වෘත්තීය සමිති 72 ක සෞඛ්‍ය සේවකයන් යළි වර්ජනයේ

වෘත්තීය සමිති 72 ක සෞඛ්‍ය සේවකයන් යළි වර්ජනයේ


වෘත්තීය සමිති 72 ක සෞඛ්‍ය සේවකයන් යළි වර්ජනයේ

(13.02.2024 – 07:41 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන්දහසක (35,000) ‘ඩැට් දීමනාව’ තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අද (13) උදෑසන 06:30 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළා.

පරිපූරක, අතුරු වෛද්‍ය, හෙද ඇතුලු වෛද්‍ය වෘත්තීය සමිති 72 ක නියෝජිතයන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.

පසුගිය හයවනදා (06) මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ අදාළ වෘත්තිය සමිති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී කමිටුවක් පත් කෙරුණේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාල වෘත්තීය සමිති ඉල්ලා සිටින දීමනාව කුමන ප්‍රමාණයකින් ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහායි.

ඒ අනුව එම කමිටුව සහ වෘත්තීය සමිති ඊයේ පළමුවරට මුදල් අමාත්‍යාංශයේදී හමුවූ අතර එහිදී තම ඉල්ලීම්වලට සාධාරණ විසදුම් ලබාදීමට ඔවුන් අපොහොසත් වූ බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ.

මේ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගයට ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සභාපතිත්වය දැරූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහය පළ කරනවා.

කෙසේ වෙතත් තම සංගමය වර්ජනයට එක් නොවන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියේ ෴

+++++++++

+++++++++++

(13.02.2024 – 11:02 +0530 – hirunews.lk/sinhala)

පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් දියත් කර ඇති වර්ජනය හමුවේ රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර සඳහන් කළේ රෝහල් 37 ක් සඳහා යුද හමුදා භටයින් 800 ක් යොදවා ඇති බවයි.

එමෙන්ම, ගුවන් හමුදාවේ භට පිරිස් 200 කට වැඩි පිරිසක් සහ නාවික හමුදා භට පිරිස් ද රෝහල් සඳහා යොමුකර තිබෙනවා.

අවශ්‍යතාවය අනුව රෝහල් සඳහා තවත් භට පිරිස් යෙදවීමට කටයුතු කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴


NMRA අධ්‍යක්ෂ නීතීඥ මනෝජ් ගමගේ සහ තවත් දෙදෙනෙක් (2) ධුරවලින් ඉල්ලා අස්වෙයි

(13.02.2024 – 11:55 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතීඥ මනෝජ් ගමගේ අද (13) දිනයේ සිට සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පිටු 05 ක ලිපියක් මඟින් දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

තමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකුව සිටින කාලයේදී ආයතනයේ උන්නතිය වෙනුවෙන් නීතිඥයෙකු ලෙස හැකි උපරිමයෙන් කටයුතු කළ අතර, අධ්‍යක්ෂවරයෙකු ලෙස ආයතනය තුළ පැවති අඩුපාඩු ගණනාවක් සම්පුර්ණ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස නිසි තීන්දු තීරණ ගත් බවයි එම ලිපියේ ඔහු සඳහන්කර ඇත්තේ ෴

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තවත් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු (2) ඉල්ලා අස්වී තිබෙනවා ෴

++++++++

+


ඔන්ලයින් පනතට සංශෝධන කිහිපයක් සිදුකිරීමට අවසර

(13.02.2024 – 12:16 +0530 – sinhala.adaderana.lk)

ඔන්ලයින් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

+


ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

(13.02.2024 – 12:44 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුල පවත්වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

වත්මන් කාල රාමුවට අනුව මහමැතිවරණය ලබන වසරේදී (2025) පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ.

ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය ප්‍රතිපාදන මගින් ලබාදීමට නියමිත බව සඳහන්.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර, අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමග සම්බන්ධ වී කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා ෴


දහම් පාසල් විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

(13.02.2024 – 13:58 +0530 – hirunews.lk/sinhala)

වාර්ෂිකව පැවැත්වෙන දහම් පාසල් ශ්‍රේණි විභාගය ලබන 18 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඊට අදාළ කාල සටහන අදාළ දහම් පාසල් ප්‍රධාන ආචාර්යවරුන් වෙත යොමුකර ඇති බව සඳහන්.

දහම් පාසල් ශ්‍රේණි විභාගය සඳහා ශාලාධිපතිවරුන් පත් කිරීම හා විභාග ඇගයීම් කටයුතු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි භික්ෂුන් වහන්සේලාගේ අධීක්ෂණය යටතේ සිදුවනු ඇති ෴


‘කෘතිම බුද්ධිය’ පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

(13.02.2024 – 14:16 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන පද්ධතියට ‘කෘතිම බුද්ධිය’ පිළිබඳව පාඨමාලා හඳුන්වා දීම සඳහා වන නියමු ව්‍යාපෘතියයට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙම නියමු ව්‍යාපෘතිය Microsoft ආයතනයේ ද සහය ඇතිව ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.

ඒ, තාක්ෂණ ආමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අනුවයි.

‘කෘතිම බුද්ධිය’ පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සම්බන්ධයෙන් ඊයේ (12) වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇති බව සඳහන් වෙනවා.

මෙම පාඨමාලාව කාර්ය සාධක බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන්ට අනුගතව පාඨමාලා හඳුන්වා දීම සුදුසු බවට තීරණය කර තිබෙනවා ෴


ගම්මාන රැසක් භීතියට පත් කරමින් උග්‍ර විෂ සහිත කුහුඹු විශේෂයක් මතුවෙයි

(13.02.2024 – 14:18 +0530 – hirunews.lk/sinhala)

ඌවපරණගම – බඹරපාන ඇතුළු ගම්මාන කිහිපයක පැතිරෙන ‘කොඩයා’ නමැති කුහුඹු විශේෂය හේතුවෙන් ගම්වාසීන් අපහසුතාවයට පත්ව සිටිනවා.

ගම්වාසීන් පෙන්වා දෙන්නේ ගම්මිරිස්, පොල්, පුවක් ආදී ගස්වල මෙම කුහුඹුවන් ගොටු බඳින බැවින් අස්වනු නෙළන අවස්ථාවේදී එම කුහුඹුවන්ගේ සපාකෑම්වලට ලක්ව තමන් චර්ම රෝගවලට ද ගොදුරු වන බවයි.

‘කොඩයා’ නමැති මෙම කුහුඹු විශේෂය හේතුවෙන් ඌවපරණගම – බඹරපාන, කන්දේකුඹුර, හළාඹ, මැදි පොකුණ ආදී ගම්මාන කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙනවා.

දේශීය වෛද්‍ය බී.එම්.කේ. බස්නායක ප්‍රකාශ කළේ මෙම කුහුඹු විශේෂය උග්‍ර විෂ සහිත බවයි.

ගම්මිරිස්, පොල්, පුවක් ඇතුළු බෝගයන්හි අස්වනු නෙළීමේදී මෙම කුහුඹු විශේෂය දෂ්ට කිරීම හේතුවෙන් ජනතාව චර්ම රෝගයන්ට ද ගොදුරු වී තිබෙනවා ෴


අටලුගම දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුට වසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

(13.02.2024 – 14:37 +0530 – hirunews.lk/sinhala)

මීට වසර දෙකහමාරකට (2½) පෙර පානදුර – අටලුගම ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියක් මඩේ ගිල්වා ඝාතනය කිරීමේ චෝදනාවට වරඳ පිළිගත් සැකකරුට පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර විසින් බරපතළ වැඩ සහිත වසර 27 ක සිරදඩුවම් නියම කර තිබෙනවා.

මියගිය දැරියගේ මවට රුපියල් ලක්ෂ 30 ක වන්දි මුදලක් ගෙවන ලෙසයි එහිදී විනිසුරුවරයා නියෝග කළේ.

එය නොගෙවන්නේ නම් වසර හයහමාරක (6½) ලිහිල් සිර දඬුවම් ද සැකකරුට නියම කෙරුණා.

2022 වසරේ මැයි මස 28 වනදා දැරිය නිවස ආසන්නයේ වෙළඳසැලකට ගොස් යළි පැමිණෙන අතරතුර අපයෝජනය කිරීමේ අරමුණින් ඇයව රවටා අවට පිහිටි ළඳු කැළෑවකට ගෙන ගොස් දූෂණය කිරීමට මොහු උත්සාහ කර තිබුණා.

කෙසේ වෙතත්, දැරිය එම අවස්ථාවේ කෑ ගැසීම හේතුවෙන් බියට පත්වූ සැකකරු ඇයව මඩ වගුරක ඔබා ඝාතනය කර ඇති බවයි හෙළිවුණේ.

+


පොතුපිටියේදී මෝටර් රථයක් ගිනි ගනී

(13.02.2024 – 15:28 +0530 – hirunews.lk/sinhala)

ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේදී හදිසි ගිනි ගැනීමට ලක් වී තිබෙනවා.

ගින්නෙන් එහි රියැදුරුට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි සඳහන් වන්නේ.

මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා.

++++++++

+


අලු‍තින් විදුලි සැපයීමක් ලබාදීමේදී අය කරන තැන්පතු මුදලට පොලියක්

(13.02.2024 – 15:59 +0530 – hirunews.lk/sinhala)

අලු‍තින් විදුලි සැපයීමක් ලබාදීමේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොලියක් ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (13) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නව විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලි බල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් වෙනුවෙන් 2023 වසර සඳහා 11.67% ක වාර්ෂික පොලියක් ගෙවීමට සූදානම් බව දැනුම් දුන්නා.

එම පොලිය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් කටයුතු කරන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා ෴


යල කන්නයේ වගා කටයුතු ගැන කෘෂිකර්ම අමාත්‍යංශ‍යෙන් විශේෂ නිවේදනයක්

(13.02.2024 – 16:20 +0530 – hirunews.lk/sinhala)

මෙවර (2024) යල කන්නයේ වගා කටයුතු මාර්තු අවසන් සතිය සහ අප්‍රේල් පළමු සතිය අතර කාලයේදී ඇරඹෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

පළමු අදියර ලෙස එම කාලය තුළ වී වගාවට ජලය මුදා හැරෙන බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම අප්‍රේල් 03 වන සතියේ සිට අනෙකුත් භෝග සඳහාත් ජලය මුදා හැරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴


‘අස්වැසුම’ දෙවැනි (2) අදියර සඳහා අයඳුම්පත් කැඳවීම අනිද්දා (15) සිට

(13.02.2024 – 16:26 +0530 – hirunews.lk/sinhala)

‘අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ’ දෙවැනි (2) අදියර සඳහා අයදුම්පත් කැඳවීම අනිද්දා (15) අරම්භ කරනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කළේ අස්වැසුම පිළිබඳව පළාත් අණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේදී අද (13) පැවති වැඩසටහනකට එක් වෙමින්.

පළමු (1) අදියරේ දුර්වලතා මගහරවා ගැනීම තුළින් දෙවැනි (2) අදියර අවසන් වන විට ලක්ෂ 24 කට ‘අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ’ ලබා දීමට නියමිතයි.

එසේම ඕනෑම තරාතිරමක අයෙකුට ඊට අයදුම්පත් යොමු කළ හැකි වනවා.

‘අස්වැසුම’ (2) දෙවැනි අදියරේ ගෙවීම් ලබන ජුලි මස සිට ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා රුපියල් බිලියන 205 ක මුදලක් වෙන් කර ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළා ෴


13.02.2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *