මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක මුදල් අයකැමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ල කා පලායයි

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක මුදල් අයකැමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ල කා පලායයි


මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක මුදල් අයකැමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ල කා පලායයි

(12.02.2024 – 07:05 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද (12) අලු‍යම කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු (2) එහි වෙළඳසැලක මුදල් අයකැමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ල කා පලා ගියා.

මෙම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ.

ආයුධ සන්නද්ධව වෙළඳසැලට පැමිණි කොල්ලකරුවන් අයකැමි තරුණිය බියගන්වා එහි උඩ ලාච්චුවේ තිබූ මුදල් කොල්ලකා තිබෙනවා.

පසුව ඊට පහළින් අගුලු දමා තිබූ ලාච්චුවේ යතුර ඉල්ලා ඇති අතර, තරුණිය ඊට විරුද්ධ වී ඇති බව සඳහන්.

එහිදී කෝපයට පත් කොල්ලකරුවන් ඇයට වෙඩි තබා ඇති බවයි වාර්තාවන්නේ.

දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව මෙම කොල්ලකරුවන්ට රැගෙන යා හැකිව ඇත්තේ රුපියල් 45,900 ක මුදලක් පමණයි.

මීගොඩ පොලිස් මුරපොලද පිහිටා ඇත්තේ කොල්ලකන ලද මෙම වෙළඳසැල ආසන්නයේයි.

මෙම තොග වෙළඳසැල මීගොඩ ආර්ථීක මධ්‍යස්ථානයේ අර්තාපල් සහ ලොකු ලූණු අලෙවි කරන ප්‍රධානතම වෙළඳසැලක්.

කොල්ලකරුවන් වෙළඳසැලට පැමිණෙන ආකාරය සහ මුදල් කොල්ලකා තරුණියට වෙඩි තබා පලා යන ආකාරය සී.සී.ටී.වී. කැමරාවල ද සටහන් වී තිබෙනවා.

කොල්ලකෑමෙන් පසු ඔවුන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළින් දිවෙන මාර්ගයේ දාම්පේ දෙසට පලාගොස් ඇති අතර, අදාළ ප්‍රදේශවල සී.සී.ටී.වී. දර්ශන විශ්ලේෂණය කරමින් ඉදිරි විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

++++++++

+

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (12) අලුයම සිදු වූ සන්නද්ධ මංකොල්ලය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද (12) අලු‍යම කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු (2) එහි වෙළඳසැලක මුදල් අයකැමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ල කා පලා ගියා.

මෙම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ ෴

+++++++

තරුණියගේ යට ඇඳුමේ යතුර සඟවා ගත් නිසා රුපියල් කෝටියක් බේරේ

(13.02.2024 – aruna.lk)

අවිගත් අපරාධකරුවන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (12) අලුයම කඩාවැදී එහි බීලූනූ තොග වෙළෙඳසලක ලාච්චුවේ මුදල් කොල්ල කෑමේ තැන වැරැදිගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලද තරුණිය නොබියව කොල්ලකරුවන්ට මුහුණ දීම නිසා බව අනාවරණය වී ඇත.

වෙළෙඳසලේ මුදල් අයකැමි ලෙස සිටි මෙම තරුණිය එක් ලාච්චුවක යතුර තම යට ඇඳුමේ සඟවාගෙන සිටි නිසා කොල්ලය ව්‍යර්ථ වී තිබේ. එම ලාච්චුවේ රුපියල් කෝටියකට අධික මුදලක් තිබී ඇති අතර යතුර සඟවා තිබීම නිසා කොල්ලකරුවන්ට එය විවෘත කරගැනීමට නොහැකි වී ඇත.

“ඒයි කෙල්ලේ මෙහෙ වරෙන් – යතුර දීපන්” කියමින් කොල්ලකරුවන් තුවක්කුව දික්කර බැණවදිද්දි “මගේ ළඟ යතුරු නැහැ” කියමින් තරුණිය කෑගසනවාත් සමග තුවක්කුව ඇතැතිව සිටි කොල්ලකරු අතින් තුවක්කුව පත්තු වී ඇත.

එහිදී මූණිස්සම් තුනක් (3) තරුණියගේ උදරයට ඉහළින් වැදී ඇති අතර අවට බිත්තිවල මූනිස්සම් කැබලි දහයක් (10) පමණ වැදී තිබිණි.

කොල්ලකරුවන් දෙදෙනා (2) රැගෙනවිත් ඇත්තේ ‘ෂොට් ගන්’ වර්ගයේ ගිනි අවියක් වන අතර පිරිස බියවැද්දීමට යාමේදී තුවක්කුව පත්තු වන්නට ඇතැයි සී.සී.ටී.වී. දර්ශන පරික්ෂාවේ දී පෙනී ගොස් ඇත.

ඊයේ (12) අලුයම 01:25 ට පමණ කොල්ලකරුවන් දෙදෙනා (2) මීගොඩ දාම්පේ මාර්ගයෙන් ආර්ථික මධ්‍යස්ථානයේ දෙවැනි (2) කඩපෙළ වෙත යතුරු පැදියෙන් පැමිණ ඇත.

කොල්ලකරුවන්ගේ ඉලක්කය වූ බීලූනූ තොග වෙළෙඳසලේ සිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යෙදවූ පොලිස් මුරපොළට දුර මීටර් දහයකි (10). මෙම සිදුවීම වන මොහොතේ මුරපොළේ ස්ථානාධිපතිවරයා හා රාජකාරියට යොදවා සිටි දෙදෙනා (2) නිදාගෙන සිට ඇතැයි ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

සාමාන්‍යයෙන් මෙම ආර්ථික මධ්‍යස්ථානයට අටදෙනකු (8) පමණ රාත්‍රි රාජකාරි සඳහා ආරම්භ කාලයේදී යොදවා තිබුණද දැනට කාලයක් තිස්සේ පොලිසියේ දෙතුන් දෙනා (2-3) රාත්‍රි රාජකාරි සඳහා යොදවා තිබූ බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

මුරපොළේ ස්ථානාධිපති ලෙසින් සිටින උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කිහිපදෙනාට බැංකු, ගේට්ටු ඇතුළු සියලුම ස්ථානවල පොත් අත්සන් කිරීම හා රාජකාරි පැවරී තිබී ඇත.

පෙරේදා (11) දහවල් අගමැතිවරයා මීගොඩ වටරැක විහාරස්ථානයකට පැමිණ ඇති අතර එහි විශේෂ රාජකාරි සඳහා මුරපොළේ ස්ථානාධිපති ඇතුළු තිදෙනා (3) පෙරේදා (11) අලුයම සිට එහි ගොස් ඇත. අගමැතිගේ විශේෂ රාජකාරි අවසන්ව නැවත පැමිණ පෙරේදා (11) රාත්‍රිය වනතුරු ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාවත් භාරව තිබී ඇත. ඒ අතරේ ඊයේ (12) අලුයම වන විට මෙම තිදෙනා (3) නින්දට වැටෙන්නට ඇතැයි විමර්ශකයන් සැක පහළ කරයි.

මෙම මුරපොළෙට අනුයුක්ත කර තිබූ තවත් පස්දෙනෙකු (5) පමණ විශේෂ රාජකාරි සඳහා රැගෙන ගොස් තිබී ඇතැයිද හෙළි වී තිබේ.

මංකොල්ලය සිදුවන අවස්ථාවේ එය ලොරියක සිට දැක ඇති ලොරි රියැදුරකු නොනවත්වා ලොරියේ නළාව නාදකර තිබේ ෴


මල්වතුහිරිපිටියේ මෙහෙයුමේදී වෙඩි වැදුණු සැරයන්වරයා ජීවිතක්ෂයට

(12.02.2024 – 06:56 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – මල්වතුහිරිපිටිය – බටේපොල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කර පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පොරබැදීමකදී වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බවයි සඳහන් වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 51 හැවිරිදි මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

එමෙන්ම, පොලිස් නිලධාරියෙකුගේ හිසට වෙඩි තබා ඔහුගේ ගිනි අවිය පැහැරගෙන පලාගිය සැකකරු සහ කාන්තාවක ඊයේ (11) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

ඒ සමඟ පැහැර ගත් ගිනි අවිය සහ ජීව උණ්ඩ හතරක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව ගම්පහ බිංගිරිය ප්‍රදේශයේදී සැකකරු සහ කාන්තාව අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරකට අනුව ගම්පහ වතුරුගම ප්‍රදේශයේ සඟවා තිබියදී රිවෝල්වරය සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි රියදුරෙකු බවයි වාර්තා වන්නේ ෴

ගම්පහ මල්වතුහිරිපිටිය – බටපොළ ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදීමකට ලක්ව මියගිය පොලිස් සැරයන්වරයා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ පවුලට රුපියල් ලක්ෂ 10 ක දීමනාවක්ද ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ ෴


ජාතික ජන බලවේගයට ඉන්දියාවෙන් රුපියල් කෝටි 300 ක් ලබා දී ඇති බවට තොරතුරක් ?

(12.02.2024 – 20:33 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඉන්දියාවෙන් රුපියල් කෝටි 300 ක මුදලක් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වන බව මිහින්තලය විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

+


ශ්වසන රෝග උත්සන්න වීම් හා විජලන තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක්

(12.02.2024 – 20:01 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් ශ්වසන රෝග උත්සන්න වීම් හා විජලන තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම අධික උණුසුම ලබන මාර්තු මාසය පමණ දක්වා පැවතිය හැකි බවයි.

මේ දිනවල මිනිස් සිරුරට දැනෙන උණුසුම පවතින්නේ ඉතා ඉහළ අගයකයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම තත්ත්වය මත පාසල් දරුවන් හා වැඩිහිටි පිරිස් දැඩි ලෙස වෙහෙසවීමෙන් විවිධ සංකූලතාවලට ලක්විය හැකි බවයි.

අධික උණුසුම හමුවේ විජලන තත්ත්වය වළක්වා ගැනීම සඳහා හැකි පමණ ජලය පානය කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය චන්න ද සිල්වා පැවසුවා.

+


ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කළ පරිපාලන ග්‍රාම නිලධාරීවරයාට ඇප

(12.02.2024 – 19:45 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගත් පරිපාලන ග්‍රාම නිලධාරීවරයා දැඩි ඇප කොන්දේසී මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (12) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන 35 හැවිරිදි ග්‍රාම නිලධාරිනිය කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණා.

අදාළ පැමිණිල්ලෙන් ඇය දක්වා තිබුණේ පසුගිය මස 20 වනදා පරිපාලන ග්‍රාම නිලධාරිවරයා සිය නිවසට පැමිණි අවස්ථාවේ මෙලෙස ලිංගික අතවර කිරීමට උත්සහ කළ බවයි ෴


ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි

(12.02.2024 – 18:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 දරණ මෙල්බර්න් සිට කොළඹ බලා පියාසර කරන ලද ගුවන් යානය හදිසියේම ආපසු මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත ගොඩබස්සවා තිබෙනවා.

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම යානය ගොඩබස්සවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යානය ආරක්ෂිතව ගොඩ බස්සවා ඇති අතර යානයේ සිටින සියලුම මගීන් ආරක්ෂිතව සිටින බවද සඳහන් ෴


හෙල්මටයේ සඟවා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයෙක් අත්අඩංගුවට

(12.02.2024 – 17:56 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම සාවර්කට්ටු ප්‍රදේශයේදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ඉතා සූක්ෂමව හෙල්මටයක සඟවාගෙන ජාවාරමේ නිරත වූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සාවර්කට්ටු විඩත්තිල් ප්‍රදේශයේ මාර්ගයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ආරක්ෂිත හිස් ආවරණයක සූක්ෂයම සඟවා ගෙන සිටි ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 850 ක ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සාවර්කට්ටු ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු වන අතර ඔහු මන්නරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා ෴


Shell සමාගම ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සමඟ ගිවිසුම් ගතවෙයි

(12.02.2024 – 16:10 +0530 – hirunews.lk/sinhala)

දේශීය ඉන්ධන වෙළෙඳ ක්‍ෂේත්‍රය විදේශීය ආයෝජකයින් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව මෙරට ආයෝජනය සඳහා කටයුතු කළ ඇමෙරිකානු මූලයක් සහිත සමාගමක් වන, ෂෙල්-ආර්එම් පාක්ස් (Shell – RM Parks) සමාගම හා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඉන්ධන ගබඩා කිරීම හා ඛෙදා හැරීමේ ගිවිසුමකට එළඹීම අද දින (12) කොළොන්නාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, Shell-RM Parks සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදා හැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනවා.

ඉකුත් (2023) වසරේ ජුලි මස 08 දින ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය එක්ව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබුවා.

අදාළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ උපදෙස් මත මෙම ගිවිසුම් ගතවීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ ෴


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *