඇති ළැදියාව මත ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවත් ඒ අතරතුර කඳාන ප්‍රදේශයේ පිහිටි කතෝලික පල්ලියක් වෙත යමින් සිටියදී රූ ගත කළ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

+


යාපනය – ඉනුවිල් දුම්රිය හරස් මාර්ගයක සිදු වූ බිහිසුණු අනතුරකින් මාස 6 ක බිළිඳෙකු සහ පියා ජීවිතක්ෂයට

(14.02.2024 – 21:00 +0530 – hirunews.lk/sinhala)

යාපනය – ඉනුවිල් දුම්රිය හරස් මාර්ගයකදී අද (14) පස්වරුවේ වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් මාස 6 ක බිළිඳෙකු සහ පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.

දුම්රිය හරස්මාර්ගය හරහා ධාවනය කල වෑන් රථය අනුරාධපුරයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම බිහිසුණු අනතුර සිදුව තිබෙනවා.

වෑන් රථයේ රියැදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වූ බවයි පොලීසිය සඳහන්කර සිටියේ.

++++++++

++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *