සනත් නිශාන්ත අනතුරට ලක්වන මොහොතේ කිසිම වාහනයක් ජීප් රථයට ඉස්සර කර නෑ – රියැදුරුගේ ප්‍රකාශ ගැන යළිත් තදබල සැකයක්

සනත් නිශාන්ත අනතුරට ලක්වන මොහොතේ කිසිම වාහනයක් ජීප් රථයට ඉස්සර කර නෑ – රියැදුරුගේ ප්‍රකාශ ගැන යළිත් තදබල සැකයක්


සනත් නිශාන්ත අනතුරට ලක්වන මොහොතේ කිසිම වාහනයක් ජීප් රථයට ඉස්සර කර නෑ – රියැදුරුගේ ප්‍රකාශ ගැන යළිත් තදබල සැකයක්

(13.02.2024 – dinamina.lk)

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මරණයට පත් කරමින් කටුනායක අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ දී ඔවුන් ගමන් කරමින් සිටි වාහනයට වෙනත් කිසිදු වාහනයක් ඉස්සර කර නොමැති බව ඒ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශනවලින් තහවුරු වී ඇත.

සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාගේ වාහනයේ රියදුරු පොලිසියට පවසා තිබුණේ ඔවුන් ගමන් ගත් වාහනය කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යමේ දී පිටුපසින් වේගයෙන් පැමිණි සුදු පාට මෝටර් රථයක් තමන් පදවමින් සිටි රථය ඉස්සර කිරීමේදී අනතුරක් වළක්වා ගැනීම සඳහා රථය වමට කපන අවස්ථාවේ දී කන්ටේනර් රථයේ ගැටී මෙම අනතුර සිදුවූ බවයි.

මෙම ප්‍රකාශය මුල්කරගෙන අපරාධ පරික්ෂණ දෙපාර්ථමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එදින එම අනතුර සිදුවූ කාල වකවානුව තුළ අධිවේගී මාර්ගයේ ගමන් කළ වාහන සම්බන්ධයෙන් ආරක්ෂක කැමරා දර්ශන කිහිපයක්ද උපයෝගී කරගෙන පරික්ෂා කිරීමක්ද සිදුකර ඇත. එහිදී පෙනී ගොස් ඇත්තේ අනතුර සිදුවූ කාල පරාසය තුළ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර ඇත්තේ එකම සුදු පැහැති මෝටර් රථයක් බවයි. එම රථයද ජා-ඇළ පසුකරමින් කොළඹ දෙසට ගමන් කර ඇත්තේ අනතුරු සිදුවීමට බොහෝ වෙලාවකට පෙර බව නිරීක්ෂණය වී ඇත. එම මෝටර් රථයේ රියදුරු හඳුනාගෙන ඔහුගෙන්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එම රියදුරා පවසා ඇත්තේ තමා සාමාන්‍ය වේගයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කළා මිස අධික වේගයෙන් වාහනය ධාවනය නොකළ බවය. තමා වාහනය ධාවනය කරන කාල පරාසය තුළ රිය අනතුරක් හෝ එවැනි සිදුවීමක් සිදූ නොවූ බව ද ඔහු පවසා ඇත.

ඒ අනුව සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයා ගමන් කළ මෝටර් රථයේ ගැටණු කන්ටේනර් රථයේ රියදුරුගෙන් ඊයේ (12) පැය පහක පමණ කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එහිදී එම රියදුරුද පවසා ඇත්තේ අනතුර සිදුවූ අවස්ථාවේදී සුදු පැහැති හෝ වෙනත් කිසිදු මෝටර් රථයක් කන්ටේනර් රථය ඉස්සර කර මින් ගමන් කළ බව තමන්ගේ මතකයේ නැති බවය. ඔහුට මතකයේ ඇත්තේ පිටුපසින් වේගයෙන් පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා පැමිණි වාහනය කන්ටේනරයේ පිටුපස කොටසේ ගැටී සිදුවූ අනතුර පමණි. දීර්ඝ වශයෙන් කන්ටේනර් රථ රියදුරුගෙන් ලබා ගත් ප්‍රකාශවලින් ද පෙනී ගොස් ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ දී වෙනත් රථයක් රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ මෝටර් රථය ඉස්සර කිරීමට නොගොස් ඇති බවය.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිය නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් කරමින් සනත් නිශාන්ත මහතාගේ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා තිබූ අතර එම පැමිණිල්ලද මෙම විමර්ශන කිරීමට හේතුවක් වී ඇත ෴


දුරකථන භාවිත කරන ඔබට විශේෂ නිවේදනයක්… “ඔබේ සිම්පතට වගකිව යුතු ආරක්ෂාවක් තිබේද ?”

+


පන්නිපිටියේ නිමි ඇඳුම් ගබඩාවක් ගින්නෙන් අළු – වතුර නැතිවීමෙන් ගින්න පැතිරිලා

(13.02.2024 – dinamina.lk)

පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට අයත් රෙදිපිළි ගබඩාවක (12) අලුයම ඇතිවූ ගින්නකින් ගබඩා කර තිබූ නිමි ඇඳුම් විශාල තොගයක් ගිනිගෙන විනාශ වී ඇති බව මහරගම පොලිසිය පැවසීය.

ගබඩාව පිහිටි ස්ථානයේ අවට පදිංචිකරුවන් හා ප්‍රදේශවාසීන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් දුරකථන ඇමතුම් මත වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගිනි නිවීමේ සේවා නිලධාරීන්ද කැඳවා ඔවුන් සමග එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බව පොලිසිය පැවසීය.

ගින්න ඇතිවීමත් සමඟ ගබඩාව පිහිටි පරිශ්‍රයේ තිබූ ජල බටයක් විනාශ වීම හේතුවෙන් ගින්න නිවා දැමීමට ප්‍රදේශවාසීන්ට ජලය ලබා ගැනීමේ අපහසුතාවක් ඇතිවීම හේතුවෙන් විශාල වශයෙන් ගින්න පැතිරී ගොස් ඇති බවත් එසේ නොවුණා නම් මීට වඩා දේපළ හානිය අවම කරගැනීමට තිබූ බවත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ පිළිබඳව නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ නිලධාරීන් කැඳවා පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් පොලිසිය පැවසීය.

ගිනිගැනීම හේතුවෙන් සිදු වූ අලාභහානිය මෙතෙක් ගණනය කර නොමැති බවත් ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ ගබඩා පරිශ්‍රය තුළ කිසිවෙකු රැඳී නොසිටි බැවින් පුද්ගල අනතුරු හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් පොලිසිය පවසයි.

ගින්න මැඩ පැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ සේවා ඒකකයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිනි හා ආපදා සේවා ඒකකයේ නිලධාරීන් පැමිණ තිබූ බවත් විදුලි විසන්ධි කොට විදුලි ආපදා සුරක්ෂිත කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ සහාය ද ලැබුණු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

මෙම ගබඩා පරිශ්‍රය මීට පෙර කාලයේදී හඳුන්කූරු නිෂ්පාදනය කිරීම හා ගබඩා කිරීමේ ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය එකක් බවත් ටික කලකට පෙර එම ආයතනය මෙම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමඟ නිමි ඇඳුම් ගබඩාව ආරම්භ කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. බී. එස්. ජයමහ මහතාගේ සෘජු අධීක්ෂණය මත මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. සි. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මුතුමාල මහතා ඇතුළු පොලිස් සැරයන් 43672 සුරංජිත්, පොලිස් කොස්තාපල් 92521 සමරසිංහ, 84742 ලක්ෂාන්, 73917 සමන්, 102924 කුලරත්න යන නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කරන ලදි ෴


කහතුඩුව සරණතිස්ස මාවතේ ‘වයිට් රෝස් පාර්ක්’ හි නිවසක් ගිනි ගෙන විනාශයි

(13.02.2024 – dinamina.lk)

කහතුඩුව සරණතිස්ස මාවතේ වයිට් රෝස් පාර්ක් හි නිවසක (12) දා දහවල් සිදුවූ ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. කහතුඩුව සරණ තිස්ස මාවතේ නිවසක් ගිනිගන්නා බවට 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී වසා දමා තිබූ නිවසක් තුළ ගින්නක් හටගෙන තිබෙනු දැක තිබේ.

ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වී හොරණ නගර සභාව දැනුවත් කොට ගිනි නිවන රථ දෙකක් නිලධාරී අට දෙනකු සමඟ ගෙන්වාගෙන ප්‍රදේශවාසීන් හා එක්ව විනාඩි 45 ක් වැනි කෙටි කාලයක් තුළදී ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව පොලිසිය කියයි.

නිවස හිමිකරු මේ වන විට විදේශගතව ඇති අතර කුලී පදනම මත ලබාදී ඇති බවත් ඔවුන් ද ගින්න සිදුවන අවස්ථාවේදී නිවසේ නොසිටි බවත් ගින්නෙන් දේපළ හානි රැසක් සිදුව ඇති බවත් පොලීසිය කියයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පැවැත්වේ ෴


ලංගම බස් රථයක් හමුදා වාහනයක මුහුණට මුහුණ ගැටී හත් දෙනෙකු (7) රෝහලට

(13.02.2024 – 07:53 +0530 – hirunews.lk/sinhala)

තුනුකායී සිට යාපනය, කරෙයිනගර් බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් කොකාවිල් ප්‍රදේශයේදී යුද හමුදා නිලධාරින් පිරිසක් ගමන්ගත් වාහනයක් සමඟ මුහුණට මුහුණ ගැටීම නිසා සිදුවූ රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් පස් දෙනෙකු (5) හා සිවිල් වැසියන් දෙදෙනෙකු (2) ඊයේ (12) සවස තුවාල ලබා තිබෙනවා.

එහිදී තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරෙන් පසු යුද හමුදා වාහනය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා එය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ පෙරළී ගොස් තිබෙනවා.

වාර්තාකරු සඳහන් කළේ ලංගම බස් රථය අධික වේගයෙන් ධාවනය වීම නිසා මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළිවී ඇති බවත්, බස් රථයේ රියදුරාද තුවාලකරුවන් අතර සිටින බවයි.

මෙම අනතුර සම්බන්ධයෙන් මාන්කුලම පොලිසියෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ ෴


‘ඉමියුනෝග්ලොබියුලීන්’ සිද්ධියට තවත් උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනී

(13.02.2024 – 07:54 +0530 – hirunews.lk/sinhala)

ප්‍රශ්නගත ‘ඉමියුනෝග්ලොබියුලීන්’ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඖෂධ සැපයුම් අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙකුගෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

ප්‍රශ්නගත ‘ඉමියුනෝග්ලොබියුලීන්’ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව මේ වනවිට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

මේ අතර ‘හිරු ප්‍රවෘත්ති’ කළ අනාවරණයෙන් පසුව ඩොලර් මිලියන ගණනක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ සහිත බහාලු‍ම් වත්තල, වැලිසර සහ කැලණිය පර්යන්තවල අනාරක්ෂිතව තැබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම එම බහාලු‍ම් තුළ ඇති බව පැවසෙන ‘මෙරපනම්’ නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටලු‍වක් මතුව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙලෙස අනාරක්ෂිතව ගබඩා කර ඇති ඖෂධ සහිත බහාලු‍මක් තුළ ‘මෙරපනම්’ ප්‍රතිජීවක එන්නත් කුප්පි හාර ලක්ෂ පනස් දහසක් (4,50,000) පමණ ඇති අතර මෙම එන්නත ලබා දෙන්නේ හදවත් සහ පිළිකා රෝගීන් සඳහායි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සමයේ ලබාදුන් අවසරය මත ආනයනය කර ඇති මෙම ඖෂධ සහිත බහාලු‍ම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ ෴


පෙම් සබඳතාවය බිඳ වැටී සිසුවියක් ගෙල වැළලාගනී

(13.02.2024 – 08:17 +0530 – hirunews.lk/sinhala)

ප්‍රේම සබඳතාවය බිඳවැටීම හේතුවෙන් මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරණපලෙයි ප්‍රදේශයේ වයස අවුරුදු 17 ක පාසල් සිසුවියක් ඊයේ (12) සිය නිවසේදී ගෙල වැළලාගෙන මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා.

මියගිය සිසුවියගේ නිවසට යාබද අසල්වාසීන්, නිවසේ කිසිවෙකු නොමැති නිසා සිසුවියට කතා කොට ඇති අතර, නිවස තුළ සිටි ඇයගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොමැති නිසා නිවසට ඇතුළුවී බලන අවස්ථාවේදී ඇය නිවසේ බාල්කයක එල්ලි සිටිනු දැක තිබෙනවා.

එහිදී වහාම ක්‍රියාත්මක වූ අසල්වාසීන් ඇයව පුදුකුඩිඉරිප්පු රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, ඇය ඒ වන විටත් මියගොස් සිටි බවයි වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ.

එස්. නිදර්ශිනී නැමති මෙම සිසුවිය 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර, පැවති ප්‍රේම සබඳතාවයක් බිඳවැටීම හේතුවෙන් ඇති වූ සිත් තැවුලක් මත මෙලෙස සියදිවි නසා ගෙන ඇති බවටයි පොලිසිය සැකකරනු ලබන්නේ.

පුදුකුඩිඉරිප්පු පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි ෴


ආදුරුප්පු වීදිය පොලිසිය තුළදී සැකකරුවන්ට වස ලබාදීම සම්බන්ධයෙන් පිරිසක් අත්අඩංගුවට

(13.02.2024 – 08:38 +0530 – hirunews.lk/sinhala)

ආදුරුප්පුවීදිය පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට (2) සයනයිඩ් මිශ්‍ර කිරි වර්ගයක් ලබාදීමේ සිද්ධියට අදාළව කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 7 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ගම්පොළ – ගලහ – දෙල්තොට ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී ඊයේ (12) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා (2) මෙම සිද්ධියට ආධාර අනුබලදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය ජනවාරි මස 23 වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනාටයි (2) සයනයිඩ් මිශ්‍ර කිරි වර්ගයක් ලබාදී තිබුණේ.

පසුව ඔවුන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

එමෙන්ම සිද්ධියට අදාළව එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබුණා ෴


විදේශ රටක නිෂ්පාදිත අති නවීන පිස්තෝල‍යක් සමඟ අයෙක් අත්අඩංගුවට

(13.02.2024 – 09:23 +0530 – hirunews.lk/sinhala)

කිසියම් අපරාධයක් කිරීමට සූදානම් වී සිටි පුද්ගලයෙකු විදේශ රටක නිෂ්පාදිත අති නවීන මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සන්තකයේ තබාගෙන සිටියදී රුවන්වැල්ල, කොටියාකුඹුර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙක්.

එහිදී විදේශීය රටක නිෂ්පාදිත 9X18 mm උණ්ඩ යෙදිය හැකි මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සහ එම අවියට සවි කල හැකි පතුරම් ගැබක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රුවන්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *