පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කළ පෙම්වතිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කළ පෙම්වතිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ


පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කළ පෙම්වතිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(12.02.2024 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පෙම්වතිය විසින් තම පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කළ බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ ගම්පොළ ප්‍රදේශයෙන්.

පෙම්වතියට වයස වුරුදු 19 ක්වන අතර පෙම්වතාට අවුරුදු 22 ක් බව සඳහන්.

වසර එක හමාරක් (1½) පැවති පෙම් සබඳතාවය පෙම්වතා විසින් මෑතක සිට මඟහැරීමට කටයුතු කළ නිසා මෙම සිදුවීම සිදුවන්නට ඇති බව‍යි පොලීසිය අප කළ විමසීමකදී සඳහන්කර සිටියේ.

පෙම් සබඳතාවය නතර කරමු යන යෝජනාව පෙම්වතා විසින් පවසා ඇති අතර පෙම්වතිය ඔවුන්ගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළකර කරතිබෙනවා.

පෙම්වතා මෙයටද උරනව සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් පෙම්වතිය සිය සහෝදරයා සහ මව සමඟ පෙම්වතා මුණ ගැසීමට ගම්පොළ මාළු මාකට් එකට ගොස් ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීම දුරදිග ගොස් පෙම්වතිය විසින් පෙම්වතාට මෙලෙස පිහි ප්‍රහාරය එල්ලකර ඇති සඳහන්.

තුවාල ලැබූ පෙම්වතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.

පෙම්වතිය ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.


වසර 33 ක් අධිකරණය මඟහැර සැඟවී සිටි මරණ දඬුවම නියම වී සිටි කාන්තාවක් අත්අඩංගුවට

(12.02.2024 – 11:53 +0530 – hirunews.lk/sinhala)

1990 වසරේ සිට වසර 33 ක් අධිකරණය මඟහැර සැඟවී සිටි මරණ දඬුවම නියම වී සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව එදිනම හෝමාගම මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ‘කමනී චම්පිකා’ නමැති 66 හැවිරිදි වියේ පසුවන එක් දරු මවක්.

මේ අපරාධය සිදු වී ඇත්තේ 1989 ඝාතනය වූ ඉංජිනේරුවරයා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වමින් සිටි ඇය එකල අවුරුදු 32 ක කාන්තාවක් වන අතර, විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක් ලෙස ඇය එකල සේවය කර ඇත්තේ ඝාතනය වූ ඉංජිනේරුවරයා සමඟිනි.

ලංගම වේලා සටහන්කරුවෙක් ලෙස සේවයේ නිරතව සිටි ඇයගේ සැමියා විසින් ඉංජිනේරුවරයා මරා දමා ඇති බවයි සඳහන් වන්නේ.

මේ කාන්තාවට ඊට ආධාර හා අනුබලදීමේ චෝදනා එල්ල වී තිබී ඇති අතර, අධිකරණයෙන් මේ කාන්තාවට පමණක් නොව සැමියාට ද මරණ දඬුවම නියම වී තිබෙනවා ෴


කිතුල් ගසකින් වැටි තිදරු පියෙකු ජීවිතක්ෂයට

(12.02.2024 – 11:28 +0530 – hirunews.lk/sinhala)

ඌව පරණගම, උඩපේරුව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු කිතුල් ගසකින් වැටි මියගොස් තිබෙනවා.

ඔහු 51 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ ප්‍රදේශවාසීන් ඔහු කිතුල් ගස මුල වැටි සිටිනු දැක ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා දේහය වැලිමඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳව ඌව පරණගම පොලිසිය මේ වනවිටත් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව‍යි සඳහන් වන්නේ.

+


යාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ වී වේලමින් සිටි ගොවියා අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි

(12.02.2024 – 11:13 +0530 – hirunews.lk/sinhala)

යාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍ර‌දේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේලමින් සිටි ගොවියෙකු මියගොස් ඇතැයි පේදුරුතුඩ පොලිසිය පවසනවා.

මහකන්නයේ වී අස්වැන්න නෙලීමෙන් පසුව නෙලාගත් වී අස්වැන්න වේලීම සඳහා මාක්කිරායි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ගයට දමා වී වෙලමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

පලෙයි සිට පේදුරතුඩුව දෙසට ධාවනය වී ඇති යතුරුපැදියක වී වේලමින් සිටි ගොවියා ගැටී ඇති අතර ඒහිදී බරපතල තත්වයේ සිටි ගොවියා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

උදෑසන කාලයේ පැවති මීදුම් තත්වය හේතුවෙන් යතුරුපැදිකරුට ගොවියා නොපෙනීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මළසිරුර පේදුරුතුව රෝහලේ තැන්පත් කොට ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතරුව ඥාතීන්ට භාරදීමට පියවර ගන්නා බවයි පොලීසිය සඳහන්කර සිටියේ.

පේදුරුතුඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴


කැලණිවැලි දුම්රිය මාර්ගය වේගවත් කිරීමට සැලසුම්

(12.02.2024 – 10:47 +0530 – hirunews.lk/sinhala)

මන්දගාමී දුම්රිය මාර්ගයක් සැළකෙන කැලණිවැලි මාර්ගය සීග්‍රගාමී දුම්රිය මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල නගරයේ පැවති උත්සවයකට එක්වෙමින්.

සීතාවක පුරය කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනයටද එය ඉවහල්වනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී සඳහන් කර තිබෙනවා ෴


අන්න ඔන්ලයින් පනතින්, පළමු අත්අඩංගුවට ගැනීම කළා! ඡන්දේ කටේ තියන් මාධ්‍යවල කට වහන්න? – GL අහයි (12.02.2024)

+


‘යුක්තිය මෙහෙයුමේ’දී තවත් 625 දෙනෙකු අත්අඩංගුවට

(12.02.2024 – 10:42 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ ‘යුක්තිය මෙහෙයුමේ’දී තවත් සැකකරුවන් 625 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 545 දෙනෙකු සිටින බවයි.

එමෙන්ම, අපරාධ අංශය වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි 80 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 7 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු ලැබූ 74 දෙනෙකුද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ෴


“ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති සමාව ඉල්ලුවා” – චන්දිම වීරක්කොඩි

(12.02.2024 – 09:51 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව හමුවේ තමාගෙන් සමාව ඉල්ලූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.

ඒ, පසුගිය වසරේ (2023) ඔක්තොම්බර් මාසයේදී ඔවුන් දෙදෙනා (2) මන්ත්‍රීවරයා සමග ඇතිකරගත් වචන හුවමාරුවක් පිළිබඳ ලද පැමිණිල්ලක් විමර්ශනයෙන් අනතුරුවයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේදී සන්නද්ධ හමුදාවල කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ඊට විකල්පයක් ලෙස සන්නද්ධ හමුදාවන්හී ඉහළ නිලධාරීන්ට ලබාදී ඇති පහසුකම් අඩු කිරීම යෝග්‍ය බවට යෝජනාවක් කර තිබුණා.

එහිදී අරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා මන්ත්‍රීවරයා බිය ගන්වමින් සහ තර්ජනය කළ බවට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා විමර්ශනයේදී පවසා තිබෙනවා.

අදාළ සාකච්ඡාව ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ඉතා සාමකාමීව අදහස් දක්වා ඇතත් ආරක්ෂක ලේකම්වරයා ඇතුලු පිරිසගෙන් ලද ප්‍රතිචාර මත පසුව කාරක සභා රැස්වීම උණුසුම්වී ඇති බවද විමර්ශන වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.

විමර්ශනය අවසානයේ පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නට සහ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේට චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයාගෙන් සමාව අයදින ලෙසයි නිර්දේශ කර ඇත්තේ.

එමෙන්ම කාරක සභාවන්ට සහභාගීවන නිලධාරීන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පිළිබඳ පනත සම්බන්ධයෙන්ද දැනුවත් විය යුතු බවටද පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා ෴


පාසල් සිසුවෙක් දුම්රියට බිලි

(12.02.2024 – 09:29 +0530 – hirunews.lk/sinhala)

ධාවනය වෙමින් පැවති දුම්රියට පැන පාසල් සිසුවෙක් ඊයේ (11) සියදිවි හානිකරගෙන තිබෙනවා.

ගල්ඔය සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ දුම්රියට පැන මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ අවුරුදු 14 ක පාසල් සිසුවෙක් බවයි වාර්තා වෙන්නේ.

ඔහු යුනිට් 10, මොල්ලිපතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) දිනයේ කන්තලේ මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතයි ෴


විද්‍යුත් පරිපථයක් සවි කරන ලද සපත්තුවක් සමඟ සිසුවෙකු ගුවන්තොටුපොළදී අත්අඩංගුවට

(12.02.2024 – 08:19 +0530 – hirunews.lk/sinhala)

විද්‍යුත් පරිපථයක් සවි කරන ලද සපත්තුවක් රැගෙන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි යන්න සුදානම් වූ සිසුවෙකු ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් පවසන්නේ ඩෙටනේටරයක් සහ පුපුරන ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් එකකර මෙම පථය මඟින් පිපිරීක් පවා සිදු කළ හැකි බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

එම සපත්තුව ඇවිඳගෙන යනවිට බැටරිය ආරෝපණය වීමේ තාක්ෂණයක් එහි ඇති බවත්, විශ්වවිද්‍යාල ව්‍යාපෘතියක් සඳහා මෙය නිර්මාණය කරන ලද්දක් බවයි ඔහු පොලිසියට පවසා ඇත්තේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙය තමන්ගේ නොවන බවත් සිඩ්නි විශ්වවිද්‍යාලයේ මිතුරෙකුගේ බවයි.

මෙම සිසුවා මෙම සපත්තුව රැගෙන ගොස් ඇත්තේ අත් බෑගයක දමාගෙන බවයි පොලිසිය සඳහන් කළේ ෴


ඉන්දියාවේ ඩිජිටල් මූල්‍ය ගෙවීමේ ක්‍රමය අද (12) සිට මෙරටට

(12.02.2024 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI ක්‍රමවේදය අද (12) සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කළා.

UPI යනු ඉන්දියානු ජාතික ගෙවීමේ සංස්ථාව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් මූල්‍ය ගෙවීමේ ක්‍රමවේදයක්.

එම ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම බැංකුවක් හරහා ක්ෂණිකව ගෙවීම් කටයුතු කිරීමට පුද්ගලයෙකුට හෝ වෙළඳ ආයතනයකට අවස්ථාව හිමි වනවා.

ජංගම දුරකථන අංකය මත පදනම්ව ලියාපදිංචි විය හැකි යෙදුමක් වන මෙය සරල පියවර කිහිපයක් මගින් ඕනෑම බැංකුවක් හරහාද ගනුදෙණු කිරීමට හැකියාව පවතිනවා.

පසුගිය වසරේ UPI ගෙවීම් පද්ධතිය හරහා ඩොලර් ට්‍රිලියන 1.7 ක ගනුදෙණු සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ෴

++++++++

UPI: නව ගෙවීම් පද්ධතිය ගැන ඔබ දැන ගත යුතු කරුණු මොනවාද ?


ඔස්ට්‍රේලියානු කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(12.02.2024 – 07:46 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරයක නිරත වූ ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

වෙළම්බොඩ ප්‍රදේශයේදී පසුගිය 09 වනදා අතවරයක් සිදුවූ බවට ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙලෙස අතවරයකට ලක් වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ 39 හැවිරිදි කාන්තාවක්.

මෙම කාන්තාව, ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා (2) සමඟ සංචාරයක් සඳහා පසුගිය 06 වනදා මෙරටට පැමිණ ඇති අතර, පසුව ඔවුන් ගම්පොළ ප්‍රදේශයේ හෝටලයක් තුළ නවාතැන්ගෙන තිබුණා.

එහිදී ඇය හෝටල් බලධාරීන්ට දැනුම් දී ඇත්තේ තමන්ට සම්භාහන සත්කාරයක් ලබා ගැනීමට ඒහා සම්බන්ධ පාර්ශවයක් සම්බන්ධ කරදෙන ලෙසටයි.

ඒ අනුව, හෝටලේ හිමිකරු වාද්දූව ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊට සම්බන්ධ කර දී තිබෙනවා.

සම්භාහන කටයුතු සඳහා පැමිණ තිබෙන පුද්ගලයා 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය සඳහන් කළේ අදාළ සම්භාහන කළ පුද්ගලයා තමන්ට අතවර කළ බවට අදාළ ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාව කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *